BE SILENT – 43

0
433

” මට මතකයි ටෙහාන් කලබලෙන් දවසක් උදෙන්ම අපේ ගෙදර ආපු විදිහ. මයන් එයාව කෙලින්ම එක්කන් ගියේ ඔෆිස් රූම් එකට. මට ඇහුණා ටෙහාන් ඒකේ ඇතුළේ ඉඳන් කතා කරන ඒවා. එයා කිව්වේ කවුද මේක ඇද්දේ ? ඇයි අපිට නිදහසෙ ඉන්න දෙන්නෙ නැත්තේ වගේ දේවල්. ඒ දවස් ටිකේම මයන් හිටියේ සෑහෙන්න කලබල වෙලා. මයන් තමා ටෙහාන්ට කිව්වේ උමායා අක්කා එන එක පරක්කු කරන්න කියලා . ඒත් අන්තිමට ටෙහාන් මැරුණා. මෙහෙ ක්‍රිශාන්ගේ සිද්ධියෙදි එහෙමයි. එයා නිතර නිතර කතා කර කර මයන් එක්ක මොනාහරිම කිව්වා. ඒ දවස් ටිකෙත් මයන් සෑහෙන්න කලබලෙන් හිටියේ. එතකොට සුදේශ්ගේ . මට මතකයි එක දවසක් රෑ කෝල් එකකින් මයන් කාටහරි බනිනවා. උඹලා ඔක්කොටම පිස්සු. කාටවත් මුකුත් කරන්න බෑ. ඇයි උඹලා එක එකා මැරෙන්න හදන්නේ කියලා. ඊට ටික දවසකට පස්සෙ තමා එයත් නැති වෙලා තිබ්බේ.

 මේ හැමෝගෙම මරණ වලට මයන්ගෙ සම්බන්ධයක් තියනවා මනූ.. ඔය ෆොටෝ වල සිද්ධිය උනත් ඒ කතා කරපු සමහර දේවල් අස්සෙන් කියවුණා. මයන් වෙන්නේ මොකද්ද කියලා හොඳටම දැනන් හිටියා. හැබැයි අන්තිමට එයාටත් ෆොටෝ එකක් ආවා. ටැමී මේ දේවල් දන්නෑ වගේ හිටියට එයත් මොනාහරි දන්නවා මනූ… එයා හිතනවා ඇති එයාට මේ වෙන්නේ මොකද්ද කියලා හොයාගන්න පුලුවන් කියලා. ඒත් .. එයාටත් ඒක කරන්න බෑ. ටැමීට ඕක හොයන්න පුලුවන් නං ඊට සෑහෙන්න කාලෙකට කලිනුයි මයන් ඕක හොයාගන්නේ. මයන්ටත් බැරි වෙච්ච එක ටැමීට කීයටවත් පුලුවන් වෙන්නෑ. “

නෙත්‍යා හිස ඔසවා මනුහස් දෙස බැලුවාය. ඔහු සිටියේ බර කල්පනාවකය. 

” ඔයා දන්නවද මයන් අන්තිමට මෙහෙ ආපු දවස. ?”

සුසුමක් හෙළූ මනුහස් නැවත ඈ දෙසට හැරුණේය .

” ඔව්.. අර ටැමී කිව්වා වගේ කොරෝනා පටන් ගත්තු මුල් කාලේ. “

” ඒ කාලේ මෙහෙ රිසර්ච් එකක් කරන්න ආපු ජර්මන් ගර්ල් කෙනෙක් නැවතිලා ඉඳලා තියනවා. හදිස්සියෙම ඒ ගර්ල්ට කොවිඩ් කියලා එයාව නිරෝධායනය කරලා. ඒත් ඒ ගර්ල් දවස් දෙක තුනකින් නැතිවෙලා . කොවිඩ් මරණයක් නිසා අනිත් මරණ වගේ වැඩ අවසන් කරලා. ඒක කොවිඩ් මරණයක් වෙන්න බෑ නෙත්‍යා. මං හිතන්නේ මයන්ලා අතින් කෙල්ලට මොනාහරි උනා. “

නෙත්‍යා වෙව්ලන දෑසින් මනුහස් දෙස බලා සිටියාය. 

” මනූ…!” 

” හ්ම්ම් ?” 

” මට ඔය සිද්ධිය මතකයි. මයන්ලා මෙහෙ ආපු එකයි , ඊට පස්සේ මෙහෙ හිටපු ටුවරිස්ට් කෙනෙක්ට කොවිඩ් තිබිලා නැති උනා කියන එක මං දන්නවා. මේ ගෙස්ට් හවුස් එකක් සති 2ක් වැහුවා. ඒ සති දෙකම මයන්ලා හිටියේ මෙහේ. ඊට පස්සේ ඔව්.. කොළඹ ආවට පස්සේ මයන් තුන්පාරකට ජර්මන් වල කාටහරි සල්ලි ට්‍රාන්සර් කළා. “

” කොච්චරක්ද ?” 

