අංගාර – 31

0
1172

තමා සන්තකයේ සස්මිතගේ  දුරකතන අංකය නැතැයි සිතමින් , යම් යම් කාර්‍යයන් වෙත සිත යොමු කරමින් චාය දෙවන සම්පූර්ණ දවසද ගෙවා දැමුවාය. එහෙත් පසුදා උදෑසන පෙරලා පැමිනෙන්නට නියමිතව තිබූ ගමන, චරකගේ රාජකාරිමය කටයුත්තක් නිසාවෙන් පසුදිනට කල් ගිය බව විහඟි පැවසූ පසු උදා වුණු රැය චායාට ඉවසීමෙන් සිටිය හැකි වූයේ නැත. ඕ යහනේ පෙරලෙමින්, ජංගම දුරකතන එහෙ මෙහෙ දමමින්, තබමින් ද කුමක් කරන්නදැයි කල්පනා කලාය. අවසානයේ, ඕ සස්මිත අමතමින් උන්නාය.

පසු දිනට පිටත්වන්නට තිබූ ගමන දවසක්න් කල් ගිය බව චරක පැවවුවාට පසු සස්මිත  යම් වේලාවක් යනතුරු  නොරිස්සුමක් සහ යම් කලබලයක් සමඟ උන්නේය. එහෙත් තමාට එලෙසින් නොරිස්සුමක් ඇති කර ගැනීමට තරම් අයිතියක්වත් ඉඩකඩක්වත් නැති බව සස්මිත තමාටම ඒත්තු ගන්ව ගත්තේය. යුවතිය මතකයක් පමණක් නොවී රැක ගැනුමට නම්, අතිශය දරා  ගැනීමක් කරන්නට සිදු වේය.

සස්මිත උන්නේ  චරකගේ අවසරය ඇතිව නුවර එළිය නගරයට ගොසිනි.

ජංගම දුරකතනය නාද වෙද්දී ඔහු එය අතට ගත්තේ ඇමතුම කාගෙන් විය හැකිදැයි අවබෝධයක් නැතිවය. එහෙත් තිරයේ වැටී තිබූ, තවමත් නොවෙනස්ව ඇති ඇගේ අංකය දුටු සස්මිතගේ සියොළඟ මොහොතකට ගල් ගැසුණේය. නුවර එළියේ සීතල ඉක්මවන සීතලක් ඔහු තුල විය.

කුමක් කල යුතුදැයි සිතා ගන්නට අපහසුය. එහෙත් ම ඇමතුම මඟ නොහැර ගැනීමේ උණුසුම සස්මිත එක්වරම වෙලා ගත්තේය. ඔහු වාහනය පසෙකට කර නවතන අතරේම ඇමතුමට  පිළිතුරු දුන්නේය.

” හෙලෝ  මැඩම් ..”

එවර තිගැස්සුනේ චායාය. එලෙසනම්, ඔහුගේ අංකයද, දුරකතනයද මාරු වූවාට තමා එහි සුරැකී හිඳ ඇත.

” සස්මිත …”

චායා කෙල පිඬක් , දෙවතාවකට වන ලෙසින් ගිල දමා කතා කලාය.

” කියන්න මැඩම් ..”

” කොහේද ඉන්නේ ?…”

” මේ  සර් කිව්වා විහඟි මිස්ට අරගෙන යන්නත් එක්ක පළතුරු ටිකක් ගේන්න කියලා. මම ටව්න් එකට ආවා…”

” විහඟිට පළතුරු අරන් දෙන්න අයියා ඉන්නවනේ.. ඔයා මොකටද ඒකට රස්තියාදු වෙන්නෙ?…”

චායා කෝපයෙන් විමසුවාය. ඒ කෝපයෙන් සස්මිතගේ උණුසුම්ව තිබූ හදවත මත තව තවත්, උණුසුම් ත්වුම් තැනුවේය. ඇය මේ පෙන්වන්නේ අයිතිය නොවේද ?. තමාගේ සියලු අසාධාරනකම් වලට පසුවද, ඇය තමා වෙනුවෙන්ම පෙනී සිටීමේ හැඟීමද සස්මිත වඩා වඩා ආඩම්බරකාර ප්‍රේමයක උරුමක්කරුවෙකු කරමින්  වෙලා ගත්තේය.

” සර් මගේ බොස් නේ මැඩම් ..”


” අනේ ඔය විකාරේ නවත්තගන්නවා සස්මිත … ඕක  නවත්තන්නේ නැත්නම් මම අයියලා එන්න කලින් යනවා යන්න ඔලුව හැරිච්ච අතේ එකෙක්ටවත් ආයේ මාව හොයාගන්න බැරි වෙන්න …    මං කිව්වොත් ආයේ හිත හිත ඉන්නේ නෑ කියලා ඔයාට අමතක වෙන්න විදියක් නෑනේ…”

චායා අවසානයේ උස් හඬ හිතාමතාම පාලනය කරගත්තාය. සස්මිත ගොලුව උන්නේය. චායාද තම කෝපය දරාගන්නට නොහැකිව  නිහඬ වූවාය.

සස්මිත, ගැඹුරු සුසුමකින් ජීවිතය තීරනය කලේය. ඇයගේ විඳවීම අවසාන කිරීම තවත් පසු කර යුතු නොවේය.

