” තමන්ගේ මරණෙට වගකියන්න ඕනේ තමන්ගේ බිරිඳ බව ලියලා ඊට යටින් මයන් මල්දෙණියගෙ නම සඳහන් වෙලා තියන නෝට් එක දැක්කම මයන්ගේ සෙකට්‍රි පොලීසිය දැනුවත් කරනවා සහ ඒ අනුව ප්‍රශ්න කිරීමකට මයන් මල්දෙණියගෙ බිරිඳ නෙත්‍යා මල්දෙණියව පොලීසියට එක්කගෙන එනවා හරියටම මයන් මල්දෙණියගේ බොඩි එකේ අවසන් කටයුතු කරපු දවසේ. මෙතන මං මේ කියන දේ හොඳට අහගන්න සර් , මයන් මල්දෙණිය හොටෙල් රූම් එක ඇතුළෙදි අතුරුදහන් වෙනවා. ඊට දවස් දෙකකට පස්සේ ඩෙඩ් බොඩි එක හම්බෙනවා. හැබැයි සම්පුර්ණ මූණ විකෘති වෙලා. බොඩි එක අඳුරගන්නේ මිස්ටර් මල්දෙණියගේ අතේ , කනේ , කරේ තිබ්බ එක එක බඩු වලින්. ඒකත් මිස්ටර් මල්දෙණියගෙම පවුලේ අය . ඒ ඇරෙන්න කිසිම ඩීඑන්ඒ එකක්වත් මේ ඩෙඩ් බොඩි එක ගැන කරන්නෑ.
මිස්ටර් මල්දෙණියගේ පෝස්‍ට් මෝටම් එකෙන් පැහැදිලි වෙනවා මේක සියදිවි නහ ගැනීමක් වෙනුවෙන් දියේ ගිලී සිද්ධ කරගත්තු මරණයක් කියලා. ඒ අනුව සියළු පොලිස් පරීක්ශණ නවත්තලා දානවා මයන් මල්දෙණියගේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා වාර්තාවල සඳහන් කරලා.
පස්වෙනියට මිය ගිහින් ඉන්නේ ඇමැන්ඩ්‍රා නටාලි පෙරේරා . ඒ මීට දවස් දෙකකට කලින්. ජුනි විසි හතර වෙනිදා. මේ මරණේ හරි සරල කේස් එකක් සර්. ඇමැන්ඩ්‍රා පෙරේරා තමන්ගේ බෙඩ් රූම් එකේ බෙල්ලේ වැළදාගෙන මරණෙට පත් වෙලා තිබුණේ. අපිට ලැබෙනවා ඇමැන්ඩ්‍රා පෙරේරා මැරෙන්න කලින් ලියපු පොඩි ලියුමක්. ඒකේ සඳහන් වෙලා තියන විදිහට එයා කිසිම දවසක සන්තෝසයෙන් ඉඳලා නෑ. ඉස්කෝලේ කාලෙවත් , පවුල ඇතුළෙ වත් , කසාද ජීවිතේ ඇතුළෙවත් . ඇමැන්ඩ්‍රාට මේ හැම බැඳීමක් ගැනම තිබිලා තියෙන්නේ හරි පරාජිත හැඟීමක්. ඇමැන්ඩ්‍රාගේ සහෝදරයා කියන විදිහට ඇමැන්ඩ්‍රා කියන්නේ කිසිම වගකීමක් නැති කා එක්ක වත් හොඳ රිලේශන්ශිප් එකක් තියාගන්න බැරි හිතුවක්කාර චරිතයක්. සැරින් සැරේට තමන්ගෙ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් නිසා ඇමැන්ඩ්‍රා ඉඳල තියෙන්නෙ ලොකු මානසික පීඩනේක. සුයිසයිඩ් නෝට් එකක් තිබුණා හෝ නැතා අපිට ඒක අනුමාන කරලා කියන්න පුලුවන් ජීවිතයක් ඇමැන්ඩ්‍රාට තිබිලා තියෙන්නේ. ඉතිං අන්තිමේ එයත් මේ හැමදේකින්ම නිදහස් වෙන්න පුලුවන් මාර්ගේ හොයන් තියනවා.
ඇමැන්ඩ්‍රාගේ මරණ පරීක්ශණ වාර්තා වල තියනවා අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මිය යනකොටත් ඇඟ ඇතුළේ තිබුණා කියලා. ඇමැන්ඩ්‍රාගේ කාමරයෙන් දින කීපයක් පුරාවට එක දිගට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා කියලා සැක හිතෙන එවිඩන්ස් ගොඩක් මේ වෙනකොට අපිට ලැබිලා තියනවා. හැබැයි මේ සරලව පෙනිච්ච මරණෙ නිසා තමයි සර් ඊට කලින් වෙච්ච සුයිසයිඩ් කේස් හතරත් එළියට ගේන්න පුලුවන් උනේ. හරි අපි දැන් පොයින්ට්ස් වලට යං.
එක – මේ වෙනකන් මැරුණු පස් දෙනාම එකම ඉස්කෝලේ ,එකම පන්තියේ එකටම හිටපු යාළුවෝ.
