ඉඩෝරයක මල් වැස්සක් – 31

0
3002

රාජිනී යහමින් පිටිත් සීනිත් යෙදූ තේ එකක් සාදාගෙන ආලින්දයට විත් අසුන් ගත්තේ ඉසුරි නිවසින් නික්ම ගියාට පසුවය. කිසිවෙකුගේ ශබ්දයක් නොවූ නිවස පාළු සොහොන් පිටියක් සේය. මින් විනාඩි කිහිපයකට ඉහතදී අම්මා ග්‍රාමීය රෝහලේ සායනයට සහභාගී වීමට ගියේ අධි රුධිර පීඩනයට බෙහෙත් ලබා ගැනීම සඳහාය. රාජිනී රැකියාවෙන් නතර වී මාස තුනකට ආසන්න කාලයක් ගෙවී යමින් තිබිණ. අතෙහි යම් මුදලක් වූවානම් එයත් දැන් අහවර වන්නට ආසන්නය. පිටරට ගමනට සියල්ල සූදානම්ය. ඒජන්සියෙන්  බලා සිටින්නේ තමාගේ කැමැත්ත ලැබෙන තුරුය. ඉසුරිගේ විවාහයට පසුදාම ඒජන්සියට කතාකර දින නියම කර ගැනීම කලයුතුයැයි ඈ සිතුවේ නිහඬවමය

“ධම්මිකා හම්බ උනේ…”

ඊයේ සවස මල් කඩන්නට ගේට්ටුව අසලට  ගොස් සිටි අම්මා නිවසට පැමිණියේ එසේ කියාගෙනය. සුරංගගේ අක්කා හදිස්සියකටවත් මහ ගෙදරට නෑවිත් දැන් බොහෝ කල්ය. අදටත් මහ මඟකදී හමුවුවත් ඈ රාජණීගේ මුහුණබලා කතා කරන්නේ නැත. ගමේ මිනිසුන් තමා ගැන විවිධාකාරයෙන්  කතා වෙන බව ඈ දනී. ඒ බොහෝ කතා වලට පියඹා යන්නට අත්තටු ලබා දී තිබුණේ සුරංගගේ සොහොයුරියයි. 

“එයා නිකං උඹ කෙල්ලගේ මඟුලට එනවට කැමති නෑ වගේ. රෙද්දක් ඇඳගෙන ඕකිට මගේ මූණ බලන්න එන්න පුළුවන්ද කියලා ඇහුවේ.”

“ඒක හරි කතාවක්නේ අම්මේ..මේ මගේ දරුවාගේ කසාදෙනේ..”

“අනේ මන්ද බං උඹල අතර තියෙන විරසකකම් මට තේරෙන්නේ නෑ. ලොකු පුතත් ඒකට වැඩිය කැමති නෑ කියලා කියන්නේ.”

“එයා එහෙමත් කිව්වද අම්මේ….”

“හ්ම්…මෙව්ව කාගේ කාගෙත් වැරදි තමයි. ලේසියට තීරණ ගන්නේ නැතුව දුර දිග හිතලා බැලුවනං මේවා මේ විදිහට සිද්ධ නොවෙන්න තිබුණා.”

ඊයේ සවස අම්මා සමග සිදුවූ කතාබහ සිහිකළ රාජණී අවසන දිගු සුසුමක් මුදා හැරියාය. සුරංගගේ සොහොයුරිය තවමත් ඒ සා කෝපයක් සිතෙහි දරාගෙන තමාගෙන් පළිගන්නවායැයි ඇයට සිතුනේ නැත. 

“ගෑනියෙක්ට ජීවිතේ වැරදුනොත් වැරදුනාම තමයි.”

අවසන ඕ තමාටම පවසා ගත්තේ නාදවන ජංගම දුරකථනය දෙස බලාගෙනය. එහි සටහන්ව තිබුණේ නාඳුනන දුරකථන අංකයකි. 

“රාජිනීද මේ කතා කරන්නේ….”

“ඔව්…කවුද මේ..”

තත්පර කිහිපයක් එහා පසින් ඇසුණු හඬට සවන්දුන් රාජිණී දුරකථනය නිහඩ කර පසෙකින් තැබුවේ දෑස් දැවිල්ලකින් රිදුම් දෙද්දීය. තමාට වැරදුනේ කොතැනකදයි අදටත් ඇයට පැහැදිලි කර වටහා ගත හැකිකමක් වූයේ නැත. 

