දීප්තිමත් රතු හිස කේ ඇති මලානික කෙල්ල
බ්‍රෙන්ඩා ඈන් ස්පෙන්සර් ඉපදෙන්නේ 1962 අප්‍රේල් තුන් වෙනිදා. ඒ ඩොරති නඩීන් සහ වොලස් එඩ්වඩ් ස්පෙන්සර්ට දාව. බ්‍රෙන්ඩා ඒ පවුලේ බාලම දරුවා. බ්‍රෙන්ඩාගේ තාත්තාට තවත් කාන්තාවන් එක්ක සම්බන්ධතා තියෙන බව දැනගත්තාට පස්සේ, බ්‍රෙන්ඩාගේ අම්මා තීරණය කරනවා ඔහුගෙන් දික්කසාද වෙන්න.
දෙමාපියන් වෙන් වුනාට පස්සේ බ්රෙන්ඩාව අයිති වෙලා තියෙන්නේ තාත්තාට. දික්කසාද වුනාට පස්සේ බ්‍රෙන්ඩාගේ තාත්තාගේ ආර්තිකය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ගිහින් තියෙනවා. ඔවුන්ට දරිද්‍රතාවයේ අඩියේම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මත්පැන් හිස් බෝතල් වලින් පිරුණු සාලේක දාපු කුඩා මෙට්ටෙක මේ තාත්තයි දුවයි සෑහෙන්න කාලයක් ජීවත් වෙනවා. දෙමාපියන්ගේම වැරදි නිසා කුඩා බ්‍රෙන්ඩාට අයිති වෙලා තිබුනේ මලානික ළමා කාලයක්. ඒ කොහොම වුනත්, අවුරුදු දහසයක් වයසට එනකොට බ්‍රෙන්ඩා දීප්තිමත් රතු පාට හිස කේ තිබුණ අපූරු කෙල්ලක්.
ඡායාරූප ශිල්පිනියක්
බ්‍රෙන්ඩා සහ ඇගේ පියා ජීවත් වුන කුඩා නිවස තිබුනේ ඇයගේ පාසැලට යාබදව වුනත් ඇය පාසැල් යන්න නම් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් පියාගේ අඩත්තේට්ටම් වලින් බේරෙන්න තැනක් විදියට පාසැළ පේන නිසා ඇය මඟ හරින්නේ නැතිව පාසැල් යන්න පුරුදු වෙනවා. ඒ කොහොම වුනත් බ්‍රෙන්ඩා පාසලේදි දක්ශ ඡායාරූප ශිල්පිනියක් විදියටත් නමක් දිනාගන්නවා. ඡායාරූප තරඟවලින් මුල් තැන දිනාගන්න පවා සමත් වුනත් ඇගේ පාසැල් ගමන ගැන උනන්දුව නම් ඉන් වැඩි වෙන්නේ නැහැ.
අහේතුක තරහක්
පාසල් කාලයේ පටන්ම බ්‍රෙන්ඩා පොලිස් නිළධාරීන් ගැන ඉන්නේ විශාල සතුරුකමක් එක්ක. ඒකට හේතුවක් හරියටම පැහැදිළි නොවුනත්, ඇගේ මිතුරියන් කියන්නේ පොලිස් නිළධාරියෙකුට වෙඩි තියලා රූපවාහිනියෙ පෙනී හිඳීමක් ගැන බ්‍රෙන්ඩා නිතරම කිව්වා කියලා.
බ්‍රෙන්ඩා තමන්ව රැඩිකල් තාලයේ කෙනෙක් විදියට හඳුන්වා දෙන්නත් බොහොම කැමැත්තක් දක්වලා තියෙනවා. රැඩිකල් තමා ඉදිරියේ සිටින පොලිසියේ අයව ඇය හඳුන්වලා තියෙන්නේ ඌරන් විදියට. රූපවාහිනි ප්රවෘත්ති විකාශයන් වල පොලිස් නිළධාරීන් මරා දීමට අදාල පුවත් විකාශනය වෙනකොට ඇය ඉතා සතුටින් ඔල්වරසන් දුන්නා කියලත් ඇගේ මිතුරියෝ කියනවා. පොලිස් නිළධාරීන් මරා දීම සහ බෝම්බ ගසා ඔවුන් පුපුරවා දැමීම බ්‍රෙන්ඩා දවසේ වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබුනත් ඇයට විරුද්ධව කිසිම දෙයක් කියන්න පන්ති සගයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔවුන් අහේතුකවම ඇයගේ ක්‍රියා කලාපය ගැන බිය වෙලයි ඉඳලා තියෙන්නේ.
