මතකයක සේයා – 11

0
743

” තමුසේ ඒ පාර ගෙදර එන්න රෑ වෙන්නේ මාව මගාරින්නද ? ” 

දුරකථන ඇමතුමට සම්බන්ධ වූ සැණින් ශෙනාල් ගෝරනාඩුව ආරම්භ කළේය.

” මම ටිකක් බිසී ශෙනාල් “

මන්දාකිණි පිළිතුරු දුන්නේ ඕනෑවට එපාවටය.මෙය අතිශයින්ම අනවශ්‍ය ප්‍රශ්නයකි.මෙවැනි ප්‍රශ්නවල එල්ලී හිඳින්නට තරම් තමා පරිණත නොවූ ගැහැණියක නොවේ.ශෙනාල් කුමන ආකාරයෙන් හැසිරුණ ද තමා ඒ තත්ත්වයට වැටිය යුතු නැත.

” දැන් කීයද වෙලාව ? තමුසේ වෙනදා මේ වගේ රෑ වෙලා නෑනෙ ගෙදර එන්න ?”

” ඒ වෙනදානේ.මේ දැන් “

මන්දාකිණි කෝපය යටපත් කර ගත්තාය.ශෙනාල් තව තවත් උරණ වූයේ ඉන් පසුවය.

” තමුසෙ ඔය කාටද කතා කරන්නේ කියලා දන්නවද ? “

ශෙනාල් දත්මිටි කෑවේය.එහෙත් මන්දාකිණි වෙනදා මෙන් බියපත් වූයේ නැත.

” මං හොඳට දන්නවා ශෙනාල්.මං හොඳට දන්නවා මං කතා කරන්නේ කාටද, කතා කරන්නේ මොනවද කියලා. මං ඔයාට දැන් පැහැදිලිව කිව්වා මම වැඩ ගොඩක ඉන්නේ කියලා.මොකද මං වැඩ කරේ නැත්නම් ඔයාට ඔය වගේ සැපට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා ඔයා හොඳටම දන්නවනේ.මං මේ වැඩ සේරම දමල ගහලා ගෙදර එන්නම් ඔයාට කන්න බොන්න ගෙදර වියදම් ඔක්කොම බලාගන්න පුලුවන්නම් “

ශෙනාල් ප්‍රථම වතාවට මන්දාකිණි කෙරෙහි පුදුමයට පත් වූයේ ය.මේ තාක් කාලයක් තමා ඉදිරියේ මුවවැතියක සේ බියෙන් ජීවත් වූ මන්දාකිණි , තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයේ වචන වලින් තමාට සංග්‍රහ කරමින් සිටියි.මේ වෙනස සිදු වූයේ කුමක් නිසාදැයි සිතා ගත නොහැකිව ශෙනාල් තත්පර ගණනාවක්ම නිහඬව උන්නේය.

” ඔයාට තව මොනවා හරි කියන්න තියෙනවද ශෙනාල් ? මොකද මං වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ.මේ ටික රෑ වෙන්න කලින් ඉවර කරන්න ඕනේ “

කිව යුත්තේ කුමක් දැයි ශෙනාල් තව දුරටත් කල්පනා කළේය.එහෙත් මන්දාකිණි ගේ වචන ඉදිරියේ තමා සසැලුනු බව පෙන්විය නොහැක.

” තමුසේ එනවකො ගෙදර ” 

ශෙනාල් සුපුරුදු තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ අතර මන්දාකිණි පිළිතුරක් නොදී ඇමතුම විසන්ධි කළේ පෙර දිනවල මෙන් බියට පත් වී හෝ නොසන්සුන් වී හෝ නොවේ. ශෙනාල් තමාගේ ජීවිතයට පැමිණීමට පෙර තමා ගත කළේ ස්වාධීන ජීවිතයකි.තමා තීරණ ගත්තේ තනිවමය.නිවසට යන එන වේලාවක් හෝ කාර්යාලයේ රැඳෙන වේලාවක් පිළිබඳව කිසිවෙකුත් තමාගෙන් ප්‍රශ්න කලේ නැත.කිසිවකින්වත් අඩු පාඩුවක් නොවූ ජීවිතය පුරාම තිබුනේ නිදහස, සතුට සහ සැනසීමය.නමුත් දැන් ඒ සියල්ල තමා වෙතින් පලා ගොස් ඇත.මේ එළඹ ඇත්තේ අහිමි වූ සියල්ල නැවත ලබාගත යුතු කාලයක් යැයි මන්දාකිණි සිතුවේ නැවත ලැප්ටොප් පරිගණකය වෙත අවධානය යොමු කරන අතරේය.

