මතකයක සේයා – 12

0
1342

මන්දාකිණි ඉතා සන්සුන්ව ආහාර ගන්නා ආකාරය කෛලාශ් දුර හිඳ බලා උන්නේය.පැහැපත් ඇඟිලි අතර දැවටුණු ඇලුමිනියම් හැන්ද සහ ගෑරැප්පුව තාලයකට එහා මෙහා යන ආකාරයත් අවන්හලේ වීදුරුවෙන් පෙනෙනා එලිමහන දෙස බලාගෙන සිතිවිල්ලේ හිඳිනා මන්දාකිණි දෙවියන් විසින් මවන ලද සුන්දරතම රූපයකැයි කෛලාශ් කල්පනා කළේ මන්දාකිණි හිස හරවා කෛලාශ් දෙස බලනාතුරුය.

මන්දාකිණි දෑඟිලි අතර සිර වී තිබුණු හැන්දත් ගෑරප්පුවත් පිඟාන මත තබා දුර හිඳ තමා දෙස බලා සිටින කෛලාශ් දෙස හොඳින් බැලූ අතර තමා බලා සිටි බව මන්දාකිණි දුටු බව දුටු සැණින් අතිශය ලැජ්ජාවට පත් වූ කෛලාශ් සෙමෙන් පියවර ඔසවා මන්දාකිණි අසලට කිට්ටු වූයේ ඒ මොහොතේදී කළ හැකි වෙන යමක් නොමැති තැනය.

” සොරි මන්දාකිණි මම ඩිස්ටර්බ් කළා නම් ” 

කෛලාශ් අපහසුවෙන් මෙන් වටපිට බලමින් කී අතර මන්දාකිණි වහාම අසුනින් නැගී සිටියාය.

” අනේ එහෙම දෙයක් නෑ මිස්ටර් කෛලාශ්. වාඩි වෙන්න ” 

මන්දාකිණි කෛලාශ් හට ඇය අසුන් ගෙනහුන් මේසයේම අනෙක් හිස් වූ අසුන පෑවේ ගෞරව පූර්වකවය.

” මම ඩිනර් අරගෙන ඉන්නේ මන්දාකිණි.මං ඇත්තටම ආවේ කොෆී එකක් බොන්න කියලා.මේ අහල පහළක එහෙම තැනක් තියෙනවාද කියලා දන්නේ නැති නිසා මෙතනට ඇවිල්ල බැලුවේ.එතකොට තමයි ඔයා මෙතන ඩිනර් ගන්නවා දැක්කේ ” 

කෛලාශ් නිදහසට කරුණු කීවේය.

” කැපචිනෝ එකක් හොඳයිද ? ” 

කෛලාශ් කිසිවක් නොකියා බලා උන්නේය.මන්දාකිණි වටපිට බලා සේවකයෙක් පෙනෙන්නට නොවූ තැන අසුනින් නැගිට ප්‍රධාන කවුන්ටරය වෙත ගොස් ඇණවුම භාර දී නැවත පැමිණ අසුන් ගන්නා ආකාරය කෛලාශ් බලා උන්නේ පුදුමයෙනි.සමහර විට මේ අවන්හල ඇය හට ඉතා හුරු පුරුදු තැනක් විය හැකි යැයි කෛලාශ් ඒ අතරතුරදී සිතුවේය.

” මන්දාකිණි මෙච්චර රෑ වෙලා මෙතන ඇයි ? ” 

කෛලාශ් ඇසුවේ අතිශය සාමාන්‍ය පැනයකි.එහෙත් ඒ හමුවේ මන්දාකිණි මොහොතකට ගොළු වූයේ දිය යුතු පිළිතුර සිතා ගත නොහැකිවය.තම ජීවිතය ගෙවී යන්නේ මේ ආකාරයට බව, බොහෝ දිනයකට පසුව නිදහසේ රාත්‍රී ආහාරයක් ගන්නේ මේ මොහොතේ බව කෛලාශ් හට කෙසේ නම් කිව හැකිද ? 

” අ..මේ.. මං දැන් ටිකකට කලින් තමයි ඔෆිස් එකේ වැඩ ඉවර වුණේ මිස්ටර් කෛලාශ් “

කෛලාශ් වීදුරුවෙන් ඉවත බලා ගත්තේය.මේ තරම් පමා වන තුරු කැපවීමෙන් ආයතනය කෙරෙහි වෙහෙසෙනවා නම් මන්දාකිණි අතින් තම ව්‍යාපෘතියෙහි අඩු පාඩු වූයේ කෙසේ දැයි කෛලාශ් කල්පනා කළේය.

