” ගිය පයින්ම ඇයි පුතේ ?..”
” ඇඟට හරි නැහැ අම්මා ..අර අයියලාගේ වැඩේ ඉවර කරගන්නත් ඕනි නේ .. මම ඇරලවාගත්තා.”
චායා කාමරය තුළට රිංගා ගත්තාය. විහඟි ඕ පසුපසින් කාමරයට ආවාය. චායා පවසන්නේ කුමක්දැයි දන්නා නමුත් විමසුවාය.
” දවස් දෙකක් ගෙවුනා විහඟි … සස්මිත මාව දන්නේ නෑ, දැකලා නෑ ගානට ඉන්නවා… මම කොච්චරක් කල් ඉවසන්න ඕනිද තව ?…”
විහඟි උන්නේම එයට පිළිතුරු සූදානම් කරගෙනය. සස්මිත සිටින්නේද සුලු පටු පීඩනයක් සමඟ නොවන බවට සැක නැත.
” අහන්න චායා … මං මේ කියන්නේ උඹ මගේ නෑනා කියලා හිතලා නෙවෙයි .. මගේ ජීවිතේ මෙච්චර ලස්සනට හදලා දුන්න , මම උදේ හවා මල් තියලා වැන්දත් පවු නැති එකියක් කියලා හිතලා … පෙරේදා පලමුදා මේ වෙලාව වෙද්දී උඹ ප්‍රාර්තනා කර කර උන්නේ, සස්මිත ඉන්න දිහාවක පරෙසමින් ඉන්නෝනා, ඒ ඉන්න බව දැනගන්න ලැබෙන්නෝනා කියාලා… ඒ වුනාට හීනෙකිනවත් නොහිතපු විදියට, සස්මිත අයියාගේ ඩ්‍රයිවර් පෝස්ට් එකට කඩාගෙන වැටෙනවා.. ඒකත් ආයේ හොල්ලන්න බැරි රෙකමන්ඩේශන් එකක් එක්කල…. දැන් සස්මිත ඉන්නේ උඹේ ඇස් ඉස්සරහ චායා … ඔය කියන දවස් දෙක කියන්නේ, උඹ ඉවසගෙන උන්න අවුරුදු දොළහ එක්කල කොච්චර පොඩි කාලයක්ද කියලා, උඹට නොතේරෙනවා නෙවෙයි නේ… සස්මිත මේ එකපාරටම මෙහෙට ඇවිල්ලා, උඹේ ඇස් ඉස්සරහ ඉන්නේ නිකම්ම නෙවෙයි කියලා අපි දෙන්නටම තේරෙනවානේ චායා .. සමහරවිට, මේ ගමන වෙනකල් එන්න ඌ අවුරුදු ගානක් කටු කන්න ඇති .. මහන්සි වෙන්න ඇති .. අපි දන්නේ නෑ … ඒ ඔක්කොම නැති වෙලා යනවා මේ උඹේ පුක් ගාය හින්දා … ඉවසන්නෝනි කියනෙක නොතේරෙනවා නෙවෙයි නේ.. නේ ?..”
චායා හීන් හඬින් ඉකිබින්දාය. හැඬුම් නොනැඟුණ දවස් නොතිබුණි. එහෙත් ඒ හැඬුම් සඟවා ගන්නට තරම් තමා දක්ෂව උන් බව චායා කල්පනා කලාය. කිසිවෙකුට කිසිවක් සිතන්නටවත් ඉඩ නොදී තමා ජීවිතය හැඩ ගස්වාගත් බවද, සිතුවාය. ඒහෙව් තමාට මේ සිදුව ඇත්තේ දරා උන් පීඩනය පුපුරා යෑම නවතා ගන්නට තරම් සවියක් නොතිබීම නොවේද ? අඩු තරමේ සස්මිත ” චායා ..” කියා තමා අමතා, එකම එක ලෙංගතු හාදුවක් දෙනවානම්, තමා තවත් කල්පයක් වුවද බලා සිටින බව චායා සිතුවාය.
” චරක අයියාට මේක කොහෙන් හරි ඉව වැටුනොත්, එයා මේක කොයි කොනෙන් අල්ලා ගනීවිද අපි දන්නේ ණෑ චායා .. එයා මේක හරිම කොනෙන් අල්ලාගන්න බව තහවුරු වෙනකල්, උඹ හොඳටම ඉවසන්න ඕනි රත්තරනේ… අයියා ශේප් වුනොත් තාත්තා ශේප් කරගන්න පුලුවන් .. ඉන් එහා අම්මා අවුලක් හදන්නේ නැති වෙයි කියලා අපට හිතන්න පුලුවන්නේ ?…”
චායාගේ ඉකි බිඳුම අඩුව තිබුනේ නැත. එහෙත් විහඟි දින දෙක පුරාවටම පවසන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි ඒ කඳුලු අවසන ඕ වටහා ගන්නට උත්සාහ කරමින් උන්නාය.
” මම මේ කියන්නේ සස්මිත, චායා කියලා කතා කලත්, ඒක නෑහුන ගානට ඉඳලා මේ කතාව සෙට්ල් කරන පාත් එක හොයන එකය් මෙවෙලේ යුතු කියලා .. චරක කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මට වඩා දන්න කෙනා චායා උඹ …”
චායා හිස සැලුවාය. යළි යළි හිස සැලුවාය.
