අරුමැති ආදරයක් – 24

0
2586

“ආයෙ ඉතිං වෙන කොහෙන්වත් හොය හොයා ඉන්න ඕන නෑ බං. ලොකු හාමුදුරුවෝ කිව්වනම් ඒකෙ ආයේ දෙකක් නෑ. අතට අහුවෙච්ච කුරුල්ලා අතෑර ගන්නේ නැතුව ඒ මැඩම්ට කෝල් කරල කියහන් උඹලා මේ යෝජනාවට කැමතියි කියලා.”

හේෂානි පැවසූයේ දොස් නඟන ස්වරූපයෙන්ය. චින්තකත් සමන් මාමාත් මින් විනාඩි කිහිපයකට පෙර පැවසූයේත් මේ ටිකමය. දැනටමත් තමා ප්‍රමාදයැයි ඔවුන් නොකියා පවසමින් සිටියහ.

“දුවේ….ඔය වගේ දේවල් වලට ඕනවට වඩා ප්‍රමාද වෙන්න ඕන නෑ. අර උඹලයි ආච්චි කියනවා වගේ තාත්තා කොහේ හරි ලෝකෙකට වෙලා උඹල දිහා බලාගෙන ඇති. ගෙදරටම හොයන් ආපු එකක් මිසක් උඹලා ගිහින් ඉල්ලපු එකක් නෙමෙයිනේ. මං නං කියන්නෙ දැම්මම ඒ නෝනට කතා කරන්න කියලා. මේ වෙලාවේ වෙන කවුරු හරි නැති බැරිකමක් කියාගෙන ඒ නෝනට ළඟට ආවොත් උඹට ලැබෙන්න තියෙන දේයි නැතිවෙන්නේ…”

සියල්ලෝම එසේ පවසද්දීත් අපූර්වා නිහඬව බලා සිටියේ යුගාෂ්ගේ දුරකථන ඇමතුම පැමිණෙන තුරුය. කුමක්දෝ අහේතුවකට ඈ අන් සියල්ලන්ගේම වචන වලට වඩා ඔහුගේ වචනය විශ්වාස කරමින් උන්නාය. 

ඔහු ඒ පිළිබඳව දැක්වූයේ උනන්දුවකි. එනිසාම හේෂානි පැවසුවා සේ  ඔහුගේ මතකයෙන් තමාගේ ඉල්ලීම බැහැරව ගියායැයි සිතිය හැකි කමක් අපූර්වාට වූයේ නැත. 

“ඇත්තටම බං අපි ලෝයර් කාරයාගෙන් ඇහුවෙ අපිට වෙන අහන්න කෙනෙක් නැති නිසානේ. ඒ මනුස්සයාට ඒක අමතක වුණාද දන්නෙ නෑනේ බං…අන්තිමට මේ චාන්ස් එක මිස් කරගෙන නහයෙන් අඩන්න විතරක් එන්න එපා මේ මගේ හැමදේම නැතිවෙන කාලෙ කිය කියා…”

හේෂානි අවසන එසේ පැවසූයේ තරවටුවක සරින්ය.

“දුවේ….මෙන්න මේ සුමනා නැන්ද ඇවිල්ලා ඉන්නවා හන්දියේ  ඩිස්පෙන්සරියට යන්න. උඹ මේ හයර් එක ගිහිල්ලා එහෙමම ගෙදර පලයන්. මතක ඇතුව ඒ ගිය ගමන් අර නෝනට කතා කරලා ඔය වැඩේට කැමතියි කියලා කියපන්..”

සමන් මාමා එසේ පැවසූයේ අපූර්වාගේ  සිතුවිලි වලට විරාමයක් ලබා දෙමින්ය. ඈ එවේලෙහිත් උන්නේ සිය ජංගම දුරකථනය දෙස බලාගෙනය. අවසන දිගු සුසුමක් මුදාහල යුවතිය ත්‍රී රෝද රථය පනගන්වා ගත්තාය.

                                   *****************

තමා දහවල නිරාහාරව පසු වූ බව යුගාෂ්ට සිහි වූයේ පපුව දෙසින් සිහින් දැවිල්ලක් මතුව එද්දීය. ඔහු ගාලු පාරේ වූ  අවන්හලක් අසල වාහනය නතර කළේ ඒ කුසගින්න රෝගී තත්ත්වයක් වනතුරු නොසිටය. 

