” සර්ට ඕන්නං… අපි ලඟ ඉන්නවා ඕන පැත්තකට තියාගන්න පුලුවන් සුපිරි….”
ටැමී හදිසියේ අසල සිටි නෙත්‍යාව මතක් වී පැවසීමට ගිය කාරණාව වහා ගිල ගෙන ඈ දෙසට හැරුණු අතර ටැමී දෙසත් , මනුහස් දෙසත් ඔරවා බැලූ නෙත්‍යා වහා හිඳ උන් සෝෆාවෙන් නැඟී සිටියාය.
” මාත් යනවා “
” යං මං ඔයාව කාරෙකට ඇරලවන්නං “
ටැමී එසේ පවසනවාත් සමඟම කාමරයේ දොරට තට්ටු කළ සේවකයෙක් එහි ඇතුළු වූයේය .
” ක්ලයන්ට් කෙනෙක්ට වැඩි වෙලා ප්‍රශ්නයක් දාගෙන ලොක්කා.. “
ඔහු ටැමී දෙස බලා එසේ පැවසූ අතර ටැමී වහා මුව ඇද කරගත්තේය.
” මං කිව්වේ බොස් . දවස ගාණේ ලෙඩක් වැටෙනවම තමා.. “
” ටැමී ඒක බලන්න. මං මිසිස් මල්දෙණියව කා එකට ඇරලවන්නම්. “
නෙත්‍යා දෑස ඔසවා මනුහස් දෙස බලා නැවත ඉවත බලා ගත්තේය.
” ඕකේ බොස්.. , මොනවහරි තිබ්බොත් මං දැනුම් දෙන්නම් “
ටැමී එසේ පවසා තිදෙනාම එකට කාමරයෙන් නික්මුණු අතර විශේෂ පිවිසුමකින් පිටව යෑමට හැරුණු නෙත්‍යා හා පසුපසින් වැටුණු මනුහස්ද මඳ දුරක් ගොස් ඈ විවර කර ගොඩ වූ විදුලි සෝපානය වෙතට ගොඩ වූයේය.
කළු පැහැ අත් දිගු කමිසයේ අතක් වැලමිට තෙක් අදිනාතුර තමා දෙස එක එල්ලේ බලා සිටින උසැති දේහදාරියාගේ සරාගී දෑස දෙස බැල්මකුදු නොහෙළු නෙත්‍යා විදුලි සෝපානයේ ද්වාරය දෙසටම දෑස යොමා උන්නාය.
” මෙච්චර ලස්සන කොල්ලෙක් ඇස් දෙක ඉස්සරහා ඉද්දි කොහොම මෙහෙම අහක බලන් ඉන්නවද මන්දා..”
මනුහස් සෙමින් පැවසූ දේ ඇසුණු නෙත්‍යා මුළු සිරුරම හිරි වැටී යද්දී සෝපානය විවර වූ වහා ඉන් පිටතට අඩි තැබුවාය.
අධික වේගයෙන් ගැහෙන හදින් ඈ ඉන් පිටතට අඩි තබනවාත් සමඟම පැමිණි මල්දෙණිය සමූහ ව්‍යාපාරයට අයත් කළු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඉදිරි වීදුරු ද්වාරය අසල නතර කරනු ලැබුවේය. ඉක්මන් අඩි තබමින් මෝටර් රථය දෙසට ඇවිද ගිය නෙත්‍යා මෝටර් රථයේ පසුපස දොර විවර කරගෙන උන් රියදුරා අසල මඳක් නැවතී මනුහස් දෙස බැලුවාය.
” යන්නං “
ඈ එසේ පවසා මෝටර් රථය තුළට පිවිසි අතර කිසිවක් නොදෙඩූ මනුහස් ඈතට යන මෝටර් රථය දෙස එක දිගට බලා සිටියේය.
**********************************************
” අපරාදේ සර්ට මටත් කතා කරන්නනේ තිබ්බේ .”
මනුහස් ඉදිරියේ තිබූ පුටුව ඇද ගත් සචින්ද්‍ර නෝක්කාඩු බස් නඟමින් එහි වාඩි වූයේය.
” බැඳපු අලුතනේ.. උඹව දැන්ම රෑ ගමන් වලට එක්කන් යන්න හොඳ නෑ. අර කෙල්ල හූල්ලලා අන්තිමට මටත් කසාදයක් කරගන්න වෙන්නෑ..”
මනුහස් එසේ පවසා සිනාසුණු අතර සචින්ද්‍රද මඳ සිනහවක් නැඟුවේය.
” සර්ව දැක්කම දැන් නං හිතෙනවා නිකං කසාදයක් කරත් , නොකරත් මනමාලියෙක්නං හම්බෙලාද මන්දා කියලා “
සචින්ද්‍ර තම නිකට අත ගාමින් එසේ පැවසූ අතර මනුහස් දෑස සිහින් කොට ඔහු දෙස බැලුවේය.
