ආකාස මෝස්තර – 26

ලොන්ඩරි වත්තට ඉහළින් අහස් වෙඩිල්ලක් පුපුරා ගියේ ය. ඈත ගොඩනැගිල්ලකට මුවහ වෙමින් කෝළ ලෙස නැගී ආ නව සඳ පවා තිගැස්සිණි. පාරුල් ජංගම දුරකතනය සවනට තද කොට ගත්තා ය. එය අතින් ගිලිහී වැටේවියි බියක් දැනුණා වී ද අල්ලා ගෙන ඉන්නට බැරි තරම් ඒ රත් වී ඇති බවක් ද ඇයට දැනිණ.

“මොකද්ද කියන්නෙ… සම්බන්දෙ නවත්තන්න…”

පසන් පුපුරා හැළුණේ ය.

“ප්… පසන් අයියෙ මං කියන්නෙ… ඔයාට නිතරම මාව සැකයි. සමහර තැන් වලදි අපි ගැළපෙන්නෑ. මේ ටික දවසට අපි කොච්චර රණ්ඩු වුණාද… ඔයා මට මොනතරං බණිනවද… ඒ වෙලාවට හිනා වෙලා හිටියට…මේක මට හරි අමාරුයි පසන් අයියෙ… ඒක නිසා…”

“දෙව්රූ… මේ අහන්න ළමයො. ඇයි ඔච්චර බොළඳ විදිහට හිතන්නෙ… කොයි ගෑනියි මිනිහයි අතරෙද රණ්ඩු නැත්තෙ… එහෙම අය ඉන්නවනං ලෝක පුදුමයක්. අනිත් එක… තාම අපි අපිව අඳුරගන්න ගමන්නෙ. ටික ටික අපි අපිව තේරුං ගන්නකොට ඔය ප්‍රශ්න අඩු වෙලා නැති වෙලා යයි. ඊට පස්සෙ අපිට කතා කරන්න දේකුත් නැති වෙයි ඇත්තටම”

පසන් සිනහවක් නගා ගන්නට උත්සාහ කළේ ය. නමුත් ඔහු ගේ හදවතට දැනුණේ පහසුවක් නොවේ.

“එහෙම හිත හිත තමයි මාත් බලං හිටියෙ අයියෙ. ඒත් තත්වය එන්න එන්නම නරක අතට හැරෙනව මිසක් හොඳ වෙන පාටක් නෑ. ඉතිං ඇයි අපි අපිවම රවට්ටගන්නෙ… අෆෙයාස් ඇති වෙනව තමයි. ඒත් ගැලපෙන්නැත්තං ඒව අත්ඇරල වෙන් වෙන්න පුළුවන් වෙන්න ඕන නේද… අනික අපිට ඊට පස්සෙ යාළුවො වගේ ආශ්‍රය කරන්න බැරි කමක් නෑනෙ”

“ඒ කියන්නෙ තමුසෙට දැං වෙන එකෙක්ගෙ කරේ එල්ලෙන්න ඕන වෙලාද මගෙං ගැලවෙන්න හේතු හොයන්නෙ…”

පසන් යළිත් කඩාගෙන පැන්නේ ය. පාරුල් දෑඟිලි වලින් නළල දෙපස තද කොට ගත්තා ය. පසන් කියන්නේ ම හිසරදයකි. ඔහු දකින්නේ කොයි දේකත් වැරදි පැත්ත ම ය.

“මං හිතුවෙ මේක අපි දෙන්නටම හොඳයි කියලයි”

“දෙව්රූ මේ… මං ගෙදරටත් කියල තියෙන්නෙ. හොස්පිට්ල් එකේ අයත් දන්නව ඔයාව මැරි කරන්න ඉන්නව කියල. මට ලැජ්ජ වෙන්න බෑ හරිද… හැබැයි දෙව් මාව මිණී ම රු වෙක් කරන්න හදන්නෙපා. මේ පසන් කොහොම මිනිහෙක්ද කියල තාම තමුසෙ දන්නෑ”

ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ දත්මිටි කමිනි. පාරුල් අයිස් කඳක් වී සිටියා ය. හැන්දෑවේ උමා සමගින් කතා කළාට පස්සේ ඈ හිතුවේ මේ දුරකතන ඇමතුමෙන් පසු සියල්ල යථාවත් වනු ඇත කියා ය. නමුත් වැරදි තීරණ ඒ තරම් පහසුවෙන් නිවැරදි කළ නො හැකි බැව් මේ මොහොත නිහඬව හඬ නගා කියයි. පාරුල් උගුර අල්වාගෙන ගැඹුරු හුස්මක් ගත්තා ය. හැම වායු අංශුවක් ම ගිනියම් වී තිබිණ!