තමා මේ ජීවිතය තුළ ඇති වූ සියලු ප්‍රශ්නවලට සෙවූයේ ක්ෂණික විසඳුම්යැයි රාජණීට සිතෙන්නේ දැන්ය. එහෙත් දැන් ආපසු හැරිය නොහැකි තරම් දුරක් ගොස් අවසන්ය. 

                                ***************

කාර්යාලයට පැමිණියත් වෙනදා සේ සිත එක අරමුණක තබාගෙන වැඩක් කිරීමේ හැකියාවක් යුවතියට වූයේ නැත. අවසන ඕ තමාගේ අංශ ප්‍රධානියා හමුවී අසනීප බව පවසමින් කාර්යාලයෙන් නික්ම යන්නට අවසර පැතුවාය. 

“අසනීපත් එක්ක වැඩ කරන්න බෑනේ ළමයෝ. ඔයා නිවාඩු අරගෙනත් නැහැනේ. කමක් නෑ ගෙදර යන්න…”

අංශ ප්‍රධානියා පැවසූයේ ඈ වෙත නිවාඩු පෝරමයක් දිගු කරමින්ය. බිනර කලබල වේයැයි සිතූ ඈ කෙටි පණිවිඩයක් තැබුවේත් ඒ පෝරමය පුරවනා අතරේය. 

“ඈ බිනරට පැවසූයේත් අංශ ප්‍රධානියාට පැවසූ බොරුවමය….”

අවසන ඈ කාර්යාලයෙන් පිටවූයේ නිවසට යාමේ අරමුණෙන්ය. ඒ යන අතරමගදී නැන්දලාගේ නිවසට ගොඩ වැදී ලොකු අයියා විසින් පැවසූ ඒ කතාවෙහි තේරුම කුමක්දැයි ඇගෙන් ඇසීමට ඉසුරි තීරණය කළේ හදිසියේමය. සිතෙහි වූ බියත් සැකයක් හදවත තුළින් බුරබුරා නැගෙන කෝපයේ ගිනි දැල්ලට යටත්ව තිබිණ. තමාගේ උන් අතහැර දමා දිව්‍ය ලෝකයක ජීවත් වීමට අවස්ථාව ලැබුණත් එය ඵලක් නැතැයි ඕ අවසන සිතුවාය. තාත්තාත් අම්මාත් වෙන්ව අවුරුදු දහ හතකට ආසන්න කාලයක් ගත වී අවසන්ය. 

යුවතියව පසුකරගෙන මදක් ඉදිරියට ගොස් නතර වූ කහ පැහැති වැගන් ආර් වර්ගයේ රථයෙන් බැස ඈ ඉදිරිපිට සිට ගත්තේ බිනරය. මෙවන් මොහොතක ඔහුව දකින්නට අපේක්ෂා නොකළ ඉසුරි තිගැස්සී ගියාය. 

“නගින්න..අසනීපනම් ඔහොම පයින් ගිහිල්ලා හරි යනවද..

“මොනවද බිනර ඔයා මේ කරන්නේ..”

“ඇයි..”

“මෙහෙම හොල්මනක් වගේ ඉස්සරහට කඩා පහත් වෙද්දී බය හිතෙනවනේ. දැන් මං එද්දි ඔයා හිටියේ ඔෆිස් එකේනෙ.”

“ඔයා දැක්කද මං ඔෆිස් එකේ ඉන්නවා.”

“ඇයි මගේ මැසේජ් එකට ඔයා රිප්ලයි කරේ.”

“ඒක පුදුම කතාවක්නේ අනේ. මැසේජ් එකකට රිප්ලයි කරන්න ඔෆිස් එකේ ඉන්නම ඕනෙද? ඔෆිස්  එකට ආවා. හැබැයි මම පොඩි වැඩකට එළියට ආවා.”

“නිවාඩු දාලා..”

“ඔව්..මේ.. නගින්නකෝ. මං ඔයාව බස් හෝල්ට් එකට ඇරලවන්නම්. ඊට පස්සේ ඔයා කැමති විදිහකට ගෙදර යන්න. මේ ටික අව්වෙ ගිහිල්ලා කලන්තයක් හැදුනොත් මොකද වෙන්නේ…”

“මට ඒ හැටි අමාරුවක් නෑ බිනර.”