සුප් වර්ගයකුත්  සැන්ඩ්විච් පෙති දෙකකුත් ඇණවුම් කල තරුණයා දුරකථනය අතට ගත්තේ අපූර්වාට ඇමතුමක් ලබා දෙන්නට සිතාගෙනය. 

එහෙත් එක්වරම ඔහුගේ දුරකථනය නාද වූයේ නාඳුනන අංකයක් සටහන් කරමින්ය. 

“සර් මම අමායා රුක්මලී…”

අද දවස පුරා වරින් වර ඇසුණු   ඒ නම හඳුනා ගැනීමෙහි අපහසුතාවයක් ඔහුට වූයේ නැත. 

යුගාෂ් සුහදශීලීව ‘කියන්න අමායා’ යනුවෙන් පැවසූයේ එනිසාය.

“මට සර් ටිකක් හම්බවෙන්න පුළුවන්ද…”

“ඔව්  පුළුවන් අමායා… කවදටද..”

“සර් මේ දැන් හරි කමක් නෑ. මට සර්ට කියන්න දෙයක් තියෙනවා.”

“දැන්….ඇයි අමායා හදිසියේ..”

“සර් මේ නඩුව දැම්මේ මගේ ඕන කමකට නෙමෙයි. අම්මගේ ඕන කමකට. දයාන් සර් කියන්නේ මගේ පළවෙනි ආදරේ. ඇත්තමයි මං එයාගේ සතුටට ඉඩ දීලා හිත හදාගන්න තමයි හිතාගෙන හිටියේ. අම්මයි තාත්තයි නිතරම කිව්වේ මේ වගේ අපරාධයක් ආයෙ වෙන්න ඕනෙ නෑ කියලා. මට වඩා මං ගැන දුක් උනේ ඒ දෙන්නා.”

“මං ඒක දන්නව අමායා. මේ නඩුව ඔයාට හිත් වේදනාවක් කියලත් මං දන්නවා. ඔයා අමතක කරන්න උත්සාහ කරන මතක සැරින් සැරේ ඔයාට මතක්  කරන්න  සිද්ධ වෙනවා. ඒවා හරි අමිහිරි නීරස මතක වෙන්න ඇති. ඔයා මේ ගැන අම්මා, තාත්තා  එක්ක කතා කරන්න. ඔයාට කැමතිනම් පුළුවන් නඩුව ඉල්ලා අස්කර ගන්න. ඒකට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.”

“ නෑ සර්.. මං එහෙම දෙයක් ගැන කතා කරන්න නෙමෙයි සර්ව හමුවෙන්න ඕනෙ කියලා කිව්වේ. මං තීරණය කලා සර් මට සාධාරණයක් වුණත් අසාධාරණයක් වුණත් පුළුවන් තරම් ඇත්ත වෙනුවෙන් සටන් කරනවා කියලා. අද දවල් මං ඒ තීරණය ගත්තෙ සර්. අම්මා සර්ට දීපු සල්ලිත් එපා කියලා නන්නාඳුනන මං වෙනුවෙන් සර් මොන තරම් වෙහෙස උනාද…ඒ වෙහෙසට වටිනාකමක් දෙන්න පුළුවන් මට විතරයි”

“අමායා…..”

“ඔව් සර්….ඇත්ත.. ගෑනු ළමයෙක්ට වරදින්න වැඩි වෙලා යන්නේ නෑ. අර අනිත් ලෝයර් මහත්තයා කියපු විදිහට ගෑණු ළමයෙක් දැනගන්න ඕන තමයි තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න. හැබැයි සර් ගොඩක් ගෑනු ළමයි ආදරෙයි කියලා විශ්වාස කරන තැනදී ඔය සිතුවිලි වලට පරදිනවා. දයාන්ලා වගේ මිනිස්සු ප්‍රයෝජන ගන්නේ අන්න ඒ තැන් වලින් සර්. දයාන්ගෙයි මගෙයි  සම්බන්ධය දැනගත්තට පස්සේ ඔෆිස් එකේ ගොඩක් අය මට කිව්වා අමාරුවේ වැටෙන්න එපා කියලා. ඒත් දයාන්ගේ ආදරේ ළඟදි මට පෙනුනේ එයාවම විතරයි සර්. එයාගේ වචන විතරයි. මට මං ගැනම තියෙන්නේ පුදුමාකාර වේදනාවක්. මං වගේ තවත් මේ රටේ  ගෑණු ළමයි අද දවසෙත්,  මේ වෙලාවෙත් මේ වේදනාව මේ විදිහටම විඳිනවා ඇති සර්. මං වගේම දරා ගන්නව ඇති. මේ දරා ගැනිල්ල නිසාම උන් තව තවත් ගෑණු ළමයි මේ වගේ අසරණ කරනවා ඇති.” 

