අංගාර – 38

0
157

සස්මිත කේක් කැබැල්ලක් කපා ගත්තේය. චායාගේ මුවට ලං කලේය.   චායා අනෙක් පසට, එම කේක් කැබැල්ලම සස්මිතගේ අතෙහි තිබියදීම අල්ලා සස්මිතගේ මුවටද ලං කලේය. සස්මිත කේක් කැබැල්ල කෑවේ නෙත් තෙතින් පෙගෙද්දීය. මෙහෙම හැගීමකින් කේක් කැබැල්ලක් මුව තුළට රුවා ගන්නට පහුගිය වසර තුන හතරෙහිම ලැබුණු අවස්තා තමා මඟ හැරි බව සස්මිතට සැනින් සිහිපත් විය.

” කෝ .. අත පිහිදන්න එන්න …”

චායා සුදු පැහැ පිස්නාවක් ගෙන සස්මිතගේ අතැගිලි පිස දැමුවාය.

” අඬන්න ඔට්ටු නෑ රත්තරන් …..”

චායා එසවී සස්මිතගේ නළලත ඉම්බාය. සස්මිත යළි චායාව තමා වෙත නතු කරගත්තාය. චායාටද අවැසිව තිබුනේම ඒ උණුසුම මඟ නොහැර ගන්නටය.

ඇතැම් විට අප ශරිරය වඩා රිසි උණුසුම් මට්ටමට එලැඹෙන්නේ අප රිසි පුද්ගලයෙකුගේ උණුසුම හුවමාරු විය හැකි ඉන්ද්‍රියයන් හරහා අප තුළට පිවිසියාට පසුවය විය හැකිය. චායා විඳිමින් උන්නේ ඒ උණුහුම ශරීරය තුල ස්තාවර වෙමින් තිබූ තත්පර වලටය.

” අද රෑ මෙහෙම ඉමුද සස්මිත ?..”

චායා සස්මිතගේ පපුව මත හිස තදින් වන සේ තබා ගනිමින් විමසුවේ, කිනම් හෝ මාර්ගයක් ඇත්නම් එය සොයා ගැනීම සස්මිතට පවරමිනි. සස්මිතගේ සිත තුළ ඉන් ඇති කල මහා රිදුම ඔහුටද දරාගත හැකි සීමාවේ වුයෙනැත.

ඔහු චායාවද අල්ලාගෙන සීතල ටයිල් පොලවේ හිඳගත්තේය. තම දෙපා මැද්දෙන් ඕ සිටින සේ හිඳගත්තේය. චායාගේ උරිස්සට ඉහලින් නළල තබාගෙන දෑත ඕ වටා යැව්වේය.

” මටත් ඉන්නෝනා… ඒත්, අද ඒකට දවස නෙවෙයි චායා..  දුක් විඳ විඳ, ඔයා කරපු හැම කැපකිරීමක වෙනුවෙන් මම ඉවසන්නෝනා …. උස්සගෙන යන්න හිතෙනවා ඕනි මඟුලක් වෙද්දෙන් කියලා … ඒත් .. ඒක නෙවෙයි නේ විදිය …. මගේ කෙල්ල …. කැම්පස් එකේ ඔයාලා මගේ උපන්දිනේට කපපු කේක් එකට පස්සේ, මේ අදයි කේක් කෑල්ලක් කෑවේ … මම  දැන් , ඉස්සරටත් වඩා මහ ගොඩක් ආදරෙයි චායා … ඔයා කේක් කන්නයි, ඒ කන කේක් කෑල්ලෙන් පොඩිම කෑල්ලක් මටත් කවන්නයි කොච්චරක් කැමැත්තෙන් උන්නාද කියලා මට අමතක කරන්න බැරි උනා…කොච්චරක් බඩගිනේ ඉන්න වුනත්, කේක් කෑල්ලක් කන එක මම ඔප්ෂන් එකක් කරගත්තේ නෑ …. කෑමක බීමක ආදරේ මතක ගෑවිලා තියෙන එක මෙහෙම සැනසීමක් කියලා දන්නේ, ඒ කේක් කෑල්ල කාලා ඉවර වුනාම කෙල්ල ……….”

චායා තම බඳ වටා වූ සස්මිතගේ දෑතම අල්ලාගත්තාය.

” මට අඬන්නෝනි .. ඒත් අඬන්න බෑ.. එහෙම ඇඬුවොත් මේ තත්පර දිය වේවි ..”

