දුරකථනය කන තබාගෙන උන් අපූර්වා යෙහෙළිය දෙසට හැරුණේ ‘නැතැයි’ කියන්නට හිස වනමින්ය.
“මං කිව්වේ..නිකං විහිළුවට වගේ කියන්න ඇති මගේ කෝල්ස් ආන්සර් කරන්න කියලා. එහෙම වුවමනාවක් තියෙනවනම් මං එයාගේ කෝල්ස් විතරක් නෙමෙයි. එයා මගේ කෝල්ස්සුත් ආන්සර් කරන්න එපැයි.”
“කොහොම උවමනාවක්ද.”
“නෑ මේ මං කිව්වේ..”
“මේ බෝ මළුවේ ඉඳගෙනත් බොරු කියන්න එපා බං..උඹ බොරු කිව්වට ඔය ඇස් ඇත්ත කියනවා.”
“එහෙම විහිළු කරන්න එපා හේෂානි. මං දැන් නොලැබීම් වලට හරි බයයි. ලෝයර් ගැන විශේෂයක් හිතට දැනුනත් මං කැමතියි ඒක නොදැනුනා වගේ ඉන්න. සමහරවිට කවදාවත් ඔය මාතෘකාව ගැන අපි කතා කරන එකක් නෑ හේෂානි. මටම මගේ ජීවිතේ නැතිවෙලා තියෙද්දි මම කොහොමද තවත් කෙනෙක්ගෙ බලාපොරොත්තුවක් වෙන්නේ.”
අපූර්වාගේ දෑස් මත්තේ වූයේ කඳුළකි. ඒ කඳුළ හඳුනා ගැනීමට හේෂානිට අපහසු වූයේ නැත. අහිමි වූ ජීවිතය පිළිබඳව රහසේ කඳුළක් සැලුවත් යුවතිය කිසිවිටෙකත් මේ ජීවිතය වදයක් වූ බව පවසා තිබුණේ නැත. මේ කඳුළ ඒ අහිමි වූ ජීවිතය නිසා නොවන බව විශ්වාසය.
දෙදෙනා බෝ මළුවේ වාඩිවී උන් වේලාව හෝරාවකට ආසන්න විය. යමක් කතා කළේ නම් ඒ හේෂානි පමණි. අපූර්වා කළේ හිස වනා “ඔව්” හෝ “නෑ” කීමය. අත් ඹරලෝසුවේ වේලාව පස්වරු හතරයි තිහ සටහන් වද්දී “අපි යමු..” යැයි මුලින්ම පැවසූයේ හේෂාණිය.
අපූර්වාගේ දුරකථනය නාද වූයේ එවේලෙහිය. ජංගම දුරකථනය දෙස බැලූ යෙහෙළියගේ මුහුණ සිනහවකින් විකසිත වන අයුරු ඈ හොඳටම දුටුවාය.
“ලෝයර්..”
“ඉතිං කතා කරපන්..”
“උඹ දැං ඔය කොහෙද යන්න හදන්නේ..”
“ඔයා ඉතින් උපදෙස් ගන්නකල් මම කට දිහා බලන් ඉන්නයැ. අපි මොකටද කාටවත් බාධාවක් වෙන්නේ. ඔයා උපදෙස් ගන්න. මම යනවා යන එන තැනකට පිනක් සිද්ද කරගන්න. දෙපාරක් බෝධිය නෑව්වා කියල වරදක් වෙන්නේ නෑනේ.”
ජංගම දුරකථනය රැගත් අපූර්වා බෝ මළුවෙන් එහාට වූයේ යෙහෙළියට සිනහ සී ගෙනමය.
“අනේ සොරි අපූර්වා. අත්‍යවශ්‍යම වැඩක ඉඳපු නිසා ෆෝන් එක සයිලන්ට් කරගත්තා. ඒකයි ඔයාගේ කෝල් එක මට මිස් උනේ.”
“කමක් නැහැ සර්… සර් මේ වෙලාවේ හදිසි වැඩකද ඉන්නේ එහෙමනම් මට පස්සේ කතා කරන්න පුළුවන්.”