” තේරුණා .. මට තේරුණා විහඟි .. මෝඩ වෙන්නේ නැහැ.. මම මෝඩ වෙන්නේ නැහැ… මෙච්චර ඉවසුවේ, කිසිම දෙයක් නැති කරගන්න නෙවෙයි නේ …”
‘
” අන්න හරි .. හෙමින් තාලෙ ස්ටුඩියෝ එකේ වැඩේ පටන් ගන්න .. එතන බිසි වෙන්න .. සස්මිත පාරක් හොයාගනි ..උඹත් හොයපං ,… මාත් හොයන්නම් … අපි හොයමු …”
චායා විහඟිව වැළඳගත්තාය. සහෝදරියක සිටීම මෙවන් හැඟීමක් බව විහඟි තමාට ඒත්තු ගැන්වු වාර එක දෙකක් නොවන බව, චායාට සැනින් කල්පනාවට ආවේය. ඕ තමා ඉදිරියෙන්ද, පසෙකින්ද නිතරම උන් සවිය විය.
සස්මිත අමත්‍යාංශයට යන අතරමඟ කැබ් රිය නවත්වා වාහනයෙන් බැස්සේය. හදවතේ වූ සියලු වේදනාවන් හදවතෙහිම යට අහුරා ඉතා ගැඹුරු සුසුමක් ඒ මතට දැම්මේය. ජීවිතය ගෙවුනේ බලාපොරොත්තු වූ අයුරින් නොවේය. එය එසේ වූවාය කියා සිදු කල කිසිම දෙයක් ගැන සස්මිතට පසුතැවීමක් නැත. අක්කාගේ ජීවිතය දැන් ගෙවෙන්නේ මල් යහනාවක් මතය. වසර දහ තුනකට පෙර ඇයට එවන් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් හෝ වූයේ නැත. අම්මා සහ තාත්තා සිටින්නේ, ඔවුන් ප්‍රාර්තනා කල පරිදිම නැතත්, සැනසීම මද පමනින් හෝ විඳිමිනි. අක්කාගේ සහ මස්සිනාගේත් දරු දෙදෙනාගේත් ආදරය ඔවුන් දෙදෙනාගේ ජීවිත වර්නයෙන් පුරවා ඇත. ඔවුන්ට ඇති වද වීම, තම ජීවිතය පිළිබඳවම පමණි. එය තම තෝරාගැනීම බව සිය දහස් වතාවකට වැඩියෙන් ඒත්තු ගැන්වූ පසු ඔවුන් යම් සැනසීමක් වෙනුවෙන් සූදානම් බවද ඔහු දන්නේය.
එහෙත්, සියලු ජීවිත එතරමින් සැනසී සිටින මාවත තමා සකසා තිබියදී චායාගේ ජීවිතය ගෙවී ඇත්තේ සුව පහසු මඟක නොවන බව සස්මිත නොදැන උන්නා නොවේය. එහෙත්, එකල තමා උන්නේ ඇය අස්වැසීම වෙනුවෙන් අංශුමාත්‍රික දෙයක් හෝ කල හැකි ඉමක නොවේය. අවසානයේ සියල්ල බිඳෙන් බිඳ සකසාගෙන , ඇය සමීපයට එන්නට තරම් තමාට හැකි වූ බව සස්මිත වාහනයේ බඳට හේත්තු වී කල්පනා කලේය. එහෙත්, ඉන් ඉදිරියට කල යුත්තේ කුමක්දැයි සස්මිතට තවම වැටහෙන්නේ නැත.
” කොල්ලෝ .. උඹට මේකට බෑ කියන්න මට බැහැ …. උඹ කලේ සුලුපටු කැපකිරීමක් නෙවෙයි …. ඒ හින්දා මම මේ වැඩේ කරලා දෙන්නම් .. හැබැයි, ඉන් එහාට මට කිසිම දෙයක් කරන්න බැරි වෙයි .. චායා දුව කියන්නේ දැන් තනිකරම ගලක් … චරක පුතා ඉන් එහා සමහට කාරනා වලදි …උඹට ඔලුව ගහගන්න වෙන්නේ එහෙව් දෙන්නෙක් එක්ක .. “
විජේසිරි මහතා පැවසූ අයුරුද සස්මිතට සිහි වූයේය.
යළි ඉතුරු වූයේ ගැඹුරු හුස්මකි.
” ඉවසගෙන ඉන්න රත්තරන් … මේ හැමදේම පැටලෙව්වේ මම … මමම මේ ඔක්කොම ලිහන්නම් ..”
සස්මිත ඊයේ දිනයේදි තම ජංගම දුරකතනයේ රහසින්ම සටහන් කරගත් චායාගේ සේයාරුවය එලෙස කීවාය.
ඇගේ හඬ සවන් පාමුලින් ඇසෙනවා සේ දැනෙද්දී, සස්මිතට එතෙක් වේලා දැනෙමින් තිබූ බර මදක් තුනීව යනව සේ දැනුණි.
“පිස්සි … මාව සංසාරේට අල්ලලා බැඳලා තියාගන්නේ උඹයි කෙල්ල ….”