දෙක – මේ මරණ පහම සියදිවි නසාගැනීම්.
තුන – මේ මරණ පහේම සුයිසයිඩ් නෝට්ස් වල තියනවා තමන් කාලෙක ඉඳන් දැඩි මානසික පීඩනේකට ලක් වෙලා හිටියේ කියලා.
හතර – එක , දෙක ,තුන , පහ මේ අංක වලට අදාල සුයිසයිඩ් නෝට්ස් ටික ගත්තාම , ඒ කියන්නේ මයන් මල්දෙණියගේ සුයිසයිඩ් නෝට් එක ඇර අනිත් හතරෙම තියන තව පොදු වාක්‍යයක් තියනවා. ඒ තමයි මගේ මරණේ සිද්ධ වෙන්නේ මං කරපු වැරදි නිසා. ඒකට වගකියන්න ඕනේ මම මයි. කියන එක. හැබැයි මයන් මල්දෙණියගේ සුයිසයිඩ් නෝට් එකේ එහෙම නෑ. එයා කෙලින්ම චෝදනා කරලා තියෙන්නේ තමන්ගේ වයිෆ්ට. තමන්ගෙ වයිෆ් නිසා තමන්ට මෙහෙම උනේ කියන්න මයන් අඟවලා තියනවා.
හැමදේම තිතට ප්ලෑන් කරපු මයන් මල්දෙණියට එයාගේ සුයිසයිඩ් නෝට් එක ටිකක් පැටළුණා සර්.
මනුහස් එසේ පවසා කට කොනකින් සමච්චල් සිනහවක් පෑවේය.
” ඇමැන්ඩ්‍රා මැරෙන්න කලින් එයාට ලියුම් තුනක් ලැබිලා තියනවා. තුනේම තිබිලා තියෙන්නේ ෆොටෝස්. පළවෙනියටම ආපු ලියුමෙ ඇතුළෙ ෆොටෝ එකක් වගේම ලියුමක් තිබිලා තියනවා. ඒකෙන් පස්සෙ ඇමැන්ඩ්‍රා හිටියටත් වඩා කලබල වෙලා , ප්‍රෙශර් වෙලා තියනවා. අන්තිමට ආපු ලියුම තමයි මේ ෆොටෝ එක. “
මනුහස් එසේ පවසා ලිපි ගොනුවේ තිබූ ජායාරූපය පොලිස් අධිකාරීවරයා දෙසට දිගු කළේය. ඔතන දෙදහා අවුරුද්දේ රෝයල් නයිට්ස් ස්කූල් එකෙන් ෆයිනල්ස් කරලා පිටවෙලා ගිය විසි හත් දෙනෙක් ඉන්නවා. ඒ අතර මේ විදිහට සුයිසයිඩ් කරගෙන නැති උනු පස් දෙනාමත් ඉන්නවා. හරියට අනුමාන කරලා බැලුවොත් මං විශ්වාස කරනවා සර් , මේ නැති උනු පස් දෙනාගෙම මරණ වලට පිටින් කෙනෙක් සම්බන්ධයි. ඒ කෙනා විසින් ඇමැන්ඩ්‍රාට වගේම ඇමැන්ඩ්‍රාට කලින් මැරුණු හතර දෙනාටම මේ විදිහේ ෆොටෝස් එවන්න ඇති . බොහෝ දුරට මේ හැමෝම ඉස්කෝලේ කාලෙදි මූණ දීපු බරපතල සිදුවීමක් හරි , මේ හැමෝම විසින් ඉස්කෝලේ කාලේ තුළදි සිද්ධ කරපු මොකක් හරි පවක් මේ වෙද්දි ආයෙම මේ කට්ටිය පස්සේ පන්නන්න පටන් අරන් තියනවා. “
පොලිස් අධිකාරීවරයාගේ දෑස කුතුහලයෙන් පිරෙන්නට පටන් ගෙන තිබුණේය. ඔහු ඇසි පිය නොහෙළා මනුහස් දෙස බලා සිටියේය.
” මයන් මල්දෙණිය කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක් නෙමෙයි සර්. හොඳ මොළකාරයෙක්. ටෙහාන් මෙන්ඩිස්ගෙ ඉඳලා අසංග සුදේශ් වෙනකන් සිද්ධ වෙච්ච සුයිසයිඩ් ගැන මිනිහට මොකක් හරි සැකයක් එන්න ඇති. අපි නොදන්නව උනාට මෙතන යට හැංගිලා තියන දේ මයන් දන්නවා. සමහරවිට සුදේශ්ගෙන් පස්සේ මේ ෆොටෝස් , ලියුම් මයන්ට උනත් ලැබෙන්න ඇති . හැබැයි මිනිහා ඉක්මන් උනා. තව දුරටත් නිකන්ම හිටියොත් කලින් තුන්දෙනාට වගේම තමන්ටත් මැරෙන්න වෙනවා කියලා තේරුම් ගත්තු නිසා මිනිහා ඒ ඔක්කොටම කලින් ප්ලෑනක් ගහලා මිසින් උනා. මේ වෙනකොට උනත් මිනිහා කොහෙටහරි වෙලා මේ ඔක්කොම දිහා බලන් ඉන්නව වෙන්න පුලුවන් . “
” උඹට මෙහෙම හිතෙන්නැද්ද , මේ වෙන ඔක්කොම සුයිසයිඩ් වලට කොහෙන් හරි මයන්කාරයාගෙ සම්බන්ධයක් තියනවා කියලා ? “
මනුහස් මඳ වේලාවක් පොලිස් අධිකාරීවරයා දෙස බලා සිටියේය.