” මං හිතන්නේ ලක්ෂ පනහක් විතර. බිස්නස් වැඩ වලට කිව්වට ඒක ට්‍රාන්සර් කරලා තිබ්බේ මයන්ගේ පර්සනල් එකවුන්ට් එකකින්. ඊට පස්සේ ආයේ තව ලක්ෂ විස්සක් විතර අම්මගේ එකවුන්ට් එකකින් ඒ ජර්මන් එකවුන්ට් එකටම ට්‍රාන්සර් කරලා තිබ්බා. “

” ඒ එකවුන්ට්ස් වලට ලොග් වෙන්න ඔයාට ඇක්සස් තියනවද ? “

” ඔව් තියනවා. බිස්නස් එකේ සමහර ඒවාට නෑ. ඒත් පර්සනල් ඒවට නං කොහොමත් තියනවා මනූ.. “

” ඔයාට පුලුවන්ද මට මයන් ඒ සල්ලි ටික ට්‍රාන්සර් කරපු එකවුන්ට් එකේ ඩීටේල්ස් ටික දෙන්න ?” 

” ශුවර්…!”

” මනූ…”

මඳ වේලාවක් නිහඬව සිටි නෙත්‍යා නැවතත් මනුහස් දෙසට හැරුණාය. 

” හ්ම්ම් …?” 

” මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්නේ ඒ නිසාද ?” 

” නෑ.. ඒක මේ සිද්ධි එක්ක සම්බන්ධ වෙච්ච පොඩි සිද්ධියක් විතරයි. මෙතන ඊට වැඩිය ලොකු දෙයක් තියනවා ,  මීට වඩා පිරිසක් සම්බන්ධ වෙලා හිටපු මොකක්ම හරි දෙයක් තියනවා. කැනඩා වල ඉන්නවා කියපු මයන්ගේ යාලුවා ජෙසිකාත් දැන් පැය හතර පහකට කලින් සුයිසයිඩ් කරන් තියනවා.. “

” දෙයියනේ.. මනූ…! ” 

නෙත්‍යා පපුව මත දෑතම ගුලි කර ගත්තාය. මනුහස් ඈ දෙස බලා නැවතත් ඇගේ අතකින් අල්ලා ගත්තේය. 

” බයයිද ?” 

ඈ හිස සොළවා නැත යැයි කීවාය. 

” නිදාගන්න ටිකක්. අදට මේ ඇති “

ඔහු නැවත වාරයක් ඇගේ හිස පිරිමැද්දේය . අලුතින් ඉනූ කඳුළු පේළියක් නැවතත් නෙත්‍යාගේ දෙකම්මුල් දිගෙහි ගලා ගියේය .

” ඇයි මේ..?” 

දෝතින්ම ඇගේ මුහුණ අල්ලා ගෙන තමා දෙසට හරවා ගත් ඔහු ඒ වටකුරු දෑසට එබුණේය. 

” කියන්න දේවල් ගොඩක් තියනවද ? ම්ම්ම්… ?” 

ඈ හෙමිහිට හිස සළා ඔව් යැයි පැවසුවාය. 

” අදට මේ ඇති . ඉතුරු ටික පස්සේ. දැන් හොඳ ළමයා වගේ නිදාගන්න. “

වචනයකින් හෝ ඔහු පැවසූ දෙයට විරෝධයක් නොදැක්වූ ඈ කීකරුව යහන මත තිබූ සිනිඳු කොට්ටය මත හිස තබා ගත්තාය. ඉන්පසුව සීරුවට ඔහුගේ අතකින් අල්ලා ගත්තාය. 

” මනූ…!” 

එක් අතක් තදින් අල්ලාගෙන දෑස් පියා හිඳිනා සිතැත්තිය වෙත ඔහු පහත් වූයේය. 

” ම්ම්ම්… ?” 

” යන්නෙපා..”

” යන්නෑ.. ඔයා නිදාගන්න. “

ඉදින් ඔහු සීරුවට අනෙක් අතින් ඇගේ හිස පිරිමැද්දේය.

 ළා හිරු කිරණක් එබී බලන්නටත් පෙර කුරුළු කූජන ඇසෙන්නට පටන් ගත්තේය. වසා සිටි දෑස හැර බැලූ මනුහස් සුවසේ තමා අසල නිදන සිතැත්තිය දෙස බැලුවේය. ඈ සිටින්නේ තද නින්දක බව වටහා ගත් ඔහු සීරුවට ඈ තවමත් අල්ලා ගෙන සිටින තම අත මුදවා ගත්තේය. ශබ්දයක් නොනැඟෙන සේ යහනින් නැඟී සිටි ඔහු නිදන කාමරයට යාබදව තිබූ වීදුරු ද්වාරය හැර පිටතට පිවිසියේය. එය කෙලින්ම විවර වන්නේ වැව දෙසටය . තවමත් හිරු කිරණක් වැටී නොමැති වැව් දිය සෙමින් සෙමින් තාල නඟමින් උන්නේය. නැවත වතාවක් නිදන කාමරය දෙස බලා ඈ නින්දේ බව තහවුරු කර ගත් ඔහු ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගත්තේය. 