” ඒ මොකෝ එහෙම කියන්නේ ?”
” නෑ.. අර දවස් දෙක තුනකට කලින් මං කිව්වේ සර් කොයි වෙලෙත් ඉන්නේ නිකන් හිත යටින් කියාගන්න බැරි ප්‍රශ්නෙක කියලා වගේ මට පේනවා කියලා. හැබැයි එක පාරට ඒක අතුරුදහන් වෙලා ගිහින් වගේ දැන් නං. “
“පිස්සු නැතුව හිටහන් බං “
මනුහස් කතාව වෙනතකට හැරවීමට උත්සාහ කළේය.
” හරි.. මේ අහපන්කෝ , මේකේ පොටක් පාදගන්න තැනක් ඇත්තෙම නෑ බං. මේ ටැමී කියන එකාගෙන් මොනවමහරි එළියට ගන්න පුලුවන් වෙයි කියලා මං මාර විශ්වාසෙකින් හිටියේ. මට උගෙනුත් හරි දෙයක් එළියට ගන්න බැරි උනා. හැබැයි එකක් , මට හිතෙනවා ඌ මට කිව්ව හැමදේම ඇත්ත නෙමෙයි . ඌ මොනාහරි මගෙන් හැංගුවා. “
” ඒ කිව්වේ සර්..?”
” මෙහෙමයි මං ඌට මුලින්ම ඉස්කෝලේ එකට ඉගෙනගත්තු උන් තමයි මේ මැරෙන්නේ කිව්වට ඌ ඒක ඒතරම් ලොකුවට ගණන් ගත්තේ නෑ. හැබැයි අර නම දෙනාගේ ටීම් එක පෙන්නලා ත්‍රෙට් එකක් තියනවනං තියෙන්න ඕනේ මේ නම දෙනාට කිව්වම ඌට මොකක් හරි දෙයක් මතක් උනා. හැබැයි ඌ ඒක මගෙන් හැංගුවා. ඌ මට නොකිව්වට ස්ථීරවම උනත් , නැතත් ඌ දන්නවා මුං ටිකට මෙහෙම වෙන්නේ මොන පවක් නිසාද කියලා. හැබැයි ඒක උගෙන් එළියට ගන්න නං වෙන එකක් නෑ..”
මනුහස් සෙමින් අතේ තිබූ පෑනෙන් මේසයට තට්ටු කරමින් සිටියේය .
” මොකක් හරි කේස් එකක් දාලා ස්ටේශන් එකට ගෙනල්ලා දෙකක් අනිමු සර්. ඔයිට වැඩිය උන්ගේ කටවල් අපි ඇරලා තියෙන්නේ. “
මනුහස් සචින්ද්‍රගේ කතාවට එකඟ නොවන බවක් පෙන්වමින් හිස දෙපසට සැලුවේය.
” ඌට නං අමුතුවෙන් පටළන්න කේස් ඕන්නෑ බං. ඌට කොහොමත් කේස් දෙක තුනක්ම තියනවා. ගේනවනං ඒ මොකක් හරි එකක් දාලා ඌව ගේන්න පුලුවන් . හැබැයි ඒක එහෙම කළා කියලා ඌ හංගන දේ අපිට ලොවෙත් එළියට ගන්න බෑ. මිනිස්සු පස් දෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව තිබ්බ තමන්ගේ ජීවිතේ නැති කරගන්න හේතු වෙච්ච කාරණාව ටැමී වගේ එකෙක් අපි ඉස්සරහා දිග අරියි කියලා කොහොමත් හිතන්න බෑ. මොකද ඌ ඒ හංගන දේ නිසා තමයි අනිත් උන් තමන්ගේ ජීවිතේ තමන් විහින්ම නැති කරගත්තේ. එච්චර ලොකු දෙයක් මූ ඌව මැරුවත් එළියට දාන්නෑ. “
” සර්ට හිතෙන්නැද්ද ඌ මයන් ඉන්නවා කියන එක දන්නවා කියලා ?”
