අංගාර – 49

0
26

චරක කාමරයේ නැති බව දැන උන් නිසාම විහඟි කාමරයට ආවේම හැඬුම් සමඟින්මය.  ඕ යහනේ පෙරලී හඬ නොනැගෙන සේ හැඬුවාය. හුස්ම හිර වෙන බව දැනෙද්දි කොට්ටයෙන් හිස මදක් ඉහලට ඔසවා යලි මුහුණ කොට්ටයේ ඔබා ගත්තාය. කුස තද නොවෙන්නට  සිටිය යුතු බව සිතමින් යළි ඉරියව්ව සකසා ගත්තාය.

විහඟි උන්නේ අභ්‍යන්තරයෙන් සේම බාහිරෙන්ද ඇවිලෙන ගින්නක පිළිස්සෙමිනි. අභ්‍යන්තර අංගාරයන්හී දැවීම ඕ කිසිදිනෙක බලාපොරොත්තු නොවූ තරම් විය. චායා, ඇය තම ජීවිතයේ සියලු අහු කොන් දන්නීය. ඇයට නොපැවසූ  යමක් වූවා නම් ඒ චරක හා වූ බැඳීමේ කතන්දරම පමණි. ඒවාද හැකි පමණ ඇය හට පවසා නිදහස් වෙන්නට එකල තමාට අවශ්‍ය වූ බවද විහඟිට කල්පනා වූවාය.

එහෙව් ඇය කෙරෙහි තමා දරන්නේ සහෝදරියක, මිතුරියක ඉක්මවන දාරක ස්නේයක් වැනි හැඟීමක් බව විහඟි ක්‍රමයෙන් වටහා ගත්තේ ඇය මවක විමේ අත්දැකීම සමගය. චායාගේ ජීවිතයේ සැනසීම, සතුට වෙනුවෙන් තමා තම ජීවිතයේ සියල්ල උකස් කරමින් කටයුතු කරන බව සිහි කරමින් විහඟිගේ යටි සිත ඇයට ඔච්චම් කලේය.

චරකව පවා දෙවැනි තැන තබමින් චායාගේ පසින් සිටගෙන සිටීමේ පසු ප්‍රතිපල තමාට සිතා ගැනීමට නොහැකි තරමේ බව විහඟි දන්නීය. එහෙත් මෙවෙලෙහි චායාට තමා නැතිනම් අන් කවරෙකුවත් නොමැති බවද ඕ දන්නීය. ඒ නිසාම අවධානම තම පසින් තබාගෙන ඕ ඇගේ ජීවිතයේ සතුටු මන්තරය ජප කිරීම වෙනුවෙන් චායා සමඟ සිට ගැනීම විහඟි තෝරා ගත්තාය.

සියල්ල එලෙසින් තිබියදී, චායා දිගින් දිගටම තමා රිදවන බව සිහිවෙද්දී විහඟිගේ ළය රිදුම් දෙන්නට ගත්තේය. චායා තම  ජීවිතයේ ගැලවුම්කාරිය බවට කිසිඳු සැකයක්ද, තර්කයක් හෝ වාදයක්ද නැති බව විහඟි දනී. එහෙව් ඇය දැන් දැන්  වචන වලින් අමුතුම තුරුම්පු ගසමින් සිටින්නීය. වරක්ද ඕ එලෙසින්ම කලාය.

විහඟි තම ජීවිතයේ තනි වීම යළි අත්විඳින්නට ගත්තාය. ළය සිරවෙද්දී, හැඬුම් වැඩි විය. හුස්ම ගැනීම අවහිර වන බව දැනෙද්දී ඕ යහනේ උඩු අතට හැරී හුස්ම ගන්නට උත්සාහ කලාය.

