මතකයක සේයා – 04

0
855

” මිස්ටර් සත්සර මං කියන්නේ අපිට තව එක චාන්ස් එකක් දීලා බලන්න කියලා.වෙලා තියෙන හැම අඩුපාඩුවක්ම අපි බලලා sort out කරලා දෙන්නම් ” 

මන්දාකිනි වෙනුවෙන් සත්සර හට කතා කර ගැටලුව විසඳා ගැනීමට මීනු ඉදිරිපත් වූයේ මන්දාකිණි කම්පා වීම බලා සිටිය නොහැකිම තැනය. තමා වෙනුවෙන් මීනු එවැනි ක්‍රියාවක් කිරීම ලියානා විසින් අනුමත නොකළ නමුත් මීනු ගේ බැගෑපත් වීම ඉදිරියේ ඇයට ඉඩ දෙන්නට මන්දාකිණි හට සිදු විය.

” මේකයි මිස් මීනු.මම මෙච්චර කල් මේ වැඩ කටයුතු හොයල බලල කරාට දැන් හොටෙල් එකේ owner ලංකාවට ඇවිල්ලා ඉන්න නිසා මීට පස්සේ එයා තමයි මේ හැම දෙයක්ම බලලා කරන්නේ. ඉතින් එයාගේ ඩිසිෂන් එක තමයි ඔයාල ගෙන් මේ ප්‍රොජෙක්ට් එක අයින් කර ගන්න එක.මොකද වෙලා තිබුණ දේවල් ගැන එයා හිටියේ ගොඩක් disappoint වෙලා ” 

සත්සර ඇති වී තිබෙන තත්ත්වය මීනුට පැහැදිලි කර දෙන අතරවාරයේ දී කෛලාශ් එය අසා උන්නේ සාවධානවය.ගන්නා ලද තීරණයක් කිසිදු හේතුවක් මත වෙනස් කිරීමට කෛලාශ් කිසි දිනකත් පුරුදුව උන්නේ නැත.ඒ නිසාම හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු Elegant Space By Mandi වෙතින් ඉවත් කර ගැනීමේ තීරණයේම සිටින්නට කෛලාශ් වග බලා ගත්තේය.

දහසක් බලාපොරොත්තු තබාගෙන හුන් කෝටි ගණනාවක ව්‍යාපෘතිය අහිමිව යාමේ ශෝකයෙන් මන්දාකිණි තව දුරටත් බලා උන්නාය.පැටලී තිබෙන ජීවිතය පිළිවෙලක් කර ගැනීම කොහෙන් ආරම්භ කරන්න දැයි සිතුවත් එවැනි ආරම්භයක් පෙනෙන මානයේ වත් නොමැති බව මන්දාකිණි සිතුවේ ශෙනාල් පිළිබඳව ගත් තීරණය පිළිබඳව නැවත නැවතත් පසුතැවෙන අතරේය.

” දැන් ඉතිං වෙච්ච දේ වෙලා ඉවරයි නේ මැඩම්.අපි දැන් අනික් වැඩ වලට ෆෝකස් කරමු. එහෙම නැත්තං වෙන්නේ අපිට ඒවත් නැති වෙන එක “

මීනු එසේ කියූ විට මන්දාකිණි එක වරම තැති ගත්තාය.තමා ගේ අපිළිවල බව නිසා මේ වන විට භාර ගෙන ඇති ව්‍යාපෘති ද , හරියට පැමිණෙන්නට ඇති ව්‍යාපෘතිද අහිමි වී , ආයතනය පාඩු ලබා තමා මීටත් වඩා ඇද වැටී සිටිනු මන්දාකිණි ගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. ඒ හැඟීම ඇයව බොහෝ බියට පත් කළ අතර වායු සමීකරණය කරන ලද කාර්යාල කාමරය තුළ පවා මන්දාකිණි ගේ හිසේ සිටම දහඩිය වැගිරෙන්නට පටන් ගත්තේය.

මන්දාකිණි කලබලයෙන් මෙන් මේසය මත තිබූ laptop පරිගණකය දිග හැර ගෙන මේ වන විට භාර ගෙන ඇති ව්‍යාපෘති පිළිබඳව තොරතුරු වේගයෙන් කියෙව්වේ එකී බියෙනි. ආයතනය තුළ කිහිප දෙනෙකුම සේවය කළත් සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මන්දාකිණි ගේ අනුදැනුම සහ උපදෙස් මතය.  Hotel Sunzet හී අභ්‍යන්තර නිර්මාණ කටයුතු වල හෝ අඩුපාඩු සිදු වී තිබුණේද එකී උපදෙස් වල වූ අඩු පාඩු නිසාය.

