BE SILENT – 39

0
188

” මිස්ටර් විජේවර්ධන , ඕන කරන හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මිස්ටර් විජේවර්ධනට  පුලුවන් එතන තමන්ගේ තැනක් වගේ හැන්ඩ්ල් කරන්න. ක්‍රිශාන්ගේ වයිෆ් මිස්ටර් විජේවර්ධන මුණ ගැහෙන්න ගෙස්ට් හවුස් එකටම එයි. “

” ලේඩි කෙනෙක් එක්ක කරන්න තියන කතාබහක් නිසා මට එහෙම උනත් ලේඩි පොලිස් ඔෆිසර් කෙනෙක්වත් එක්කන් යන්න වෙයි වගේ මිසිස් මල්දෙණිය. “

මනුහස් තම හදවත තුළ වූ සූක්ශම සැලැස්ම වජිරා මල්දෙණිය හමුවේ දිග හරිමින් සිටියේය. 

” එහෙම උනොත් මේ ගැන තවත් අය දැනගනීනේ මිස්ටර් විජේවර්ධන ?” 

වජිරා මල්දෙණියගේ කටහඬ මඳක් නොසන්සුන් වූ ආකාරයක් මනුහස්ට දැනුණේය.,

” ඔව්.. ඒක ප්‍රශ්නයක් තමා. මොකද මං මේ ගමන යන්නේ මගේ ගෝලයත් නැතුව . අනික රාජකාරි මට්ටමෙන් නිවාඩුවක් දාලා. කවදහරි මේක උඩට ඇවිල්ලා ඇදුනොත් , මිසිස් පීරිස්ගෙන් මං තනියම ගිහින් ප්‍රශ්න කරා කියන එකම ඇති මගේ ජොබ් එකටත් ප්‍රශ්නයක් වෙන්න. අනික මං තනියම ගිහිල්ලා ටැමී එක්ක වෙච්ච ප්‍රශ්නෙත් මිසිස් මල්දෙණියට ආරංචිට වෙන්න ඇතිනේ ? “

” ඔව්.. ඔව්… මට ඒක ගැන ආරංචි උනා. ඒ වෙච්ච සිද්ධියට මං මිස්ටර් විජේවර්ධනගෙන් සමාව ඉල්ලනවා. මොකද අපේම දෙයක් ගැන හොයන්න ගිහිල්ලා අපේම තැනකදි ඒ වගේ කරදරයක් වෙච්ච එක කොහෙත්ම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. “

” මේ දේවල් ලීගලි හැන්ඩ්ල් කළා නං එහෙම ප්‍රශ්න වෙන්නෑ මිසිස් මල්දෙණිය. කොහොමහරි මිසිස් නෙත්‍යා මල්දෙණිය නොඉන්න එතන තත්වේ තව වෙනස් වෙන්න තිබ්බා. “

මට තේරෙනවා මිස්ටර් විජේවර්ධන. මේ දේවල් නිසා මිස්ටර් විජේවර්ධනට ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්න බෑ. මිස්ටර් විජේවර්ධන හෙට මෙහෙන් පිටත් වෙන්න ඉන්නේ කීයටද ? “

” මං උදෙන්ම යන්න ඉන්නේ මිසිස් මල්දෙණිය “

” හොඳයි. මිස්ටර් විජේවර්ධන මෙහෙන් පිටත් වෙන්න. හෙට මල්දෙණිය ගෲප් එකේ ඩිරෙක්ටර්ස්ලගේ මීටින් එකක් තියනවා. ඒකට මං වගේම නෙත්‍යාත් ඉන්නම ඕනේ. ඒත් මං පැයක් වගේ යද්දි නෙත්‍යව එතනින් නිදහස් කරලා  අනුරාධපුරේට එවන්නං. නිශාදි ඒ කියන්නේ ක්‍රිශාන්ගේ වයිෆ් , නිතරම මුණ නොගැහුණාට නෙත්‍යාව හොඳින් දන්නවා. කාට පිටු පෑවත් එයාලා කවදාවත් මල්දෙණියලට එහෙම කරන්නෑ. ඒ නිසා උමායා එක්ක කතා කළා වගේම නිශාදි එක්කත් මිස්ටර් විජේවර්ධනට ප්‍රශ්නයක් නැතුව කතා කරන්න පුලුවන් වෙයි. “

මනුහස්ගේ මුහුණේ පුළුල් සිනහවක් ඇඳී ගියේය. ඔහු බලාපොරොත්තු වූ දේ එලෙසින්ම වජිරා මල්දෙණියගේ මුවින් පිටතට පැමිණියේය. 

” ඕකේ .. මිසිස් මල්දෙණිය. තැන්ක් යූ…!” 

දුරකතනය පසෙකට කළ මනුහස් මුව පුරා පැතිර ගිය සිනහවෙන්ම යහන මත වැතිර ගත්තේය. 