” මං හිතන්නෑ සර්. එහෙම උනානං මිනිහා මෙහෙම අතුරුදහන් වෙන්නෑ. මෙච්චර ලොකු ඩ්‍රාමා එකක් කරන්නෑ. තමන් මැරිලා කියලා අඟවලා , ඩෙඩ් බොඩී එකක් ගෙනල්ලා මේ තරම් ලොකු දෙයක් මිනිහා කළේ තමන්ගේ ජීවිතේට ලොකු තර්ජනයක් තියන නිසා . මං මේ කියන්නේ මට දැනට හිතෙන දේ. “
” මට මේක නිකන් පිස්සුවක් වගේ බං “
අතේ රැඳී තිබූ පෑන මේසය මතට දැමූ පොලිස් අධිකාරීවරයා හිඳ සිටි අසුනේ පසුපසට බර වූයේය.
” උඹ මේ මයන් මල්දෙණිය කියන එකා දාපු ඩ්‍රාමා එක මට කියන්න මෙච්චර කල් ගත්තේ ඇයි කියලා කියහන් මුලින්ම ?”
පොලිස් අධිකාරීවරයා ඇසූ පැනයට පිළිතුරු නුදුන් මනුහස් මොහොතකට ගොළු වී ගියේය.
” අර හොටෙල් එකට ගිහිල්ලා හොයාගත්තු මඟුල් ටික මට ඒ විදිහට පැහැදිලිව කිව්වනං , අපිට අරුන් මල්දෙණියගෙ මිනිය වළදාන්න කලින්ම ආයේ ඉන්වෙස්ටිගේශන් පටන් ගන්න තිබ්බනේ. ? දැන් බලහන් ආයේ තව තව අමතර වැඩ කීයක් කරන්න වෙනවද කියලා ? දැන් ඔය වළදාපු මිනිය ආයේ ගොඩ ගන්න එපැයි. අපිට කොහොමහරි ඔප්පු කරන්න වෙනවා ඒක මයන් මල්දෙණියගෙ නෙමෙයි කියලා. ඊට පස්සේ අර ගෑනු දෙන්නා .. උගේ අම්මයි , ගෑනියි. අන්න උන් දෙන්නාවත් ගන්න වෙනවා බං. “
මනුහස් තිගැස්සී පොලිස් අධිකාරීවරයා දෙස බැලුවේය.
” සර් කියන්නේ මිසිස් මල්දෙණියත් මයන් මල්දෙණියගේ මේ ඩ්‍රාමා එක ගැන දැනගෙන හිටියා කියලද ?”
මනුහස්ගේ හදවත තුළ සියුම් රිදීමක් ඇති වෙමින් තිබුණේය.
” නැතුව .. ? ඒක තමයි වෙලා තියෙන්නේ. උඹට මේක තේරෙන්නැද්ද , මෙච්චර ප්ලෑනක් ගහපු මයන් කාරයා සුයිසයිඩ් නෝට් එකේ මං මැරෙන්නේ මගෙ වැරදි නිසා කියලා අනිත් උන් කිව්ව කතාවම නොකියා මගෙ මරණෙට වගකියන්න ඕනේ වයිෆ් කියලා කිව්වේ ඇයි කියලා ? මොකද එහෙම උනු ගමන් පොලීසියෙන් මිසිස් මල්දෙණියව ප්‍රශ්න කරනවා. ඊට පස්සේ පොලීසිය පන්නන්නේ ඒක පස්සේ. නැතුව හම්බුණු ඩෙඩ් බොඩි එක පස්සේ නෙමෙයි. ඒ අතරේ ඉක්මනට ගෙදර හිටපු ගෑනු දෙන්නා මිනිය අඳුර ගත්තා කිව්ව හේතුව නිසයි , පෝස්ට් මෝටම් එකේ මේක සුයිසයිඩ් එකක් කියලා තියෙන නිසයි උන් මිනියත් වළ දාලා වැඩේ ක්ලෝස් කළා. මෙච්චර ප්ලෑනක් ගහපු එකාට ඕක මොකක්ද බං ? දන්නෙම නැතුව ෂියෝනා කරලා තියෙන්නෙත් උන්ගෙම ප්ලෑනට අනුව වැඩ කරපු එක. “
” ශිට්…!”
මනුහස් වේගයෙන් තමා ඉදිරියේ තිබූ මේසයට වැරෙන් පහරක් ගැසුවේය.