” මැඩම් ටිකක් කාම් ඩවුන් වෙන්න. ඊට පස්සේ වැඩ පටන් ගන්න. නැති වෙච්ච දේවල් ගැන දැන් හිතල වැඩක් නැහැනෙ මැඩම්.අපි බලමු අපිට ඇවිල්ල තියෙන ප්‍රොජෙක්ට්ස් ටික හොඳට කර ගන්න.දවල්ට මීටින් එකක් තියෙනවා. මං හිතන්නෙ මැඩම් දැන් වෙච්ච දේ අමතක කරලා ඒකට රෙඩි උනා නං හොඳයි. මං ගිහිල්ලා මැඩම්ට ඒ මීටින් එකේ විස්තර මේල් එකට ආපහු ෆෝවර්ඩ් කරන්නං “

මීනු කාර්යාල කාමරයෙන් පිටතට ගියේ මන්දාකිණි ගේ හිස මත තවත් බරක් තබාය.තමා සිටින්නේ සාකච්ඡාවකට හෝ රැස්වීමට සහභාගි විය හැකි තත්ත්වයක නොවේ.නමුත් මේ වන විට සිදු වී ඇති පාඩු සහ අහිමි වීම් පිළිබඳව සලකා බලන විට ඉදිරියට පැමිණෙන්නට නියමිත ව්‍යාපෘතිවත් රැක ගත යුතුය.එසේ නොවුනහොත් තමාට තව දුරටත් මේ ආයතනය යාම විශාල ගැටලුවක් වනු ඇත.

කෛලාශ් උදෑසන ආහාරයෙන් පසුව නැවත කාමරයට පැමිණ පැය දෙක තුනක සුව නින්දක් ලබා ගත්තේ අධික ලෙස දැනෙමින් තිබුණු ගමන් මහන්සිය නිසාය. කෛලාශ් හදිසියේම නින්දෙන් අවදි වූයේ බොහෝ වේලාවට නින්දෙන් දකින්නට ලැබෙන රූපයක් නින්දත් නොනින්දත් අතරේ සිටියදී දුටු නිසාය.

” ඇත්තටම ඔයා කොහෙද ඉන්නේ? ” 

කෛලාශ් දෑස් හරිමින් මිමිණුවේය.තමාට මානසික වශයෙන් අසනීපයක් වත් වැළඳී ඇත් දැයි වරෙක ඇතැම් මිතුරන් අසා තිබුණද මෙය එවැන්නක් නොවන බව කෛලාශ් තරයේම විශ්වාස කළේය.තමා කුඩා දරුවෙකු අවදියේ පාසල තුළදී ලක්වූ අනේක විධ වද හිංසා වලින් තමාව ආරක්ෂා කරන්නට උත්සාහ කල ඒ කුඩා ළදැරියගේ මුහුණ කෛලාශ් මතකයට නඟා ගත්තේය.

දෙමව්පියන් සමග හෝ පාසල් වෑන් රථයකින් පාසලට පැමිණෙන ළමුන් අතරේ තමා දිනපතා පාසලට ගියේ ළමා නිවාසයේ සේවකයකු සමග පයින් ය. ළමා නිවාසය පිහිටා තිබුණේ පාසලට පයින් යන දුරින් නිසාත් , ළමා නිවාසයට අදාළ නිල ඇඳුමක් සේවකයා හැඳ සිටින නිසාත් තමා පැමිණෙන්නේ පාසලට ආසන්නයේ තිබෙන ළමා නිවාසයේ සිත බව කිසිවකුටත් රහසක් වී තිබුණේ නැත.

අන් අයගේ සිතුම් පැතුම් සහ තරාතිරම් පිළිබඳව එතරම් දැනුමක් හෝ අවබෝධයක් දරුවන් හට කුඩා කාලයේ නොතිබෙන නිසා කෛලාශ් නිරන්තරයෙන්ම පන්තියේ අන් අයගේ හාස්‍යයට සහ අපහාසයට ලක් වූයේය.ඒ නිසාම කුඩා දරුවකු වශයෙන් කෛලාශ් පාසල තුළ පැය කිහිපය ගෙව්වේ අතිශය පීඩාවෙනි. මිශ්‍ර පාසලක් වූ එහි ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් පොදුවේම කෛලාශ් හට විවිධ වශයෙන් පීඩා කළ අතර එවැනි දේවල් වැඩි වශයෙන් අත්විඳින්නට සිදු වූයේ දෙමව්පිය රැස්වීම් වලින් අනතුරුවය.