කෛලාශ් රාත්‍රී කෑම මේසයට වාඩි වූයේ වෙනදාට වඩා සැහැල්ලු සිතිනි.සවස දැනුම් දී තිබුණු පරිදි සේපාල කුකුල් මස් සුප් සමග පාන් ටොස්ට් කර සැහැල්ලු රාත්‍රී ආහාරයක් සකස් කර කෑම මේසය සරසා තිබීම කෛලාශ් ගේ සිත තවත් සතුටට පත් කළේය.ඒ සමගම ඔහුට තම මව සහ පියා සිහිපත් වූයේ නිරායාසයෙනි.දවස පුරා මොනතරම් කාර්ය බහුල වුවද රාත්‍රී ආහාරය එකට එක්ව කෑම මේසයේ වාඩිවී ගැනීම ඇන්ඩ්‍රියා ,එරික් සහ කෛලාශ් පුරුදු වී හුන් නිසා උන් නොමැතිව රාත්‍රී ආහාරය ගැනීම ට සිදුවීම එක් අතකින් කෛලාශ් ගේ හිත කම්පාවට පත් කරන්නට සමත් විය. වේලාව බලන්නටවත් නොනැවතුණු කෛලාශ් සැණෙකින් දුරකථනය අතට ගෙන වට්සැප් හරහා ඇන්ඩ්‍රියා ගේ අංකය ඇමතුවේය.

” පුතා ” 

” මතක් උනා අම්මා.මං ඩිනර් ගන්න හදන්නේ “

” මං ඒත් බැලුවා හදිසියක්ද කියලා මේ වෙලාවේ ගන්නේ “

කෛලාශ් වේලාව බැලුවේ එවිටය.අලුයමට ආසන්න නිසා සමහර විට ඇන්ඩ්‍රියා නින්දේ පසු වූවා විය හැක.

” සොරි අම්මා.මං වෙලාව බලන් නැතුව ගත්තේ “

ඇන්ඩ්‍රියා ගේ මුවගට නැඟුනේ සිනහවකි.කෛලාශ් දැන් ස්වාධීන ජීවිතයකට හුරු විය යුතුය.විශාල ව්‍යාපාරයකට අතගසා සිටින ඔහු ජීවිතයේ අනෙක් පැතිකඩයන් ඔස්සේ ද තනිව ඉදිරියට යා යුතුය.එහෙත් ඔහු තවමත් දෙමව්පියන්ගේ රැකවරණය පතන්නේ කුඩා දරුවෙකු මෙන් ය.

” ඉතිං අද දවස කොහොමද පුතා ? ” 

ඇන්ඩ්‍රියා මේ අසන්නේ තමා ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ කාලයේදී සෑම දවසකම අවසානයේදී සාමාන්‍යයෙන් අසන ප්‍රශ්නය ය.නමුත් තම මව්බිමෙහි මේ නිවස තුළ තමාගෙන් එසේ අසන්නට කෙනෙක් නැතැයි කෛලාශ් හට ප්‍රථම වතාවට සිතුනේය.ඒ හැඟීම පවා ජීවිතයට ගෙන එන්නේ විශාල පාළුවකි.ඒ පාළුව කුඩා කාලයේදී තමාට දැනුනද පසුකාලීනව ඇන්ඩ්‍රියා සහ එරික් සෙවණේ වැඩුණු නිසා කෛලාශ් හට ඒ අඩුව දැනී තිබුණේ නැත.

” අද දවල් මීටින් එකක් තිබුණා.අර interior company එකත් එක්ක “

කෛලාශ් ඔවුන් සමග පසු වූයේ අපැහැදීමෙන් නිසා ඇන්ඩ්‍රියාගේ සිතට දැනුනේ බරකි.

” ඉතිං මොකද වුණේ?”

” මං හිතුවට වඩා ඒ ගර්ල් හොඳයි. එයා ඉස්සරහට වෙන්න ඕන හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තිබුණා.මං හිතනවා මෙතනින් එහාට මට ඒ ගැන වොරි වෙන්න දෙයක් නෑ කියලා.”