“ඔව් අමායා…..ඔයාගේ අම්මා තාත්තා වුනත් ඔයාට තේරුම් කරවන්න හදපු ඇත්ත තමයි ඒ. මේ ඔයා පෙනී සිටින්නේ ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි. අසරණකමට හරි ආදරේට හරි ඒ වැරැද්ද කරගන්න ගෑණු ළමයි වෙනුවෙන්.”

“ඒ දෙන්නගෙම ඇස් වල තිබුණු අධිෂ්ඨානය මගේ හිතේ තිබුණේ නෑ සර්. මං හිටියේ ජීවිතේ අතෑරල දාපු ගණනට. මං මේ විරුද්ධ වෙන්නේ මං ආදරේ කරපු මනුස්සයාට නේද කියලා මගේ හිත හරියට මමත් එක්ක තර්ක කළා. මට ඕන උනේ මැරෙන්න විකැයි සර්…සර් මට සර්ට මගේ ෆෝන් එක දෙන්න ඕනේ.”

“ෆෝන් එක ඇයි…..”

“ඒ ෆෝන් එකේ දයාන් එවපු මැසේජ් තියෙනවා. අපි ගියපු තැන් වලදී අපි දෙන්න ගතපු ෆොටෝ තියෙනවා. ඒ විතරක් නෙමේ සර්. දයාන් මට එවපු වොයිස් මැසේජ් තියෙනවා. මං හිතුවා කාලයත් එක්ක මට ඒ මතක විතරක් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. මං ඒවා හරියට පරිස්සම් කලා. ඒ කටහඬ අහ අහා එයා එයි කියලා බලන් හිටියා. ඒත්  උසාවියේ ඉඳලා ආවට පස්සේ මං ඒ මතක වලටත් වෛර කරන්න ගත්ත සර්. ඒ මිනිස්සු මගේ ජීවිතේ කොච්චර හෑල්ලුවට දැම්මද. මේක මේ වෙලාවේ මගේ ළඟ තියෙන එක භයානකයි කියලා මට හිතුනා. මං ඇවිල්ලා ඒක දීල යන්නම් සර්.”

“මම චුට්ටක් එළියට ඇවිල්ල ඉන්නේ. මට පැය භාගයක් දෙන්න මම ආපහු ඔෆිස් එකට යන්නම්. ඔයා කාත් එක්කද එන්නේ..”

“අම්මයි තාත්තයි එක්ක ඇවිල්ලා මට මේ දේවල් සර්ගේ ඉස්සරහා දිගාරින්න   තරම් හයියක් නෑ. අම්ම දන්නවට වඩා මං කියල තියෙනවට වඩා දේවල් මගේ ජීවිතය ඇතුලෙ සිද්ධ වුනා සර්. මං සර් එක්ක උනත් මේ කතාව කිව්වේ උඩින් පල්ලෙන් විතරයි. මං මගේ  යාළුවත් එක්ක එන්නම් සර්.”

දුරකථනය මුලින්ම විසන්ධි වූයේ එහා පසින්ය. යුගාෂ් සුප් බඳුන පානය කළේ එක හුස්මටය. සැන්ඩ්විච්  පෙති දෙකක් ගෙන්වා ගත්තත් ඔහු ආහාරයට ඒ එක පෙත්තකිනුත් අඩක් පමණි. අමායාගේ සිත මේ අයුරින් ශක්තිමත්වීම ඔහුට උඩ පැන නටන්නට තරම් සතුටක්  වී තිබිණ.  තමාට වූ අසාධාරණයකදී නැගී සිටින්නට හැම ගැහැණු සිතකටම ශක්තිය ලැබිය යුතු යැයි ඔහු සිතුවේ ආපසු වාහනයට නගිනා අතරේය. දුරකථන ඇමතුමක් දී තීක්ෂණට තවත් මද වේලාවක් රැඳී සිටින්න යැයි ඔහු පැවසූයේත් ආපසු එන අතරේමය.  