පාඩමක් කරගන්නට ඇයට හිත් දුන්නේ නැත. පාරුල් අම්මා හා අත්තම්මා අතරේ යහනේ වැතිර උඩුකුරුව නො සෙල්වී සිටියා ය. පපුව බරකින් හිර වී තිබේ.

“මාව මිණී ම රු වෙක් කරන්න හදන්නෙපා”

ඒ වචන හිස තුළ දෝංකාර නැගේ. කෙතරම් පත පොතේ උගත්කම් ලබා ගත්ත ද ඇතැම් මිනිසුන් ආවේගශීලී ය. එහෙම මිනිසුන්ට ඒ ආවේගයන්ට නතු වී කරන්නට බැරි දෙයක් නැත. පහන් වන තුරා නින්දක් නො ලද පාරුල් අතක් පයක් පවා සොලවා ගත නො හැකි ව විඳවූවා ය.

රෝහලේ දී පසන් තරමක ලිහිල් බවක් පෙන්වූයේ ය.

“අපි හොඳින් ඉන්න බලමු. මාව අත්අරින්න හිතන්නවත් එපා. එහෙම කළොත් මං හුඟාක් නරක මිනිහෙක් වෙයි”

සන්සුන් ව ඔහු එහෙම ද කීවේ ය. පාරුල් ගල් ගැහී හිටියා ය. සිනහ වෙන්න ද හඬන්න ද කියා නො දැන සිටියා ය. කෙසේ වෙතත් ඉරණම මෙය නම් ඉරණමට එරෙහිව හැකි තාක් සටන් වදින්නට ඇය හිතට පිළින දුන්නා ය.

එදා පාරුල් රෝහලේ සිට වෛද්‍ය පීඨයට යන්නට පාර මාරු වන වෙලාවේ ඈතින් ගඟුල් ගේ රිය නතර වී තිබිණ. ඒ දුටු ගමන් ඇගේ හදවත ඇතුළේ අකුණක් පිපිරුවේ ය.

ගඟුල් විජයවීර එතැනට පැමිණ රැක සිටියේ ඔහු ට ම පැරදී ය. දැන් නිශාන්තයේ දී හෝ පාරුල් ගෙන් පැමිණෙන දවසේ දුරකතන ඇමතුම ඔහු ගේ දෛනික සතුටු පෙත්තයි. කිසි දාක ගඟුල් ඒ ගැන පාරුල් සමග කතා කොට නැත. නමුත් දෙදෙනා අතරේ ඇති වූ එකඟතා ගිවිසුමක් සේ ඇය ඒ ඇමතුම දෙයි. ගෙදර කවුරුත් නිදි නම් රහසේ කතා කොට “ඔයා හොඳින් නේද… මං හෙට කතාකරන්නං… අද ගොඩාක් වැඩ වැඩිවුණා” කියා හෝ කියයි. ගඟුල් ගේ දවසේ වෙහෙස සිඳී යන්නේ එතකොටයි.

නමුත් පෙර රාත්‍රියේ ඇය කතා නොකළා ය. අඩු තරමින් කෙටි ම කෙටි පණිවිඩයක් හෝ නො තිබිණ. පාඩම් කිරීමෙන් පස්සේ ඈ කතා කරනු ඇතැයි ඔහු නො නිදා බලා සිටියේ ය. නමුත් වෙහෙස නිසා ඇතැම් විට නින්ද ගොස් තිගැස්සී අවදි වෙන වෙලාවකත් ඔහු දුරකතන තිරය දෙස බැලුවේ ය. පාරුල් දැඩි නිහැඬියාවක සිටියා ය. ඇගේ හදවත අධිශීත වී පැවතිණ. ඇය නිර්වින්දන තත්වයක පසුවූවා ය. මේ වනතුරුත් එය පහව ගොස් තිබුණේ නැත. නමුත් ගඟුල් ව දුටු මේ අහඹු නිමේශයේ ඕ යළිදු පියවි තත්වයට පිළිපන්නා ය.

වෛද්‍ය සිසුවියන් මගහැර විත් ගඟුල් ගේ රියට ගොඩ වී ගත්තේ අයිස් අතරින් මෝදු වූ ටියුලිප් මලකි. ඔවුන් අතරේ බැල්මක හුවමාරුවක් මිස වචන ගනුදෙනුවක් සිදු වූයේ නැත. ගඟුල් රිය පණගන්වා ගත්තේ ගීතයක් හෙමිහිට ක්‍රියාත්මක කරමිනි.

“ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරෙ පුරා මට ඉන්න වුණා… නොලැබේවි කියා හිත කීව නිසා මං එක්ක පවා මම තරහා වුණා”

එදා රෑ පාරුල් ගේ ගෙදරදී චන්දුල විසින් ගයනු ලැබූ මොහොතේ මුලින් ම ඇසූ ඒ ගීතය, ඊට පස්සේ යන්තමින් ගඟුල් ගේ මුවග මිමිණෙමින් තිබිණ. නමුත් හරියට වචනවත්, හරි තාලයක්වත් ඔහු දැන සිටියේ නැත. පස්සේ ගීතය හොයාගත්තේ මතක විදිහට වචන කිහිපයක් ලියා යූ ටියුබ් එකේ විපරම් කොටයි. එතැන් පටන් මේ ගීය ඇසූ වාර ගණනෙහි නිමක් නැත.  

“… දුන්න හසරැලි පොදක් ගානේ මගේ හදවත නවතී…”

ගඟුල් ගේ දෙඅදර අතින් පිරිමැද බලන්නට හිතෙන විදිහේ මඳහසක් විය. පාරුල් දෑස් නොපියවා ඒ චමත්කාර මඳහස හදවතින් තුරුලුකොට ගනිමින් සිටියා ය.

“ඊයෙ ඉඳල අද මේ වෙනකලුත් කෝල් එකක් නැති නිසා… අසනීපයක්වත්ද කියල හිතුණ”

ඔහු ගේ හඬ, ඒ හදවත ගැලවෙන්නට හදනා නිහැඬියාවට හෝ හදවත ගලවා දෙන්නට හදනා සංගීතයට කිසිදු බාධාවක් වූයේ නැත. ඒ සංගීතයත්- දොඩමළු නිහැඬියාවත් සමග කදිමට මුහු වූවා පමණකි. පාරුල් ට ඔහු ඇසිණ. නමුත් ඕ පිළිතුරක් වෙනුවෙන් ඉක්මන් නොවුණා ය. ඇයට මුණිවතින් ම යමක් විඳගන්නට ඕනෑ වී තිබිණ.

“ඇස් රතුවෙලා ඔයාගෙ. අසනීපයක්ද… නැත්තං ඕනවට වැඩිය පාඩං කළාද…”

ගඟුල් පාරුල් ගේ ඇස් වල කිමිදෙනා බැල්මක් හෙළුවේ ය. ඇය ඉක්මන් සිනහවකින් නෙතු මුදාගත්තේ ඔහු රිය පදවනා බවට මොළය විසින් පණිවිඩයක් ලබා දුන්නා වූ බැවිනි. නමුත් ඒ සිනහවේ වේදනාවක් තැවරී ඇති බව ඔහු වහා හැඳින්නේ ය.

‘අර බූ..රුව මේ කෙල්ලට සැනසිල්ලෙ ඉන්න දෙන්නැද්ද කොහෙද. ඒකිගෙ ඔළුව කනවද කොහෙද…’

ගඟුල් ගේ සිත්හි ඒ සිතිවිල්ල පහළ වෙත්දී ඔහු ස්ටියරින් වීලය තදින් මිරිකා අල්වා ගත්තේ ය.

“මට මහන්සියි ටිකක්”

ඇය එසේ කියාගත්තේ බැරි ම තැනයි. ඒ වචන තුනෙහි කෙළවර සුසුමක් පැටළී තිබිණ. ගඟුල් ගමන් වේගය බාල කළේ ය. නැවතිල්ලේ ඇගේ මුහුණ දෙස හැරී බැලුවේ ය. කම්මුල් දෙපසින් අල්වා මහපටැඟිලි කොනෙන් ඒ රත් දෑස් කොන් පිරිමදිනා ඕනෑකමක් ඔහු ට දැනී නො දැනී ගියේ ය.

“ඕනවට වඩා මහන්සි වෙන්න එපා ඉතිං”

මේ මහන්සිය පාඩම් කිරීමට අදාල එකක් නොවන බව ගඟුල් ට නො දැනුණා නොවේ. නමුත් ඔහු පසන් ගැන කතා කරන්නට කැමති වූයේ නැත.

මේ මහන්සිය පාඩම් කිරීමට ආදාල එකක් නොවන බව දන්නවා වුණත් පාරුල් ද එය නො කියා සිටියා ය. ඇය මඳහසක් පෑව ද ඇස් මත කඳුළු පටලයක් බැඳී තිබිණි. පාරුල් ඉක්මන් ඇස් පිය ගසා ඒ කඳුළු ගබ්සා කොට දැමුවා ය.

වෙනදා නතර වෙන අවන්හල ළඟ රිය නතර වූයේ නැත. මඳ වේගයෙන් රිය කොළඹ පාරවල් වල කරක් ගැසුවේ ය. මේ කැරකෙන්නේ එක ම වටයක බව දැනුණ ද පාරුල් ට ගෙදර යාමේ හදිසියක් දැනුණේ නැත.