“ඒකනේ පුතා මං ඔයාට කලින්ම කිව්වේ කලබල වෙන්න එපා කියලා “

” ඇත්තටම ඔව් අම්මා.අර මුල් දවස් ටිකේ මං එන කලබලෙන් හිටියට අද තමයි මට පොඩි හරි සැහැල්ලුවක් දැනෙන්නේ ” 

තවත් විනාඩි කිහිපයක් පමණ කතා බහ කර අනතුරුව කෛලාශ් දුරකථන ඇමතුම අවසන් කළේය.මන්දාකිනි පිළිබඳව ඇන්ඩ්‍රියා සමග විශේෂයෙන් සඳහන් කරන්නට වුවමනා වුවත් තමා ඒ සඳහා ඉක්මන් නොවිය යුතු යැයි සිතමින් කෛලාශ් උවමනාවෙන්ම ඒ පිළිබඳව ඇන්ඩ්‍රියා සමග කතා නොකර උන්නේය.

මන්දාකිණි බොහෝ කාලයකට පසුව නගරයේ පිහිටි කුඩා අවන්හලකට ගොඩ වැදුණේ රාත්‍රී ආහාරය ගනු පිණිසය.ශෙනාල් මුණ ගැසීමට පෙර බොහෝ දිනයන් වලදී රාත්‍රී ආහාරය සඳහා මන්දාකිණි පැමිණියේ මේ අවන්හල වෙතය.මේ මොහොතේ පටන් තමා වෙනුවෙන් ජීවත් විය යුතු යැයි සිතූ නිසා නිදහසේ රාත්‍රී ආහාර වේලක් රසවිඳීමට තමාට පුරුදු අවන්හල වෙත යා යුතු යැයි මන්දාකිණි තීරණය කළේ කාර්යාලයේ වැඩ අවසන් වී පැමිණෙන විටය.මේ ගෙවී යන්නේ තමා, තමා වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලය යැයි සිතමින් මන්දාකිණි අවන්හලේ කොනක වාඩිවී මෙනූ පත අතට ගත්තේය.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව කෛලාශ් නිදන කාමරයට පැමිණ එහා මෙහා ඇවිදිමින් බොහෝ වේලාවක් ගත කළේ දහවලේ දී මන්දාකිණි හමු වූ හෝරාවන් කිහිපය සිහියට නඟා ගන්නා අතරේය.ඒ හමුව පිළිබඳව සිතන්නට තවත් කුමක් හෝ යමක් ඇතැයි සිතමින් කෛලාශ් නැවත නොසන්සුන් භාවයට පත් වෙමින් උන්නේය. උණුසුම් යමක් පානය කිරීමට තිබුනා නම් හොඳ යයි සිතමින් කෛලාශ් තරප්පු පේළිය බැස මුළුතැන් ගෙය දෙසට පැමිණියද පහත මාලයම තිබුණේ අඳුරේය.සේපාල සහ සිරිදාස මුලුතැන්ගෙයි කටයුතු නිමා කොට නින්දට ගොස් ඇතැයි සිතමින් කෛලාශ් නැවත තරප්පු පේළිය නැග නිදන කාමරයට පැමිණ පිටතට යාමට සුදුසු ඇඳුමකින් සැරසී ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ගෙන නැවත පහත මාලයට පැමිණ නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කරගෙන ගෙමිදුල දිගේ ගේට්ටුව අසලට පැමිණියේය.

” පුංචි මහත්තයා කොහෙද යන්නේ? “

ගේට්ටුවේ මුරකරු කොහේදෝ සිට දිවවිත් කෛලාශ් අසල නතර වෙමින් විමසුවේය.

” මං පොඩ්ඩක් එළියට යනවා “

” මහත්තයෝ මං එන්නද ?”

” නෑ නෑ මං ඉක්මනට එනවා “

කෛලාශ් ගේට්ටුවෙන් පිටතට පැමිණ මද වේලාවක් බලාහුන් අතර මාර්ගයේ යමින් තිබූ ත්‍රී රෝද රථයක් අත දමා නවත්වා ගත් කෛලාශ් එයට නැගී ඉදිරියට යන ලෙස රියදුරා හට පැවසුවේය.

මඳ දුරක් පැමිණි පසුව කෛලාශ් නතර වූයේ පෙනුමින් තරමක හොඳ තත්ත්වයේ තිබූ අවන්හලක් ඉදිරියේය. තමාගේ මව්බිම වුවද තවමත් ඒ තරම් හුරු පුරුදු නොමැති නිසා කෛලාශ් දෙගිඩියාවෙන් යුතුව ත්‍රී රෝද රථයට මුදල් ගෙවා සෙමෙන් පියවර තබමින් අවන්හලට ඇතුළු වී වටපිට බැලුවේය.අවන්හලේ කෙළවරේ මේසයක රාත්‍රී ආහාරය ගනිමින් හුන් රුව දුටු විට කෛලාශ් වඩාත් පුදුමයට පත් වූයේ ය.

” What a surprise  ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here