*****************************************

කොළබින් පිටත් වී තනිවම අනුරාධපුරය දක්වා ගමන් ඇරඹූ මනුහස් ගමනාන්තය ලෙස වූ බ්ලූ  වෝටර් නිවාඩු නිකේතනය වෙත ළඟා වන විට සවස හතර කණිසමට ආසන්න වී තිබුණේය. 

බ්ලූ වෝටර් නිවාඩු නිකේතනය කුඩා වැවක් අභියසට මුහුණ ලා හරිත සංකල්පය මත ගොඩ නඟා තිබූවකි. හාත්පස පරිසරයම නොයෙක් වර්ගයේ තුරුලතා වලින් සමන්විතවී තිබූ එහි නිතරම කුරුළු නාදයත් , තුරු ලතා වලින් නැඟෙන ස්වභාවික සිසිලසත් පැතිරි තිබුණේය. කුඩා , කුඩා නිවාස ලෙසට තැනින් තැන ඉදිකිරීම් සිදු කර තිබූ නිවාඩු නිකේතනය පිටත සිට බලන අයෙකුට කුඩා වනයක් තුළ තනා ඇති හරිත නිවාස මෙන් පෙනුණේය. 

බොහෝ වේලාවක් තනිවම මෝටර් රථය ධාවනය කරමින් පැමිණි මනුහස් ඒ මොහොතේ නිවාඩු නිකේතනයට ගොඩ වැදුණේද අධික මහන්සියකින් යුතුවය. 

” ආයුබෝවන් සර්..! මං සපුගොඩ. සර් එනකන් බලාගෙන හිටියේ..”

මනුහස් පැමිණි වහා ඔහු වෙත නෙළුම් මල් මිටක් දී පිළිගත් හුරුබුහුටි තරුණිය පසුපසින් පැමිණි මඳක් තලතුණා පුද්ගලයෙක් ඔහු වෙත දෑතම දිගු කරමින් පවසා සිටියේය.

” එන්න සර්.. සර්ට ගොඩක් මහන්සි පාටයි. “

මනුහස් කිසිවක් නොපවසාම තමා පිළිගත් පුද්ගලයා පසු පසින් වැටුණේය. 

” වාඩි වෙන්න සර්..!”

පිළිගැනීමේ කුටියේ පිහිටි දැවමය අසුනක් පෙන්වමින් සපුගොඩ මනුහස් හට හිඳ ගැනීමට ආරාධනා  කළේය. 

” මේක ගෙස්ට් හවුස් එකක් කිව්වට වෙන තැන් වලට වඩා වෙනස් නේ ?” 

මනුහස් අසුන් ගත් විගසම පැමිණි තවත් තරුණියක් ඔහුට බීම වීදුරුවක් පිළිගැන්වූ අතර ඔහු එය රැගෙන තොළ ගාමින් සපුගොඩ දෙසට හැරුණේය. 

” පීරිස් මහත්තයා මේක කරනකොට නං මෙතන ඒ තරං ලොකුවට පෙනුමට තිබුන්නෑ සර්. අපේ ක්‍රිශාන් මහත්තයා තමයි මේක මේ විදිහට හදලා ගත්තේ .”

” මොකද්ද නම කිව්වේ ?” 

” සර් මං සපුගොඩ..”

” සපුගොඩ මෙතන වැඩ කරන්නේ ගොඩක් කල් ඉඳන්ද ? “

” ඔව් සර්. දැන් අවුරුදු විස්සක් විතර. “

මනුහස් හිස සැලුවා විනා කිසිවක් නොපැවසුවේය. 

තවත් මොහොතකින් ඔහු සපුගොඩ සමඟම ඔහුට වෙන් කර තිබූ කුඩා නිවස්නය වෙත පා තැබුවේය. කොළ පැහැ තුරු ළතාවන්ගෙන් පිරී ගොස් තිබූ කුඩා මාර්ගයක් තුළින් මඳ දුරක් ඉදිරියට ගිය දේහදාරියා තැන් කිහිපයකදීම උස වැඩි බව නිසාම ගස් අතු පතර වළිනුත් , අලංකාරය උදෙසා තනා තිබූ නොයෙක් වර්ගයේ වැල් වර්ග අසලිනුත් හිස පහත් කොට ගෙන අසීරුවෙන් ගමන් කළේය . ඔහුට ඉදිරියෙන් ගිය  සපුගොඩ මඳ දුරක් ගොස් මුහුණට මුහුණලා තනා තිබූ කුඩා නිවස්න ත්‍රිත්වයක් අසල නැවතුණු අතර ඉන් එකක් අසලට ගොස් එය විවර කළේය. 

පිටත මෙන්ම නැවුම් ගෘහස්ථ ශාක පැළ වලින් ඇතුළතද සරසා තිබූ නිවස්නයේ කුඩා ආලින්දයක් , සුව පහසු නිදන කාමරයක් , කුඩා මුළුතැන්ගෙයක් හා නාන කාමරයක් දකින්නට ලැබුණේය. 

