” ඇයි ඉතිං බිස්නස් එක මිසිස් මල්දෙණියට බාර නොදෙන්නේ ? හස්බන්ඩ් නැති උනාම ඒවා අයිති වෙන්න ඕනේ එයාටනේ ?”
” ඒක නං ඇත්ත තමා සර්. ඒත්.. අනේ මන්දා . ඉඳලා හිටලා ඔෆිස් එකට යනවා ඇරෙන්න නෙත්‍යා මැඩම් එහෙම ඔෆිස් යන්නෑ. “
” එතකොට කොහොමද බිස්නස් එක හැඩ්ල් වෙන්නේ ? මේ මං අහන්නේ දැන් කවුද ඕවා ගැන හොයලා බලන්නේ ? “
” ඔෆිස් එකේ තීරණ ඔක්කොම ගන්නේ ඩිරෙක්ට බෝඩ් එක. ඊට පස්සේ තමා අපේ සර් ලඟට එන්නේ. දැනට සර් කරපු වැඩ ඔක්කොම බලන්නේ ලොකු මැඩම්. කොහොමත් සර් හිටපු කාලෙත් හැමදේම කළේ ලොකු මැඩම්ගෙන් අහලා. බිස්නස් වල ලොකු අයිතියක් ලොකු මැඩම්ට තියනවා. මල්දෙණිය ගෲප් එක ලොකු සර්ගෙනේ. ඒ කියන්නේ මයන් සර්ගේ තාත්තා රිචඩ් මල්දෙණියගේ. මයන් සර්ගේ තාත්තා නැති උනු වෙලෙත් ලොකු මැඩම් තමා බිස්නස් එක වැටෙන්න දෙන්නෙ නැතුව අල්ලන් ඉඳලා තියෙන්නේ. “
මනුහස් හිස හරවා සචින්ද්‍ර දෙස බැලුවේය. ඔහු නිහඬවම සිදු වන දුරකතන ඇමතුමට සවන් දී සිටියේය.
” ඒ මිනිස්සු ලඟ රස්සාව කරා කියලා ඒගොල්ලන්ව ඔය තරම් උඩ තියන්න එපා නර්මදා. දැන් ඔයා නැත්තන් ඔය ලොකු මැඩම්ට බිස්නස් බලා ගන්නවා තියා තමන්ගෙ වැඩවත් බලාගන්න පුලුවන්ද බලන්නකෝ. “
මනුහස් එසේ පවසා සචින්ද්‍ර හට ඇසක් ඉඟි මැරුවේය. සචින්ද්‍ර මුවට නැඟුණු සිනහව පිට වීමට නොදී තොල් පට තද කර ගත්තේය.
” ඒක නං එහෙම තමයි සර්. දැන් මං මෙතන වැඩට ඇවිල්ලත් අවුරුදු පහකට කිට්ටුයි. නෙත්‍යා මැඩම් ඇරෙන්න වෙන කිසි කෙනෙක් අපිට විශේෂයක් කරන්නෑ. ලොකු මැඩම් උනත් එච්චරයි . කොච්චර දේවල් කලත් එකක් වැරදුණොත් හරි මඟ ඇරුනොත් හරි එදාට ඔක්කොම ඉවරයි . ඔය සර් නැති වෙන්න කලින් නැති උනානේ සර්ගේ යාලුවෙක්. අනුරාධපුරේද කොහෙද. ඒ ගෙදරට සල්ලි වගයක් ට්‍රාන්සර් කරන්න කියලා මට කියලා මට ඒක අමතක වෙලා මට බැන්නේ රස්සාව දාලා යන්න කියලා. “
මනුහස් නැවතත් සචින්ද්‍ර දෙස බැලුවේය. දෙදෙනාගේම දෑස් කුතුහලයෙන් පිරී තිබුණේය.
