පතිනියකගේ සටහන් – 2

3154

“ඉරිදා කියන්නේ පොළේ යන දවස”

එහෙම දවස් තිබුණේ පුංචි කෙල්ලක් කාලයේ. අම්මා මාව අතින් අල්ලන් පොළේ එක්ක ගිය දවස්. පුංචි මල්ලකට තක්කාලි ගෙඩි කීපයක් දාගෙන ගෙදර එන එකත් මහා දෙයක්.

ඉන්පස්සෙ, එහෙම ගමන් මඟ හරින කාලය. ඉස්කෝලේ, කැම්පස් එක, ජොබ් එක එක්ක ඉඳහිට සුපර් මාකට් එකකට ගොඩ වැදුණා මිස පොළකට යාම මට මඟ හැරුණා.

ඒත්..

බිරිඳකට එතැන අයිතියි.

හොඳම එළවලු පළතුරු තෝරා ගැනීම කළ යුත්තේ මම. අම්මා උයලා දෙන දෙයක් මේසෙට එන කාලය අයත් අතීතෙට.

“අපිට ඕනෙනම් පොළට නොයා සුපර් මාකට් එකකින් එළවලු මාලු අරන් එන්න පුළුවන් තාරු”

භානු එහෙම කීවත් පොළට යන්න මට එන්නේ ආසාවක්. බොහොම කාර්ය බහුල දවසක හදිසි ගමනක් සුපර් මාකට් යන්න ඉතුරු කරන්න මං හිතා ගත්තා.

හැම පාඩමක්ම අපිට උගන්වන්නේ කාලය. අත්දැකීම්.

හෙමින් වටපිටාව නිරීක්ෂණය කරද්දී එළවලු තෝරා ගන්න ගැහැණු අය ළඟ තියන උපක්‍රම මට වැටහෙනවා.

“අපි දෙන්නා විතරනේ. ගොඩක් නෙවේ ඇති ගාණට ගමු”

සමහර වෙලාවට මං කියන දේවල් අහන්න ලෑස්ති නැති භානු අද මට ඇහුම්කන් දෙන්නේ උනන්දුවෙන්. සමහරවිට බිරිඳක් විදියට මම ඉගෙන ගන්න අලුත් පාඩම් හරහා ඔහුත් පෙම්වතාට වඩා ස්වාමියා වෙනස් බව ඉගෙන ගනිමින් ඉන්නවා වෙන්න පුළුවන්.

“ඔයාට මතකද? දවසක් ඔයා බඩු වගයක් අරන් ඉතුරු සල්ලි කඩේම අමතක කරලා ආපු හැටි”

පළතුරු වෙළෙන්දාගෙන් ඉතුරු මුදල් සීරුමාරුවට ලබා ගන්න මගෙන් භානුක අහන්නේ හිනාවකින්.

“එදා ඔයා අමතක කරේ ලොකු ගාණක්.. අද මේ පොඩි ගාණකටත්.. ඔයා ලෝබ වෙලාද මන්දා තාරු”

මං ළඟ තියෙනවා උත්තරයක්.

” ඒ කාලේට වඩා ජීවිතේ ගැන ලොකුවට හිතන්න ඕන භානු. අපි ඉතුරු කරන හැම සතේකම වටිනාකම අපිට දැනෙන්නේ අපි අපේම ගෙදරකට ආවම.ඒක ලෝබකමමත් නෙවේ. අපි පරිණත වීම. වයිෆ් කෙනෙක් ළඟ ලෝබකම තියෙන්න ඕන නෑ.. ඒත් අරපිරිමැස්ම තියෙන්න ඕන”

භානු මෝටර් රථය හිනාවකින් පදවන අතරේ මට හිතෙනවා එයාව පොඩ්ඩක් කේන්ති කරන්න.

“ඔයා දන්නවද භානු, මම පලා ආච්චියෙක්ගෙන් පලා ජාති අරගත්තා. අම්මගේ බත් එකේ කොළ මැල්ලුම් අයින් කරල කෑවට, අපි දැන් ගුණ කෑම කන්නත් පුරුදු වෙමු”

ජීවිතේට ගුණ දේවල් එකතු කරගෙන ගමනක් යමු භානුක.තව කොච්චර දුර අපිට යන්න වේවි ද??

-නිබන්ධිකා වන්නිනායක-

Comments

comments

SHARE