” මං ළඟ ඉන්නකොට, මෙච්චර ලඟ ඉන්නකොට මොකටද අඬන්නේ ඔයා කෙල්ල ?.. ම්ම්ම් .. ආයේ අඬන්නෙපා .. කවදාවත් … මොකකටවත් …”

චායා එය  අවධාරණය  කරගත් බව පෙන්වූවාය.  එහෙත් ඇයට මිදෙන්නට අවැසි වූයේ නැත.

” කෑම එකක් ඕර්ඩර් කරමූ .. බත් කටක් කාලා යමු ?…”

චායා එක්වරම සිහිවූ ලෙසින් විමසුවාය. සස්මිත අවට බැලුවේය.

” අර ගත්තේ මොනවද ?..”

” එව්වා ශෝටීස් …. පහල තියෙනවා…. එක්කෝ ගිහින් අරන් එමුද ?..”

” කෙල්ල ඉන්න … මම අරන් එන්නම් .. ඔය ටික ඔතලා තියන්න .. මම ගෙනිහින් කන්නෝනා ඔක්කොම.”

චායාගේ උරිස්සට දෑතම බර කර සස්මිත නැගිට්ටේය.චායා එහෙමම හිඳ ඔහු යන තෙක් බලා උන්නේය. සස්මිත අඩියට දෙකට  පහල මාලයට බැස්සේය. චායා එහෙමම හිඳගෙන ස්ටුඩියෝවේ එදින සිදු කර තිබූ සැකසුම් අධ්‍යනය කලාය. හෙට දිනය වෙනුවෙන් කල යුත්තේ කුමක්දැයි සිතන්නට  තරම් මනසක් නොවූ නිසා ඕ සියල්ල පටිගත කරගත්තාය.

සස්මිත ඉඳි ආප්ප, පොල්සම්බල් සහ කිරි මාලු සමඟ වන ආහාර පැකට්ටු දෙකක් මිලයට ගත්තේය. මේ එකල ඇයගේ ප්‍රියතමයන් ය. එකළ තමාට කිසිලෙසකින්වත් ප්‍රිය නොවූ ආහාරයන් ය. එහෙත් ඇගෙන් වෙන්ව ගෙවුණු කාලය තුළ බොහෝ දේ වෙනස් විය. සැබැවින්ම වෙනස් වූවා නොව, ඇය තම සමීපයේ සිටින වග තමාටම ඒත්තු ගන්වා ගන්නට තමා විසින් තම රුචිකත්වයන් වෙනස් කර ගත් වගද සස්මිත අඩියට දෙකට ආපසු එද්දී සිතුවේය.

සස්මිත එද්දී චායා ඉතිරි කේක් කැබැල්ල පෙට්ටියකට අහුරමින් උන්නාය.

” කාලා ඉමූ ..”

” මොනවාද ගෙනාවේ?…”

“කොහෙ ඉඳන්ද කන්නේ?..”
” මෙතන .. බිම ඉඳන් …”

චායා පසෙක තිබූ පත්තර පිටු කිහිපයක්  බිම එලා පසෙකින් හිඳගත්තාය. සස්මිතද ඒ අසලින් හිඳගෙන, අත තිබූ බෑගය චායා වෙත පෑවාය. ආහාර පැකට්ටුව දිග හැරි චායා සස්මිත දෙස බැලුවේ දෑස් විමතියෙන් අයාගෙනය.

කිසිවක් ඔහුට  අමතක නැති දැයි සස්මිතගෙන් අසන්නට වචන ගලපා ගන්නට නොහැකිව ඕ බලා උන්නාය. සස්මිත උන්නේ සිනාසීගෙනමය.

”  අනෙකත් දිග අරින්න ඉතින් …”

චායා වහා අනෙක් ආහාර පැකට්ටුවද දිග හැරියාය. යළි විසල්ව ගිය ඇස් මය.

සස්මිත ඒ බව වගක් නොමැතිව මෙන්, ඉඳිආප්ප දෙකකට පොල්සම්බල අහුරක් තබා මාලු කැබැල්ලක්ද තබා මතකයේ තිබුන තරමට ඇනුවේය. චායාගේ මුවට ලං කලාය. චායා රොබෝවෙකු ලෙසින් විය.

” ඔයාට කන්නේ මොනවාද ?..”

