සියලු නැන්දම්මලාට ආදර්ශයක් දෙමින් තම ලේලිය පවුලට පිලිගත් සියලු දෙනා ඇසිය යුතු නීටා අම්බානිගේ කතාව

“මුකේශ් සහ මම පොරොන්දු වෙනවා අපේම දුව විදියට අපි රාධිකාව පිළිගන්නවා සහ ආරක්ෂා කරනවා කියලා.
දියණියන් කියන්නේ භාරදෙන්න ඕන වස්තුවක් නෙවෙයි.
ස්ත්‍රියක් කියන්නේ බුද්ධිමත් බවේත්, ශක්තියේත්, සන්තුශ්ටියේත්, නිදහසේත් ප්‍රතිමූර්තියක්. මේ මොහොතේ මම ඉතාම සතුටෙන්, ප්‍රීතියෙන් ඉන්නෙ. ඒ මගේ හදවතේ කොටස් දෙකක් වගේ වුණ අනන්ත් සහ රාධිකා අද මේ පාරිශුද්ධ බැඳීමෙන් එකතු වෙන එක ගැන.
හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව විවාහය කියන්නේ ගරු කටයුතු බැඳීමක්, පොරොන්දුවක්.
මේ ආත්මයට විතරක් නෙවෙයි තවත් ආත්ම හතක් වෙනුවෙන් පිදෙන පොරොන්දුවක්. අපි විශ්වාස කරනවා දෙදෙනෙක් ආදරයෙන් බැඳුනට පස්සෙ මේ ආත්ම හත පුරාවට ආයෙ ආයෙ මුණ ගැහෙමින් ආයෙ ආයෙ ආදරයෙන් බැඳෙමින් එයාලගෙ බැඳීම තවත් ශක්තිමත් කරගන්නවා කියන එක.
විවාහයේ චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කිරීමත් එක්ක අපිට දකින්න ලැබෙනවා මේ චාරිත්‍ර අතර තියෙන ඉතාම පිරිසිඳු වගේම ආදරය, ගෞරවය සහ එකමුතුකම අගය කරන හෘදයාංගම සම්ප්‍රදායක්. ඒ තමයි කන්‍යාදාන්. සරලවම කිව්වොත් මනමාලියව ඇයගේ දෙමව්පියන් විසින් මනමාල පාර්ශ්වයට භාරදීම තමයි මේ චාරිත්‍රයෙන් පෙන්නුම් කරන්නෙ.
ඒත් දුවෙක් විදියට, දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට වගේම නැන්දම්මා කෙනෙක් විදියට මම දන්නවා කිසිම අම්මා කෙනෙක්ට හෝ තාත්තා කෙනෙක්ට කවදාවත්ම බෑ කියලා තමන්ගේ දූවරුන්ව එහෙම දෙන්න
විවාහයකදි වෙන්නෙ එක පවුලක් පුතෙක්ව පිළිගන්න එක වගේම අනෙක් පවුල දුවෙක්ව ආදරයෙන් වැළඳගන්න එක. මේ පාරිශුද්ධ බැඳීම සංකේතවත් කරන්නෙ ආදරය සහ ගෞරවය. මේ ගැඹුරු බැඳීමෙන් එකතුවෙන්නෙ දෙදෙනෙක් විතරක් නෙවෙයි පවුල් දෙකක්”
අම්බානි පවුලේ මෑතකදී පැවැත්වුන අනන්ත් – රාධිකා විවාහ උත්සවයේදී, නීටා අම්බානි මහත්මියගෙන් අපිට අහන්න ලැබුන කන්‍යාදාන් චාරිත්‍රය සම්බන්ධ කතාව හරිම ලස්සනයි. විවාහයක් කියන්නෙ, කන්‍යාදාන් කියන්නෙ තවත් එක චාරිත්‍රයක් විතරක් නෙවෙයි කියන එකත් එක පවුලක් පුතෙක් පිළිගනිද්දි අනෙක් පවුල දුවෙක්ව පිළිගන්නවා කියන කතාව නීටා අම්බානි මහත්මිය ඉතාම ලස්සනට පැහැදිළි කරල දෙනවා තමන්ගෙ කතාවෙදි.
කන්‍යාදාන් චාරිත්‍රය පැවත එන්නේ හින්දු විවාහ චාරිත්‍ර වලින්, සහ ඒ මගින් පවුල් දෙකක් එකට බැඳීමේ ගරුත්වය මෙන්ම, ආදරයේ ගැඹුරත් බොහොම ලස්සනට පැහැදිළිව විස්තර කර දෙනවා.
නීටා අම්බානි මහත්මියගේ හෘදයාංගම කතාව තුළ, දියණියක් වෙන් වීමේ කම්පනයත්, ඇයගේ ආදරය සහ සෙනෙහස පිළිබඳ පැහැදිලිව කතා කෙරුණා. “දුවෙක් විවාහ වෙන වයස වෙනතුරුම තමන්ගෙ සතුට, තමන්ගෙ හදවත බෙදාගන්නෙ තමන්ගෙ මව් දෙමව්පියන් සහ පවුලේ අය සමග, ඒත් විවාහය එක්ක ඇයට කවදාවත් ඒ හැමදේම අමතක කරල දාලා වෙන ගෙදරකට යන්න බෑ. තමන්ගෙ දෙමව්පියන්ගෙ නිවසෙදි ලැබුන ආදරය, සැළකීම සහ ගෞරවය එක්ක තමයි දුවෙක් අලුත් ගෙදරකට යන්නෙ”