” මන්දාකිණි කොච්චර කල් වෙනවද මේ කම්පනි එක පටන් අරන් ? ” 

කෛලාශ් හට උවමනා වූයේ මන්දාකිණි සමග කතා බහ තවදුරටත් පවත්වා ගෙන යන්නටය.

” අවුරුදු කීපයක් වෙනවා මිස්ටර් කෛලාශ් ” 

කෛලාශ් තත්පර කිහිපයක් එක එල්ලේම මන්දාකිණි දෙස බලා උන්නේය.ඇගේ දෑස් වලින් දැනෙන හුරු පුරුදු බව කුමක්දැයි තෝරා බේරා ගන්නට ඒ අතරතුරදී ඔහු දැඩි වෙහෙසක් දැරුවේය.

” මං මේ අහන්න යන්නේ ලංකාවේ ගෑනු ළමයෙක් ගෙන් අහන්න හොඳ නැතිම ජාතියේ ප්‍රශ්නයක් ” 

කෛලාශ් එසේ කියා කතාව නතර කළ අතර මන්දාකිණි වෙතින් සැහැල්ලු සිනහවක් පිට පැන්නේ ක්ෂණයකිනි.

” ඇයි හිනා වෙන්නේ? “

කෛලාශ් ඇසුවේ කුතුහලයෙන් ඇසු අතර මන්දාකිණි ඊළඟ මොහොතේදීම සිනහව ආයාසයෙන් යටපත් කර ගත්තාය.

” මිස්ටර් කෛලාශ් ඒක කියපු විදිහටයි මට හිනා ගියේ. හොඳ උනත් නැති උනත් ප්‍රශ්නෙ අහල ඉන්නකෝ “

” මං ඒක ඇහුවට කමක් නැද්ද මන්දා ” 

” කමක් තියෙනවද නැද්ද බලන්න අහන්නකෝ”

මන්දාකිණි ඉතා උනන්දුවෙන් බලා උන්නාය.මේ අතරතුරදී සේවකයෙකු පැමිණ හදවතක් සිත්තම් කළ කෝපි කෝප්පය කෛලාශ් ඉදිරියෙන් තබා යන්නට ගියේය.කෛලාශ් කෝපි කෝප්පය මත වූ සිතුවම දෙස බලා හිඳ නැවත මන්දාකිණි දෙසට හැරුනේය.

” මන්දාකිණි ගේ වයස කීයද? ” 

” කීයක් පේනවද ? “

මන්දාකිණි දෙ අත් නිකට මත තබා හිස ඇල කර අසා බලා සිටියාය. කෛලාශ් ගේ හදවත ඇතුල් කොනක් ගිනි ගන්නා සේ දැනුනේ මෙවැනි බැල්මක් මේ ආකාරයෙන්ම මතකයේ කොහේදෝ ඈත කොනක ඇඳී තිබුණු බැවිනි.

” විසි හතක් වගේ ? ” 

කෛලාශ් අඩ මානයට මෙන් කියා මන්දාකිණි ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් බලා උන්නේය.

” අපෝ මට ඊට වඩා වයසයි මිස්ටර් කෛලාශ් “

ඉතා හොඳින් දන්නා හඳුනනා සේ කතාබහ කරනා අතරතුර ” මිස්ටර් කෛලාශ් ” ලෙස තමාව ඇමතීමෙන් දුරස්ථ භාවයක් දැනෙනවා යයි කියා මන්දාකිණි හට කීමට වුවමනා වූවත් කෛලාශ් ඒ සිතුවිල්ල පාලනය කර ගත්තේ තවමත් තමා හා මන්දාකිණි අතර ඇත්තේ සේවා දායකයන් අතර තිබෙන බැඳීමක් පමණක් බව සිතමිනි.

” එහෙමද ? මං ඒක නිකමට වගේ ඇහුවේ ” 

කෛලාශ් පීරිසිය මත වූ සීනි පැකට්ටු දෙකෙන් එකක් කඩා කෝපි කෝප්පයට හැලුවේ ඒ මත සිත්තම් කර තිබූ හදවත කැඩී යන ආකාරයටය.මන්දාකිණි ඒ දෙස බලා උන්නේ සංවේගාත්මක හදවතිනි.පීරිසියේ අනෙක් පස වූ කුඩා හැන්ද ගෙන කෛලාශ් හෙමින් සීරුවේ කෝපි කෝප්පය කලවම් කරන ආකාරයත්,ඒ මත වූ හදවත කැඩී බිඳී නොපෙනී යන ආකාරයත් දුටු පසුව මන්දාකිණි හට සිහි වූයේ කැබලි දහසකට කැඩී බිඳී ගොස් ඇතත් තවමත් ලෝකයට පෙනෙන්නට සිනාසෙන තම හදවතය.