ඉන් පසුව ඔහු අපූර්වාව සම්බන්ධ කරගන්නට උත්සාහ දැරුවේය.

“අපූර්වා කොහෙද ඉන්නේ?”

“මම හයර් එකක් යන ගමන් සර්”

“හරි… හොඳ දරුවා වගේ ඔය වැඩේ පරිස්සමට ඉවර කරලා මට කෝල් එකක් ගන්න. හදිසියෙවත් මම ඒ වෙලාවේ කතා කලේ  නැත්නම් ඔයාට අනිවාර්යෙන්ම කෝල් බැක් කරනවා. දැන් රෑ වෙන්න එනවා අපූර්වා ඔය ගමන තව ගොඩක් වෙලා යනවද…”

“නෑ තව විනාඩි පහළොවකින් මම ගෙදර..”

“හරි…..පරිස්සමට….”

“සර්රුත්  පරිස්සමට…….”

අපූරුවා එසේ පැවසූයේ හිතා මතා නොවේ. නිවසින් එළියට පැමිණෙන සෑම විටකම අම්මාගේ මුවෙහි වූයේත් “පරිස්සමට පුතා…”යන වදනය. ඇය බුදු සරණයි, දෙවි පිහිටයි යනුවෙන් පවසන්නේ ඉන් පසුවය. තරුණයා තම ගමන වේගවත් කළේ මුව මත ඉහිරීගිය සිනවක් ද සමගය.

පොරොන්දු වූවා  සේම අමායා පැමිණියේ තවත් ඈ හා සම වයසේයැයි සිතිය හැකි තරුණියක සමගය. යුගාෂ්  ඇය විසින් දිගු කළ ජංගම දුරකථනය තීක්ෂණ වෙත ලබා දුන්නේ එහි ඇති දත්ත සිය ලැප්ටොප් පරිගණකයට ගබඩා කර ගන්නා ලෙස පවසමින්ය. ඉන් අනතුරුව ඔහුත් ඒවා පරීක්ෂා ක⁣ළේය. මේ මගහැර ගැනීමට නොහැකි තරම් වටිනා සාක්ෂිය.

“මට ඔය ෆෝන් එක ආපහු එපා සර්. සර් ලඟ තියා ගන්න..”

“එපා. මේකේ තියෙන හැම සාක්ෂියක්ම දැන් මං ගාව තියෙනවා. ඒ නිසා මේක අමායා ගාව තියා ගන්න. සමහර විට මේ ෆෝන් එක හොයාගෙන  අද හෙටම ඔයාගේ ගෙදරට මිස්ටර් දයාල් හරි සේනකගේ  කට්ටිය හරි  එන්න පුළුවන්. එහෙම ආවොත් එයාල අතට මේ ෆෝන් එක දෙන්න. එයාල මේ ෆොටෝස් මේ රෙකෝඩින් ඔක්කොම ඩිලීට් කරයි. ඔයා කිසිම දෙයක් අඟවන්නවත්, කියන්නවත් යන්න එපා. තේරුණා නේද. මේ තමයි ඔයා ගතපු බුද්ධිමත්ම තීරණය.”

“මම සර් කියන විදිහකට වැඩ කරන්නම්.”

“ඔයාට තේරෙනව නේද මේ වගේ අසාධාරණයකදී නඩු කියන එක කොයි තරම් මානසික වදයක්ද කියලා. අන්න ඒ නිසා තමයි ඔයා වගේ අසරණ වුණු ගොඩක් අය තමන්ගේ අසරණකම හංගගෙන ජීවත් වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඔයා ඒ වචන කොහොම දරාගන්නවද කියලා මමත් සෑහෙන්නන හිතුවා. ඒත් අපි එහෙම කරන්න කරන්න වෙන්නේ අපරාධකාරයන්ට ඉඩ දෙන එක. ඒ නිසා ඔයා මේ කරන්නේ ලොකු කැපකිරීමක්.”

යුවතිය හිස වැනුවේ යුගාෂ්ව අනුමත කරමින්ය. තරුණියන් දෙදෙනා කාර්යාල කාමරයෙන් පිට වූයේ තවත් අඩ හෝරාවකට පමණ පසුවය. 