” අනුරාධපුරේ කවුද නැති උනේ ? “
” මං හිතන්නේ ගෙස්ට් හවුස් එකක් කරපු කෙනෙක් සර්. බෙල්ලෙ වැල දාගෙන නැති උනේ. ඒ ගෙදරට මං දැනුවත්ම මෙහෙන් ලක්ෂ පනහක් දුන්නා. ලක්ෂ විසි පහ ගාණේ දෙපාරකට. ඒවා දුන්නේ බිස්නස් වල තියන එකවුන්ට්ස් වලින් නෙමෙයි . ලොකු මැඩම්ගේ ප්‍රයිවට් එකවුන්ට් එකකින්. “
තවත් මොහොතක් ඈ හා කතා බස් කළ මනුහස් දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය.
” මොකද්ද සර් හිතන්නේ ?”
” මං කිව්වානෙ බං. මේ හැම එකකටම මයන් කාරයා කොහෙන් හරි ගෑවිලා ඉන්නවා. මයන්ගේ මරණෙ ගැන මල්දෙණිය පවුලෙ අනිත් අය දැනුවත් කියලා අපි සැක කරනවා වගේම මේ වෙච්ච අනිත් අයගේ මරණ ගැනත් අපි නොදන්න දේවල් මේ මිනිස්සුන්ගේ පවුල් වල අය දැනගෙන ඉන්න ඇති උඹට හිතෙන්නැද්ද ? අන්න ඒ නිසාම වෙන්න ඕනේ ක්‍රිශාන්ගේ මරණෙන් පස්සේ මයන් අර වගේ ලොකු ගාණක් ක්‍රිශාන්ගේ ගෙදරට දුන්නේ. ඒ වගේම ටෙහාන් මෙන්ඩිස්ගේ වයිෆ් උමායා මෙන්ඩිස්. අපි ඊයේ ඒ ගෙදරට යද්දි ඒ ගෑනි ගෙදර හිටියා. “
සචින්ද්‍ර පුදුමයෙන් මෙන් මනුහස් දෙස බැලුවේය.
” ශුවර්ද සර් ?”
” සීයට සීයක්. “
” ගෑනි ගෙදර ඉන්න නිසා තමා නෙත්‍යා ඒ වෙලේ එහෙට ආවේ. කා එකෙන් බැස්ස ගමන් නෙත්‍යාට මැසේජ් එකක් ආවා නේද ? ඒක එව්වේ ඒ ගෑනි . අපිව මඟ ඇරියේ හිතාමතාමයි. වරදක් වෙලා තියනවා කියලා දන්න නිසා තමා ගෑනි අපිව මඟ ඇරියේ. අනික නෙත්‍යා එතනදි ඒ ගෑනිත් මයන්ලගෙම ක්ලාස්මේට් කෙනෙක් කියනකන් අපි ඒ ගෑනි ගැන මොකුත්ම දැනගෙන හිටියේ නෑ. අපි මේ දැන් යන ගමන තමයි මුලින්ම අපිට යන්න තිබ්බේ. එහෙම උනානං උමායා මෙන්ඩිස් කියන්නෙත් අර ෆොටෝ එකේ ඉන්න කෙනෙක් කියලා අපිට දැනගෙන ඉන්න තිබ්බා. “
සචින්ද්‍ර මාර්ගයේ පසෙක නතර කර තිබූ ජීප් රථය පණ ගන්වමින් මාර්ගයට ගෙන යළි ධාවනය කිරීමට පටන් ගත්තේය.
විනාඩි පහළවක් පමණ ගත වූ තැන පොලිස් නිලධාරීන් දෙදෙනා සිටි පොලිස් ජීප් රථය රෝයල් නයිට්ස් පෞද්ගලික පාසල ඉදිරිපස ගේට්ටුවෙන් ඇතුළට පිවිසියේය. එහි වත්මන් විදුහල්පතිවරයා වූ ජෙරම් විජේනායක හමු වීමට ඉල්ලීමක් සිදු කර තවත් මිනිත්තු දහයක පමණ කාලයක් විදුහල්පති නිල කාමරය ඉදිරියේ බලා සිටි මනුහස් හා සචින්ද්‍ර ඔවුන්ගේ බලා හිඳිමේ කාලය අවසන් කර කැඳවීම ලැබුණු වහා එතුළට පිවිසියහ.