”  සර්.. රෙස්ට් එකක් ගන්න සර්. මහන්සිත් ඇතිනේ..?” 

මනුහස් පැළැඳ සිටි ජැකැට්ටුව ගලවා පසෙකට දැමුවේය. 

” සර්ට මොනාහරි ඕනෙනං ෆෝන් නම්බර්ස් ටික තියනවා සර්. කෝල් එකක් දෙන්න. “

නිවස්නයේ තිබූ කුඩා ටීපෝවක් මත තිබූ දුරකතනයත් , ඒ අසලම තිබූ කුඩා පොත් පිංචත් පෙන් වූ සපුගොඩ මනුහස්ට සමු දී ඉන් පිටව ගියේය . 

අධික මහන්සිය හා තෙහෙට්ටු ගතිය නිසාම මඳ වේලාවකින් නා පිරිසිදු වූ දේහදාරියා යහනට වැද දෑස පියා ගත්තේය. 

සිත තුළ දඟලන සිතුවිලි වලට හරි හැටි නාමයක් දිය නොහැකිය. මෙකී අවුරුදු ගණනාවකටම සිත තුළ හට නොගත් ආකාරයේ හැඟීම් සමුදායකට ඔහු මැදිව සිටින්නේය. විටින් විට සිතට එබෙන වටකුරු දෑස හා රවුම් මුහුණ දැන් නිතර නිතරම ගෙන එන්නේ වැරදිකාර හැඟීම් පමණක්මය. මීට වඩා තමාට ඈ පිළිබඳව සොයා බැලිය යුතුව තිබූ බවක් ඔහුට හැඟුණේය. එදා කිසිවක්ම කර කියා ගත නොහැකි අයෙක් වුවද ඊට පසු දෙයක් කර ගත හැකි කාලයේදී පවා තමා කිසිවක්ම නොකර දුටු දේ පමණක් විශ්වාස කරමින් , හිතළු වලට පමණක් ඉඩ දෙමින් කාලය ගත කිරීම පිළිබඳව ඔහුගේ හදවත තමාටම දොස් පවරමින් සිටියේය. 

මයන් මල්දෙණියගේ විකෘති ආශාවන් , විකෘති ක්‍රියා පිළිබඳව සිහියට නැඟ එද්දී තව තවත් පෙර දින තමා සතුව සිටි පෙම්බරිය පිළිබඳව සිතට නැඟෙන වේදනාව ගණනය කළ නොහැක. ඈ කුමනාකාරයේ දුක් වේදනා විඳින්නට ඇත් දැයි තමාට වැටහීමක් නොමැත. ඈ කුමනාකාරයක කරදර වලට මුහුණ දී සිටින්නට ඇත්දැයි තමාට වැටහීමක් නොමැත. මෙතුවක් කල් ඒ කිසිවක් නොදැන ඈටම සිතින් දොස් පවරමින් , ඇයම ස්වකී හෘදාධිකරණයේ වැරදිකාරිනිය කරමින් ඈටම තමා විසින් පැටවූ දෝෂාරෝපණ හේතුවෙන් ඔහුගේ සිත ගිලන් වෙමින් තිබුණේය. දේහදාරියාගේ දෑස තෙත් වී තිබූ අතර නාසය සුරුස් හඬක් නැඟුවේය. කිසිදා කිසිවෙකුගේ මතයක් මායිම් නොකළ , තම නීති රෙගුලාසි පද්ධතියක පමණක් රාජකාරි කළ උස මහත සද්ධන්ත , රෞද්‍ර අහංකාරයා මීට දොළොස් වසකට පෙර සිටි තම කුළුදුල් ප්‍රේමවන්තිය වෙනුවෙන් ලොවට හොර රහසේ හඬා වැටුණේය. 

හාත් පසම අඳුරුය. සීතල සුළං රැල්ලක් ඇවිදින් නිරුවත් උඩුකය වැළඳ ගත්තේය. නිදන කාමරයෙන් පිටතට ආ මනුහස් එහි තිබූ දොරෙන් පිටතට පැමිණියේය . මඳ උස් බිමක තනා තිබූ නිවස්නයේ පිටත කොටස විවර වූයේ කුඩා වැවටය . කණාමැදිරියන් රාශියක් පියඹා අහසට නැගුණු අන්ධකාරයේ නොපෙනෙන වැව් දිය දෙස ඔහු බලා සිටියේය. ඉන්පසුව තිගැස්සී මෙන් යාබද නිවස්නය දෙස බැලුවේය. 

 සිරුරට පමණටත් වඩා විසල්  සුදු පැහැ කලිසමට අත් දිග රෝස පැහැ ගත් කුර්තාවක් හැඳ සිටි ඈ එතෙක් ඔහු දෙසට විතැන් කරමින් උන් දෑස වැව් දිය දෙසට යොමු කර ගත්තාය. 

එසේනම් ඈ ඇවිදින්‍ ය. 

තරුණයාගේ මුව මත හීන් හසරැල්ලක් ඇඳී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here