චායා විනාඩි කිහිපයක් තමා පැවසූවේ කුමක්දැයි කල්පනා කලාය. විහඟි ජීවිතයේ යමක් කලා නම්, ඒ තම සහෝදරයා පිළිබඳව වූ අප්‍රමාණ ප්‍රේමය නිසා බව  තමා නොදන්නවා සේ ඇයට ඇණුම් පද පවසමින් තමා කලේ කුමක්දැයි චායා තෙත හිසකේ එක් මිටකට බැඳ ගනිමින් කල්පනා කලේය. ඕ   තුළින්ද නැගෙමින් තිබුණේ ගිනිය.

විහඟි තමාට සහෝදරියක්ව නොවී උන්නා නම්  අද මෙවන් චායා කෙනෙකු සස්මිතට දකින්නට ඉතිරි නොවන බවද ඕ කල්පනා කලේ ඒ  ගිණි අතරින්මය.

චායා වහා විහඟි සොයා ඇගේ කාමරය වෙත යන්නට කාමරයෙන් එලියට බැස්සාය.

අඩියට දෙකට ඒ වෙත ඇවිද ගියාය.

එහෙත් කාමරයේ යහන මත විහඟි උන් ඉරියව්ව දුටු චායා ට ඇයට හැකි උපරිමයෙන්ම කෑ ගැසුණි. සාලයේ උන් චරක සහ දෙමාපියන්ද, මුලුතැන්ගෙයි උන් සස්මිත සහ අත් උදව්වට සිටින කාන්තාවන් දෙදෙනාද උඩු මහලට දිව එන්නට ගත්තේ විදුලි  වේගයෙනි.

චායා මහ හඬින් කෑ ගසා හඬමින් විහඟිව තමා වෙත වත්තන් කරගන්නට උත්සාහ කලේ ඇගේ පපුව පිරිමදිමිනි.

” අනේ .. අනේ .. අයියේ .. අම්මේ ………..අම්මේ/….. හුස්ම ගන්නකෝ හොඳට … විහඟි …”

චායා විහගිගේ දෑසින් වැගිරෙමින් තිබූ හඳුලු වලින් පිළිස්සෙමින් ඇයව සන්සුන් කරවාගන්නට උත්සාහ කලාය.

චරක විහඟිව ඔස්වා ගත්තේ සස්මිතට වාහනය ගන්නා ලෙසට කෑ ගසමිනි. සස්මිත පහල  මාලයට බැස දිව ගියා නොව පියබා ගියාය කීවානම් එය වඩා නිවැරදි වෙයි.

චරක විහඟිව පිටුපස අසුනේ තබාගෙන පිටුපස අසුනට නැග්ගාය. චායා කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසාම ඉදිරි අසුනට නැග්ගාය. ඕ ඇඳ උන්නේ කෙටි කලිසමක් සහ ස්කිනියක් කියාවත් ඇයට වගක් වූයේ නැත.

චායාගේ හිඳ ගැනීමෙන් සස්මිතද කලබලයට පත් වූවද, ඔහු වේගයෙන් වාහනය පාරට ගත්තේය.

” කටුබැද්දේ හංදියට ..ඉක්මනට ….”

චායා සස්මිතට පැවසුවාය. චරක විහඟි අමතමින් කලබල නොවන ලෙස පවසමින් උන්නේය.

” මැණිකේ .. අඬන එක නවත්තගන්න … ඔයා ඔය අඬනකොට තමා හුස්ම ගන්න අමාරු වෙන්නේ .. මුකුත්නෑ.. මුකුත් නෑ.. සෙම චුට්ටක් තියෙනවා කියලා ඩොකටර් කිව්වනේ.. ඒ නිසා  හුස්ම ගන්න අමාරු වෙලා තියෙන්නේ ඔය … අපි නිබියුලයිස් කල ගමන් හරියනවා …  ඔයා කලබල වුනොත් තමයි අමාරු වෙන්නේ .. නෝනා .. අයියා ඉන්නවානේ .. මේ බලන්නකෝ .. ඇස් දෙක ඇරගෙන ඉන්නකෝ … “

ඉන් පසුව ඔහු හිතවත් වෛද්‍යවරයෙකුද ඇමතුවේය.

