අංගාර – 33

0
131

 රැය පහන් කරමින් ඇමතුමේ සිටින්නට අවැසි වුවද චායා වගකීම් සහගත වූවාය. සස්මිත දරන්නේ ඔහුගේ සේම අයියාගේ සහ විහඟිගේද  ජීවිත වල වගකීමය. සුව නින්දකින් ඇහැරිය යුතුය.

එහෙත් සස්මිතට ඇමතුමෙන් මිදෙන්නට අවැසි වූයේ නැත.

” ඔහොම ඉන්න .. එහෙම කලබලයක් නෑ …”

” ම්හ්හ් … ඔහේ තියෙන්නේ මෙහෙ වගේ පාරවල් නෙවෙයි නේ … දැන් නිදාගනිමු …”

” නිදාගන්නම් කියලා ෆෝන් එක තිබ්බට දෙන්නාටම නින්ද යන්නේ නෑනේ කෙල්ල .. ම්ම්ම් … මෙහෙම ඉමු .. නින්ද යනකොට නින්ද යාවි …”

තවත් පැය දෙකකට කතාව ඇඳුණි. අතීතය යන්තමකින්වත් ඇඳුනේ නැත. වර්තමාන දේශපාලනික තත්වයන් වැඩියෙන් සංවාදයට ගැණුණි. සස්මිත උන්නේ චායා හා හරි හරියට දේශපාලන තත්වයන් ගැන විශ්ලේශණයන් සිදු කිරීමේ හැකියාවන් එක්කය. චායා විටෙක ඒ ගැන  විමතියට පත් වූවාය. ඒ බව ඇඟවූවාය.

පළමුව නින්දට වැටුනේ චායාය. විසන්ධි නොවූ ඇමතුම ඔස්සේ ඕ දෙස බලා උන් සස්මිත ඉන් අඩ පැයකට පසු නින්දට වැටුණේය. වසර දොලහකට එපිට සමුදුන් ඇය, ඒ සෙනෙහෙන්ම තමා වැළැඳගැනීමට අඟ බලා හිඳීමේ විශ්වාසයට සස්මිතට නමක් දෙන්නට වැටහුනේ නැත. තමා ඇය දෙස බලා උන්නේ ඇය ගැන යමක් හෝ දැන දැනය. ඇයව විටින් විට හෝ ඇසීගෙනය. එහෙත් ,  ඕ බලා උන්නේ මිරිඟුවක් දෙසය. කලු කුහරයක් දෙසය.  තමා කියා අයෙකු එන දිනයක් තබා, තමා කියා කෙනෙකු ඒවිදැයි කියාවත් ඕ දැන උන්නේ නැත. එහෙව් ප්‍රේමියක වෙනුවෙන්, හුස්ම පවා කැප කිරීමට දෙවතාවක් නොසිතිය යුතු බව සස්මිත සි9තුවේය.

පසුදින චරකගේ වැඩකටයුතු සවස දෙක වෙද්දී නිම විය. සස්මිත චායාට කෙටි පණිවිඩයක් තැබුවේය.

” කෙල්ල … අපි ගෙදර එනවා … “

චායා ඇමතුමක් වෙනුවට, ආශිර්වාදය පමණක්ම යවා නිවෙසටම වී උන්නාය. ඇයට නිවසින් පිටතට යනවාටද වඩා අවැසි වූයේ සස්මිත නිවසට පැමිනෙන තෙක් මඟ බලන්නටය. ඕ විහඟිට පවා  පෙරදින රැය පිළිබඳව කිසිත් පැවසූයේ නැත. අවැසි වූයේ සස්මිත සහ තමා පමණක් දන්නා රහසක වෙලෙන්නටය.

” ඔයා පුදුමයි .. දවස් ගානක්  ගෙදරට වෙලා හිටියා  පුතේ …”

චායා මුලුතැන්ගෙය වෙත ගොස් එහෙ මෙහෙ හැරෙද්දී අම්මා එලෙස කීවේ සිනාසෙමිනි. චායා අම්මාට රැවුමක් පා කලාය.

” දැන් අම්මයි තාත්තයි දෙන්නම වයසයි පුතේ ..ඔයා ඔය දුවන රේස් එක ටිකකට නවත්තගෙන මෙහෙම හරි නවතින්න හිතපු එක ගැන මට පුදුම සතුටුයි …. ඔයා මේ අවුරුදු ගානටම අසනීපෙකදිවත් දවසකට එහා ගෙදර ඉඳලා නෑ..  ඒ හිටියත් එක්කෝ කාට හරි ඕර්ඩර්ස් දෙනවා.. එක්කෝ මොකක් හරි ගැන තරහ අරගෙන කියවනවා.. එක්කෝ ලැප් එකේ මූන ඔබාගෙන .. ඔලුව උස්සන්නේ නෑ.. එලි පහලියට මෙහෙම බැහැලා ඉන්නකොටත් මගේ හිතට සැනසීමයි පුතේ …”

චායා අම්මාගේ වචන කඩු තුඩු ලෙසින් හද පාරවන බව දැනෙද්දී, ඒ බවක් නොපෙන්වා ඉන්නට මෙන් ශීතකරණයේ වූ පළතුරු යුෂ බෝතලයකින් අඩක් හිස් කලාය.

