චරක, චායාව අමාත්‍යාංශය සහ තමා අතර කල රාජකාරි වලින් නිදහස් කිරීමේ කටයුතු වෙනුවෙන් සෑහෙන ඉඩක් වෙන් කලේය. කණ්ඩායමක් ලෙසින් කටයුතු කර තිබූ නිසා නව රාජකාරීන්හී අනියුක්ත වීමට නියමිත සගයන් ඉතා පහසුවෙන් රාජකාරි වෙත අනුගත වෙමින් උන් හ. චායා තමා සතුවූ සියළු වගකීම් වලින් මිදෙමින් ඉතා සැහැල්ලු ජීවිතයකට පිවිසෙමින් උන්නාය.
” අයියේ … මම ඔයාගේ ඩ්‍රයිවර් එක්ක චුට්ටක් කටුබැද්දට ගිහින් එන්නද ?..”
දෙසතියක් ඉක්ම ගිය තැන, සවස් වරුවක චායා විමසුවේ චරක නිවසට පිවිසෙද්දීමය. චරක සස්මිතට ඇමතුමක් ගත්තේය.
” චායා මිස් එක්ක කටුබැද්දට ගිහින් එන්න සස්මිත …”
ඔහු ඇමතුම විසන්ධි කර චායා දෙස බැලුවාය.
” ලයිසන් ගන්න දැන් … මෙච්චර දේවල් කරන්න පුලුවන් එකේ ඕක බැරි නෑනේ …”
” අනේ එහෙනම් ඔයාගේ ඩ්‍රයිවර් තියාගන්න .. මම හෙලගෝ එකක් දාගන්නම් …”
චායා නොවූ කෝපයක් ඉතා ඉක්මනින් මවාගත්තාය. ජංගම දුරකතනයද අතට ගත්තාය.
” අනේ අනේ මේ .. එහෙම එකක්ද දැන් මම කිව්වේ ?… දෙයක් කියන්න නෑ, ඒකේ එල්ලෙනවා කටු අත්ත වගේ .. ඔක්කොම ගෑණු එකයි , නමයි පාටයි වෙනස් ..”
චරක චායාගේ උරිස්සට රිදෙන පහරක් ගසමින් කීවේය.
” කියන්නම්කෝ මම විහඟිට .. සෑහෙන්න ගෑණු ගැන දන්නවා කියලා මෙයා … ඔක්කොම එකයි කියලා කියන්නේ සීයක් දෙසීයක් ගැන එක්ස්පීරියන්ස් එකෙන් වෙන්න බෑනේ..”
” ඔව් පුලුවන් නම් නෑනලා නෑනලා එකතු වෙලා මගේ ඔලුව කාහං …”
චායා සිනාසුණාය.
” ස්ටුඩියෝ එක බලන්නද ඔය යන්නේ?..”
” ඔව් අයියේ .. දවල් පාර්ටිශන් කරලා ගිහින් තිබ්බා. මං චුට්ටක් වීව් එක බලලා එන්නෝනී … හෙටට වැඩ ටික ප්ලෑන් කරන්නෝනා ඒ බලල..”
” තනියෙන් පුලුවන් නේ ?..”
” තනියක් නෑනේ.. අර ඩ්‍රයිවර් ඉන්නේ..”
” උගේ ඔලුව කන්නේ නැතුව කට වහගෙන යනවා හොඳේ…”
චායා අයියාට විරිත්තමින්, කැබ් රියේ පසුපස අසුනට ගොඩ වූවාය. චායා එවන් ගමනක් යෑමට සූදානමින් සිටිනවායැ්යි හාංකවිසියක්වත් නොදැන උන් සස්මිත උන්නේ විමතියෙන් දෑස් අයාගෙනය.
” යං යං …”
චායා ඔහුගේ කල්පනා දැහැන බින්දේය. සස්මිත ආපසු හැරී බැලුවේය
” වාහනේ එලියට ගන්නකෝ…. මොකද බලාගෙන ඉන්නේ ?…”
සස්මිත වහා කැබ් රිය ගේට්ටුවෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගය තෙක් ධාවනය කලේය. දෙදෙනාම කිසිවක් පැවසූයේ නැත.
