අංගාර – 40

0
522

සස්මිත ඇඳුම් බෑග ඇඳ අසල බිම අත් හැරියේය. කේක් සහ අනෙකුත් ආහාර සහිත බෑගය මේසය මත තැබුවේය. කමිසය ගලවා පසෙකට දැම්මේය. දෙපා මත තැබූ දෑතෙහි හිස රඳවාගෙන තමා සන්සුන් කර ගැනීමට උත්සාහ කලේය.

” එක වචනයක් කිව්වම, මෙච්චර එල්ලෙන්න දෙයක් තිබ්බාද කෙල්ල?.. ප්‍රශ්නයක් කිව්වේ ඔයාට ද , නෙවෙයිද තේරුම් ගන්න  බැරිද ? .. ප්‍රශ්නයක් නොකියා, මේ වටේ තියෙන දේවල් ටිකට වෙන මොකක්ද කියන්නේ මම ?.. තමන්ගේ ඩ්‍රයිවර් විදියට ඉන්නේ ඩ්‍රග් සීන් එකකට අවුරුදු  දොලහක් හිරේට නියම වෙලා, ඉන් අවුරුදු අටක්ම හිරේ ඉඳලා ආව එකෙක් කියලා අයියා දැනගන්න එක ප්‍රශ්නයක් නෙවෙයිද ?. ඒ ඇවිල්ලා ඉන්න එකා, ඔයා වෙනුවෙන් අවුරුදු දොලහක් බලාගෙන ඉඳලා කියනෙක ප්‍රශ්නයක් නෙවෙයිද ?… ඒ ඇවිල්ලා ඉන්නෙකා වෙනුවෙන් ඔයා අවුරුදු දොලහක් තිස්සේ මඟ බලාගෙන ඉඳලා කියලා අයියලා දැනගන්න එක ප්‍රශ්නයක් නෙවෙයිද ?…  මේ වහල යටම ඉඳගෙන, මං ඔයාට ආදරේ කරන්න, ඔයාව ඉඹින්න, ඔයාව ගුලි කරගන්න තත්පර හොයනවා කියනෙක මේ වහල යට ඉන්න අනෙක් මිනිස්සු දැනගන්න එක ප්‍රශ්නයක් නෙවෙයිද චායා ?…. ඔයා නොදන්නහැම තැනක්ම ප්‍රශ්නයක්  නේ රත්තරන් .. ඒ කිසි දෙයක් ඔයාට නොකියා, හැමදේම මගේ ඔලුවේ තියාගෙන මම මෙව්වා විසඳන්න හදන්නේ, ඔයා මට ප්‍රශ්නයක් හින්දා නෙවෙයි කියනෙක කොහොමද නොතේරෙන්නේ ?…”

සස්මිත තනිව සිතුවේය. කඳුළු ඔහුට නුහුර් දෙයක් වූයේ නැත. සිරගත වූ මුල් දිනවල ඔහු හඬා වැටුනේ තනිකමද, ඒ ඇතුලේ ජීවිතයද, තමාගේ ඉරණමද, චායා පිළිබඳවද සිතාගත නොහැකිවය. එතැන් පටන් ඃඇඬීම සඟවන්නට දෙයක් සස්මිතට තිබුනේ නැත.

සස්මිත කේක් කැබැල්ලක් එහි වූ කුඩා පිහියෙන්ම කපා ගත්තේය. කලකින් රස අහරක් ලැබුණු කුඩා එකෙකු මෙන් එය බිඳෙන් බිඳ කෑවේය. කොපුල් මත ගැවසී තිබූ රැවුල් අස්සේ දැවටෙන සීතල කඳුලු එහෙමම වියැලෙන්නට දුන්නේය.

චායා කාමරයට ගියේ විහඟිට රැගෙන ආ  බෑග ඇය වෙත දෙන ගමන් මය. චායාගේ මුහුණෙහි වෙනස හැඳිනු විහඟි සෙමින් ඇය පසු පස ඇදුණාය. චරක උන්නේ තාත්තා සමඟ කතාබහක නිසා, විහඟි කෙරෙහි අවධානයක් වූයේ නැත.

