BE SILENT – 45

0
839

අහස් නිලට හුරු නිල් පැහැයකින් දිගු ගවුමක් හැඳ පැමිණි රුවැත්තිය වහා මෝටර් රථයට ගොඩ වූවාය . 

” හරි යං…!” 

ඈ දෙස බලා මඳ සිනහවක් පෑ ඔහු රථ වාහන අංගනයෙන් පිටතට ධාවනය කළ මෝටර් රථය මහා මාර්ගයට අවතීර්ණ කළේය. එයිනුත් අඩ හෝරාවකට පමණ පසු මනාව නඩත්තු කොට පිළිවෙළකට හා අලංකාරවත්ව සකස් කොට තිබූ විසිතුරු ගෙමිදුලක් මධ්‍යයේ පිහිටි රට උළු සෙවිළි කළ පැරණි පන්නයෙත් , නවීන පන්නයේත් අංගෝපාංග රැසකින් සමන්විත වූ හුරුබුහුටි නිවසක් ඉදිරිපස මනුහස් මෝටර් රථය නතර කළේය.  

මිදුල ඉදිරියේ තිබූ මී අඹ ගස තවමත් එලෙසමය. වසර ගණනකට පෙර මෙහි පැමිණෙන විට තමා විසින්ම ගෙන ආ රෝස පිච්ච පැළය අද අද අතු පතර විහිදා වැඩී තිබූ අතර සුදු ඇතිරිල්ලක් දැමුවාක් මෙන් එහි මල් පිපී තිබුණේය . ඉදින් මේ ගොඩ වදින්නේ වසර ගණනකට පෙර ප්‍රේමවන්තයාගේ අතේ එල්ලී ගොඩ වූ නිවසටය. බොහෝ වේලා කා , බී සතුටු වූ නිවසටය. මෝටර් රථය නතර කොට මනුහස් ඉන් පිටතට බැස්සද නෙත්‍යාට සිතට එකඟව ගෙමිදුලට අඩිය තැබීමට නොහැකි වූවාය. 

” හහ්.. ! කවුද දන්නෑ ඉලන්දාරියට ගෙදර එන්න පාර කිව්වේ ?” 

නිවස ඉදිරිපස වැරැන්ඩාවේ සිට පුවත් පතක් බලමින් සිටි මනුහස්ගේ පියා එය අසල තිබූ ටීපෝව මතින් තබා හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටේය. 

” වසූ…! වසූ…! මෙන්න කවුද ඇවිල්ලා “

ඔහු එසේ පවසමින් වැරැන්ඩාවේ පඩි තීරු දෙක තුන බසමින් මනුහස් අසලට පැමිණ ඔහුව වැළැඳ ගත්තේය. 

”  කොහොමද අප්පච්චි..?” 

 ” අවුලක් නෑ බං ඉන්නවා. “

” දෙයියනේ… ! මං බැලුවා කාගෙද සද්දේ කියලා. “

නිවස තුළ සිට වේගයෙන් අඩි තබමින් පැමිණි සුන්දර කාන්තාව දුටු තවමත් මෝටර් රථය තුළට වී බලා සිටින නෙත්‍යාගේ හදවත වරදක් කළ අයෙකු මෙන් පසුතැවෙන්නට පටන් ගත්තේය. 

” කොහොමද අම්මා..?” 

” යනවා යන්න. මාස කීයකින්ද මේ ගෙදර මතක් උනේ ?” 

මව වැළඳ ගැනීමට ඉදිරියට අඩි තැබුවද ඈ වහා මනුහස්ගේ බාහුවට පහරක් ගැසුවාය. 

” ආව්ව්.. රිදෙනවා..අනේ..”

මනුහස් මවගේ අමනාපය නොතකාම ඈ වැළඳ ගත්තේය . 

මඳකින් මෝටර් රථය දෙසට හැරුණු ඔහු සුසුමක් අත හැර ඒ දෙසට පා නැඟුවේය. 

” ඇවිත් ඉන්න කෙනා අඳුරනවද බලන්න අම්මා..”

ඔහු එසේ පවසමින් නෙත්‍යා හිඳ සිටි අසුනේ දොර විවර කර ඇයට බසින මෙන් හිසින් සන් කළාය. 

” අනේ මනූ…!” 

” බහින්න ළමයෝ…”

දෑසින් රූරා වැටෙන කඳුළු වැල් කිහිපයක් අතින් පිස දමමින් නෙත්‍යා මෝටර් රථයෙන් බිමට බැස්සාය. ඈ දෙස මොහොතක් බලා සිටි වසුන්දරා වහා වහා අඩි තබමින් ඈ ඉදිරියට ආවාය. 