” කැරවෑන් ෆ්‍රෙශ් එක ලඟින් ටිකක් නවත්තන්න සස්මිත…”
චායා එලෙස පවසනතුරු විනාඩි දහයක් පමණම වූයේ නිහඬ බවය.
” චායා… මොකද්ද මේ කරන්නේ ? ඇයි මෙහෙම ? … සෙල්ලමක්ද ? වෙලාව හතට කිට්ටුයි…. අය්යාට වුනත් මේක නුහුරට හිතෙන්න පුලුවන් …”
සස්මිත චායා කැබ් රියෙන් බහින්නට පෙර එලෙස කීවේය. චායා මුහුණෙන් නොරිස්සුම පෙන්වූවා පමණි. ඇය කැබ් රියෙන් බැස්සේය. සස්මිත ඉදිරි කණ්ණාඩියෙන් තමා දෙස බැලුවේය. වෙහෙසුණු ඇස් වල මලානික බවට උඩින් බලාපොරොත්තුවක සේයාව ඔහු දුටුවේය.
” මේ කෙල්ලගේ හිත රස්නෙන් බඳාගෙන ඉන්න මට ඉඩක් හදලා දෙන්න …”
ඔහු දෑස් වසාගෙන ප්‍රාර්ථනා කලේය. එක්වරම කල්පනා දැහැන බිඳුණේ ඉදිරි අසුනේ දොර විවෘත වූ බව සස්මිතට වැටහීම සමඟය. සැනින් චායා ඉදිරි අසුනේ උන්නාය. ඕ කැරවෑන් ෆ්‍රෙශ් හී ආහාර දමා තිබූ බෑග කිහිපයක් පිටුපස අසුනට තබන්නට උන් අසුනින් ආපස්සට හැරුනාය. ඒ සැණින්, සස්මිතට වසර දොළහක් තිස්සේ මඟ හැරුණු යමක් ලැබුණි.
ඉතිහාසය යළි චිත්රණය විනි. චායාගේ දෙතොල්, සස්මිතගේ කොපුලේ ඉතිහාසනය විනි. සස්මිත හැන්දෑ ගොම්මනක සොහොන් පිටියක් පසු කරන්නෙකි, හොල්මනකට බිය වූ විට තැනෙන මූන මවාගෙන උන්නේය. මවාගෙන උන්නා නොව, මැවී තිබුණේය.
” යං යං… මෙතන ගොඩ වෙලා පාර්කින් බෑ.. ඉඩ නෑනෙ..”
ඕ සිනාසෙමින් පවසද්දී, සස්මිත යලි වාහනය පණ ගැන්වූයේය. එක් අතකින් සුක්කානම අල්ලාගෙන අනෙක් අතින් කොපුල පිරිමැද්දේය.
” මොකෝ … පැත්තම හිරි වැටිලාද ?”
චායා ඉතා දඟකාර ලෙසින් විමසමින්, සස්මිතගේ කොපුල ඇඟිලි අග්ගිසෙන් යන්තම් මිරිකා දැමුවාය.
” කෙල්ල … ප්ලීස්..”
“බය වෙන්නෙපා.. මේකේ ඇතුලෙ කැමරා වැඩ නෑ.. ඊයේ මම චෙක් කරලා , වැඩේ ගානට කරලා තියෙන්නේ.. හෙමින් සීරුවේ අය්යට කියන්න කැමරා වැඩ නෑ කියලා ටික දවසකින් ඕනි නම්..අයියා ඉන්ස්ටෝල් කර එකක් තියෙන්නේ මේකේ.. අවුලක් නෑ ඒ නිසා… එයා සැක හිතන්නේ නෑ..”
සස්මිත සැනසුම් සුසුමක් හෙලුවේය. චායා දෙස බැලුවේය. ඕ සිනාසෙන්නීය.
“ස්ටුඩියෝ එකට යන්නෝනා… කීල්ස් පාර්ක් එකේ කැබ් එක දාලා යමූ.. මාව ස්ටුඩියෝ එකෙන් දාලා, ඔයා පාර්ක් කරලා ශේප් එකේ එන්න… හොඳේ..”
