චරකගේ සහ විහඟිගේ විවාහයේ එළි දැක්වීමේ උත්සවය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. විහඟි එවැන්නක් වෙනුවෙන් යම් කැමැත්තකින් උන්නා වුවද, පසුව එවැන්නක් අවැසි නොවන බවද පවසමින් සියල්ල යළි අවලංගු කරන ලෙසද ඉල්ලමින් යම් අරගලයක් කලාය.
” මොකක්ද දැන් ප්‍රශ්නේ කියලා ඉන්නකෝ ඉතින් ?..”
තමාට උත්සව, සාද, ප්‍රසිද්ධ වීම් කිසිවක් අවැසි නොවන බව පවසමින් හඬා වැටෙන විහඟිව තමා වෙත නතු කර ගනිමින් විමසුවේ පරිඝනකයෙහි වූ ව්‍යාපෘතියක් මතද දෑස් රඳවා ගනිමිනි.
” එහෙම ඕනි නැහැ .. දැන් වෙඩින් එක අරගෙන තව මාස හයක් යනකොට බබා ලැබුනම මිනිස්සු කතා කියාවි අයියේ … ඒක ඔයාට හොඳ නෑ …”
චරක සිනාසෙමින් විහඟි මතම දෑස් රැඳවූයේය. කඳුලු පිස දැමුවේය.
” ඒක මට හොඳ නැති වෙන්නේ කොහොම වුනානම්ද කියලා ඔයා දන්නවා මැණික ?.. දැන් මේ වෙන්න යන මොක වුනත්, මට හොඳකට මිස නරකකට වෙන්නේ නෑ .. කසාද බඳින්න කලින්, අපට දරුවෙක් හැදුනා .. අපි කසාද බැඳලාම ඒ දරුවාව උස් මහත් කරන්න තීරණය කලා … එච්චරයි … ඒකට මිනිස්සු කොහොම කොච්චර කතා කිව්වත්, අපි ඒ කිසි දෙයක් දණහිසෙන් උඩට ගන්න ඕනි නෑ මැණික … අනෙක ඔය කියන කතා ඔක්කොම සතියයි නැත්නම් දෙකයි .. ඉන් එහාටත් ඔය කතා කියව කියව ඉන්න මොකෙක් හරි උන්නොත්, ඒ මිනිහා ඇවිල්ලා ජීවිතේ පට්ටම ඇරියස් එකක් එක්ක ඉන්න එකෙක්… තේරුනාද ?.. ඒ හින්දා, රට්ටුන්ට බයේ හීන මරලාදාන්න ලෑස්ති වෙන්න එපා.. මේ ආස දේනේ.. නංගී මේ ඔක්කොම ලෑස්ති කරන්නේ ඔයා ආසම විදියට.. නංගිත් ජීවිතේ මහ බරක් දරාගෙන ඔලුව උස්සන්න හදන ගමන්, මේ කරන දේට අපි වටිනාකමක් තියන්න එපැයි …”
අවසානයේ විහඟි එකඟ වූවාය. චරකගේ පියාගේ හිතවතුන් පටන් බොහෝ දෙනාට ආරාධනා කර තිබුණි. සැලසුම් කර තිබූ ප්‍රමාණය ඉක්මවා යන ප්‍රමාණයක සෙනඟක් වෙනුවෙන් යළි සැලසුම් සකසා සියල්ල වෙනස් කර සූදානම් කර තිබුණි.
විහඟි සහ චරකට ආශිර්වාද කල බොහෝ දෙනා අතරේ, විහඟි දෙස ඉරිසියාවෙන් බලා උන් දෑස් කිහිපයක්ද විය. ඒ චරකගේ ව්‍යාපාර සගයකුගේ දෙමාපියන් සහ නැගණියය.
” අර හිඟන්නි කොහොම චරකගේ කරේ එල්ලුණාද මන්දා අම්මේ..”
” ඒ කොයි හිඟන්නිත් දන්න මායම් ටික ඔක්කොම දාලා වැඩේ කරගත්තා.. කොහෙද ඉතින් උඹලාට බැහැනේ…”
” මම හිතුවේ චරකගේ අර ස්කූල් ප්‍රොජෙක්ට් එකට හොඳ ස්පොන්ශර්ශිප් එකක් දීලා චරක එක්ක ක්ලෝස් වෙන්නනේ අම්මේ… කොහෙද ඉතින් , මේකි පැන්නානේ මැදට .. එහෙමයි කියලා මම නවතින්නේ නෑ .. මම චරකට ට්‍රයි කරන්නේ කොච්චර කල් ඉඳන්ද ?.. අයියා එක්ක බිස්නස් පටන් ගන්න කාලේ ඉඳන්ම …”
චරක විහඟිගේ අත අත් නොහැරම උන්නේ ඇය නන්නාදුනන බොහෝ දෙනා අතරේ තනි වේය යන බිය දැනුන නිසාය. ඇගේ කියා පැමින තිබුණේ අඟුණකොලපැලැස්සේ උන් නැන්දලා පමණි.
සස්මිත සමඟ ඔවුන් කුළුපඟව කතාබස් කරනු දුටුවද, චරකට ඒ පිළිබඳව විමසන්නට හෝ සිතන්නට ඉඩක් නැතිවම යටි සිතෙහි සැඟවී ගියේය.
දවසේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබුණි. චරක සහ විහඟි නිල මධුසමය වෙනුවෙන් නුවර එළිය බලා පිටත්ව යන්නට කටයුතු සකසාගෙන තිබුනේ වෛද්‍ය උපදෙස් වලටද අවනතවය. සස්මිතට අවශ්‍ය නම් දින කිහිපයක් නිවාඩු ලබාගෙන, ඉන් පසුව නුවර එළීයට පැමිණෙන ලෙස චරක දැනුම් දී තිබුණි. එහෙත් සස්මිත පවසා සිටියේ නිවාඩු අවශ්‍ය නොවන බවය.
එනිසා සස්මිත දෙදෙනාගේ රියැදුරා ලෙසින් නුවර එළිය බලා පිටත්ව ගියේය. චායා චරක සහ විහඟි වැලඟගනිමින් හඬා වැටුනාය.
” මේ බලන්නකෝ අයියාගෙයි නංගිගෙයි ආදරේ ..”
සියල්ලෝම එලෙසින් පැවසූහ. එහෙත් ඒ හැඬුමට සැබෑ හේතුව කුමක්දැයි දැන උන් විහඟි, චායාගේ සවනට ලංව තර්ජනය කලාය.
” ඕවර් ඇක්ටින් …. ඔච්චර අඬන්නෙපා වදේ… සස්මිතයා සතියක් තියාගන්නේ නෑ .. මම දවස් දෙකෙන් යමු කියලා කියන්නම් … දැන් මේ ලෑස්ති කරන් ඉන්න එකේ බෑ කියන්න බෑනෙ ..”
චායා විහඟිව තවත් තදින් වැලඳගත්තාය.
” මට සස්මිතගේ මොබයිල් නම්බර් එක අරන් දෙන්න අයියගෙ ෆෝන් එකෙන් ..”
“එවන්නම් එවන්නම් … ඔය ඇඬිල්ල නවත්තගන්නවා…”
චරක චායාගේ හිස සිම්බේය.
” බොරුවට අඬන්නෙපා තේරුනාද ?.. මාව එලවගන්න නේද බලාගෙන උන්නේ…”
චායා චරකගේ උරිස්සරට පහරක් ගැසුවාය. සිනාසුණාය.
පසුදින චායා ඇහැරුනේ ගත තලා දැමූ වෙහෙස එක්කය. එහෙත් අයියා සහ විහගි වෙනුවෙන් අඩුපාඩුවක් නැතිවම දිනය සකසා දෙන්නට හැකි වීමේ ප්‍රීතිය ඕ තුල විය. විහඟි එවා තිබූ සස්මිතගේ අංකය දෙස ඕ යළි බැලුවාය. ඇමතුමක් ගැනීම කිතියක් සේ දැනෙන්නේය.
එලෙසම දින දෙකක් ඉවසා බලා සිටින්නයැයි යටි සිත කියන්නේය.
” සස්මිතට කොච්චරක් ඉවසීමෙන් ඉන්න පුලුවන්ද කියලා බලන්නත් හිතෙනවා.. ඒත් ඉතින්, එයා මෙච්චරකල් කිසිම දෙයක් නොකර උන්න එකේ මේ දවස් දෙක ඉන්න එක මහ දෙයක් නෙවෙයිනේ … “
ඕ එලෙසද සිතුවාය. ගත දොවාගෙන උදෑසන ආහාරය ගත් ඕ අම්මා සහ තාත්තා සමඟ කෙටි කතා බහකද උන්නාය.
” දැන් ඊලඟට ඉතින් ඔයා පුතේ ..”
අම්මා එලෙස පවසද්දී, ඒ අදහස් කරන්නේ කුමක්දැයි දැන දැනම, ඒ බව නොවැටහුනාක් මෙන් අම්මා දෙස බැලුවාය.
‘
” අර කොට්ටාවේ ලොකු අම්මා ඔයාගේ කේන්දරේ ඉල්ලුවා දවස් කිහිපයක්ම.. අහන්නේ නැතුව දෙන එක හරි නැති නිසා මම දුන්නේ නෑ .. මොකෝ කියන්නේ.. නිකමට දීලා බලන්නද පුතේ ?.. ඒ මනුස්සයා එහෙම ආවට ගියාට ගලපන කෙනෙක් නෙවෙය්නේ ..”
චායා ගේ හදවත තුල වූ ගැස්ම පිටතට නොපෙනෙනන්නට මෙන් සිතා, ඕ ඉරියව් වෙනස් කරමින් හරි බරි ගැසී හිඳගත්තාය.
” ඒ මොකටද ?..”
” ඔයාට දැන් තිස් තුනක් පුතේ.. බලන්න .. විහගි … එයා තිස් තුනට දරු පැටියෙකුත් හදාගන්න ළෑස්තියි ..ඔයා තවම කිසිම බරක් ගන්න සූදානම් නෑනේ.. අපිට කියලා මහ ගොඩක් නෑනේ..අයියයි ඔයයි විතරනේ..”
” අනේ අම්මේ … මගේ ඔලුව නම් විකාර කරන්න එපා .. මම මේ අයියගෙ වැඩ වලින් අයින් වෙලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න හැදුවා විතරනේ..”
” ඉතින් පුතේ… ජීවිතේට ගැලපෙන පාර්ට්නර් කෙනෙක් එක්ක ඉන්නකොට රිලැක්ස් එකේ ඉන්න බැරිද ?..”
” වෙන්නැති .. පුලුවන් ඇති .. ඒත් , මට දැන්ම ඕනි නෑ අම්මේ ..ප්ලීස් ..”