” දෙයිහාන්දුරුවනේ … බට්ටිච්චී…! “

නෙත්‍යාගේ මුහුණ දෝතින්ම අල්ලා එසේ පැවසූ වසුන්දරා වහා ඈව තුරුළු කර ගත්තාය . අංශු මාත්‍රයක හෝ මෙවැනි පිළිගැනීමක සේයාවක් පවා බලාපොරොත්තු නොවී උන් රුවැත්තිය වසුන්දරාට තුරුළු වී ඉකි ගසමින් හඬා වැළපුණාය. 

” අනේ ඇයි දෙයියනේ මේ අඬන්නේ ?” 

නැවත වතාවක් නෙත්‍යාගේ මුව දෝතින්ම අල්ලා ගත් වසුන්දරාද දෑසින් ගලා යන කඳුළු අතරින්ම නෙත්‍යා දෙස බලමින් ඇසුවාය . 

” මට සමාවෙන්න අම්මා..!” 

වසුන්දරාගේ දෑතින්ම අල්ලා ගත් නෙත්‍යා නාසය උඩට අදිමින් පැවසුවාය .

” මොකටද මැණිකේ ? මේ ලෝකේ අපි හිතන පතන දේවල් ඒ විදිහටම වෙනවනං කොච්චර ලස්සනද ? සිද්ධ වෙන හැමදේම වෙන්නේ අපේම හොඳට කියලා තේරුම් අරන් ජීවත් උනාම ජීවත් වෙන්න ලේසියි.. “

වසුන්දරාද තම දෑසින් වැගිරෙන කඳුළු පිස දැමුවාය. 

” ඔය ළමයිව ගෙට එක්කන් එන්න වසූ. මහන්සියෙනේ ඇත්තේ..”

” හිතේ තියන සන්තෝසෙට මට ඒකත් අමතක උනා . යං දරුවෝ ගෙට. එහෙන් පිටත් වෙද්දිවත් කියන්නෙපැයි මනූ කන්න ටිකක්වත් හදලා තියන්න. “

වසුන්දරා නෙත්‍යාගේ අතින් අල්ලාගෙනම නිවසට ගොඩ වූ අතර ඇගේ මුවින් පිටවන වචනයක් වචනයක් පාසා නෙත්‍යාගේ හදවත පුරා සන්තෝෂ රටා විහිදෙමින් තිබුණේය. 

” තේ හදන්නෙපා වසූ.. රස්නෙයිනේ. තැඹිලි ගෙඩියක් කපලා ගමු. “

” මං පැණි දොඩං ගෙඩි දෙකක් මිරිකන්න හැදුවේ ඒයි.. “

” ඕන්නෑ අම්මා. තැඹිලි ගෙඩියක් බොමු. “

මනුහස් එසේ පවසා ගත රැඳි කමිසය ගලවා ඉවත් කළේය. හිතුවක්කාරයාගේ කඩවසම් නිරුවත් උඩුකය දුටු නෙත්‍යා තිගැස්සුණු හදින් වහා ඉවත බලා ගත්තාය. 

” ඔය දරුවාව එක්කන් ගිහින් මූණ කට හෝදගෙන එන්න මනූ..”

වසුන්දරා මුළුතැන්ගෙහි සිට හඬ නඟා කීවාය .

” වොශ් එකක් දාගන්නවද ? එන්න..!” 

නෙත්‍යා දෙසට හැරී ඔහු එසේ පැවසුවද ඇය ඔහු දෙස නොබලාම බිම බලා සිටියාය . රුවැත්තියගේ කෝල දෑසට හේතුව කුමක්ද කියා නොදන්නා ආකාරයට ඔහු ඈ අසලටම විත් පහත් වී ඇගේ මුහුණට එබුණේය. 

” මොකෝ..?” 

එවර ඈ පෙරටත් වඩා තිගැස්සී ගියාය. 

” මු.. මුකුත් නෑ.. වොශ් රූම් එක කොහෙද ?” 

” තිබ්බ තැනම ඇති . ගිහින් බලන්න. “

තම උවනට එබී සිටින රෝමාන්තිකයාගේ දෑස තවත් මඟ හැරි ඈ වහා හැරී නාන කාමරය වෙත දිව ගියාය. 

රුවැත්තිය තිගැස්සුණු කාරණය හොඳින් වටහා ගත් මනුහස් මුව පුරා තවරා ගත් හසරැල්ලකින් නිදන කාමරය වෙත ගොස් කෙටි කලිසමකින් හා අත් රහිත බැනියමකින් සැරසී ජංගම දුරකතනය අතට ගෙන ගෙමිදුලට බැස්සේය .

” සචින්ද්‍ර ..!” 

” සර්.. ! කෝල් එකක් එනකන් හිටියේ. “

” දැන් කොහෙද ?” 

” මේ දැන් ආවා විතරයි සර්  “

” හරි . මං උඹට ඊමේල් එකක් දාලා ඇති. “

” දැක්කා සර්. “

” කෝට් ඕඩර් එක ගනින්. “

” ඕකේ සර් !” 