“නෑ..නෑ අපූර්වා. ඔයා කියන ඕනෙම දෙයක් අහගෙන ඉන්න පුලුවන් තරම් නිදහසක තමයි දැන් මම ඉන්නේ.”
යුගාශ් වාහනය පාර අයිනට කර නතර කළේ එසේ පවසමින්ය. ඇය දුරකථන ඇමතුමක් ලබාගත්තේ කුමන හේතුවකට වුවත් ඒ සංවාදය ඉක්මනින් නිමා කිරීමේ උවමනාවක් ඔහුට වූයේ නැත.
“මං දන්නෙ නැහැ මං මේ දේ ගැන සර් එක්ක කතා කරන එක හරිද කියලා.”
“හරිද වැරදි කියලා බලන්න කියන්නකෝ…”
“මීට සතියකට විතර කලින් වුවමන්ස් ඕගර්නයිශේෂන් එකකින් අපේ ගෙදරට ඇවිත් තිබුණා. එදා මම හිටියේ නැහැ.”
“ඔව් ඉතින්….”
“එයාලට ගමේ කට්ටිය තමයි අපි ගැන කියලා තිබුනේ. එයාලා දුප්පත් මිනිස්සුන්ට ස්වයං රැකියා පටන් ගන්න උදව් කරනවා කියලා කිව්වලු.”
“ඔව් එහෙම ගොඩක් ආයතන තියනවනේ අපූර්වා.”
යුගාශ් එසේ පැවසූයේ දෙතොල් මත සිහින් මන්දස්මිතයක් ඇඳී යද්දීය. ඇය මේ පවසන්නේ අම්මාත් නන්දනීත් ගිය ගමන ගැන විය යුතුය.
“එයාලා ආච්චිත් එක්ක ගොඩක් විස්තර කතා කරල තිබුණා. තාත්ත නැති වුණු හැටි, අම්මා අසනීප වුණු හැටි, ඒ වගේ ගොඩක් විස්තර අහලත් තිබුනා. ආපහු එනවා කියලා තමයි ගිහින් තිබුණේ.”
“හ්ම්…”
“ඊයේ එයාලා ආපහු ආවා සර්. පස්සේ ආච්චි මට කෝල් එකක් දීලා එන්න කියලා කිව්වා. “
“අපූර්වා ගියාද ඒ අය මුණගැහෙන්න….”
යුගාෂ් ඇසුවේ ඉවසිල්ලේය.
“ඔව්.. මැඩම්ල දෙන්නෙක් තමයි ඇවිල්ලා හිටියේ. එතන තමාරා කියල මැඩම් කෙනෙක් හිටියා ඒ මැඩම් අපිට අපේ ගේ හදල දෙන්න පොරොන්දුු වුණා. යන ගමන් පන්සලට ගිහිල්ලා ලොකු හාමුදුරුවන් දැනුවත් කරනවා කියලත් කිව්වා.”
අපූර්වා කතා කලේ ඉවසිල්ලේය. ඒ වචනවල වූයේ සංයමයකි. අසා සිටින්නට ආසා හිතෙන ස්වරයකි. යුවතිය සුදුසු වන්නේම පෙර පාසල් ගුරුවරියකටයැයි ඔහුට සිතුනේ එනිසාය.
“ඒක හොඳ වැඩක් අපූර්වා ඉතින් මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.”