3 වසරේ එවැනි දිනයක කෛලාශ් උන්නේ පිට්ටනිය අසල වූ කුඩා බෝලයකට පයින් ගසමින් තනිවම සෙල්ලම් කරමිනි. පන්තිය තුළ ළමුන් කුඩා කණ්ඩායම් සෑදී සිටියද කෛලාශ් ඒ එකකට වත් අයත් නොවූයේ බොහෝ දෙනෙකු තමාව මිතුරෙකු කර ගැනීමට අකමැති වූ නිසාය.ඒ නිසාම කෛලාශ් හට සිදුවූයේ බොහෝ වේලාවට පිට්ටනියේ කොනකට වී තනිව විවේක කාලය ගත කිරීමටය.

” ඔය බෝලේ මෙහාට දෙනවා ” 

කෛලාශ් ගේම පන්තියේම ශිෂ්‍යයකු වූ ගයාන් පැමිණියේ තවත් සිසුන් තිදෙනෙකු සමගය.කෛලාශ් පයින් ගසමින් සිටි බෝලය අතට ගෙන බලා සිටියේ බොහෝ දින වලදී මේ අත්දැකීම මේ ආකාරයෙන්ම විඳින්නට සිදු වන නිසාය. තමා කිසිදු වරදක් නොකර හැමදාම පරාජය භාරගත යුතු නැති බව ඒ මොහොතේදී කෛලාශ් සිතුවේය. අවුරුදු අටක පුංචි එකෙකුගේ සිතට කොහේදෝ නැති ධෛර්‍යයක් පැමිණියේ ඉන් අනතුරුවය.

” මේක ඕගොල්ලන්ගෙ නෙමෙයිනේ.ඉස්කෝලේ බෝලයක්.ඕන කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් ” 

කෛලාශ් කීවේ තමා ඉදිරියේ සිට ගෙන සිටින තුන් හතර දෙනාටම ඇසෙන ලෙසය. ඉදිරියෙන් සිටි ගයාන් ගේ මුහුණට කෝපයක් ආරූඪ වී බලා සිටියදීම කැතවී ගියේය.

” ඕන කෙනෙක්ට සෙල්ලං කරන්න පුළුවන් උනාට ඔයාට සෙල්ලම් කරන්න බෑ ඕකෙන් ” 

ගයාන් සහ අනෙක් සිසුන් තිදෙනා ඉදිරියට පැන කෛලාශ් අතේ තිබූ බෝලය උදුරන්නට තැත් කළ අතර කෛලාශ් ඔවුන් සිව් දෙනා ඉදිරියේ පරාජය භාර ගන්නට සූදානම් වූයේ නැත. ඔහු එක් අතකින් බෝලය තදින් අල්ලාගෙන අනෙක් අතින් තමා හා රණ්ඩුවට පැමිණෙන ගයාන් ඇතුළු සිසුන්ව තල්ලු කරන්නට බිම පෙරළී ගැන උත්සාහ කළේය.

” මොකද ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ ඕක නවත්තන්න. කෛලාශ් ට ඉන්න දෙන්න ” 

කුඩා කොලු පැටවුන් පස් දෙනකු බිම පෙරළී ගෙන කර ගන්නා රණ්ඩුවට මෙහායින් ඇසුණේ පුංචි කෙල්ලක ගේ කෑ ගැසීමකි.

” ලී ” 

මධ්‍යම පාන්තික පවුලක එකම දියණිය වූ ලියානා කුඩා ජපන් බෝනික්කයක මෙන් ඉණට දෑත් තබාගෙන නපුරු මුහුණක් මවා ගෙන රණ්ඩු කරමින් සිටිනා කොලු පැටවුන් පස්දෙනා ඉදිරියේ පෙනී සිටියාය.

” ඔයා පැත්තකට වෙලා ඉන්න. ඔයාට වැඩක් නෑනේ මේවා ” 

ගයාන්ගේ හොඳම යාලුවා වු ඉශාර දඩිබිඩියේ නැගිට විත් ඒ අසලම සිටගෙන උන් ලියානාව අපේකයෙන් තල්ලු කර දැමූ අතර කුඩා සිරුරක් හිමි ලියානා විසි වී ගොස් අසල තිබූ කැඩුණු පයිප්පයක බැම්මක වැදී බිම වැටුණාය.

” අම්මා ” 

ලියානා යටිගිරියෙන් කෑ ගැසුවේ දකුණු අත අල්ලා ගෙනය.පයිප්ප බැම්මේ වැදුනු දකුණතේ වැලමිට ප්‍රදේශය කැඩුණු බට කෑල්ලක වැදී ඉතා ගැඹුරු කැපුමක් ඇති වී ලේ ගලා යමින් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here