” ගුඩ්මෝනින් මිස්ටර් විජේවර්ධන ..!”
” ගුඩ් මෝනින් ප්‍රින්සිපල් සර්..!”
” අපේ ඉස්කෝලේ නිතර දකින්න නොලැබෙන විදිහේ රූප දෙකක්. ඉතිං මොනවද මහත්තුරුන්ට මගෙන් වෙන්න ඕනේ ?”
” ඇත්තටම අපි ආවේ පොඩි තොරතුරු ටිකක් දැනගන්න. දෙදහා අවුරුද්දේ මේ ඉස්කෝලේ ඉගෙන ගෙන මෙහෙන් පිට වෙලා ගිය ළමයින්ගේ විස්තර වගයක් අපිට අවශ්‍ය වෙලා තියනවා ප්‍රින්සිපල් සර් . “
මනුහස්ගේ උවමනාව ඇසුණු සැණින් විදුහල්පතිවරයාගේ මුහුණ අඳුරු වී ගියේය .
” මොකක් හරි ප්‍රශ්නයක්ද මිස්ටර් විජේවර්ධන ?”
” නෑ.. නෑ.. ප්‍රශ්නෙකට නෙමෙයි. පොඩි තොරතුරු එක් රැස් කිරීමකට. “
” ම්ම්ම්ම්… මෙහෙමයි මිස්ටර් විජේවර්ධන .., දෙදහා අවුරුද්ද කියන්නේ මීට අවුරුදු විසි පහකට කලින් විතර වගේනේ. ඒ තරම් දුර වාර්ථා නං තාමත් ඉස්කෝලේ තියනවද කියලා සැකයි. අනික අපේ පාසල පෞද්ගලික පාසලක්නේ. රටේ නම ගිය , ප්‍රසිද්ධ , ප්‍රභූ පන්තියේ මිනිස්සු ගොඩකගේ දරුවෝ අපේ පාසලෙන් ඉගෙනගෙන තියනවා සහ දැනටත් ඉගෙනගන්නවා. එතකොට මේ පාසල දුවන්නේ ඒ ඒ අදාල දෙමව්පියන්ගේ ආධාර මුදල් වලින්. අන්න ඒ නිසා දරුවන්ගේ ආරක්ශාවට අපිට පිට කිසිම කෙනෙක්ට එහෙම තොරතුරු දෙන්න හැකියාවක් නෑ. අනික මිස්ටර් විජේවර්ධන ඉල්ලන්නෙත් දැනට අවුරුදු විසි පහකට එහා ඒවා නිසා ඒ තොරතුරු දැනට අපේ ඩේටා බේස් එකේ තියනවද නැද්ද කියලා මට හරියටම කියන්නත් අමාරුයි. මොනවා උනත් අපේ ඩිරෙක්ට බෝඩ් එකට මේ ගැන කියන්න වෙනවා මිස්ටර් විජේවර්ධන. එයාලගෙන් ඉල්ලීමක් කරලා , එයාලගෙ අනුදැනුම ඇතිව තමයි අපිට ළමයින්ගේ විස්තර ගන්න වෙන්නේ. ඒකට මං හිතන්නේ අඩුම දවස් දෙකක්වත් යනවා. “
විදුහල්පතිවරයා ඇඹුල් වූ මුහුණින් එසේ පවසා සිටියේය . අදාල මොහොතේම පොලිස් නිලධාරීන් දෙදෙනාට උදව් කිරීමට නොහැකි වීම පිළිබඳව මහත් සේ කණගාටුවට පත් වන බව උලුප්පා පෙන්වූවද ඔහුගේ හදවත තුළ කිසිදු අනුකම්පාවක් නොතිබුණු බව මනුහස්ට වැටහී ගියේය .
” මේක මෙහෙම හරියන්නෑ බං “
පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි ජීප් රථය නැවත වතාවක් මාර්ගයෙන් පසෙක නතර කර තබා බොහෝ වේලාවකට පසු මනුහස් තම කටහඬ අවදි කළේය.
