මතකයක සේයා – 05

0
847

කුඩා ලියානා සති දෙකක පමණ කාලයක් පාසලට පැමිණියේ නැත.දකුණතේ වැලමිට ප්‍රදේශයේ අස්ථි බිඳීමක් සහ දරුණු තුවාලයක් ඇති වීම එයට හේතු වූ අතර කෛලාශ් මෙන්ම ගයාන් ඇතුළු මිතුරන්ටද ලියානාගේ දෙමවුපියන්ගේ මෙන්ම පාසලේ ගුරුවරුන්ගේද දෝශාරෝපණ වලට ලක් වන්නට සිදු විය.කෛලාශ් ස්වභාවයෙන්ම බොහෝවිට නිහඬ දරුවෙකු නිසාත් ඔහුගේ පසුබිම නිසාත් සියල්ලෝම ඔහුට අනුකම්පා කළ නමුත් ගයාන් මින් පෙරද වැරදි බොහොමයක් සිදු කර තිබුණු නිසා ඔහු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නට ගුරුවරුන් විසින් තීරණය කර තිබුණි.

සිදුවූ හදිසි අනතුර හේතුවෙන් ලියානා බොහෝ සේ පීඩා විඳි අතර ඇය නැවත පාසලට පැමිණි පසුව පන්තිභාර ගුරුතුමිය ඇයගේ ඉගෙනීම් කටයුතු වලට විශාල සහයෝගයක් දැක්වූවාය.කෛලාශ් ඔහුට හැකි සෑම අවස්ථාවකදීම ලියානා හට උදව් කිරීමට ඉදිරිපත් වූයේ ඇයට මේ අනතුර සිදු වූයේ තමා නිසාය යන පසුතැවිල්ල තදින්ම දැනෙමින් තිබුණු නිසාය.

එතරම් විශාල සිදුවීමකින් පසුව වුවද ගයාන් විසින් කෛලාශ් හට රිදවීම නතර නොකළ අතර රැවුමකින් බැනුමකින් හෝ කෛලාශ් හට යමක් කිරීමට පෙළඹුණේය. 

කුඩා ලියානාගේ දකුණත වෙලා තිබුණු වෙළුම ඉවත් කිරීමට බොහෝ කාලයක් ගතවුණු අතර ඉන් පසුව ඇය පාසලට පැමිණි පළමු දිනයේ ඇයව දුටු පසු කෛලාශ් හට ඇති වූයේ තදබල ශෝකයකි. ලියානාගේ දකුණතේ විශාල තුවාල කැළලක් ඉතිරි වී තිබුණු අතර ජපන් බෝනික්කෙකු මෙන් සුන්දර ලියානාගේ ඒ තුවාල කැළල කැපී පෙනීම පිළිබඳව ඇයද කම්පා වෙමින් උන්නාය.

අතීතයේ අතරමං වෙමින් සිටි කෛලාශ් හිස් හැඟීමකින් යුතුව ඇඳෙන් බැස බැල්කනිය වෙත පැමිණ විශාල ගෙමිදුල දෙසත් පසෙකින් ඇති පිහිනුම් තටාකය දෙසත් බලා උන්නේය.” ලියානා ” නැමති සුන්දර හදවතක් ඇති ළදැරිය මේ වන විට යුවතියක්ව කොහේ හෝ සිටිනු ඇත.ඇයව සොයා ගැනීම එතරම් පහසු නොවනු ඇති අතර එය ජීවිත කාලය පුරාවටම කර ගත නොහැකි වුවහොත් කුමක් සිදු වේදැයි කෛලාශ් ශෝකයෙන් බරව ගිය හදවතින් කල්පනා කළේය.

අලුත් ව්‍යාපෘතියක් පිළිබඳව තිබූ රැස්වීම සඳහා මන්දාකිණි මීනු සමග සහභාගී වූයේ ආයතනයේ ප්‍රධානියා ලෙස එයට සහභාගී නොවී බැරිකමටය. මන්දාකිනි ගේ ඉල්ලීම පරිදි   රැස්වීමට අදාල කටයුතු බොහෝමයක් මීනු විසින් කළමනාකරණය කර දුන් අතර වාසනාවකට මෙන් ව්‍යාපෘතිය ගෙන ආ සේවාදායකයා Elegant Space By Mandi වෙත තම ව්‍යාපෘතිය භාරදීමට කැමැත්ත පළ කර සිටියහ.

මන්දාකිණි මීනු සමග රැස්වීම තිබූ ස්ථානයෙන් පිට වී තම රථය නවතා තිබූ තැනට පැමිණියේ තරමක සැහැල්ලුවකිනි.රථයට නැගුණු මන්දාකිණි හිස අසුනට බර කර ගෙන දෑස් පියාගෙන මොහොතක් ගත කළාය.