” චා … යා ……”

සස්මිතගේ හඬ අවසානයේ චායා මහ හඬින් හඬා වැටුනාය. මරු කතරකට දිය බිඳක් වැටෙන හැගීම මෙලෙසින් වන්නට ඇත. වසර දොළහක්, මාස එකසිය හතලිස් හතරක්, දින හාරදාස් තුන්සිය අසූවක්, පැය එක් ලක්ෂ පන්දහස් එකසිය  විස්සක්, විනාඩ් හැට තුන් ලක්ෂ හත්දහස් දෙසීයක් අවසන් වීම දරාගන්නට චායාට හැකි හොඳම විදිය මේ අවසාන කදුළු දිය කිරීම විය හැක.

” අනේ ….”

චායා අවසානයේ එලෙස කීවාය.

” අඬන්නේ නැතුව ඉන්න .. මෙච්චර කල් හිටියානේ ?… ම්ම්ම් ..”

සස්මිත නවතා  තිබූ වාහනයෙන් බැස්සේය. ස්වීටරයක්වත් පැළැඳ නැති නිසා ගතට අසාමාන්‍ය සිසිලසක් දැනිය යුතුය. එහෙත් ඔහු උන්නේ උණුසුම් වෙමිනි.

” දෙයියනේ .. මේ හීනයක්ද සස්මිත … ඔයා .. ?”

” නාඬා ඉන්නකෝ කෙල්ල … ම්ම්ම් .. අම්මාත් බලාවි … මම එනවානේ .. අපි කතා කරමු …”

චාය යහනේ කෙලින් වී හිඳගෙන ජංගම දුරකතනය උරිස්සත් සවනත් අතරේ රඳවාගෙන, දෑතින්ම කඳුලු පිස හැරියේය.

” මොකද වුනේ දෙයියනේ… කෝ අම්මලා ?.. කෝ අක්කා ?…”

චායා නොඉවසිල්ලෙන් ඇසුවාය. ඒ පිළීතුරු බලාපොරොත්තුවෙන්ම නොවේය. වසර දොලහක හිස් තැන පියවාගන්නට එක්කය.

” ඔක්කොම කියන්නම් .. ම්ම් .. දැන් ඒවා අමතක කරන්නකෝ .. මම ඇවිල්ලනේ ඉන්නේ?..”

” මාව හොයාගෙනමද ආවේ ?…”

” පොලිටික්ස් තිත්ත වෙලා උන්න මම , ස්පෝර්ට්ස් මිනිස්ටර්ගේ ඩ්‍රයිවර් වෙලා වැඩකට එන්න තරම් වෙන හේතුවක් තියෙන පුලුවන් කියලා ඔයාට හිතෙනවද කෙල්ල ?.. සස්මිත වෙනස් වෙලා නෑ… ඉස්සර වගෙම තමයි .. ආදරේ කරන උන් වෙනුවෙන්, ජීවිතේ වුනත් අතාරිනවා…”

” මගේ රත්තරන් … අසනීපයි කියලා අයියාට කියලා, බස් එකේ නඟින්නකෝ .. එන්නකෝ ..”

”  හෙට අයියාට ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් එක්කල, මෙහෙ ආණ්ඩුකාර ඔෆිස් එකේ මීටින් එකක් කෙල්ල .. ඒක හරි ගියොත් නුවරැළියේ ඉස්කෝල  බර ගානකට නොමිලේම ප්‍රොජෙක්ට්ස් සෙට් වෙනවා… මෙවෙලේ, මම එයාව කලබල නොකර ඉන්නම් නේද ?…  ඌ වැඩක් කරන්න කට්ටක් කන එකෙක් නේ.. ඒ නැතත්, මගේ මස්සිනානේ …”

සස්මිත ගේ පැහැදිළි කිරීමේ ස්වරයෙහි තාලය බිඳකින්වත් වෙනස්ව නැතැයි චායා සිතුවාය.  ඔහු වගකීම් දරන්නේ තමාද වෙනුවෙන් නොවේද ?.

” හා…”

” කාලාද ඔයා ?..”

” හ්ම්ම් …. ඔයා ?..”

” කෑවා … කෙල්ල … “

” පළතුරු ටික අරන් රෑ නොවී හොටෙල් එකට යන්න .. මම ලයින් එකේ ඉන්නම් එතකල් …”

” තවම පහට නෑනේ… පස්සේ පළතුරු ගන්න පුලුවන් … කියන්න ඔයා …”

සස්මිත කවදත් චායා ගේ කියවීම් ඉවසීමෙන් අසා උන්නේය. බහුතරයක් පිරිමි කියවන ගැහැණුන්ගේ කියවිලි සමච්චලයෙන් බැහැර කරද්දී, සස්මිත ප්‍රිය කලේ අසා සිටින්නය.

“දෙයියනේ…”

චායා ගොලුව උන්නාය.

“එදා  අර කුර්තා එකකුත් පටලවාගෙන ඇවිල්ලා .. මාව පිස්සු වට්ටලා.. අයියාගේ වෙඩින් එක දාත් කුර්තාවක් ඇඳගෙන මාව ආයෙම පිස්සු වට්ටවලා… කොච්චරක් කල් එහෙම මාව චෙක් කරන්නද හිතුවේ ?.. ආහ් ..”

එක්වරම සස්මිත එලෙසින් විමසුවේය. සරසවි කාලයේදි අතුරුදන් වූ පෙම්වතා, වයසි  මුහුකුරා ගිය පිරිමියෙකු වී පැමිණ, ඒ අතුරුදන් වෙද්දී උන් සිතුවිලිම තමා ඉදිරියේ ජීවමාන කිරීමේ ප්‍රීතියෙන් චායා ක්‍රම ක්‍රමයෙන් තෙමෙමින් උන්නාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here