තාදී – 15

0
2730

” අඬන්නෙපා මිස් ” 

තාදී මේසයට හිස තබාගෙන හඬනු දැක ගයාත්‍රීගේ හදවත උණු වූයේ මින් පෙර කිසි දිනක ව්‍යාපාරයේ වූ ගැටලුවකට වත් තාදී මෙලෙස හඬා වැටෙනු දැක නැති නිසාය. තාදී හිස එසවූයේ බොහෝ වේලාවකට පසුව ය. හඬා ඉදිමුණු දෑස් බොහෝ දේ කියා පෑ අතර ගයාත්‍රී මේසය මත වූ තාදීගේ දෑත් තද කර අල්ලා ගත්තා ය.

” මට හරි අසරණ කමක් දැනෙනවා ගයාත්‍රී ” 

තාදී හැඬුම් අතරේ කිව්වා ය. තමාට කියා කිසිවෙකුත් නොමැතිව මේ තාක් දුර පැමිණි තාදී වුවද විවාහයක් හමුවේ යම් දිනක මෙලෙස අසරණ වන බව තාදී දැන උන්නත් එය මෙතරම් වේදනාකාරී එකක් වේ යැයි තාදී සිතා තිබුණේ නැත. එක අතකට තමා සහ ධීර අතර වචනයෙන් ආරම්භ කර ගත් බැඳීමක් නොතිබෙන නිසා මෙය මෙලෙසම හිතෙන් අත් හැර දමමි යැයි තාදී සිතා ගත්තාය.

” මං දන්නවා මිස් මේ වෙලාවේ දැනෙන්නෙ මොනාද කියලා. උනේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති වුනත් මෙච්චර කාලයක් හැමදේම දරා ගත්ත මිස් ට මේකත් දරාගන්න ලැබෙයි කියලා මං හිතනවා “

තාදී කඳුළු වලට ගලාගෙන යන්නට හැර  නිහඬවම අසාගෙන උන්නාය.

” මිස් .. මං දෙයක් අහන්නද ? ” 

තාදී හිස වැනුවාය.

” මිසිස් ගජනායක මිස් ට බැන්නද ? “

” ඒ මනුස්සයා බැනලා ගියා නම් මට තව හිත හදා ගන්න තිබුණා ගයාත්‍රී. මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ එයා නෙමෙයි. ධීර ගේ තාත්තා. ඒ මනුස්සයා හිතන පතන විදිහ ටිකක් වෙනස්. ඉතින්… ” 

තාදී මොහොතකට නතර වූවාය. කියන්නට යන දේ පවා කියන්නට නොහැකි කමක් ඇයට දැනෙමින් තිබුණි.

” මොකක්ද මිස් කියන්න ගියේ ? ” 

” ධීර මගෙන් අහලා තිබුණත් මං එයාට උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේක මෙතනින්ම නතර කරලා දාන එක හොඳයි කියල ” 

” අනේ එහෙම කරන්න එපා මිස්. ධීර සර් නරක කෙනෙක් නෙමෙයිනේ. මිස්ගේ ඇක්සිඩන්ට් එක වෙලාවෙදි වුණත් එයා උදව් කරපු හැටි බලන්න. මං කියන්නේ තව ටිකක් මේ ගැන කල්පනා කරලා බලන්න කියලා ” 

” මං නිසා එයාට ප්‍රශ්න ඇතිවෙන්න දෙන්න බැහැ ගයත්‍රි. අනිත් එක එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනල්ලා තියෙන එකේ එයා ඒකට කැමති වෙච්ච දෙන් ” 

” ඒත්.. මිස් ඔහොම අඬන්නේ , දුක් වෙන්නේ මිස්ගේ හිතේ ධීර සර් ගැන පොඩි හරි ආදරයක් තියෙන නිසා නේද ? ” 

ගයාත්‍රී කෙලින්ම ඇසුවාය. තමන්ගේ සිතින්ම අසා බලන කල ඒ කතාවේ ඇත්තක් ඇති බව සිතී තාදීගේ කඳුළු අලුත් විය. නැවත මේසයට හිස තබා ගත් තාදී ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය. 