“මේ project එක ලැබුණ එක නම් ලොකු දෙයක් මැඩම් “

මන්දාකිණි දෑස් විවර කළාය.බර වී ගොස් තිබූ හදවත සැහැල්ලු වූයේ මද වශයෙනි.විසඳා ගත යුතුව ඇති දේවල් ද තව බොහෝමයක් ඇත.නූල් බෝලයක් ලෙස පැටලී ගිය ජීවිතය ලෙහා ගැනීම ආරම්භ කළ යුත්තේ කොතනින්දැයි මන්දාකිණි තවත් විනාඩියක් ගෙන කල්පනා කළාය.

” ඒ උනාට මට අර හොටෙල් ප්‍රොජෙක්ට් එක නැති වෙච්ච එක මාර අපරාධයක් කියලා හිතෙනවා මීනු “

මන්දාකිණි පසුතැවිල්ල මුසු වූ හඬකින් මිමිනුවාය.

” ඒ වුනාට මට හිතෙන්නෙ වෙන දෙයක් මැඩම්”

මීනූ කීවේ මන්දාකිණි වාහනය පණ ගන්වා වාහන අංගනයෙන් පිටතට ගන්නා අතරේය.

” මොකද්ද ?”

” දැන් ඔය project එකේ බාගයක් විතර අපි කරලා ඉවර එකේ මැඩම් හිතනවද මේ හදිසියේ වෙන කම්පනි එකක් ඕක බාරගනියි කියලා? “

”  එතකොට? ” 

” අපි තව පාරක් ට්‍රයි කළොත් ඒ මිනිස්සු ඕක අපිටම ආපහු දෙන්න බැරි නැහැ “

මාර්ග සංඥා සහිත මංසන්ධියක් අසල වාහනය නතර කළ මන්දාකිණි දිගු සුසුමක් හෙළුවාය. මීනුව කාර්යාලය අසලින් බස්සවා තමා නැවත නිවසට යා යුතුය.පෙරදී තමාගේ ප්‍රියතම ස්ථානය තම නිවස වුවත් දැන් නිවසට යාමේ හැඟීම පවා බොහෝ කලබලකාරීය, නොසන්සුන්ය.

” මැඩම් office එකට එන්නේ නැද්ද ?”

මීනු ඇසුවේ මන්දාකිනි කාර්යාලය අසල වාහනය නවත්වා මීනු බසින තෙක් බලා සිටි නිසාය.

“මං ගෙදර යනවා මීනු මෙහෙම්ම. මොකක් හරි තිබුණොත් ඔයා මට කෝල් කරන්න.මං ඉතුරු වැඩ ටික ගෙදර ගිහින් කරන්නම් “

මීනූ මඳ සිනාවක් පමණක් පා තම ආයතන ප්‍රධානී යුවතිය පිළිබඳව සානුකම්පිත හැඟීමකින් යුතුව රථයෙන් බැස කාර්යාලයට ඇතුළු වූවාය.ඒ දෙස බලා සිටි මන්දාකිණි, මීනු නොපෙනී ගිය පසුව නිවස පිහිටි මහල් නිවාස සංකීර්ණය වෙත රථය පැදවූයේ සිතිවිල්ලේය.

නිවාස සංකීරණය වෙත පැමිණෙන්නට මන්දාකිණි කට සැලකිය යුතු වේලාවක් ගත වූයේ ඇය ඕනෑකමින්ම ඉතා සෙමෙන් රථය පැදවූ නිසාවෙනි.නිවාස සංකීරණයේ බිම් මහලේ පිහිටි වාහන අංගනයේ වාහනය නවතා මන්දාකිණි ඉතා ශෝකයෙන් විදුලි සෝපානයට ගොඩ වී දස වැනි මහලට යන්නට සෝපානය ක්‍රියාත්මක කළාය.

මන්දාකිණි සෝපානයෙන් පිටතට පියවර තැබූයේ අත් බෑගයේ තිබූ නිවසේ යතුර අතට ගනිමිනි. ශෙනාල් මේ වන විට නිවසේ නොමැති නිසා නිදහසේ පැයක් දෙකක් වත් නින්දට වැටිය යුතු බව සිතමින් මන්දාකිණි නිවසේ දොර විවර කළාය.

ශෙනාල් සෝෆාවේ වාඩි වී ටීපෝව මත දෙපා තබාගෙන රූපවාහිනිය නරඹමින් සිටිනවා දුටු මන්දාකිණි තිගැස්සුනාය.මද විවේකයක් හෝ ලබා ගැනීමට තිබුණු බලාපොරොත්තුව දෙපා මුලට කඩාගෙන වැටෙද්දී මන්දාකිණි ආයාසයෙන් මවාගත් සන්සුන් බවකින් යුතුව නිවසට ඇතුළු වී දොර වසා දැම්මාය.