” මුං අපිව මොක්කු කියලද හිතන් ඉන්නේ ? මෙහෙම හු#$& වෙද්දි තමා මේ කෙහෙල්මල් රස්සාවත් දාලා ගෙදර යන්න හිතෙන්නේ . “
මනුහස් කෝපයෙන් ගුගුළේය.
” ගේකට ගිහිල්ලා මොකෙක් ගෙන්වත් ප්‍රශ්න කරන්න බෑ. ඉස්කෝලෙට ඇවිල්ලා විස්තර එකතු කරන්න බෑ. මොන මඟුලක්ද මේ.. මෙන්න මේ…”
මනුහස්ගේ කතාවට බාධා කරමින් ඔහුගේ කාර්‍යාල දුරකතනය නාද වන්නට පටන් ගත් අතර සචින්ද්‍ර වහා එයට පිළිතුරු සැපවුයේය.
” හෙලෝ… ආ.. ටිකක් ඉන්න…”
සචින්ද්‍ර වහා මනුහස් දෙසට හැරුණේය.
” මිසිස් මල්දෙණිය “
කිසිවක් නොපැවසූ මනුහස් දුරකතනය අතට ගෙන එය කනේ තබා ගත්තේය.
” හෙලෝ…!”
” හෙලෝ මිස්ටර් විජේවර්ධන ..!”
අනෙක් පස දුරකතනයේ රැඳී සිටියේ වජිරා මල්දෙණිය බව මනුහස් කටහඬින් හැඳින ගත්තේය .
” මට මිස්ටර් විජේවර්ධනව මුණ ගැහෙන්න පුලුවන්ද ?”
” මේ වෙලාවෙ නං අමාරුයි මිසිස් මල්දෙණිය “
මනුහස්ගේ කටහඬෙහි කෝපයට එහා ගිය කළකිරීමක් හට ගෙන තිබුණේය. වරදක් ඇති බව දැන දැනම කෙතරම් උත්සාහ ගත්තද එය සෑම අතකින්ම ව්‍යර්ථ වී යද්දි ඔහුට ඉතිරිව තිබුණේ කළකිරීම පමණි. එලෙසම පොලිස් අධිකාරීවරයා තමා සමඟ පැවසූ ලෙසට මල්දෙණිය පවුලේ අයද මයන් මල්දෙණියගේ රහස ගැන දැනුවත්ද ? ඔවුන් මෙලෙස තමාට නැවත කිසිවෙකුටත් හොරා මෙහි විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසට දැනුම්දී තමාව අවතක්සේරු කිරීමකට ලක් කළාදෝ ? වැනි ප්‍රශ්න කිහිපයකින්ම මනුහස්ගේ හිත පිරී ගොස් තිබුණේය.
” මිස්ටර් විජේවර්ධන රෝයල් නයිට්ස් එකට ගිහිල්ලා , දෙදහා අවුරුද්දේ ඉස්කෝලෙන් පිටවෙච්ච ළමයින්ගෙ විස්තර ඉල්ලුවනේ. මේ වෙලාවේ මිස්ටර් විජේවර්ධනව මුණ ගැහෙන්න ක්‍රමයක් තියනවනං මට පුලුවන් මිස්ටර් විජේවර්ධනගෙ අතටම ඒ ඩොකියුමන්ට්ස් ටික දෙන්න. “
මනුහස් යටිතොළ තද කරගත්තේය. පාසලෙන් පිටව විත් මිනිත්තු විස්සක් පමණ ගත වන්නට ඇත . එකී කාලය තුළ තමා පාසලට ගිය බව , ගිය කාරණය හා තමාට අවශ්‍ය ලේඛන සියල්ලම මල්දෙණිය නිවසට ලැබී ඇත. තමා මීට වඩා මල්දෙණිය පවුල පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ඔහු තරයේ සිතට ගත්තේය.
” මං කොහෙටද එන්න ඕනේ ?”
” මං ලොකේශන් එකක් එවන්නං මිස්ටර් විජේවර්ධන . “
මනුහස් නිහඬවම දුරකතනය විසන්ධි කළේය.