කිසි දිනක නොවූ කලබලයකින් කාර්යාල කාමරයේ දොර හැරගෙන ධීර ඇතුළු වූයේ ඒ මොහොතේය. බියට සහ අසරණ බවට පත් වූ ඔහුගේ දෑස් වල තිබූ ආදරය හඳුනා ගන්නට ගයාත්‍රීට අපහසු වූයේ නැත. ගයාත්‍රී පුටුවෙන් නැගිට ධීර ට ඉඩදී ඉඟිකර කාර්යාල කාමරයෙන් පිට වූවාය.

ධීර මේසයට හිස තබාගෙන ඉකි ගසමින් හඬන තාදී දෙස මොහොතක් බලා උන්නේ ශෝකයෙනි. තාදි ට ඉදිරි පසින් වූ පුටුවේ අසුන් ගත් ධීර තාදීගේ හිස මත අත තැබුවේ ඉතා මෘදුව ය. තාදී හිස ඔසවා බැලුවේ ඒ ස්පර්ශයට නොව හදිසියේ දැනුනු හුරු පුරුදු විලවුන් සුවඳ නිසාය.

රත් පැහැ ගැන්වී තිබූ තාදී ගේ මුහුණ සහ කඳුළු පිරුණු දෑස් දුටු ධීර ගේ හදවතේ වූ ශෝකය දෙගුණ තෙගුණ විය. තමා ඉදිරිපස වාඩි වී සිටින ධීර දුටු සැණින් තාදී වහා කඳුළු පිස දා ගත්තාය.

” ඇයි තාදී මේ ? ” 

ධීර ඇසුවේ ආදරයෙනි. තමාට මේ තරම් හැඬෙන්නේ ඇයිද කියාවත් කියාගන්නට නොහැකි කමකින් තාදී ඔහු දෙස බලා උන්නාය.

” අම්මා බැන්නේ නෑනේ. ඉතින් ඇයි මේ ? ” 

” ඔයා අර ප්‍රපෝසල් එකට කැමති වෙන්න ධීර ” 

තාදී කියා දැම්මාය. එහෙත් ඒ ධීර ඇසූ ප්‍රශ්නයට පිළිතුර නොවේ. ඇගේ හඬ තුළ වූයේ ජීවිතයේ පළමු වතාවට අහම්බයකින් මුණගැසුණු ආදරණීයා අහිමි කර ගැනීමට ඇති බිය මුසු වූ වේදනාවකි.

” ඔයා හිතනවද එහෙම කලොත් මං සතුටින් ඉඳියි කියලා ? ” 

ධීර ඇසුවේ තාදීගේ දෑස් දෙස සෘජුව බලාය. 

” ඒත් මේ වගේ දේකට කවදාවත් ඔයාගේ තාත්තා ඉඩ දෙන්නෙ නෑ. එහෙම දැන දැන ඇයි අපි නිකං දුකට වැටෙන්නේ ? ” 

” ඒ දුක කෙළවර අපිට හම්බවෙන්නේ සතුටක් නිසා ” 

ධීර කීවේ ස්ථීරවය. 

” ඔයාගේ තාත්තා කවදාවත්ම කාත් කවුරුවත් නැති මං වගේ කෙල්ලෙක්ට කැමති වෙන්නේ නෑ ධීර. ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි “

” ඒ ප්‍රශ්න වලට මගේ අම්මා අපි එක්ක ඉඳීයි තාදී ” 

තාදී කිසිවක් කීවේ නැත. මෙය බොහෝ දුරට සිතා බලා තීරණයක් ගත යුතු වෙලාවකි. ඒ නිසා ඉක්මන් වී කිසිවක් කළ යුතු නැත.