” ඉතින් ඔයා කිව්වෙ නෑනේ ? ” 

කෛලාශ් කෝපි කෝප්පය කලවම් කිරීම නවතා දමා හදිසියේම නැවතත් මන්දාකිණි දෙස බලා එසේ ඇසුවේය.

” මොකද්ද මිස්ටර් කෛලාශ් ? ” 

මන්දාකිනි කල්පනා ලෝකයෙන් මිදුනාය.

” වයස කීයද කියලා ? ” 

” මට මේ අවුරුද්දට තිස් එක ලබනවා ” 

කෛලාශ් හදවතේ තිබූ තවත් එක් කරුණක් තහවුරු කර ගත්තේය.

” අපි දෙන්නා එක වයසේ ” 

කෛලාශ් ඇහෙන නෑහෙන ගානට කියා කෝපි කෝප්පය අතට ගත්තේ බොහෝ දෑ සිතමිනි.ඒ කිසිවක් නොදන්නා මන්දාකිණි සිනාසුනේ තමාට වඩා වසර කිහිපයක් වැඩිමහල් යයි සිතා සිටි තම සේවාදායකයා දෙස බලමිනි.

” මම ඇත්තටම හිතාගෙන හිටියේ මිස්ටර් කෛලාශ් මට වඩා ටිකක් වැඩිමල් ඇති කියලා ” 

” ඒ කියන්නේ මාව දැක්කම වයසයි වගේ පේනවද ?මට ඔහොම කියපු පළවෙනි කෙනා ඔයා හැබැයි ” 

” අනේ මං එහෙම අදහස් කරේ නැහැ.හැබැයි ඉතින් මට එහෙම හිතුනා ” 

කෛලාශ් බොහෝ දෑ සිතමින් වීදුරුවෙන් ඉවත බලාගෙන කෝපි කෝප්පය රස නොවිඳම තොල ගෑවේය.ඒ අතරතුරදි මන්දාකිණි රාත්‍රී ආහාරය ගෙන අවසන් කර පිඟාන මේසයේ පසෙකට කර කෛලාශ් දෙස බැලුවේ විමසිල්ලෙනි.ඔහු කොහේදෝ ඈතක් බලාගෙන කල්පනා ලෝකයක අතරමං වී සිටින බව පමණක් දුටු නිසා මන්දාකිණි ඔහු දෙස බලා උන්නේ මෙවැනි මුහුණුවර ඇත්තෙකු මින් පෙර කොහේදී හෝ තමා හට මුණ ගැසී ඇති සිතමිනි.

කෛලාශ් කෝපි කෝප්පය අවසන් කර එය පීරිසිය මතින් තබා එකවරම මන්දාකිණි දෙස බැලු අතර මන්දාකිණි තිගැස්සී වෙනතක් බලා ගත්තාය.

” මේ.. මට ආපහු ගෙදර යන්න ටැක්සි එකක් දාගන්න ඕනේ  “

කෛලාශ් අත් ඔරලෝසුව දෙස බැලූ අතර එහි වෙලාව රාත්‍රී එකොළහට ආසන්න වී තිබිණි.යමක් කීමට හෝ ඇසීමට උවමනා වුවත් මන්දාකිණි තවත් මොහොතක් කල් ගෙන බලා උන්නේ කෛලාශ් තවත් කුමක් හෝ කියතැයි බලාපොරොත්තුවෙනි.

” මේ වෙලාවට තියෙයිද දන්නෙත් නෑ මෙහේ ” 

කෛලාශ් හේතුවක් රහිතව දුරකථනය අතට ගෙන එහා මෙහා කළේය.

” මිස්ටර් කෛලාශ් කොහෙද ඉන්නේ? මං ඇහුවේ ගෙවල්? ” 

” එගොඩවත්ත පාරේ ” 

එහි සිට තම නිවාස සංකීර්ණයට ඇත්තේ තවත් විනාඩි දහයක හෝ පහලවක පමණ දුරක් පමණි. ඉතා පහසුවෙන් ඔහුට තමා සමග යා හැකි වුවත් ඔහු එයට එකග වේදැයි සිතාගත නොහැකිව මන්දාකිණි තැවෙමින් උන්නාය.

” මන්දාකිණි කොහෙද ඉන්නේ ? ” 

” මං ඉන්නේ Your Home Apartment එකේ. මිස්ටර් කෛලාශ් ඔය කියන පාරට ටිකක් එහා. ” 

” එතකොට යන්නේ ? ” 

” මගේ කාර් එක තියෙනවා ” 

කෛලාශ් බලා උන්නේය.ඒ හදවතේ වූ පැනය පිළිබඳව නැවත සිතමිනි.

” මන්දාකිණිට කරදරයක් නැත්තං මාව ඩ්‍රොප් කරගෙන යන්න පුළුවන්ද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here