නෙත්‍යා සිටියේ නින්දත් නොනිද්දත් අතරේය. හදවත පුරා නැඟ එන වේදනාව ඉවසා දරා ගැනීම සුළුපටු නොවන්නේය. අවුරුදු ගණනාවකට පසු මනුහස්ව මුහුණට මුහුණ මුණ ගැසීමෙන් පසු ගෙවුණු මුල් දින කිහිපයේ ඔහු තවමත් සිටින්නේ තමා පිළිබඳව දැඩි කෝපයෙන් බව වටහා ගත් ඈ ඇතුළාන්තයෙන් දැවෙමින් සිටියාය. ඉන්පසුව ගෙවී ගිය කාලයෙන් ආසන්න දින කිහිපය තුළ ඔහු හමුවූ කිසිදු වතාවක ඔහුගෙන් එකී කෝපය දැකගත නොහැකි වූයේය. දැන් දැන් ඔහුගේ හැසිරීම පෙරට වඩා හද පාරවන සුළුය. ඔහු හිතාමතාම තමාව අනතුරේ හෙළීමට මෙලෙස හැසිරෙනවාද කියා හෝ ඇයට තේරුමක් නොමැත . ඔහු ඉදිරියේ හිඳිනා සෑම මොහොතකම දැඩි පරිශ්‍රමයක් දරා ඒ මුහුණ දෙස නොබලා සිටින්නේ තව දුරටත් එකී උවනේ මතකයෙන් පීඩා විඳිය නොහැකි නිසාය . ඔහු පිළිබඳව හදවත තුළ ඉතිරිව ඇති මතකය හේතුවෙන්ම එකී තරුණ මුහුණින් තමාට ගැලවී යාමට නොහැකි වන බව දත් නිසාය. නමුදු ඔහුගෙන් දුරස් වන්නට තබන සෑම පියවරකින්ම හදවත තුළ නැඟි වේදනාව දෙතුන් ගුණයකින් වැඩි වනවා විනා අඩු වන්නේ නැති බවද ඈට වැටහුණාය.
නෙත්‍යා යහන මත හිඳ ගත්තාය. අසල තිබූ ජංගම දුරකතනයේ වේලාව පාන්දර දෙකයි තිස් දෙකක් ලෙස සටහන්වී තිබුණේය. හදවත දිගින් දිගටම පෑරෙමින් තිබූ අතර එහි කොනකින් නැඟ ආ දෝශාරෝපණයකින් තමා පැය කිහිපයකට පෙර ඔහු ඇමතූ ආකාරය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිටියේය.
නෙත්‍යා තිගැස්සී ගියේ නාදවන ජංගම දුරකතනයේ හඬටය. මෙම මොහොතේ ඇමතුමෙ රැඳෙන්නේ කවුරුදැයි ඈට තේරුම් ගත නොහැකි වූ අතර ඈ වහා දුරකතනය අතට ගත්තාය .
” Mr. Wijewardhane “
ඇගේ දෑත වෙව්ලී ගියේය. නාද දිදී අවසන් වූ ඇමතුම දෙස වික්ශිප්තව බලා සිටියා විනා එයට පිළිතුරු දීමට හෝ ප්‍රතික්ශේප කිරීමට හෝ ඈ උත්සාහ නොකළාය. ඇමතුම අවසන් වූ වහා දුරකතනය පසෙකින් තැබුවද එය නැවත වතාවක් කෑගසන්නට පටන් ගත්තේය.
දෙවන වතාවටත් නාද වන ජංගම දුරකතනය යළිත් පසෙකින් තැබූ නෙත්‍යා දෑස තද කර ගත් අතර රූරා වැටුණු කඳුළු පේළියක් ඇගේ දෙකම්මුල් දිගේ ගලා ගෙන ගියේය . දෙවන වරටත් නාද වී හමාර වූ දුරකතනය යළිත් නාද වූයේ කෙටි පණිවිඩයක නාදයක් නඟමිනි. වෙව්ලන අතින් දුරකතනය අතට ගත් නෙත්‍යා කෙටි පණිවිඩය වෙත දෑස් යොමු කළාය .
” මට දොර කඩාගෙන ඇතුළට එන්න බැරි කමක් නෑ. හැබැයි එහෙම උනොත් මේකේ ඉන්න අනිත් උනුත් හැමදේම දැනගනියි. ඒ නිසා සද්ද නැතුව ඇවිල්ලා දොර අරින්න. මට තමුසෙත් එක්ක කතා කරන්න ඕනේ. “
නෙත්‍යාට ඉකි ගැසුණාය. මඳ වේලාවකින් ඈ කඳුළු පිරි දෑසින්ම ඇඳෙන් බැස ඉදිරිපස දොර දෙසට විත් එය සෙමින් විවර කළාය. දොර විවර කරනවාත් සමඟම කලබලයෙන් එතුළට ගොඩ වූ දේහදාරියා දඩාස් හඬක් නංවමින් දොර වසා දමා තමා දෙසට හිස නොඔසවා බිම බලා සිටින ඇගේ අතින් අල්ලාගෙන නිදන කාමරය වෙතට පැමිණ ඈ වේගයෙන් යහන දෙසට තල්ලු කළේය. ඉන්පසුව යහනේ කෙළවරකින්ම හිඳ ගෙන වේගයෙන් සුසුම් ලෑවේය .