” ඔයා ඔය අයියා පස්සෙන් වැටිලා නැහූණා ඇති පුතේ ..  තාත්තා වුනත් ඔයා අයියා එක්ක යන ගමන ගැන ඒ කාලේ සතුටු  වුනාට .. එයත් පස්සේ හරියට පසුතැවුණා ඒ ගැන ..”

චායා අම්මා අසලට ආවාය. හඬ වෙවුලන්නට නොදී, සාමාන්‍ය හඬකට ඉඩ දෙන්නට උත්සාහ කලාය.

”  එහෙම හිතන්න හේතුව මොකක්ද අම්මා… මම ඒ කරපු දේවල් එක්කල , මම ජීවිතේ කොයි තරම් නම්, දේවල් ඉගෙනගත්තද??.. අයියට කොයි තරමේ සහයෝගයක් වුනාද ඒ දේවල් … අනෙක අයියා දැන් මේ ඉන්න තැනට යන එක එයාට පහසු වුනේ මම නිසා කියලා එයාම කියනවා… ඉතින් අම්මේ.. මොකටද පසුතැවෙන්නේ… ඔව් ඇත්ත ..පොලිටික්ස් මට එපා වෙලා තිබ්බ දෙයක් .. ඒත් මං ඒකේ හොඳ පැත්ත අල්ලලා දේවල් කරන්න හුරු වුනා .. ඒකනේ අම්මේ ජීවත් වෙනවා කියන්නේ කියන්නේ …නේ ?..”

චායාගේ මව එයට එකඟ බව හිස සලා කීවාය. චරක සහ විහඟි ලා අදම එන බව පවසමින්, චායා කතා බහ වෙනතකට පෙරලුවාය. අම්මාගේ මානසිකත්වය ඉන් එක්වරම කණපිට ගැසුණු බව වටහා ගත් චායා සැනසුම් සුසුමක් හෙලුවාය. ඕ තාත්තාටද ඒ බව පවසන්නට උස් හඬින් කතා කරන හඬ පලමුව ඇසුණි. ඉන් පසුව නිවසේ අත් උදව්වට උන් කාන්තාවන් දෙදෙනා අමතන හඬ ඇසුණි.

චායාගේ සිතෙහි වූයේ වෙනමම යමකි. සස්මිත පැමිනෙන මොහොතේ ඔහු දැකගන්නට කෙලෙසකින් හෝ ඉඩක් සාදාගන්නවා මිසෙක, ඉන් පසුවට එක් තත්පරයකටවත් ඔහුගේ අතින් අල්ලාගෙන, පපුවට ගුලිවෙන්නට වන ඉඩක් ලැබේවියැයි සිතීමට ඉඩක් නැත. ඕ කල්පනා කලේ එවන් ඉඩක් අද රැයේම සදාගන්නට යම් මඟකි.  

” ඔයා මේ වහල යටම තියාගෙන, කොච්චරක් ඉවසුවාද සස්මිත .. අද ඉඳන් කොහොමද ඉවසන්නේ මම තව ?…  ඔයට් මහ දුකක්, බරක් හිතේ තියාගෙන ඉන්න බව දැන දැනම මම කොහොමද මේ සැප ඇඳේ තනියෙන් නිදාගන්නේ රත්තරන් … ඇයි මාව මෙච්චරට ටෙස්ට් කරන්නේ ?… ඊළඟට මම මොකක්ද කරන්න ඕනි කියලාවත් හිතන්න ඉඟියක්වත් නෑ මට සස්මිත …”

චායා හිස් බීම බෝතලය කුණු බඳුනට දමා දෑස් දෑතින්ම පිස දැම්මාය. සස්මිත ඉන්නා බව දන්නා කාමරය වෙත ඇවිද ගියාය.  මින් පෙරද  දින කිහිපයකම  කාමරය වෙත පිවිසෙන ඉඩක් සෙවූ බවත්, අඟුලු දමා තිබූ දොර සහ අයියා නිවසේ සිටි බව දැන සිටීම නිසා කාමරය පසු කිරීම මිසෙක අනෙකකට ඉඩක් නොලැබුන බවද ඕ කල්පනා කලේ කාමරයේ දොර අඟුල මත අත තබමින් ය.

එක්වරම දොර විවෘත වූයේය. එම දොර වෙතට ආරක්ෂක කැමරාවක් එල්ල වී ඇති බව ඕ තරම් මේ දින කිහිපයේ දැන උන්නෙකු නැත. වැරදීමකින් දොර විවෘත වුන බව ඇඟවෙන්නට මෙන්, ඕ දොර වසා එතැන පසු කර ගියාය. උඩු මහලේ වූ ආරක්ෂිත කැමරා පද්ධතිය පාලනය වන කුඩා කාමරය වෙත ගොස්, එතැනට සහ මිදුලෙහි පැති පසට අදාලව වන ආරක්ෂිත කැමරා ද්විත්වයම නිවා දැම්මාය.

යළි මුලුතැන්ගෙය වෙත ගියාය. අම්මා තාත්තා සමඟ කතා බහක බව අවධාරනය කර ගත්තේ ඒ අතරය.  අත් උදව්වට උන් කාන්තාවන් දෙදෙනා රාත්‍රී ආහාරය මඟුල් ගෙදර පරදවන්නට සැකසීම වෙනුවෙන් සැලසුම් සදන්නෝය. චායා ඔවුන්ටද සිනාසෙමින් ඇණුම්පදයක් පවසමින් පිටතට ගියාය,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here