” සචින්ද්‍ර ..! වැඩේ හරි. දැන්ම පිටත් වෙන්න. “

ඔහු එසේ පවසා ඇමතුම විසන්ධි කර දැමුවේය. 

**************************

වීදුරු ද්වාරය තුළින් ඇදී ආ රන්වන් හිරු කිරණ සමඟින් නෙත්‍යා තිගැස්සී අවදි වූවාය. ඇය වහා නැඟිට යහන මත හිඳ ගෙන දෑස් කරකවා බැලූ අතර ඈ සෙවූ රුව අසල තිබූ සෝෆාවට බර වී ඈ දෙස බලා සිටියේය. ඉන් පසුව ඔහු සෙමින් නැඟිට යහන දෙසට අඩි තැබුවේය. 

” ගුඩ් මෝනින් !” 

” ගුඩ් මෝනින් !” 

” මං නෑ කියලද හිතුවේ ? ගැස්සිලා ඇහැරුණේ ?” 

ඇය ඔව් යැයි පැවසීමට හිස දෙපසට සැලුවාය.

” යන්නෙපා කියලා නේද නිදාගත්තේ ? ඉතිං කොහොමද මං යන්නේ ?” 

ඔහු සෙමින් ඇගේ මුහුණට බර වී පැවසුවේය. මඳ වේලාවක් ඇගේ වටකුරු මුහුණ දෙස බලා සිටි තරුණයා පසෙක ටීපෝවක් මත තිබූ කඩදාසි බෑගයක් ගෙන ඇගේ උකුළ මත තැබුවේය. 

” මොකද්ද මේ ?” 

” ඩ්‍රෙස් එකක් . ඕක ඇඳන් එන්න. “

” අපි නිශාදි අක්කලගෙ ගෙදර යන්නැද්ද ?” 

ඔහු හිස සලා නැත යැයි පැවසුවේය. 

” ඒත්.. මනූ .. අපි ආවේ ඒකටනේ ? “

” මිසිස් මල්දෙණියට කෝල් එකක් අරන් කියන්න හදිසි වැඩක් නිසා මං මිසිස් පීරිස්ව මුණ නොගැහී ආපහු කොළඹ එන්න ඕනේ කියලා ආවා කියලා. ඔයාට මෙහෙ ඉන්න යාලුවෙක් මීට් වෙන්න යන්න ඕනේ කියලත් කියන්න. ඔයා ආපු වෙහිකල් එකේ ඩ්‍රයිවර්ව ආපහු කොළඹ යවන්න. යාළුවා එක්ක ඔයාට එන්න පුලුවන් කියන්න “

” ඒත් මනූ ඇයි එහෙම ?” 

මනුහස් හෙමින් සීරුවේ යහන මත හිඳ ගනිමින් නෙත්‍යාගේ අතකින් අල්ලා ගත්තේය .

” මං දෙයක් ඉල්ලන්න , දෙනවද ?” 

” ආ..?” 

ඇගේ වටකුරු බෝල දෑස තිගැස්සී විසල් වුණු ආකාරය දුටු මනුහස්ගේ මුවට සිහින් සිනහවක් නැඟුණේය .

” මොකෝ බය උනේ ? “

” බය උනේ නෑ … ඔයා මොනවද මනූ ඉල්ලන්න ඕනේ කිව්වේ ?” 

” අද දවස..”

” ආ..?” 

” අද දවස මට දෙන්න . මාත් එක්ක ඉන්න. “

” ආ..?” 

” බය වෙන්නෙපා. අතින් විතරයි අල්ලන්නේ ” 

ඈ ඔහු දෙස බලා වටකුරු දෑසින් සිනාසුණාය . 

” ඕක ඇඳගෙන එන්න. මාත් රෙඩි වෙලා එන්නං. “

” මනූ…!” 

” හ්ම්ම් ?” 

” සපුගොඩ , බලයිනේ ඔයයි මායි එකට යද්දි ?” 

” මිනිහගෙ ගෙදර මොකක් හරි කරදරයක් කියලා පාන්දරම ගිහින්. බය වෙන්නෙපා. ලෑස්ති වෙලා ඉන්න. “

ඔහු එසේ පවසා නිදන කාමරයෙන් නික්ම ගිය අතර ඈ සෙමින් උකුළ මත තිබූ කඩදාසි බෑගය විවර කළේය. බෑගය තුළ වූ ඇඳුම දුටු නෙත්‍යාගේ වටකුරු දෑස විසල් වී ගිය අතර ඈ ගැහෙන හදින් එය ළමැඳ මත තුරුළු කර ගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here