දේහදාරියාගේ තල්ලුවත් සමඟම තල්ලු වී ගිය නෙත්‍යා ඇද වැටුණු යහනෙන් වහා නැඟිට එහා මෙහා වූ රාත්‍රී ඇඟළුම ඉක්මනින් සකසා ගන්නා අයුරු දුටු ඔහුගේ මුව කොනට සමච්චල් සිනහවක් නැඟුණේය.
” මං තමුසෙව රේප් කරන්න ආවේ නෑ “
ඔහුගේ කටහඬ කෝපයෙන් පුපුරා හැළුණේය.
” මනූ… ! දැන් වෙලාව පාන්දර දෙකහාමාරයි. මේ වෙලාවේ ඔයා මෙතන ඉන්න එක හොඳ නෑ. ඒ නිසා කරුණාකරලා ඔයාගේ රූම් එකට ගිහින් නිදාගන්න. ඔයා ගොඩක් බීලත් ඉන්නේ .”
” මනූ.. ? ඇයි කෝ මිස්ටර් විජේවර්ධන කියන කෑල්ල ?”
රත් පැහැ ගැන්වූ ඔහුගේ දෑස වහා මඟ හැරි නෙත්‍යා අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය.
” මිස්ටර් විජේවර්ධන , දැන් ගිහින් නිදාගන්න. අපිට පුලුවන් හෙට උදේට කතා කරන්න. “
අන්තිම වාක්‍ය අවසානයේ නෙත්‍යාට නැවතත් ඉකි ගැසුණාය. වහා හිඳ සිටි තැනින් නැඟිට ආ මනුහස් නෙත්‍යාගේ අත් බාහු යුගලයෙන් අල්ලා ගත්තේය.
” තමුසෙට මාව විහිළුවක් උනාද ඒ පාර..?”
” අනේ.. මනූ…! ඇයි මේ..?”
නෙත්‍යාගේ දෑසින් එක දිගට කඳුළු කඩා හැළෙන්නට වූයේය. ඇගේ දෑසේ කඳුළු දුටු මනුහස්ගේ හදවත වහා සෙළවී ගිය අතර ඔහු තදින් අල්ලා සිටි දෑත වහා ලිහිල් කර වහා ඇගේ නිකටින් අල්ලා තමා දෙසට ඇගේ මුහුණ ඔසවා ගත්තේය.
” මට කියනවා.. මට කියනවා… , හොඳින් නෙමෙයි නේද හිටියේ ? මහ ලොකුවට මාව දාලා ගිහිල්ලා ලොකු සල්ලිකාරයෙක් බැඳ ගත්තට හොඳින් නෙමෙයි නේද හිටියේ ?”
” අනේ මනූ ! , ඔයා මොනවද මේ අහන්නේ ? “
” අහන දේට උත්තර දෙනවා සුදු බෝලේ. මං දන්නවා ඔයා හිටියේ හොඳින් නෙමෙයි කියලා .”
නෙත්‍යා හට පාලනය කර ගත නොහැකි අන්දමට හැඬුම් ආවාය.
” අනේ.. මනූ..!”
” මනූ තමයි මං. කාගෙවත් නෙමෙයි මගෙ සුදු බෝලේගෙ මනූ වෙලා එදා හිටිය මනූම තමා අද ඉන්නේ ? මට කියන්න බැරි දෙයක් ඔයාට තියෙන්න බෑ. මට කියන්න නෙත්‍යා , ඌ ඔයාට වද දුන්නද ? “
මනුහස්ගේ දෑස් කෙළවරෙහි අසීරුවෙන් රැඳී තිබූ කඳුළු බිඳුවක් එක වරම ඔහුගේ කම්මුල මතට කඩා වැටී ගලා ගියේය. අඩි හයක් පමණ උස දේහදාරියා දෝතින්ම තම දෙකම්මුල් අල්ලා ගෙන හඬා වැටෙන ආකාරය දුටු නෙත්‍යා හට තව දුරටත් තම දෙපයින් සිට ගෙන සිටීමට නොහැකි වූවාය. හදවත තුළින් නැඟී ආ දරාගත නොහැකි වේදනාව වෙව්ලීමක් සේ මුළු සිරුර පුරාම දිව යද්දී හිරි වැටී ගිය දෙපයට වාරු නොමැති වූ ඈ බිමට කඩා වැටී මනුහස්ගේ දෙපා අසල හිස තබා ගෙන මහ හඬින් හඬා වැටුණාය.