“මට ඒක විශ්වාස කරන්න බැරි පුදුමයක් වගේ සර්. ගොඩක් මිනිස්සු තව කෙනෙකුට උදව් කරන්නේ ආපහු යමක් බලාපොරොත්තුවෙන්. එහෙම නොකරනවනම් ඒ සීමිත පිරිසක් විතරයි. අම්මයි මමයි, ආච්චියි විතරයි සර් ඉන්නේ. ආච්චිටවත් අම්මටවත් දැන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න තරම් ශක්තියක් නෑ. ඒ නිසා මගේ හිතට ටිකක් බය හිතුනා. මම දැකලා තියෙනවා ඒ වගේ ගෙවල් හදලා දෙන ඕන තරම් අය ඉන්නවා. ඒත් අපිට වෙච්ච දේවල් වල හැටියට…”
අපූර්වා යමක් පවසන්නට ගොස් නතර වූවාය. මෙය අපූර්වාට හොඳ අවස්ථාවකි. බොහෝ මිනිසුන් කරන්නේ තම අසරණකම අවියක් කරගෙන ලෝකයාගෙන් යැපීමය. යුගාශ්ගේ ඒ පරීක්ෂණයෙනුත් අපූර්වා සමත් වූයේ ඉදිරියෙන්මය.
“අපූර්වා සෘණාත්මකව ජීවිතය දිහා බලන්න පුරුදු වෙලා නේද. එහෙම අය ඉන්නවා අපූර්වා. ඉතින් ඔයා ඒ මැඩම්ගෙන් ඒ ගැන මොකුත්ම ඇහුවේ නැද්ද.”
යුගාෂ්ගේ යටි සිත ඔහුටම හිනැහෙමින් උන්නේය. ‘උඹ මාර නළුවෙක් වෙලානේ පුතා.’ අවසන යුගාෂ් එසේ පවසා ගත්තේ තමාටමය.
“ඇහුව සර්. ඒ මැඩම් හිනාවෙලා මගේ ඔලුව අතගාලා කිව්වා මේක මං කරන්නේ වුමන්’ස් ඕර්ගනයිශේෂන් එකෙන් නෙමෙයි මගේ පෞද්ගලික මුදලින් කියලා. එයාත් මේ ජීවිතේ එක කාලෙකදි ගොඩක් අසරණ වෙලා ඉඳපු ගෑනු කෙනෙක් කියලත් කිව්වා. අඩුම තරමින් මේ ගේ හදල දීලා මගේ මතකෙට කියලා මං ෆොටෝ එකක්වත් ගන්නේ නෑ කියලත් කිව්වා.”
“තමන් දීපු දෙයක් දිහා ආපහු හැරිලවත් නොබලන මිනිස්සු ඉන්නවා අපූර්වා. මේ ලෝකෙ හොඳ නරක මිනිස්සු දෙගොල්ලොම ජීවත් වෙන්න ඕනේ. නරක කියල දෙයක් තියෙන හින්දනේ අපූර්වා අපි හැමෝම හොඳ ගැන දන්නේ.”
“ඒත් සර් මගේ හිතේ පුංචි බයක් තියෙනවා. පහුගිය කාලේ අපිට සිද්ධ වුනේ හොඳ දේවල් නෙමෙයිනේ. මිනිස්සු අපිව මොන විදිහට පාවිච්චි කරන්න හදනවද කියලා හිතේ සාධාරණ බයක් තියනවා. අම්මගේ අසනීප වුණත්, මං මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නකොට මගේ යාළුව තමයි කිව්වේ සර්ට කතා කරන්න කියලා.”
“යාළුවට මං තෑන්ක්ස් කරා කියලා කියන්න..අපූර්වට ලොකු හාමුදුරුවෝ කතා කළේ නැද්ද තවම…”
“නෑ සර්…”
“අපූර්වා මොකක්ද දැන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ..මගේ පැත්තෙන් මොකක්ද කරන්න පුළුවන්”
“මම මොකක්ද ගන්න තීරණය කියලා මට හිතාගන්න බැහැ. ඒක ඇත්තටම වෙන දෙයක් නම්, අපිට ඒකෙන් කරදරයක් නොවෙනවනම් ඒ තරම් සතුටක් මට තවත් නැහැ සර්. ලොකු දෙයක් නෙමෙයි ආච්චිට, අම්මට අතපය දිගෑරලා සුව පහසුවට ජීවත් වෙන්න තැනක් තිබ්බනම් මට ඇති. ඇත්තටම එකම කාමරයක් ඇතුලේ අපි මේ හැමදේම කරන්නේ හරි අපහසුවෙන්. ඒත්..”