” මොකද්ද වුනේ ?..”

” මෝඩ වැඩක් කරා මම ..”

” මොකක්ද දෙයියනේ…?”

චායා සියල්ල එක හුස්මට කීවාය. තමා වැරදි වචනයක එල්ලුණු බවද කීවාය.

” ඉතින් එවෙලෙ ඒක තේරුනා නම්, එන මඟ ඒක කියලා ඉවර කරන්න එපැයි …”

” මට බය හිතුනා..සස්මිත යකෙක් වගේ ඩ්‍රයිව් කලේ..?”

” ඔව් ඉතින්, උඹ යකින්නි වගේ කඩාගෙන පැන්නම ඒ කොල්ලට හිතාගන්න බැරි වෙන්න ඇති .. සැපට කෙල්ලෙක් සෙට් කරන් ඩුබායි ඉන්න තියෙද්දී, මෙහෙ ඇවිල්ලා හැම එකාටම කොන්ද පහත් කරගෙන, නැහි නැහි ඉන්න කොල්ලාට ඔහොම කතා කරලා මදි .. අනෙක, උඹ ප්‍රශ්නයක් නම්, ඌ මොන එක්කටද බං ඒ ප්‍රශ්නේ විහින් බාරගන්න මෙච්චර කටු කන්නේ ?..”

“ඒකම තමා මමත් අහන්නේ?..  මටත් ඒක තේරුනේ පස්සේ නේ ..”

“හනේ මන් දන්නේ නෑ .. කෝල් එකක්වත් අරන් බලමුද ?..”

චායා හිස සලමින්, ඇමතුමක් ගත්තාය. සස්මිත ජංගම දුරකතනය විසන්ධි කර දැම්මේය.

” ඕෆ් කලා…”

” හනේ ඉතින් … අර කොල්ලා … පවු යකෝ..”

විහඟි චායාට තනිව සිටින්නට දී කාමරයෙන් පිටතට ගියේ ඇයට සිතා බැලීමට කාරනාද පවසමිනි. චායා යළි ඇමතුමක් ගත්තාය. බැල්කනියට ගොස් එබී බැලුවාය. එහෙත්, සස්මිත දැකීමවත්, ඇසීමවත් සිදු වූයේනැත.

රාත්‍රී ආහාරය මඟ හරින්නට ඉඩක් නොවූ නිසා චායා ආහාර ගන්නට එක් වූවාය. චරක  හා කතාබහට යොමු වුවාය.

අම්මා සමඟද වචන කිහිපයක කතාබහකට එලැඹි ඕ පසුව කාමරය තුළට රිංගා ගත්තේ, පසුදිනට ස්ටුඩියෝවේ වැඩකටයුතු සකස් කර යැවීමට ඇති බව පවසමින් ය.

ඕ යළි සස්මිත ඇමතුවාය. එවිට රාත්‍රී එකොළහට පමණ විය.

පිළිතුරු ලැබෙන්නට සූදානම් බව ජංගම දුරකතන තිරයේ පෙන්වූවද, කිසිවක් ඇසුණේ නැත.

” හෙලෝ .. “

“හෙලො..”

” හෙලො .ලෝ ..ලෝ…”

ඕ කිහිපවතාවක්ම ඇමතුවාය.

” කතා කරන්නකෝ සස්මිත ..”

” මං ආයේ මොනවා කියනන්ද ..? කියන්න තියෙන ඔක්කොම කියලානේ ගියේ ..”

සස්මිත බර අවියකින් මෙන් පහර දී නිහඬ වූයේය. ඇයට රිදෙන බව නොවැටහුණා නොවේය. එහෙත්, තමන් දෙදෙනා ඉදිරියේ ඇති මහා යුද්ධය පෙනි පෙනීම මෙලෙසින් වීම ….

” තරහද ?…”

චායා බැල්කනියට ගියාය. එහෙත්, අඹ ගහ යටට එන්නයැයි සස්මිතට පවසන්නට ඇයට  දිරි තිබුනේ නැත. ඕ අඹ ගහ යට  හිස් බංකුවේ සස්මිතව මවාගත්තාය.