මනුහස් දුරකතන ඇමතුම විසන්ධි කර ෂියෝනා වෙත ඇමතුමක් ලබා ගත්තේය. 

” කියන්න මනූ.. !”

” ෂියා.. ! රෙඩි වෙන්න.  ඔක්කොම වෙන්න ඕනේ විනාඩි දෙකක් ඇතුළත . පිට කිසිම කෙනෙක් දැනගන්න බෑ. කිව්ව විදිහට කරන්න. “

” ඕකේ මනූ ” 

උතුරා යන සන්තෝෂයකින් ගෙමිදුලට බට නෙත්‍යා ඈතින් හිඳ දුරකතනය කනේ තබා ඉන්නා දේහදාරියාව දුටුවාය. සෙමින් සෙමින් මිදුලට අඩි තබමින් ගිය ඈ නිවස අද්දරම තිබූ රෝස පිච්ච ගසේ තිබූ මල් පොකුරු වල සුවඳ හද පුරා විඳ ගත්තාය. 

රෝස පිච්ච පැළයට අනෙක් පස තිබු පේර ගසෙහි ඉඳුණු පේර ගෙඩියක් දුටු ඈ දෙතුන් වරක්ම උඩ පනිමින් පේර ගෙඩිය ඩැහැගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගිය අතර පසුපසින්  පැමිණි දේහදාරි තරුණයා අත මඳක් ඔසවා කිසිදු අපහසුවකින් තොරව එය කඩා ඈ වෙත දිගු කළේය.

ඇහුවොත් මහ ලොකු මිසිස් මල්දෙණිය , පේර ගෙඩියක් කඩා ගන්න උස නෑ..”

පේර ගෙඩිය අතට ගත් ඈ මුව ඇද කර ඔහුට රවා පේර ගෙඩිය අතින් මඳක් පිස මුවට ළං කර කඩා කෑවාය. 

” කවුද කතා කළේ ?” 

” ස්ටේශන් එකෙන්. “

දෑතම කලිසම් සාක්කු මත දමාගත් කඩවසම් තරුණයා කුඩා එකියක සේ හිස ඒ පසට මේ පසට ඇල කරමින් පේර ගෙඩිය සපන රුවැත්තිය දෙස දිළිසෙන දෑසින් බලා සිටියේය. 

” ඕනෙද ?” 

අඩකට වඩා කෑ පේර ගෙඩිය ඔහු වෙතට දිගු කළ ඈ ඇසුවාය. 

එපා යන්නට හිසින් සන් කළ ඔහු නැවතත් ඇගේ වටකුරු මුහුණ දෙසම බලා සිටියේය. 

” එපා නං බලන් ඉන්නේ පෙරේතයෙක් වගේ. ? මගෙ බඩ රිදෙයි. “

ඈ එසේ පවසා වහා නිවස තුළට දිව ගිය අතර මුව පුරා සිනහවක් නැඟූ ඔහුද නිවස තුළට අඩි තැබුවේය. 

” බඩගිනිද දරුවෝ ? කොහෙද මේ අපේ ඉලන්දාරියා ගෙදර එන්නේ හොරු අල්ලන්න වගේනේ. එනවා දන්නෙත් නෑ. යනවා දන්නෙත් නෑ. “

ලිප මත තිබූ හොඳි වළඳ හැඳි ගාමින් උන් වසුන්දරා නෙත්‍යා දෙසට හැරී ඇසුවාය. 

” බඩගිනි නෑ අම්මා. “

නෙත්‍යා පසුපසින් ආ මනුහස් ඇගේ කොණ්ඩයෙන් ඇද , ඈ පසු කර ගොස් ශීතකරණය හැර වතුර බෝතලයක් ගෙන මුවේ තබා ගත්තේය .

” අප්පච්චිට පොළොස් ගෙඩියක් කඩන්න කිව්වා. රෑ වෙලා උයමු. හෙට උදේට තමයි රහ එතකොට. “

” තව ටිකකින් යන්නෝන අම්මා..”

මනුහස් එසේ පවසා නැවතත් ශීතකරණය හැර අතේ තිබූ වතුර බෝතලය එතුළට දැමුවේය. වසුන්දරාගේ මෙන්ම නෙත්‍යාගේද පුදුමයෙන් පිරි සිව් දෑස තමා දෙසට එල්ල වී තිබූ අයුරු ඔහු දුටුවේ ඉන් පසුවය. 

” ඇයි ..?” 

” ඇයි අහන්නේ දරුවෝ ? ඔයා එන්නෙම කරදහිය ලිපේ දාලා වගේනේ. ? “

” මේ නිවාඩුවක ඉන්න ගමන් නෙමෙයි අම්මා. ඩියුටි පිට ඉන්නේ. “

වසුන්දරා දෑතම ඉණට තබා ගනිමින් මනුහස් වෙත රවමින් එක දිගට ඔහු දෙස බලා සිටියාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here