“ඇයි අපූර්වා ඒත් කියන්නේ…”
“මේ විඳින දුක්වලට තව දුකක් එකතු කරගන්න වෙයි කියලා මට බයයි සර්..ඒ මැඩම්ල ඇවිල්ල ගියපු වෙලේ ඉඳලා ආච්චි හරි සතුටින් ඉන්නේ. මැඩම් කිව්වා ඉක්මනින්ම තීරණයක් අරගෙන එයාට දැනුම් දෙන්න කියලා. අද හෙටම වැඩ පටන් ගන්න පුළුවන් කියලත් කිව්වා. වෙන කෙනෙක් නං මෙහෙම දෙයක් කියපු ගමන් එකඟ වෙයි. ඒත්..මං කිව්වා මම කල්පනා කරලා උත්තරයක් දෙන්නම් කියලා. සමහරවිට ඒ මැඩම් හිතන්න ඇති මං මහා පුදුම උද්දච්ච කමක් තියන ළමයෙක් කියලා”
යුගාශ්ගේ සිතට දැනුනේ ජයග්‍රාහී හැඟීමකි. තම ජීවිතයේ වැදගත් තීරණයකදී උපදෙස් පතන්නට තරම් ඇගේ මතකයේ තමා වීම සුභ ලකුණක් බව විශ්වාසය. දඟ කරන කොලු හිතට ඉඩ දුන් ඔහු සවනතෙහි පලඳාගෙන උන් දුරකථන යෙදවුම දෑඟිලි වලින් තද කර ගත්තේය. ඒ සුවපහසු අසුන මදක් පහතට නමා ගත්තාට පසුවය.
“අපූර්වා එහෙම කියපු එක හොඳයි. අපි මේ ජීවිතයේ මොනම තීරණයක්වත් ගන්න ඉක්මන් වෙන්න ඕන නෑ. විශේෂයෙන් ගෑනු ළමයෙක්”
“සර් ඒ මැඩම්ගේ ඩීටේල්ස් ටික මට දුන්නා. සර්ට පුළුවන් වෙයිද පොඩ්ඩක් හොයලා බලන්න. එයා හොඳ කෙනෙක්ද.. මීට කලින් එහෙම දේවල් කරපු කෙනෙක්ද, එහෙම නැත්නම් අසරණ මිනිස්සුන්ට උදව් කරන මුවාවෙන් මොනව හරි ජාවාරමක් කරන කෙනෙක්ද කියල දැනගත්තොත් ඇති.”
“අනිවාර්‍යයෙන්ම ඒ හැමදේම හොයලා බලනවා කියලා මම පොරොන්දු වෙනවා අපූර්වා. ඔයාට පුළුවන්ද ඒ විස්තර ටික මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.”
“මං දාන්නම් සර්. සතුටක් විදිහට අපේ ජීවිතවලට එන්නේ තවත් කරදරයක්නම් මේ විදින අපහසුව ඊට වඩා දස දහස් ගුණයකින් සම්පතක් සර්.”
“ඔයා බයවෙන්න එපා. ඔයා වගේ හොඳ කෙනෙකුට වරදක් වෙන්නෙ නැහැ. ඒ වගකීම මට බාර දෙන්නකෝ. හෙට දවස ඇතුළත ඒ හැම දෙයක් ගැනම හොයලා මං ඔයාට කියන්නම්. සමහර විට ඔයාට අද හෙටම හාමුදුරුවෝ කතාකරයි. හාමුදුරුවොත් විස්තර හොයලා බලයිනේ”
“හොඳයි සර්…එහෙනම් මං තියන්නම්. සර්ගේ වටිනා කාලෙ මට දුන්නට ගොඩක් ස්තුතියි..”
“හොඳයි අපූර්වා පරිස්සමෙන්..”
