අංගාර – 27

0
1022

චායා   චරකගේ  කාර්‍යාල කාමරය  තුළට වී වැඩ කටයුතු ඇරඹුවා වුවද, සිතෙහි වූයේ නොඉවසිල්ලකි. රියැදුරන් වෙනුවෙන් වෙන්ව ඇති කාමරය ඇත්තේ ගොඩනැගිල්ලේ පහලම මහලේ එක් පසෙකට වන්නට බව ඕ දනි . සස්මිත මේ වෙද්දී සිටින්නේ ඒ කාමරයේ නම්, ඔහු අයියාගේ කාර්‍යාල කාමරය තුලට පැමිණෙන්නට හේතුවක් නොමැති බවද,  ඕ දනී. එසේයැයි කියා ඔහු කැඳවා ගන්නටද, ඔහු වෙත යන්නටද ඉඩක් නැත.

” ඇස් මානෙකට එන බලාපොරොත්තුවක්වත් නැතුව අවුරුදු ගානක් ජීවත් වුන උඹට, මෙවෙලේ පොඩ්ඩක් ඉවසලා වැඩ කරන්න බැරි නම්, තේරුමක්ම නෑ චායා … ඒ කොල්ලා මොන දුකක් පහු කරලාද උඹේ ඇස් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ කියලා හරි හැටි නොදෙන, මෙවෙලේ කොල්ලාව නිරාවරණය කරන එක නෙවෙයි කරන්න ඕනි …  ඉවසන්න ඕනි … “

චායා තමාටම කියා ගත්තාය. දෑස් වසාගෙන අදිටන් කරගත්තාය.

” නංගී …  “

එක්වරම චරකගේ අවධානය තමා මත බව වැටහෙද්දී, චායා උන් ඉරියව්වෙන් වැඩි වෙනසක් නොවී උන්නාය.

” ආහ් …”

” මොකෝ අවුල ..”

” නින්ද සෙට් වුනේ නෑ අයියා .. ඒ නිසා වෙන්නෝනි …”

“ඉතින්, කඩාගෙන බිඳගෙන මිනිස්ට්‍රි ආවේ මොකටද ? … මම එන්න කිව්වේ නෑනේ…”

” අර ස්කූල් ක්‍රිකට් එන්හෑන්සින් ප්‍රොජෙක්ට් එක කැබිනට් දාන්නෝනි නේ අයියේ …”

” හරි හරි බං …  ඒක බලන්න අරුන් දෙන්නා ඉන්නවානේ.. අනෙක එස්ටිමේට් එක  අකවුන්ටන්ට් මහත්තයා බලලා තිබ්බානේ….”

” හරි ඉතින් …”

” මට සස්මිත එක්ක වැඩ දෙක තුනකට යන්න තියෙනවා… ඒ ගමන් ගෙදරින් දාගෙන යන්නද ?..”

චායා ව්‍යාජ අකමැත්තක්ද පෙන්වූවාය. එහෙත් හිත පොපියමින් තිබුණි.

” හා එහෙනම් … යං .. මං ඔය දෙන්නාගේඉවෙන්ට් එක ෆයිනලයිස් කරලා දාන්නම් අද ගෙදෙරට වෙලා … ඔක්කොම හරි … තව එක මීටින් එකකින් හරි …”

” දවස ?..”

” ඔයා කිව්ව දවස වෙනස් කලේ නෑ අයියේ .. අම්මා නැකැත් බලලා ඒක හොඳයි කිව්වනේ .. තව පහු කරන්නෙපා කියලා අම්මලාත් කිව්වේ.. දැන් විහඟිටත් මාස හතරට එනවානේ අයියේ..”

” එතකොට තව සති දෙකයි ?..”

” ඔව් … විහඟිව මෙන්ටලි ඔය වැඩේට රෙඩි කරගන්න දැන්ම තියා … එකපාරටම ශොක් වෙන එකත් හොඳ නෑ සතුටට වුනත් …”

චරක හිස සැලුවේය. දෙදෙනා කැබ් රියට ගොඩ වූවෝය. චායා වැඩි ගනනකට නොගෙන සස්මිත දෙස බැලුවාය. ඔහු උන්නේ ගණනක් හෝ නැතිවය.

” ඔය ගෑස් මම බස්සන්නම්කෝ..”

චායා ඉතා කුඩා දැරියක සේ සිතුවාය. එලෙස සිතන  ඇසිල්ලෙන්ම  සිත තුළ මහ බරක් වන ලෙසින්ද දැනුණි.

” මං මේ සැහැල්ලුව, සතුට හොයා ගන්න උත්සාහ කලාට, මට කොයි තරම් ගින්දරක් එන්න තියේවිද කවුද දන්නේ?… සස්මිත මේ ඇවිල්ලා ඉන්නේ මට හිතාගන්න බැරි ජීවිතයක් අරගෙන වුනෝතින්… මට දරා ගන්න බැරි ජීවිතයක් නම් එයා මේ ගෙවමින් ඉන්නේ.. දෙයියනේ…”

චායා යළි සස්මිත දෙස් බැලුවාය. ඔහු චරක සමග යම් කතාබහකය.

” නංගි … මාව රත්මලානෙන් දාලා සස්මිත ඔයාව ගෙදෙරින් දාලා ඒවි …..  මට පරක්කු වෙනවා…”

චායාට දැණුනේ වචනයෙන් කියාගන්නට නොහැකි තරමේ අස්වැසිල්ලකි. ඕ ඒ බවක් නොපෙන්වා හිස සැළුවාය.