ඕ එක් අතකින් මුව යන්තමින් වසාගෙන සස්මිතගෙන් විමසුවාය. සස්මිත දෑසින් ඇයට පෙන්වූයේ දිග හැර තිබූ   ඉඳි ආප්ප පාර්සල දෙකය.

” මෙව්වා ?..”

” හ්ම්.. ආහ් මේකත් කන්න …”

සස්මිත දෙවෙනි ආහාර පිඬද චායාගේ මුව තුලට එබුවේය.

” සමහර දේවල් වෙනස් කර නොගෙන ජීවත් වෙන්න බැරි වුනා චායා … මාසෙකටපාරක්වත් මේ මෙනු එක කෑවා.. ඔයා ඉන්නවා වගේම දැනූනා…”

චායා උන්  තැනින් එහෙමම සස්මිත දෙසට ඇදී ඔහු වැළඳගත්තේය. සස්මිත නිදහස් අතින් ඕ වැළඳගත්තේ හිස් මුදුන සිඹිමිනි.

වැඩි වෙලා එම උණුහුම නොරැඳිණි. සස්මිතගේ ජංගම දුරකතනය් නාද විය. ඇමතුම කාගෙන්දැයි දුටු සස්මිත එය චායාටද ඇසෙන සේ සැකසුවේය.

” සර් ..”
”  වාහනේ කීල්ස් පාර්ක් එකේ දාලා උබ කොහේද   ගියේ බං ?..
චරකගේ හඬ යම් උස් තරමක විය. සස්මිත කලබලයක් නොපෙනෙනෙ හඬ පවත්වාගන්නට උත්සාහ කලේය. චායා උන්නේ කුමක් පවසන්නදැයි සිතාගන්නට නොහැකිවය

” මැඩම්ගේ වැඩේට පැයක් හමාරක් යනවා කිව්ව නිසා, මම පොඩ්ඩක් ඉස්සරහ  කූල් ප්ලැනට් එකට ආවා සර් … මම එද්දී එහෙමට කියලා ඇඳුම් ගෙනාවේ නෑනේ … සුදු කමිස දෙකයි තියෙන්නේ .යන්න ඕනි හිත හිතා හිටියට වෙලාවක් සෙට් වුනෙත් නෑ … මං වාහනේට යන්නම් සර් .. මේක පස්සේ කරගන්නත් පුලුවන් …”

චායා සැනසුම් සුසුමක් හෙලුවාය.

” පිස්සුද බං … මෙන්න මේ අපේ බැජ් එකේ එකෙක් වාහනේ දැකලා කතා කරා .. ඒකෙන් මම නිකමට බැලුවේ..උඹ වැඩ ටිකකරගනින් .. අනිවාර්‍යෙන් ඇඳුම් ටික අරගනින්.. මම බලනවා ආවම .. මඟ දාලා එන්නෙපා ඔය ආව වැඩේ..උඹට ටයිම් ඕනි නම් අපේ නංගී ඉඳී උඹ එනකල් .. එහෙම නැත්නම් එයාවත් ඔතනටම එක්ක එන්න … ගෑණුනේ බං .. රෙදි කර අස්සේ ඒම සීන් එකක් නෑ …”

සස්මිත චායා දෙස බලා පෑවේ චායාට තවත් වෙලා ඉවසා සිටිය නොහැකි තරමේ මනමාල සිනහවකි.

” තැන්ක් යූ සර් …”

විහඟි චායාට ඇමතුමක් ගත්තාය.

චායා ඇමතුම සස්මිතට ඇසෙන සේ දැම්මාය/.

” චායා මේ .. අර අයියාගේ ඩ්‍රයිවර් කූල් ප්ලැනට් එකේලු …ඔයාගේ වැඩේ ඉවරනම්, එයාව ගෙන්නගෙන කූල් ප්ලැනට්  එකට ගිහිල්ලා අර මම කියපු රෙඩිමේඩ් ටික ගේන්නකො …. ඕක යන්න හිතුවට යන්න වෙන්නේ නෑනේ… අවුලක් නැත්නම් විටහ්‍රක්…”

” ගේන්නම් ගේන්නම් .. මළ වාතේ …”

චායා ඇමතුම විසන්ධි කර සස්මිතගේ ගෙල බඳාගත්තාය.

” ඉක්මනට කවන්න .. ඔයත් කන්න .. අපි ශොපින් යනවා …”

ඕ කුඩා කෙල්ලක වෙමින් උන්නාය. මඟ ඇරුණු අවුරුදු දොලහක ඇරියස් යනු සුලු පටු නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here