” මට සමාවෙන්න මනූ… ! , අනේ මට සමාවෙන්න ! , මට ඒ වෙලාවේ කරන්න වෙන දෙයක් තිබුණේ නෑ. එදා ඒ මොහොතේ ඉඳන්ම අද මේ වෙනකන්ම මං ඔයාට දුන්නු දුකට තාමත් දුක් විඳිනවා. අනේ.. මට සමාවෙන්න දෙයියනේ… ! මට සමාවෙන්න..!”
හිස ඉහලට හරවා ගත් නෙත්‍යා දෑතම එකතු කොට මනුහස්ගේ පය පාමුල වැටී සමාව අයැද සිටියාය. සුරුස් හඬින් නාසය ඉහලට ඇද පහත් වූ මනුහස් ඇය අසලම බිම හිඳ ගෙන යහන මතින් හිස තබා ගත්තේය.
” මට.. මට … කරන්න දෙයක් වෙන තිබ්බේ නෑ මනූ.. අප්පච්චි හැදුවේ සුයිසයිඩ් කරගන්න. අපි හොඳටම ලොස්ට් වෙලා හිටියේ. බැංකු වලින් නඩු දාලා , අප්පච්චිගෙ පාට්නර්ස්ලා ඔක්කොම අප්පච්චිව අතෑරලා ගිහිල්ලා , පවුලම එකට එකතු වෙලා මැරෙනවා ඇරෙන්න අපිට කරන්න දෙයක් තිබ්බෙ නෑ…”
” මං ඒවා දන්නවා…”
නෙත්‍යා තිගැස්සුණු වටකුරු දෑසින් ඔහු දෙස බලා නැවත හිස බිමට බර කරගත්තාය.
මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යමින් තිබියදී දිගින් දිගටම නෙත්‍යාගේ හැඬුම් හඬ පමණක් ඇසුණු අතර වරක් දෙවරක් මනුහස් නාසය ඉහලට අදින හඬ ඇසුණේය.
යහන මතට බර කරගෙන සිටි හිස හිමින් සීරුවේ කෙලින් කරගත් ඔහු නැවත ඉකි ගසමින් හඬන ඇය දෙසට හැරුණේය.
” දැන් ඔය ඇති..”
ඔහු තවත් ඇගේ මුව අසලටම ළං වී මිමිණූ අතර ඈ තිගැස්සී ඔහු දෙස බැලුවාය. වටකුරු දෑසෙත් , මුහුණේත් ඇති අසරණ බැල්ම දුටු මනුහස්ගේ සිත යළි යළිත් ඈ පිළිබඳව උපන් ශෝකයකින් පිරී ගියේය.
” ඇයි ගැස්සුණේ ? ළඟට එද්දි බයයිද .. ? ආ..? “
කිසිවක් නොපැවසූ ඈ යළි මුහුණ බිමට බර කර ගනිමින් නැත යන්නට හිස සැළුවාය.
ඔහු සීරුවට ඇගේ කොපුල් තෙමමින් ගලා ගිය කඳුළු වැල් පිසින්නට වූයේය. ඉන් පසුව අවුල් වී ගොස් තිබූ ඇගේ කෙහෙරැලි සීරුවට අතින් සැකසුවේය.
” මයන්ගේ මරණේ දවස්වල මං පළවෙනි පාරට මල්දෙණිය ගෙදට්ට ආපු වෙලාවේ ඔයාගේ බෙල්ලෙයි , අතෙයි පාරවල් දෙක තුනක් දැක්කා. ඒවා උනේ මොනවා වෙලාද ? “
යළිත් වතාවක් ඈ තිගැස්සී ඔහු දෙස බැලුවේය.
” ඔ.. ඔයා කොහොමද දැක්කේ.. ඔයා මගෙ මූණවත් බැලුවේ නෑ..”
” මං පොලිස්කාරයෙක් කියලා අමතක උනාද ?”
නෙත්‍යා නැවත වතාවක් කෙළ පිඬක් ගිල විසල් සුසුමක් හෙළුවාය.
එදා විසි හය වෙනිදා ගෙදරින් යන්න කලින් බ්‍රෙක්ෆස්ට් ගන්න වෙලේ මගෙ අතින් වැඩිපුර මයන්ගේ තේ එකට සීනි වැඩි වෙලා තිබ්බා. මං හැමදාම හදන විදිහටම තමා මනූ තේ එක හැදුවේ . කොහොම ඒක උනාද දන්නෑ. ඒකට එයාට ගොඩක් තරහා ගියා. .”
” ඊට පස්සේ..?”
මනුහස්ගේ කටහඬෙහි නැවත වතාවක් කෝපයක් තැවරී තිබූ අතර ඔහුගේ පැනය පෙරට වඩා උස් ස්වරයක් ගත්තේය.