“මචං තීක්ෂණ උඹ ඒ පැත්තට යන ගමන් මේ දෙන්නව ඩ්‍රොප් කරගෙන පලයන්. අමායා ඔයා මේ ප්‍රශ්න ටිකක් සෙට්ල්  වෙනකල්  එහෙ මෙහේ තනියම යන්නේ නැතුව ඉන්නවනං හොඳයි.”

“නෑ සර් නැන්දය මාමයි අමායට ගෙදරින් එළියට බහින්නවත් දෙන්නේ නැහැ. සර් හම්බවෙන්න ඕනේ කියපු හින්ද තමයි මේ ගමන මමත් එක්ක එව්වේ.”

එසේ පැවසූයේ ඈ සමග සිටි යෙහෙළියයි. තීක්ෂණ මිතුරා දෙස බැලුවේ  ඔහුව තනිකර දමා යාමට හිතක් නොවූ නිසාය.

“මට තව පොඩි වැඩ වගයක් තියෙනවා බං.  මං ගිහිල්ලා උඹට කෝල් එකක් දෙන්නම්.”

අවසන යුගාෂ් සිය ජංගම දුරකථනය අතට ගත්තේ කාර්යාල කාමරයේ තනිවුවාටට පසුවය. අපූරුවාගෙන්  මගහැරී ගිය ඇමතුමක සලකුණු දුරකථන තිරයෙහි දිස් විය. 

“ෆෝන් එක අතේ තියාගෙනද හිටියේ…”

ඔහු එසේ ඇසුවේ දුරකථනය නාද වූ පළමු තත්පරයේම ඈ ඇමතුම හා සම්බන්ධ වූ නිසාය. 

“ඔව්…..මං තේ එකක් බොන ගමන් හිටියේ. සර්ට ආපහු ගන්නවද නැද්ද කියලා හිත හිතා.”

“අද ටිකක් විශේෂ නඩුවක් තිබුනා අපූර්වා. දවල්ට දවසෙම  මට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වුණා. ඒක ඔයත් එක්ක කියන්නම ඕන කතාවක්. මේ දැනුයි ඒ ගර්ල් මාව හම්බවෙන්න ඇවිල්ල මෙතනින් ගියේ. ඉතින් අපි ඉස්සර වෙලා ඔයාගේ වැඩේ ගැන කතා කරමුකෝ”

“තමාරා  කියන මැඩම්ට උත්තරයක් දෙන්න කියලා මට හැමෝම කිව්වා. ඒත් මම සර් කතා කරනකම් බලාගෙන හිටියේ.” 

“මං ගැන එච්චර විශ්වාසයක්…..”

“සර්ට මට වඩා ඒ ගැන අවබෝධයක් ඇති කියලා හිතුණා…”

අපූර්වා එසේ පැවසූයේ මඳ හඬකින්ය. ඒ සත්‍ය සඟවාගෙනය.

 ‘උඹ  උගුරට හොරා බෙහෙත් බොන්න  පටන් අරන් කෙල්ලේ’. තරුණ නීතිඥයා එසේ පවසා ගත්තේ තමාටමය. 

“ඒක කිසි ප්‍රශ්නයක් නෑ අපූර්වා. හොයලා බලනකොට මං පෞද්ගලිකවම දන්න අඳුරන තැනක්. ඒ උනාට  අපූර්වා මාව දන්න බවක් ඒගොල්ලන්ට කියන්න යන්න ඕන නෑ. ඔයාට කිසිම කරදරයක්වත් කිසිම ප්‍රශ්නයක්වත් වෙන්නේ නෑ. එයාලා ලස්සනට ඒ වැඩේ කරල දෙයි. හාමුදුරුවොත් මේ වැඩේට සම්බන්ධ නිසා සීයට සීයක්ම විශ්වාසයෙන් ඔයා පටන් ගන්න අපූර්වා.”

යුගාෂ් පැවසූයේ සෘජු වූත් පැහැදිලි වූත් හඬකින්ය. එහා පස උන් අපූර්වා හිස වැනුවේ තමා දුරකථන සංවාදයක යෙදී උන් බවත් අමතකවය. ඈ වචන මත සිය විශ්වාසය අතුරමින් උන්නාය.

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here