චායා ද හැඬුම් නවතා තිබුනේ නැත. අම්මාගෙන් එක දිගට අයියාට  එන ඇමතුමට චායා ජංගම දුරකතනය ඉල්ලාගෙනම පිළිතුරු දුන්නේ තම නොසැලකිලිමත් බව නිසා සිදුවන්නට යන කරදරයට තවත් කිසිවක් එක් කරගන්නට අවශ්‍ය නැතැයි යටි සිත පණිවිඩ එවු නිසාමය.

” අපි තව ටිකකින් ආරෝග්‍යා එකේ අම්මේ.. කලබල වෙන්නෙපා .. හරි හරි .. මම බලලා කියන්නම් … හරි එහෙනම් හෙමින් එන්න තාත්තා එක්ක ….  එහෙම මුකුත් නෑ අම්මේ… අම්මේ.. මෙහෙම කතා කරනකොට නර්වස් වෙනවා අයියාත් .. අම්මා බය නොවී හෙමින් එනන්කෝ .. අපි තව විනාඩි දෙක තුනෙන් හොස්පිට්ල් එකේ … අයියා  ඩොක්ටර්ට කෝල් කලා…”

වාහනය රෝහල් පරිශ්‍රය තුලට ඇතුලු වූ වහාම චරක විහඟිව , රෝහල් සේවකයෙකු රැගෙන ආ ට්‍රොලියේ තැබුවාය. රෝහල් සේවකයන් ඇයව රෝහල තුලට රැගෙන යද්දී, චරකද ඒ පසුපස දිව ගියේය. චායාද වාහනයෙන් බැස්සාය.

චායාගේ ඇඳුම ගැන සස්මිතට සිහි වුයේ එවෙලෙහිය. වාහනය වාහන අංගනයෙහි දැමූ සස්මිත වාහනයේ වූ චරකගේ ගමන් මල්ලෙන් කමිසයක් ගත්තේය. එය එක් අතක දරාගෙන රෝහල තුළට ඇතුලු  වූයේ චායාව සොයමිනි. ඕ සොයාගන්නට මද වේලාවක් ගත විය. චරකද ඕ සමීපයේම උන්නේය. සස්මිත වෙනසක් නැති සාමාන්‍ය හැඟීම් මුහුණට ගත්තේය.

” මිස් .. මේ ශර්ට් එක දාගන්න …”

චරකද චායා දෙස බැලුවේ එවෙලෙහිය. ඇය සිටින්නේ නිවසට සිටි ඇඳුම්න් බව ඔහු දුටුවේද එවෙලෙහිය. තෙත හිසකේ ඇගේ උඩුකය ඇඳුම තෙමා දමා තිබුණි.

චරක වගහා සස්මිත අතේ තිබූ කමිසය ගෙන චායාගේ උරිස්සෙන් දැම්මේය.

” තැන්ක්ස් මචං.. “

සස්මිත පසෙකට වූවේය. චායා තවම ඉකි ගසන බව සස්මිතට පෙනේ. කෙටි පණිවිඩයක් යවා කුමක් වූයේදැයි විමසන්නටවත් ඇය ජංගම දුරකතන ගෙන ආ බවක් පෙනෙන්නට නොමැති වීම තුළ සස්මිත යම් පීඩනයකට නතු වෙමින් උන්නේය.

විනාඩි විස්සක් ඉක්ම යද්දී චරකගේ දෙමාපියන්ද රෝහලට පැමිණියහ.

” ඔයා ගෙදරට උන්නු එව්වා පිටින් දිව්වේ කියලා මේ සිරියත් ඇඳුමක් දාලා දුන්නා..”

අම්මා චායා වෙත බෑගයක් දිගු කරමින් කීවාය.

චායා මදක් හැරී සස්මිත දෙස බැලුවාය. සස්මිත ඕ දෙස බලා උන්නේ, ඇය තනි නැතැයි ලෙසින් වන බැල්මක් දෑසේ තබාගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here