සස්මිත හිස සැලුවේය. මේ සවස මඟ හැර ගන්නට ඔහුට නොහැක.
චායා ස්ටුඩියෝව තුළට ඇතුලු වූවාය. පසෙක වූ කුඩා මේසය මත රැගෙන ආ කේක් එක සහ පේස්ට්‍රි ආහාර තැබුවාය. පාන වර්ගයන්ද තැබුවාය. කේක් එකේ ඉටිපන්දම ගැසුවාය. එය දල්වන්නට ලයිටරය පසෙකින් තැබුවාය.
” අවුරුදු දොළහක්… මම තනියෙන් .. අද දවස සැමරුවා සස්මිත.. පන්සල්, කෝවිල් ගානේ පූජා කරා මිසක්, කේක් එකක් කපාගන්න හිත හදාගන්න බැරි උනා… අදින් පස්සේ, මම මැරෙනකල්… මේක මගේ පුරුද්දක් වෙයි…මං ඔයාට කොච්චරක් ආදරේ කරලාද රත්තරන්..”
චායා තමාටම පවසා ගත්තාය. ස්ටුඩියෝවේ දොරට කිසිවෙකු තට්ටු කරනු ඇසුණි.
චායා දොර අසලට ගොස්,දොර අඩක් විවෘත කර බැලුවාය.
සස්මිත ගේ තරු ඇස් විදුලි ආලෝක එළි අතරින් දිලිසෙමින් තිබුණි. ඕ ඔහු ඇතුලට ඇද ගත්තාය.
පිටුපසින් සිටගෙන දෑස් දෑතින් වසා ගත්තාය.
” චායා.. ඇයි මේ..”
” යං..කෝ..”
අඩි කිහිපයකට පසු චායා දෑත් පසෙකට ගත්තාය. ඉටිපන්දම දැල්වූවාය.
තාලයට ගැයුවාය.
” හැපි බර්ත් ඩේ ටූ යූ …. හැපි බර්ත් ඩේ ටූ යූ …. හැපි බර්ත් ඩේ මගේ රත්තරන් ..හැපි බර්ත් ඩේ ටූ යූ …”
සස්මිත උන්නේ විශ්වාස කරගන්නට නොහැකිවය. අක්කාගේත්, අම්මලාගේත් සුබ පැතුම උදෑසනම ලැබුණාට පසුද හදවතෙහි හිඩැසක් , රිදුමක් ඇති බව ඔහු අත් දකිමින් උන්නේය. එයට හේතුව කුමක්දැයි දැන උන්නා වුවද, ඔහු ඒ ගැන වැඩිපුර නොසිතා උන්නේය.
” චායාට ඒක අමතක වෙන එක සාධාරණයි… එයාට ඒ ගැන සිතුවිල්ලකින්වත් ගිල්ටි දැනෙන්න ඕනි නැහැ…”
සස්මිත මතුපිටින් එලෙස සිතුවේය.. දවස ගෙවුවේම එහෙමය.
” කෝ.. ඉටිපන්දම නිවන්නකෝ…”
සස්මිත පසෙකින් උන් චායා ගේ බාහුවෙන් අල්ලා ඇය තම ළමැද්දට ගුලි කරගත්තේය. චායා ගොලු වූවාය. ඔහුගේ උණුහුම තම සිතුවිලි තුළ වූ උණුහුමම බව දැනේ. සස්මිත ඇගේ හිස් මුදුන සිප ගත්තේය.
” මගේ රත්තරන්…”
චායා සස්මිතගේ හදවත මත කොඳුලාය. සස්මිත උන්නේ වැටෙන් කඳුළු නවතන්නට බිඳකුදු උත්සාහ නොකරමිනි.
” මම බයෙන් හිටියෙ අය්යා පරක්කු වේවි කියලා..රෑ උනා නම් යන්න අහන්න බෑනේ..”
චායා එක්වරම සස්මිතගේ මුහුණ දෙස බලන්නට උත්සාහ කරමින් කීවාය.
“දඟලන්න එපා… මෙහෙම ඉන්න ටිකක්…”
සස්මිතගේ දෑත් චායා වටා කිටිකිටියේ පැටලී තිබුණි. චායා උන්නේද ඇලීගෙනය.