පාලනය නොවූ ආවේගය
1978 අවුරුද්දේ මුල් කාලේදි බ්‍රෙන්ඩාගේ මනස බොහොම කලබල තත්වයකට පත් වෙන්න ගන්නවා, ඇය ගැන අවධානයෙන් ඉන්න ගුරුවරුන් මේ ගැන ඇගේ දෙමාපියන්ට දැනුම් දුන්නත් දෙමාපියන්ගේ පැත්තෙන් බ්‍රෙන්ඩා වෙනුවෙන් කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. ඒ අවුරුද්දේම ගිම්හාන කාලේදී අසල්වැසියෙකු සතු වෙලා තිබුණ කුරුල්ලන් දඩයම් කරන්න පාවිච්චි කරන කුඩා තුවක්කුවකින් පාසැල් ගොඩනැගිලි වල ජනේල වලට වෙඩි තියපු සිද්ධියකට බ්රෙන්ඩාව අත් අඩංගුවට ගන්නවා. ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇය පාසල විනාශ කරන්නට උමතුවෙන් මෙන් වෙඩි තියපු බව පොලිස් කට උත්තර වල සඳහන් කරලා තියෙන නිසා බ්‍රෙන්ඩාට නිදහස් වෙන එක ලේසි වෙන්නේ නැහැ.
පොලිසියෙන් අත් අඩංගුවට ගන්න බ්රෙන්ඩාව පරිවාස නිලධාරියෙකුට බාර වෙන්නේ ඇය බාල වයස්කාරියක් නිසා. එතැනින් නැවතෙන්නේ නැතුව පොලිසිය ඇයව මානසික වෛද්‍යවරයෙකුගේ පරික්ශාවටත් නතු කරනව. මව කුඩා කාලයේම හැර යෑම සහ පියාගෙන් ලිංගික අපයෝජනයට පත් වීම කියන කාරණා එක්ක බ්‍රෙන්ඩා ඉන්නේ දැඩි මානසිම ආතතියක කියලා අවසානයේදී මානසික වෛද්‍යවරයා නිගමනය කරනවා. ඔහු බ්‍රෙන්ඩාගේ පියාට නිර්දේශ කරනවා බ්රෙන්ඩාව මානසික රෝහලකට ඇතුලත් කරන්න කියලා. නමුත්, බ්‍රෙන්ඩාගේ පියා ඒකට එකඟ වෙන්නේ නැහැ. ඇයව නිවෙසට කැටුව එන එක විතරයි කරන්නේ.
කුමකට මෙහෙම පියවරු
1978 දී බ්රෙන්ඩාව මානසික රෝහලකට ඇතුලත් කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න කියලා ලැබුණ නිර්දේශය බ්‍රෙන්ඩාගේ පියා ඉවත දාන්නේ කිසිවෙකුත් මාය්ම් නොකර. ඊට පස්සේ ඔහු බ්‍රෙන්ඩාට අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක්, දුරේක්ශයක් සහ පතරොම් පන්සියයක නත්තල් තෑග්ගක් දෙනවා. එ නත්තලට කුඩා රේඩියෝවක් ඉල්ලපු බ්‍රෙන්ඩාට මේ තෑග්ග ගැන ඉතා ඉහලින් දැනෙනවා. ” මම ගුවන්විදුලියක් ඉල්ලා රයිෆලයක් ලබා ගත්තා…” ඇය දන්න හඳුනන හැමෝටම ඒ රයිෆලය හරිම ආඩම්බරෙන් පෙන්නවා. පියා තමාට රයිෆලයක් දුන්නේ ඇයි කියල ආපහු ඇගෙන් විමසනකොට දෙන්නත් ඇයට පිළිතුරක් තියෙනවා. ” එයා මට රයිෆලයක් තෑගි දුන්නා,. එතකොට මට සියදිවි නසාගන්න පුලුවන්.. එයාට ලේසියි ඒක …”
උමතු සිහිනය
1979 ජනවාරි 29 වෙනිදාත් බ්‍රෙන්ඩාගේ පාසැල සුපුරුදු විදියට වැඩ පටන් ගන්න සූදානම් වෙමින් ඉන්නේ. විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය වගේම ළමයිනුත් පාසැළට එමින් තියෙනවා. එකපාරටම පාසැළ දිහාවට මහ වෙඩි වරුසාවක් එන්නේ බ්‍රෙන්ඩාගේ ගෙවල් පැත්තේ ඉඳන්. ඇය මුලින්ම ඉලක්ක කරගන්නේ ගේට්ටුව විවෘත කරනකල් බලාගෙන ඉන්න තමන්ගේම සහෝදර සිසු සිසුවියන්ව.ඇය ළමයින් අට දෙනෙකුට තුවාල කරනවා.
බ්‍රෙන්ඩා මුලින්ම ඉලක්ක කරගන්නේ ඇගේ ප්‍රියතම වර්ණය වුන නිල් පාටින් සැරසිලා උන්න නව හැවිරිදි කැම් මිලර්ව. දරුවන්ව බේරගන්න ඉදිරියට ආව ඩැරිල් කියන ගුරුතුමාව බ්‍රෙන්ඩාගේ ඊලඟ ඍජු ඉලක්කය වෙනවා. ඊටත් පස්සේ විදුහල්පතිතුමාව මරලා දාන්නත් බ්‍රෙන්ඩා උණ්ඩ කිහිපයක්ම පාවිච්චි කරනවා. පාසැලේ මුරකාරයා විදියට උන්න මයික්ව ඇය මරලා දාන්නේත් ළමයෙක්ව ආරක්ශා කරගන්න උත්සාහ කරනකොට. මේ අතරේදී අහල පහල අය වහාම පොලිසියට ඇමතුම් ලබා දෙනවා. වහාම එතැනට එන රොබට් කියන පොලිස් නිළධාරියාටත් තුවාල කරන්න බ්‍රෙන්ඩා පසුබට වෙන්නේ නැහැ.