“ඒ හැටි නෙමෙයි කොහොමටවත් අමාරුවක් නෑ කියලා මම දන්නවා. ඕක හිතේ අමාරුවක්.” 

“අනේ බිනර…”

“වාහනයට නඟින්නකෝ යන ගමන් කතා කරමු. මේ වෙලාවේ අපි දෙන්නා මෙතන මේ විදිහට කතා කර කර ඉන්නවා දැක්කොත් හෙට දවසේ දෙන්නටම ජොබ් එක නැති වෙනවා.”

ඉසුරි කලබලයෙන් වටපිට බැලුවේ ඔහු එසේ පැවසුවාට පසුවය. ඉන්පසු වාහනයට නැගුණේ ඔහුට අවනතවය. එතැන් සිට කාර්යාලයට වූයේ මීටර් කිහිපයක දුරකි. දැනටමත් කී දෙනෙකු තමාත් බිනරත් දුටුවාදැයි සිතද්දී යුවතිය බියෙන් ඇළලී ගියාය.

“මොකද වුනේ ඉසුරි. මේක කැබ් එකක්. ඒ ඩ්‍රයිවර්ට අපි දෙන්න ගැන ගානක් නෑ. ඒ නිසා බය නැතුව කියන්න මොකද වුනේ?. මට තේරුණා ඔයා ඊයෙ රෑ හිටියෙත් මොකක් හරි ලොකු ප්‍රශ්නෙක කියලා” 

බිනර එවේලෙහි පැවසූයේ මඳ හඬකින්ය. 

“මගේ ජීවිතේ ප්‍රශ්න පත්තරයක් බිනර. ඒවට උත්තර හොයන්න ඔයාටවත් මටවත් බැහැ.”

“ඇයි ඉසරි  උත්තර හොයන්න බැහැ කියලා කියන්නේ. උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. මොකක්දෝ හේතුවකට ඔයා උත්තර හොයන්න උත්සහ කරන්නේ නෑ…ඔයා මෙහෙම ගෙදර යන්න එපා. අපි ටිකක් කතා කරමු ඉසුරි.”

“කොච්චර කතා කලත් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ බිනර. මේක මගේ කරුමේ. පොඩි කාලේ ඉඳලම මම දැක්කේ කඳුළුයි ප්‍රශ්නයි විතරමයි. මටත් ඇති වෙලා දැන්..” 

“ඉසුරි ඔයා එන්න මමත් එක්ක ගමනක් යන්න. හැම ප්‍රශ්නෙකටම විසඳුම් තියනව ඉසුරි. එයා මගේ අක්කිගේ යාළුවෙක්. එයා ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දෙයි.”

බිනර එසේ පැවසූයේ ඉසුරිගේ දකුණතින් අල්ලා ගෙනය. ඈ ඔහු දෙස බැලුවේ විමතියෙන්ය. ආගන්තුක තරුණයෙකු ස්පර්ශකල තම දකුණත මුදා ගන්නට උවමනාවක් ඇයට වූයේ නැත.  වැගන් ආර් වර්ගයේ රථය ප්‍රධාන බස් නැවතුම්පොළ අසලට පැමිණ අවසන්ය.

“ප්ලීස් ඉසුරි එකම එක පාරක් මාව විශ්වාස කරලා මම කියන දේ අහන්න. පොඩි කාලේ ඉඳලම මම ඉගෙන ගෙන තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට උත්තරයකුත් තියෙනවා කියන එක. අපි එකම එක පාරක් සුලක්ෂා අක්කිව මීට් වෙමු”

“බිනර…”

“සුලක්ෂා…සුලක්ෂා  කියන්නේ…”

“සුලක්ෂා  මීගස්තැන්න…”

“එයා එයා අර ප්‍රසිද්ධ….”

“ඔව්…ඔයා මේ වෙලාවේ ප්‍රශ්න දිහා බලන්නේ මනස නිරවුල් කරගෙන නෙමෙයි ඉසුරි. එයා ඔයාට උදව් කරයි..”