” නෑ.. ඌ දන්නෑ. මයන්කාරයා ඉන්නවා කියන එක ඌ දන්නෑ. හැබැයි ඌ ඒක දැනගත්තත් ඒ ගැන පුදුම වෙන එකකුත් නෑ. ඌ ඉන්නේ තාම මයන්ගේ මරණේ විශ්වාස කරගන්න බැරුව. උගේ වචන වලින් මට තේරුණා මයන් වගේ එකෙක් කවදාවත් සුයිසයිඩ් එකකින් මැරෙනවා කියන එක ඌ විශ්වාස කරන්නෑ කියලා. ”
” දැන් සර් මේකට මොකද්ද කරන්න හිතන් ඉන්නේ ? “
” එක , ටැමීව ෆලෝ කරන්න ඕනේ. පැය විසි හතරෙම. ඌ දැන් ඉන්නේ භූමිතෙල් ගෑවිච්ච ගැරඬියා වගේ. ඌ මට දහ අතේ දිවුර දිවුර කිව්වා මොනවහරි හෝඩුවාවක් ලැබිච්ච හැටියෙ කියන්නං කියලා. ඒත් .. ඌ කවදාවත් මට ඒක කියන්නෑ. ඌට මං කියපු දේවල් එක්ක උන්ට මෙහෙම වෙන්නේ ඇයි කියන එක තේරුණා . එක්කො ඒ ගැන ඉවක් වැටුණා. දැන් ඌ පිස්සු බල්ලා වගේ ඒ ගැන හොයනවා. ඌව ෆලෝ කළොත් ඌ කරන කියන දේවල් ගැන හෙවිල්ලෙන් හිටියොත් අපිට කොහෙන්හරි මේකට පොටක් පාදගන්න පුලුවන් .
දෙක , ටැමී එක්ක කතා කරද්දි ඌ කිව්වා ඌ , මයන් , අර අසංග සුදේශ් කියන එකා තුන්දෙනාම එකට අනුරාධපුරේ ක්‍රිශාන්ගේ ගෙස්ට් හවුස් එකට ගිය කතාවක්. උන් තුන්දෙනා අන්තිමට එකට අනුරාධපුරේ ගියේ එදා කිව්වා. ඌ කිව්ව විදිහට ඒ ලංකාවේ කොරෝනා පටන් ගත්තු මුල් කාළේ. උඹට මතකද ක්‍රිශාන්ගේ සුයිසයිඩ් නෝට් එකේ කියලා තිබ්බා උගේ අතින් මෙහෙට ආපු ජර්මන් කෙල්ලෙක්ට කරදරයක් උනා ඌ ඒ මැරෙන්නේ ඒ වෙච්ච වැරැද්ද නිසා කියලා “
සචින්ද්‍ර නිහඬවම හිස සලමින් මනුහස් පවසන දෑ අනුමත කරමින් සිටියේය.
” මට මෙහෙම හිතෙනවා. ක්‍රිශාන් ඒ නෝට් එකෙන් මොනවමහරි කියන්න ට්‍රයි කළාද කියලා ?”
” එතන සර් ඒ උනාට පොලිස් රිපෝට් වල තියෙන්නේ ඒක කොවිඩ් මරණයක් කියලනේ ?”
” කොවිඩ් මරණ , කොවිඩ් මරණ ඕවා අස්සේ ඇත්තටම වෙන දේවල් වලින් මැරුණු මිනිස්සුත් ඉන්න බැරිද බං ? ඔය කොවිඩ් මරණ අස්සේ අපරාද හැංගිලා තියෙන්නෙම බැරිද ?”
” සර් හිතන්නෙ එතකොට ක්‍රිශාන් කියපු ඒ කාරණෙත් එක්ක අර ජර්මන් කෙල්ලගේ මරණෙට මේ මැරිච්ච අයගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඇති කියලද ?”
” වෙන්න පුලුවන් . උඹට මතකද නයින් මවුන්ටන්ස් ගිය වෙලේ එතනට ආපු බ්‍රෝකර් අපිට කිව්වා මල්දෙණියකාරයා එක පාරක් ගිය ගෑනියෙක් ආයේ දෙවෙනි පාරට යන්නෑ , ඌ අමු සතා කියලා ?”
සචින්ද්‍ර නිහඬවම මනුහස් පවසන දේට හිස සලමින් ඔව් යැයි පැවසුවේය.
” ටැමී කිව්ව විදිහට මයන්ලා අනුරාධපුරේ ගිහින් තියෙන්නේ ක්‍රිශාන්ගේ නෝට් එකේ කියලා තියන ජර්මන් ගර්ල් මැරිච්ච දවස් වල නං , හිතන්න දෙයක් නෑ. මුං ඒ කෙල්ලගෙ මරණේ කොතනක හරි ඉන්නවා. අනික ක්‍රිශාන්ගේ මරණෙන් පස්සේ නර්මදා කිව්ව විදිහට ලක්ශ පනහක් දෙපාරකට ක්‍රිශාන්ගේ වයිෆ්ට මයන්ගේ එකවුන්ට් එකකින් ට්‍රාන්සර් වෙලා තියනවා. “
සචින්ද්‍ර වික්ශිප්ත දෑසින් මනුහස් දෙස බලා සිටියේය.
” සර් ඊලඟට මොකද්ද කරන්න ඉන්නේ ? “
” නිවාඩුවක් දාලා අනුරාධපුරේ යන්න… “