‘ඔයා ටිකෙන් ටික මගේ හිතවත්කම ළඟ විවෘත වෙනවා අපූර්වා’ යුගාශ් එසේ සිතුවේ ඇය ඇමතුමට සමුදුන්නාට පසුවය. සිතුවිලි පුරා පැතිර යන ඒ ආගන්තුක මිහිරියාව විඳින්නට ඔහු ප්‍රිය කළේය. සිය ජීවිතයේ වැදගත්ම තීරණයක් ගන්නට ඈ තමාගේ උපදෙස් පැතුවේ තමා නීතීඥයෙකු වීම නිසාම නොවන බව විශ්වාසය.
තමා මේ කරන්නේ වරදක්දැයි යුගාෂ් සිතුවේ සිය නළලත ඇඟිලි තුඩුවලින් මිරිකා ගන්නා ගමන්ය. එක් පසකින් බැලුවහොත් මෙය රැවටීමකි. අම්මා නොයවා තමා මේ කාර්යයට ඉදිරිපත් වූවානම් අපූර්වා කිසිලෙසකත් තමාව විශ්වාස නොකරන බව යුගාෂ් දැන සිටියේය. ඒ සියල්ලටම වඩා අවශ්‍යතාවයත් යුවතියකට උරුම විය යුතු ආඩම්බරකමත් අතර ඈ දෝලනය වන වග විශ්වාසය. තමා ඉදිරිපසදී වුවත් ඒ සිතුවිලි අසරණ වනවාට ඔහු කැමති වූයේ නැත. දැන් ඔහුගේ සිතෙහි ඇගේ අනාගතය ගොඩ නගන්නට පැහැදිලි සැලසුමක් වේ.
‘හොඳ වැඩකදී පොඩි බොරුවක් කලා කියලා මට පව් සිද්ධ වෙන එකක් නෑ. මට ඕනේ ඔයාට ඔයා ගැන විශ්වාසයක් ඇති කරවන්න. ඔයාට ඔයා ගැනම ආදරයක් ඇති කරවන්න..නැති වෙලා ගියපු හැම දෙයක්ම මට පුළුවන් විදිහකට ඔයාට ලබාදෙන්න.’
අවසර යුගාශ් තමාටම පවසා ගත්තේ සිත තුළින් ඉපිද ආ අකීකරු ප්‍රේමවන්තයාට ඉඩ දෙමින්ය.
“මොනවද දන්නේ නෑ ලෝයර් දීපු උපදෙස් නේද..තනියම හිනා වෙන්නේ..වැඩිදුර උපදෙස් ගන්න එපොයිමන්ට් එකක් දාගත්තේ නැද්ද..”
හේෂානි අපූර්වා අසලට පැමිණියේ එසේ අසාගෙනය.
“ඒ උපදේශයනම් ටිකක් බරපතලයි වගේ.”
සිය දුරකථනය ඇඟිලි තුඩු වලින් කොනිති ගසමින් යුවතිය උන්නේ ඈතින් පෙනෙන පොල් රුප්පාව දෙස බලාගෙනය.
“මොනවද කිව්වේ.”
“එහෙම මිනිස්සු ඉන්නවා කියලා තමයි කිව්වේ. එයාට විස්තර ඉල්ලුවා. හැමදේම හරියටම නිවැරදිව දැනගෙන මට හෙට කතා කරන්නම් කියලා කිව්වා.”
“ඉතිං විස්තර ටික යැව්වද.”
“තවම නෑ..”
“බල බල ඉන්නෙ නැතුව යවන්න. සමහර හොඳ දේවල් අපේ කරගන්න අපි ඉක්මන් වෙන තරමට හොඳයි.”
ආපසු එන අතරේ හේෂානිට යෙහෙළියගෙන් දැනුනේ පෙර නොවූ වෙනසකි. ඕ ඕනෑවටත් වඩා දොඩමලු වෙමින් උන්නාය. මේ සතුට ඇගේ දෑස් වලින් මැකී නොයේවායි ඈ පැතුවේ ආපසු හැරී කඳු මුදුනෙහි දිස් වූ බුදුරුව දෙස බලාගෙනය.
(යළිත් හමු වෙමු ආදරයෙන්…..)