එසේ පැවසූ බිනර රියදුරාට යමක් පැවසූයේ මද හඬකින්ය. ඉන්පසු යුවතියගේ අත අතහැර කෙටි පණිවිඩයක් ටයිප් කලේ වේගයෙන්ය. ඔහු මේ සියල්ල කරන තුරුත් ඈ බලා සිටියේ නිනව්වක් නැති ගණනටය. හදවතෙහි කිසිදු තෙත් බවක් නොවූ මිනිසෙකුට තම ජීවිතය බාර දෙන්නට ඇයට සිතුනේ නැත. සැබවින්ම මෙවේලෙහි යුවතිය උන්නේ තම ජීවිතය තමාටත් එපා වූ ගණනටය. කවුරුන් කෙසේ කීවත් ලොකු අයියා මේ සා හිතක් පපුවක් නැති මිනිසෙකුයැයි සිතන්නට ඉසුරි මැලි වූවාය. එහෙත් ඔහු අද තමාගේ සිත කඩා බිඳ දැමුවේ මහා පිළිකුලක් ඇගේ සිතෙහි ජනිත කරමින්ය.

වාසනාවකට මෙන් සුලක්ෂා එවේලෙහි වූයේ කැලණියේ පිහිටි ඇගේ පුද්ගලික සායනය තුළය. 

රෝගීන් සදහා වෙන්ව ඇති කොටසෙහි ඉසුරිව  රැඳවූ බිනර සුලක්ෂා සොයා ගියේ ඇගේ සහායිකාවකගෙන් අවසර පැතුවාට පසුවය. 

“මොකද කොල්ලෝ මේ වද දෙන්නේ…..”

“අනේ අක්කේ මේ වෙලාවේ ඔයා  එයා එක්ක කතා කරන්නම ඕනේ. සොරි එපොයිමන්ට් එකක් දාන්නේ නැතුව ඔයා හම්බවෙන්න ආවට. අක්කා මං කීයක්ද ගෙවන්න ඕනේ මං ඒක කරන්නම්.”

“පිස්සුද බං..ඇයි මේ හදිසියේ ඉසුරිට මොකද වෙලා තියෙන්නේ…”

“වෙලා තියෙන්නේ මොකද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අක්කා මේ වෙලාවෙ ඔයා එයාට එයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න උදව් කරන්න ඕනේ. ප්ලීස් මං කාගේ කවුද ඒ කිසිම දෙයක් එයාට දැනගන්න තියන්න එපා. මං එහෙම කරන්නෙ අක්කා එයාට මාව අහිමි වුනත් මට එයාව අහිමිවුනත් අපිට දුරින් ඉඳගෙන හිත හදාගන්න ඕන නිසා. ඔයාට මාව තේරෙනවනේ..ප්ලීස් මේ වෙලාවේ මම කාගේ කවුද කියලා දැනගත්තොත් එයා මට ලං වෙන්නෙ නෑ. ඒකෙන් එයාට හොඳම යාළුවෙක් නැතුව යනවා. එයාට එයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න උදව් වෙන්න අක්කා..පුළුවන්නම් අපේ ගිනි බෝම්බෙට කියන්නේ නැතුව ඉන්න මම මෙහෙම ආව කියල.

“හ්ම්..දැන් මම එයා ඒක කතා කරන්න ඕනේ ඔයාගේ ළඟදිද නැත්තං තනියමද….

“තනියම කතා කරන්න. මං ලොබි එකට වෙලා ඉන්නම්..”

බිනර ඇගේ කාමරයෙන් පිටව ගියේ පැමිණියාටත් වඩා වේගයෙන්ය. තරුණයා උන්නේ හොඳටම කලබලවය. සුරක්ෂා ඔහු යන දෙස බලා සිටියේ සිනහමුසු මුහුණින්ය. මේ සිටින්නේ මින් මාස කිහිපයකට ඉහතදී ඈ දුටු හිතුවක්කාරී යෞවනයා නොවේ. යුතුකම් වගකීම් කරපින්නාගත් මිනිසෙකි. එවන් මිනිසුන්ගේ ආදරයට සීමා මායිම් නොවේ. අද ඔහු සිටින්නේ තමාට ලැබුණත් නොලැබුණත් ඉසුරි නිරවුල්ව ජීවත් විය යුතුයැයි සිතනා තැනකය. සහායිකාවක සමඟින් යුවතිය සුලක්ෂා උන් කාමරයට පැමිණියේ එවේලෙහිය. විශ්වාසය…ඒ අපූරු නිමැවුමකි. ඔහු වෙනුවෙන්ම දෙවියන් කල අපූරු නිමැවුමකි. 

( හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here