නීටා අම්බානි ඉදිරිපත් කළ අනෙක් සංකේතය වන්නේ, ඉන්දියානු අධ්‍යාත්මික හා සංස්කෘතික සම්ප්‍රදායන් තුළ කාන්තාවන්ට දක්වන ඉහළ ගෞරවයයි. “අපගේ ශුද්ධ ලියවිලි අපට උගන්වන්නේ දූවරුන් ඉන්න තැන්වල සතුට සහ සෞභාග්‍ය රැඳෙනවා කියලා. දියණියන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති ඉහළ බලයක් තියෙනවා කියලා. දියණියක් හිඳින නිවස ස්වර්ගයක් වගේ දැනෙනවා කියලා”
අම්බානි මහත්මියගේ කතාව, හින්දු විශ්වාසයන් හා සම්ප්‍රදායන් මේ නවීන කාළයට ගැළපෙන ලෙසින් පවතින බවද පෙන්වා දුන්නා. “කන්‍යාදාන් චාරිත්‍රය, එහි හරය, ආදරය, ගෞරවය සහ එකමුතුකම සංකේතවත් කරනවා. එය පවුලක වැදගත්කම සහ විවාහය, භූමිකාවන් සහ වගකීම් ලස්සන බෙදාගැනීමක් වන්නේ කොහොමද කියල අපිට කියලා දෙනවා”
අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් විවාහ උත්සවය මුම්බායි හි ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී අතිවිශිෂ්ටව පැවැත්වුනේ පසුගිය දිනක. මාර්තු මාසයේ ආරම්භ වූ පූර්ව විවාහ උත්සවවලින් පසු ඔවුන් ජූලි 12 වන දින විවාහ වුණා. මෙම අවස්ථාවට බොලිවුඩ් තරු, සහ විවිධ ඉන්දීය දේශපාලනඥයන් සහභාගී වුණා.
මෙම විවාහ උත්සවය සහ නීටා අම්බානි මහත්මියගේ සංකේතවත් කතාව, සමාජය තුළ කාන්තාවන්ට දක්වන ගෞරවය සහ ආදරය වෙනුවෙන් පවතින චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයක් සහ ගෞරවයක් ප්‍රකාශ කෙරෙන්නක්.
අම්බානි මහත්මියගේ කතාව තුළින් පැහැදිලි වන්නේ, සමාජය දූවරුන් පිළිබඳව තවත් ගැඹුරින් සිතා බැලිය යුතුය යන්නයි. දියණියන් යනු භාර දිය යුතු වස්තු නොව, ජීවිතයට ලැබුණ ආශිර්වාදයක් ලෙස දැකිය යුතු බවත් ඔවුන්ට ගෞරවය, ආදරය හා සුරක්ෂිතභාවය ලබා දීම අත්‍යාවශ්‍ය බවත් නීටා අම්බානිගෙ කතාවෙන් පැහැදිළි වෙනවා.
සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා “අනේ පුතෙක් ඉපදුණොත් හොඳයි” කියලා. ඒත් දුවෙක් කියන්නෙ ආශිර්වාදයක්. සත්‍යයෙන්ම ආශිර්වාදයක්. දුවෙක් ඉපදෙන්නෙ අපිට ජීවිතයෙදී ලැබෙන විශේෂතම තිළිණයක් විදියට.
ඉතින් ඇයි අපි නොහිතන්නේ දියණියන් කියන්නේ අපේ ජීවිතයට ලැබුණ ආලෝකයක් සහ ආශිර්වාදයක් කියල?
දූවරු ගැන අපි නිතරම කියනවනෙ “කවදහරි පිටට කියලා” ඒත් දූවරු කියන්නෙ එහෙම ලේසියෙන් අපිට භාරදෙන්න, අතාරින්න පුලුවන් අය නෙවෙයි.
ඉතින් කවදහරි විවාහ කරල වෙන පවුලකට භාරදෙන දවස වෙනකම්ම ඒ දූවරුන්ම ආදරයෙන් බලාගන්න. ඒ වගේම කවදහරි කොච්චර හොඳ පවුලකට විවාහ කරල දුන්නත් මෙන්න මේ කතාව දූලට කියන්න;
“ඕන වෙලාවක, ඔයාට ඕන හැම මොහොතකම අම්මයි තාත්තයි ඔයා එක්කම ඉන්නවා”
තාත්තගෙත් අම්මගෙත් පුංචි කෙල්ල, ශක්තිමත් ගැහැණියෙක් වෙන්නෙ අන්න ඒ ආදරය, රැකවරණය සහ විශ්වාසය එක්ක!

Related Articles

Don't Miss


Latest Articles