කුණු ලොරියේ වාසනාව.
පාසල් පිවිසුම ඉදිරිපිට කුණු ලොරියක් අරගෙන ගිහින් අවහිර කරන පොලිසිය ඇගේ තුවක්කු සෙල්ලමට බාධා කරනවා. ඒ නිසා පාසැළේ ළමුන් විශාල පිරිසකගේ ජීවිත බේරෙනවා. වෙඩි තියලා ඉවර වෙන බ්‍රෙන්ඩා වහාම ගේ ඇතුලට වෙලා දොරවල් වහගන්නවා. ඒ වගේම ඇය පොලිසියට ඇමතුම් අරගෙන තමා පාසැලට වෙඩි තිව්ව බවත් කියනවා. ඒත් කිසිම කෙනෙක්ට නිවසට එන්න ඉඩ දෙන්නේ නැහැ. අවසානයේදි අතරමැදි සාකච්චාකරුවන් විසින් ඇයට් බර්ගර් කින්ග් කෑම වේලක් ලබා දෙන පොරොන්දුව යටතේ ඇයව උපක්‍රමශීලිව නිවසින් එලියට ගනන්වා.
බරපතල චෝදනා
බ්‍රෙන්ඩා විසින් කරපු වැරදි වෙනුවෙන් ඇයට චෝදනා කරන්නේ වැඩිහිටියෙක් විදියට. මිනීමැරුම් තුනක් සිදුකිරීම සහ මාරාන්තික ආයුධයකින් පහරදීම කියන චෝදනා දෙකට ඇය වරද බාරගන්නවා. හරියටම ඇගේ 18 වැනි උපන්දිනයෙන් දවසකට පස්සේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරෙනවා. සිරගත වෙලා ඉන්න කාලෙදී ඇයට අපස්මාරය සහ මානසික අවපීඩනයට ප්‍රතිකාර ලබා ගන්නත් සිදුවෙනවා. චයිනෝ වල කාන්තාවන් සඳහා වන කැලිෆෝනියා ආයතනයේ ඉන්න ගමන් ඇය ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩ කරනවා.
යලි කැඳවුණ නඩුව
1993 දී ඇයගේ නඩුව ආයෙම විභාගයට ගන්නවා. එතැනදී බ්‍රෙන්ඩා කියන්නේ පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගන්න තිබුන උවමනාව නිසා තමා ඒ විදියට පාසැලට වෙඩි තිව්වා කියලා. ඒ අතරේ ඇය මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉඳලා කියලා නීතීඥවරු ඇයට සමාව ලබා ගන්නත් උත්සාහ කරනවා. ඒත් අත් අඩංගුවට ගන්න වෙලාවේ ඇය පැහැදිලි සිහියෙන් උන්න නිසා ඒ උත්සාහයන් ව්‍යර්ත වෙලා යනවා. ඊට පස්සේ 2009දිත්, 2022දීත් බ්‍රෙන්ඩාගේ නඩුවා කැඳවුනත් ඇයට සමාව ලැබෙන්නේ නැහැ. ඇය තවම කැලිෆෝනියාවේ සිර කඳවුරක සිරගත වෙලා ඉන්නවා. ආයෙම ඇගේ නඩුව 2025 විභාගයට ගැනෙනනකල් ඇයට ඒ බලාපොරොත්තුව එක්ක ජීවත් වෙන්න වෙලා තියෙනවා.
මම සඳුදාට කැමති නැහැ
බ්‍රෙන්ඩා පාසැල් ළැමයින්ට වෙඩි තියලා ඉවර වෙලා පොලිසියට ඇමතුම් අරගෙන කියලා තියෙන්නේ එහෙම. ” මම සඳුදාට කැමති නැහැ”. ඇමරිකාවේ ගායකයෙක් වුන බොබ් ඒ වචන ටික අනුසාරයෙන් ගීතයකුත් හදලා තියෙනව. මේ ගීතය ඇමරිකාව ඇතුලේ ඉතාම ජනප්රියතාවයකටත් පත් වුන බව වාර්තා වෙනවා.
පාසැල් ළමුන්ට වෙඩි තැබීම් සම්බන්ධ ඛේදවාචක ලෝකය පුරා වාර්තා වුනත් බ්‍රෙන්ඩාගේ සිද්දිය තවම ඉහලින්ම කතා කෙරෙන මාතෘ කාවක් විදියට විටින් විට උඩ එනවා.
– අපේක්ෂා ගුණරත්න –
ReplyForwardAdd reaction |