” මං ජීවත් වෙන්න ඕනෙ මට ජීවත් වෙන්න පහසු , මං ජීවත් වෙන්න කැමති කෙනෙක් එක්ක තාදී. එහෙම නැතුව මට කවුරුත් බලෙන් ගෙනල්ල දෙන කෙනෙක් එක්ක නෙමෙයි. එහෙම කෙනෙක්ව මං කසාද බැන්දත් මං හොයන සතුටයි සැනසීමයි එතන තියෙන එකක් නෑ. ඔයා ආසද මට එහෙම වෙනවට ? ” 

” ධීර මං කියන්නේ.. ” 

” තාත්තා කියන මොන දේකට වුනත් අපි මූණ දෙමු තාදී. අනික කාලයක් යනකොට එයා උනත් තේරුම් ගනී එයා මගේ සතුටට ඉඩ දෙන්න ඕනේ කියලා. ජීවිතේ කියන්නේ මේ තියෙන වත් පොහොසත්කම් වත් සල්ලි වත් නෙමෙයි තාදී. අපි ජීවත් වෙන්න ඕනේ අපිට දැනෙන තැන. අපිට ජීවත් වෙන්න පුළුවන් තැන. ඒක හොයා ගන්න ඕනේ අපිමයි. මං මට ගැලපෙන තැන හොයා ගන්න එකේ වැරැද්ද මොකද්ද ? ” 

ධීර කියනා සියල්ල ඇත්තය. එහෙත් ඒ සියල්ල ඔහුගේ පියා තේරුම් නොගන්නවා නම් තමාට කළ හැකි කිසිවක් නැත. එසේ කියා තමා ඉදිරියේ සිට ආදරය අයදින මේ තරුණයා දුකට වැටෙනු ද බලා සිටිය නොහැක.

” ඔයාට විශ්වාසයිද ඔයා මේ ගන්න යන්නේ හරි තීරණයක් කියලා ? “

තාදී ඇසුවේ අඩමානයටය. මේ සතුටකින් කෙළවර නොවන්නක් නම් ධීර ට බලාපොරොත්තු දිය නොහැක. 

” මං ආවට ගියාට තීරණ ගන්න මනුස්සයෙක් නෙමෙයි තාදී. මට දැන් අවුරුදු තිහක්. මගේ ජීවිතයේ ගන්න ඕන තීරණය මොකක්ද නොගන්න ඕන තීරණය මොකක්ද කියලා මං හොඳට දන්නවා. මෙච්චර කාලයක් තාත්තට ඕන විදිහට වැඩ කරාට දැන් මං වැඩ කරන්න ඕනේ මට හොඳයි කියලා හිතෙන විදිහට. ඒ ගන්න තීරණ වෙනුවෙන් මං වග කියනවා තාදී ” 

ධීර තම තීරණය වෙනස් කරන පාටක් නැත. ඔහුට උවමනා වූයේ තාදී ගේ වචනය පමණි. එහෙත් ජීවිතයේ බොහෝ දුක් ගැහැට විඳි තාදී ට මේ වචන බොහෝ බර බව දැනෙමින් තිබුණි.

” කියන්න තාදී ? ඔයාට මාව විශ්වාස කරන්න බැරිද ? මේ හැම ප්‍රශ්නෙකටම අපි මුහුණ දෙමු. ඒ හැම දේකදිම මං ඔයත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වෙනව තාදී. මට ඕනේ මං මැරෙනකල් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න. ඒකට හොඳම කෙනා ඔයා කියලා මං තීරණය කරලා ඉවරයි. හැම ප්‍රශ්නෙකටම මම ඔයත් එක්ක ඉන්නවා නම් ඔයාට තව බයවෙන්න දෙයක් නෑ නේද ? ඔයාට කාත් කවුරුවත් නැති එක ඔයාගෙ වරදක් නොවිච්ච කොට ඔයා ජීවිත කාලෙම තනියෙන් ඉන්න ඕනෙද? ඔයත් කසාදයක් බැඳලා දරු මල්ලො හදාගෙන සතුටින් ඉන්න ඕනෙ නැද්ද තාදී ? ” 

තාදී ගේ හැඬුම අලුත් වූයේ ධීර ගේ වචන වලටය.සිතේ වූ බොහෝ දේ වචන වලට පෙරලන මේ තරුණයා බලාපොරොත්තු වන්නේ තමාගෙන් එකම එක දෙයක් පමණි. 

” කියන්නට තාදී. ඔයා මට ආදරෙයි නේද ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here