චායා අසුනට හිස තබාගෙන, දෑස් පියාගත්තාය. වෙනදාට මෙවැනි ගමනක් යද්දී සිතන්නේ යන මඟකදී හෝ සස්මිතව මුන ගැසෙනවා නම් කියාය. ඔහු කොහේ හෝ තැනකදී පසුවෙනවා නම් කියාය.

එහෙත්, අද වනවිට සියල්ල පෙරලී ගොස් ඇත. ඔහු තමාට ඉදිරියෙන් සිටින්නේය. තමා ඔහු දෙස බලා සිටින්නේය.

චරක රත්මලාන ගුවන් හමුදා කඳවුර තුලට ඇරලවා සස්මිත කැබ් රිය යළි ගාලු  පාරට දැම්මේය.

” චුට්ටක් නවත්තන්න …”

චායා එලෙස පවසන්නේ කුමක් නිසාදැයි සස්මිතට නොවැටහුණා නොවේ. එවැන්නක් තුල විය හැකි නපුරු සිදුවීම් ගැන නොවැටහුනාද නොවේ. එහෙත් ඔහුට එයට අවනත නොවී සිටින්නට හැකි වූයේ නැත. ඔහු මාර්ගයේ කොනකට වන්නට රිය නැවැත්වූයේය. චායා වහා කැබ් රියේ ඉදිරි අසුනෙන් හිඳගත්තේය.

”  මේක සර්ගේ ඔෆීශියල් කැබ් එක මැඩම් … මැඩම් මෙහෙම යන එක හරි නෑ …”

සස්මිත ඉතා අපහසුවෙන් ඇය දෙස නොබලා එලෙසින් පැවසුවේය. චායා එය ගණනකට හෝ නොගෙන අසුන් පටි දමා ගත්තාය. සස්මිතට කල හැකි වූයේ හැකි තරම් ඉක්මනින් ගමන් අරඹා ඇය නිවසට ඇරලවීමය.

” හෙමින් යමු .. ඇයි පියාඹන්නේ ?…”

චායා සස්මිත දෙස බලමින් විමසුවාය. සස්මිත  ඇය දෙස නොබලාම වේගය මදකින් අඩු කලේය.

” සස්මිත …”

චායා අසුන් පටි නොගලවාම මදක් ඔහු වෙත හරී, හැඬුම්බර හඬකට මාරු වූවාය. සස්මිත තමා තුල වන සියළු හැඟීම් හදවතේ යටම අඩියකට දමා ඉන්නට උත්සාහ කරමින් උන්නා වුවද, වසර දොලහකට පෙර උන් යුවතියගේ තානයෙන්ම ඇසෙන හඬ තුළ ඔහු ගේ පාලනය ඔහු තුලින්ම ගිලිහී යමින් තිබුණි.

“සස්මිත ..”

” කියන්න  මැඩම් …”

” මොන විකාරයක්ද සස්මිත … මං ඊයෙත් කිව්වා, අපි දෙන්නා ඉන්න වෙලාවටවත් ඔය මැඩම් මැඩම් ගාන එක නවත්තගන්න .. ඔයා මෙච්චර නාඩගමක් නටන දිහා මම බලාගෙන ඉන්නේ ලේසියෙන් කියලා හිතනවාද ?…”

” මට තේරෙන්නේ නෑ මැඩම් මොකක්ද කියන්නේ කියලා… මම ඊයෙත් කිව්වනේ මැඩම් .. මට මැඩම් කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ…”

” අනේ විකාර … මොන නාඩගමක්ද .. අවුරුදු දොළහක් තිස්සේ මම බලන් හිටියට පස්සෙත් , ඔයා මේකද කියන්නේ?.. මෙහෙමද මට කියන්නේ ?… මගේ මුලු ජීවිතේම අපායක් වෙලා .. මම මාව මරලා දාගෙන .. එහෙම උන්නට පස්සෙත්, ඔයා දැන් කියන්නේ මුකුත්ම තේරෙන්නේ නෑ කියලාද ?..”

චායා මහ හඬින් කෑ ගැසුවාය. සස්මිත මෝටර් රිය ධාවනය කිරීමේ වේගය වැඩි කලේය. චායා කෑ ගසා හැඬුවාය සස්මිතගේ දෙනෙත් තෙත් නොවුනා නොවේ. එහෙත්, ඔහුට එවැන්නක් වෙනුවෙන් ඉස්සර වීම කෙලෙසකින් නඩත්තු කල හැකි වේදැයි වැටහුනේ නැත.

” මැඩම් … අපි ගෙදරට කිට්ටු වෙනවා..”

චායා කිසිවක් නොපවසා දෑස් පිසදා ගත්තාය. අසුන් පටි ගලවා දමා සස්මිත වෙත එබුණාය. සස්මිත වහා වාහනය පසෙකට කර නැවැත්වූවේ පාලනය ගිලිහෙන බව දැනුන නිසාය.

” අයිති කරගන්න එක නෙවෙයි .. විශ්වාස කරගෙන බලාගෙන උන්න එකයි , අවුරුදු දොළහකට එහා මතකත් අද ඊයේ වගේ පරෙස්සම් කරගෙන ඉන්න එකයි තමයි මට බර .. මට අයිති වෙන්නේ නැතත් කමක් නෑ.. මේ විශ්වාසේ වැරදියි කියලා ඔප්පු කරන්න … මේ මතක බොරුවක් කියලා ඒත්තු ගන්වන්න .. මම ඉතුරු  ටික කරගන්නම් …මං කියන්නේ මොකක්ද කියලා තේරෙනවාද දැන්වත් ?..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here