“office ගියේ නැද්ද ශෙනාල්? ” 

මන්දාකිණි ඇසුවේ යමක් ඇසිය යුතු නිසා මිසක ශෙනාල් රැකියාවට නොගියේ මන්දයි දැනගත යුතු නිසාම නොවේ.

”  හහ්. කලින් ගෙදර ආවේ එතකොට මම නෑ කියලා හිතාගෙනද ?”

ශෙනාල් පිළිතුරු දුන්නේ සමච්චල් සහගත සිනහවක් සමඟිනි. එවැනි දේකට පිළිතුරු දීම පවා වෙහෙසකාරී බව සිතමින් මන්දාකිණි නිදන කාමරය වෙත පැමිණි අතර ශෙනාල් තමා පසු පසින් පැමිණි බව දුටුවේ දෙකනෙහි වූ කරාබු යුවල ගලවා දමමින් කණ්නාඩි මේසය මත තබන විටය.

” තමුසෙ මොකද මාව ගණන් ගන්නේ නැත්තේ?”

ශෙනාල් මන්දාකිණි ගේ අතින් ඇද තමා දෙසට හරවා ගත්තේ කෝපයෙනි.

” අනේ එහෙම එකක් නෑ ශෙනාල්. මට ටිකක් මහන්සියි.මීටින් එකක් ඉවර කරලා මීනුව office එකට ඩ්‍රොප් කරලා ආවේ “

ශෙනාල් මොහොතක් මන්දාකිනි දෙස බලා උන්නේය. ඇය තුළ පෙනෙන්නට ඇති ශෝකී බව සහ වෙහෙසකාරී බව තුළ වුවද කුමක්දෝ සුන්දරත්වයක් සැඟවී තිබේ.එය බොහෝ යුවතියන් තුළින් තමා නොදුටු තරමේ සුන්දරත්වයකි. වසර කිහිපයකට පෙර තමා ආයතනය කරන මෘදුකාංග ආයතනයේ සේවාව ලබා ගැනීමට මන්දාකිණි පැමිණි මුල්ම දිනය ශෙනාල් ට සිහි විය.එදින ඇති කර ගත් හිතවත්කම මුල් කරගෙන එය ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා මේ තරම් දුර රැගෙන ආවේ තමාට එකල තිබූ ප්‍රේම සම්බන්ධතාවයද නතර කර දමාා බව මන්දාකිණි අදටත් නොදන්නීය.මන්දාකිණි තම ජීවිතයට පැමිණි පසුව ජීවිතය බොහෝ සුන්දර සහ සුවපහසු එකක් වූ බව සත්‍යයකි. එහෙත් තමා තවමත් නොදන්නේ ඇයට රිදවා තමා ලබන සන්තෝෂය කුමන ආකාරයේ එකක් දැයි කියාය.

” ගිහින් වොශ් එකක් දාගෙන එන්න “

ශෙනාල් මන්දාකිණි ගේ අත මුදා හැර යන්නට හැරුනේය.

” ශෙනාල් “

කාමරයෙන් පිටවන්නට හැරුණු ශෙනාල් නැවත හැරී බැලුවේ මන්දාකිණි ගේ හඬටය. 

” ඇයි ?” 

ශෙනාල් ඇසුවේ කිසිදු ආදරණීය බවකින් තොරවය.

” මේකෙ තේරුම මොකද්ද ශෙනාල් ? “

ශෙනාල් ගේ මුහුණේ ඉරියව් වෙනස් වූයේ ක්ෂණිකවය.

” මොකේද? “

” අපි මෙහෙම කිසිම තේරුමක් නැතිව රණ්ඩු වෙවී ජීවත් වෙන එකේ ? “

මන්දාකිණි ඇසුවේ ඇත්තටමය.ගෙවී යන බොහෝ වෙහෙසකාරි දිනයන් ශෙනාල් තව තවත් පීඩනයට පත් කරමින් කරමින් හිඳින්නේය.

” ඇයි දැන් තමුසට කොහොමද ජීවත් වෙන්න ඕනේ ?” 

” ඔයාට මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරලා විසඳගමු.ඔයා හොඳටම දන්නවා මේ හැම සැප සම්පතක්ම තියෙන්නේ මගේ කම්පනි එක නිසා. මගේ ජොබ් එක නිසා. මේ යන විදිහට හැම දෙයක්ම අවුල් වෙලා ගිහින් ඒ හැමදේම වුණත් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයයි මමයි මේ රණ්ඩු වෙවී කෑගහගෙන ගෙවන ජීවිතේ නිසා ඇත්තටම මගේ ජීවිතේම අවුල් වෙලා තියෙන්නේ. ඒවා නිසාම කොයි වෙලාවක හරි මේ හැමදේම නැතිවෙලා යන්න පුළුවන් ශෙනාල් “

” දැන් තමුසෙ මට නොකියා කියන්නෙ මට තමුසෙගෙන් අයින් වෙන්න කියලද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here