සස්මිතගෙන් පිළිතුරු නොලැබෙද්දී චායා ඉතා බර, හඬැති සූසුමක් හෙලුවාය.

” තරහක් නෑ .. දුකයි .. මං දුක් විඳින්නේ, ඔයාව මට ඕනි නිසා කියලා නොතේරෙන එකට දුකයි… මං ඔයාට කොයි තරම් ආදරේ කරනවාද කියලා, ඔයා තේරුම් නොගන්න එකට දුකයි …

සස්මිත කාමරයෙන් පිටතට ආවේය. හාත්පස අඳුරය. එහෙත් අඹ ගස යට එළිය මදක් ඇත. ඔහු බංකුවේ වාඩි වී ඉදිරි බැල්කනිය දෙස බැලුවේය. ඕ නොසෙල්වී සිටින අයුරු පෙනේ. සස්මිතගේ හදවත දියවෙන්නට ගත්තේ ඕ එතරම් දුරින් පෙනෙද්දි පවා ළඟම සේ දැනෙන එකටය.

” එහෙම කියන්නෙපා මට …..”

චායා හඬන්නට ගත්තාය. කඳුළු පිසලනුද සස්මිතට පෙනුණි.

” අඬන්න එපා.. මගේ ඔලුවත් විකාර වුනා…  හීනයක් වගේ පැය දෙකක් ගෙවුණේ. එහෙව් එකේ ඔයා එහෙම හැසිරුනාම මටත් …. මටත් ජීවිතේ එපා වෙනවා මැණිකේ …”

” මං එන්නද පහලට ?..”

චායා එක්වරම ඇසුවාය.

” ඔන්න බලන්නකෝ චායා … අනේ මෙච්චරකල් ඔයාව තනියෙන් බලාගෙන සිහියෙන් ජීවත් වුන ඔයා ඇයි දැන් මෙහෙම ?..”
” මට තේරෙන්නේ නෑ සස්මිත … මට තේරෙන්නේ නෑ ..මට බයයි …. මට තේරෙන්නේ නෑ ..”
” ශ් ශ් …  නාඬා ඉන්නකෝ එකටම ..ප්ලීස් මැණිකේ ..ඔහොම කලාම මම පවුනේ දෙයියනේ .. මම මොකක් කියලා කරන්නද ?..  මාව විශ්වාස කරලා ඉවසන්න මැණිකේ .. දාලා යන්නේ නෑ කිව්වනේ… මාව මරලා දැම්මොත් මිසෙක, ඔයාගේ ඇස් මායිමෙන් යන්නේ නෑ මම … පොරොන්දුවක් ඒක … “

චායා හැඳ සිටි ඇඳුමෙන්ම කඳුළු පිස දැමුවාය. සස්මිත ඕ දෙස බලා උන්නේ දරා ගත නොහැකි සෙනෙහසකිනි. ඇය සිටින්නේ කෙතරම් පීඩනයකදැයි  නොවැටහෙනවා නොවේය. ඕ සියල්ල දරාගෙන මෙතරම් කල්, මෙලෙසින් සිටීමද කෙතරම් වටින්නේද ?

” සොරි … මටත් සමාවෙන්න .. ම්ම්…මට විනාඩියක් ඉවසන්න තිබුණා..”

” හ්ම්ම් … මට දුක හිතුණා ..”

” මං දන්නවා .. “

“ඔයා කෑවාද ?..”

” කේක් කෑවා.. අර මිල්ක් ශේක් එක බිව්වා…”

” ඈ..?”

” අවුරුදු දොලහකට පස්සේ එච්චරට කේක් ලැබුනම නොකා කොහොමද ?..ආයේ ඉතුර් කරන්නේ නෑ…”

” කන්න රත්තරන් .. එතන කේක් වර්ග හරිම රසයි … මං ආයේම වෙන වර්ගයක් ගේන්නම්…”

සස්මිත සිනාසුණේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here