“හදිස්සියෙම ආවෙ ඔයා…”

හදිස්සියේ මතක් වී පාරුල් ඇසුවා ය. ඇය ඇමතුමක් නොදුන් එක ගැන ඔහු කී දේ ඒ ටිකට ඇයට අමතක වී තිබිණ.

“අනිද්ද ඉලෙක්ශන්නෙ”

‘ඉලෙක්ශන් එකට කලින් ඔයාගෙ මූණ දැකල යන එක හොඳයි කියල හිතුණ’ යි ඔහු හිතෙන් විතරක් කීවේ ය. පාරුල් ඇස් පිය නො හෙළා ඒ මූණ දෙස බලා සිටියා ය.

“අපිටත් හෙට ඉඳන් නිවාඩු”

කිව්වා නොව ඇයට කියවුණා විය යුතු ය. තුවාලයක රිදුමක් හිතේ කොහේදෝ අස්සකින් මතු විය. මැතිවරණයෙන් පස්සේ බොහෝ දේ වෙනස් විය හැක. වෙනස් වනු ඇත. සුනාමි වුණත් ඇවිත් යන්නේ ඒ අතරේ සිදු වූ දේවල් ගැන කිසිදු හෘදය සංවේදී භාවයකින් තොර ව ය. සොබා දහම දේවල් නිර්මාණය කරන්නේ එලෙසයි.

“ඉලෙක්ශන් දවසට මොකද කරන්නෙ…”

 පාරුල් අසුනේ හරිබරි ගැහුණේ ගඟුල් ගේ මුහුණ හොඳහැටි පෙනෙනා ලෙසයි. ඇගේ දෙතොල් අතරට ලස්සන සිනහවක් ආවේ ය.

“පොඩි කාලෙ ඉඳලම ඡන්ද දවස් වලට මං හරි ආසයි. ඔන්න උදේම කට්ටිය ගිහින් ඡන්දෙ දාල එනව. එදාට රෙදි හේදිලි නෑ හොඳේ. ගෑනු පිරිමි කියල නෑ. පාරවල් මැද්දෙ බිම වටවෙලා ඉඳං කතාව ඉතිං ඡන්දෙ ගැනම තමයි. කැපුවත් නිල් කැපුවත් කොළ කැපුවත් රතු වගේ එක එක පාට ලේ තියන මිනිස්සු මතුවෙන්නෙ ඔය කාලෙටනෙ. වත්තට මෙලෝ යකෙක් මෙලෝ වැඩක් කරල නැති වුණාට මේ කට්ටිය පැති බෙදිල මරාගන්නැති ටික විතරයි. රණ්ඩුත් යනව ඉතිං. රෑට තමයි ජොලිම”

“ඇයි…”

ගගුල් ප්‍රීතිමත් ව සිටියේ ය. ඒ සතුට පාරුල් ගෙන් බෝ වුණකි. මේ මොහොතේ සිටින්නේ රියට ගොඩ වූ පාරුල් නොවේ. මුලින් ම ගඟුල් ගේ නෙත ගැටි පාරුල් ය.

“කට්ටිය ඡන්දෙ බලන්න ටීවී තියන ගෙවල් වලට රංචු ගැහෙනව. සමහරු ගෙදර ටීවී තිබුණත් අහල පහල ගේකට සෙට් වෙලා තමයි නිදිමරන්නෙ. ඡන්ද ප්‍රතිඵල කියන්න පටං ගන්නෙම රෑ ජාමෙකනෙ. එතකල් යන ෆිල්ම්ස්… සිංදු… ඔය ඒව මේව බල බල ඉන්නව. හොඳම වැඩේ කියන්නෙ මේ මිනිස්සු නිදිමරන්න කලිංම වඩේ බදිනව… කඩල තම්බනව… බයිට් හදනව… තමං චියර් කරන අය දිනනකොට පත්තු කරන්න රතිඤ්ඤත් ගෙනත් තියාගන්නව”

“මටත් එන්න හිතෙනව අනේ එහෙ…ඉලෙක්ශන් රිසට්ස් බලන්න”

ඔවුහු දෙදෙන ම සිනහ වූහ. හදවත් මත වැතිර තිබූ දැවැන්ත අඳුරු සෙවනැලි පහව ගොසින් අලුත් කළඑළියක් වැටී තිබුණේ කවුරුන්වත් නො දැන ය. පාරේ නතර වී තැඹිලි බී, එක ම පාරවල් වල වට ගසා විත් හැන්දෑ වී පාරුල් පංචිකාවත්තෙන් බසිනා විට වෙන්ව යන්නට බැරි හැඟීමක් දෙදෙනාට ම දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles