සඳ දිය දහරා – 6

0
191

“බලන් ගියහම තමන් නම්බුකාරයි කියලා කියාගන්න මිනිස්සුන්ගේ ගතිගුණ වලට වඩා හොඳ ගතිගුණ මේ සේකරවත්තේ ගෑනුන්ගේ තියෙනවා බං. අපේ අම්ම නිතරම කියන දෙයක් තමයි උඹලගේ  අම්මා කටේ වචනෙත් පිටට ඇහෙන්න කතා කරන ගෑනියෙක් නෙමෙයි කියලා. එහෙව් එකේ උඹලගේ අම්මා වගේ කෙනෙක්ට මනුජිත්ගේ අම්මා ඔය තරම් පුස් පාර්ට් දැම්මේ ඇයි  බං. ඒ මනුස්සයා මටම සල්ලි දීලා තමයි උඹටයි මනුජිත්ටයි ඔය ඇඳුම් දෙක ගෙන්න ගත්තේ…උඹලයි අම්මම නිසා ඉවසන්න ඇති.”

නිශාදි පැවසූයේ අම්මා නිවසට පැමිණි දා සිදු වූ සිදුවීම් ඇසුවාට පසුවය. මනුජිත්ගේ මව ඇය පිටව යනතුරුත් සිය කාමරයෙන් එළියට නාවාය. ඇය වෙනුවෙන් ගෙන ආ කෙසෙල් කොළයේ එතූ බත් මුල කුණු කූඩයේ තිබෙනු දහරා දුටුවේ සවසය. 

“මං දැන් හිත හදාගෙන ඉවරයි. මේ මගේ ජීවිතේ නරක කාලයක් නම් ඒ කාලේ පහු කරන්නම වෙනවා. එක අතකින් බැලුවහම මං හැමෝටම කලේ වරදක්. සමහරවිට ඒ වරදට මට විඳින්න වෙන දඬුවම වෙන්න ඇති මේ. අම්මා, ආච්චි විතරක් නෙමෙයි චූටි මාමා උනත් මං ගැන අහසක් තරම් බලාපොරොත්තු තියාගෙන හිටියා. එයාලට හැමදාම ඕන උනේ එයාලට යන්න බැරි වෙච්ච තැනට මාව යවන්න. කොච්චර අඩුපාඩුකම් තිබුනත් ඒ වෙනුවෙන් මම සල්ලි ඉල්ලපු හැම වෙලාවකම එයාලගේ අතේ මට දෙන්න සල්ලි තිබුණා. දෙවනි වතාවක විභාගේ කරන්න ක්ලස් පීස් දුන්නේ එයාලට මහමෙරක් තිබිලා නෙමෙයි. එයාලා ඕනවටත් වඩා මාව විශ්වාස කළා..අන්තිමට මං ඒ හිත් වලට දුන්නේ ගින්දරක්. ඒ වරද හදාගන්න මට ඉවසන්නම වෙනවා.”

“මට පුදුමයි දහරා උඹ ඔහොම කතා කරන එක ගැන. මේ ඉවසීම, මෙහෙම දුරදිග හිතන්න පුළුවන්කම එදා තිබුනනම් අද උඹ කොතැනකද..ඔයාට මතකද අපි දෙන්න නවය වසරෙදි දෙයක් ගැන කතා වුණා. ජීවිතයේ හදාගන්න ඕනනම් ඒකට උදාහරණ අපි අවට ඕන තරම් තිබුණා. ඕන තරම් පාඩම් ඉගෙන ගන්න තැන් තිබුණා. අපි දෙන්න අපි දෙන්නට පොරොන්දු වුණා කවද හරි කැම්පස් යනකම්ම අපේ ජීවිත වලට පිටස්තර පුද්ගලයෝ සම්බන්ධ කරගන්නේ නෑ කියලා. ඒ පොරොන්දුව ඉස්සෙල්ලම කැඩුවෙ උඹ.”

“මං දන් නෑ මට මගේ ජීවිතේ හැම හීනෙකටම වඩා මනූ ආදරේ ඉස්සර උනේ කොහොමද කියලා…ඒ කාලේ සුරංගනා ලෝකෙක මං ජීවත් උනේ. කවුද නිශා කැමති සුරංගනා ලෝකෙකින් එළියට එන්න.”

“උඹ තවදුරටත් ඉවසන්න ගතපු තීරණය හරි එකක්ද වැරදි එකක්ද කියලා නිගමනය කරන්න තරම් තවමත් මට ජීවිතය ගැන අත්දැකීම් නෑ. එදා වගේම හැමදාම මේ යාළුකම මේ විදිහමයි කියලා මට පොරොන්දු වෙන්න පුළුවන්.”

“මට ඒ ඇති…කාලයක් තිබුණා එකම ගවුම අද මම ඇඳලා හෙට උඹ අඳින. එකම සෙරෙප්පු දෙක අද උඹ දාලා හෙට මම  දාන. මනුත් එක්ක මං හීන ලෝකෙක පාවෙලා යද්දි වචනෙකින් හරි උපදෙස් දීපු හැමෝම මට පෙනුනේ මගේ හතුරෝ ගානට. එහෙම තැන්වලදී මගේ අතින් උඹේ හිත අනන්තවත් රිදෙන්න ඇති. අතරමග නවතින්න පුළුවන් ගමනක් නෙමෙයි අද මං ඇවිත් ඉන්නේ.” 

“ජීවිතේ කවදාවත් ලේසි වුණේ නෑ අපි දරා ගන්න හුරුවුනා මිසක්කා. මං හිතනවා අද උඹ ඉන්නෙත් එහෙම තැනක කියලා. ජීවිතයේ වැරදුනු තැන් හදාගන්න පුළුවන් උඹට විතරමයි. මනුජිත් වෙනස් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දවසක එක්කෝ උඹ ඒ ජීවිතේට හුරු වෙයි එහෙම නැත්තං උඹට ඒ ජීවිතේ එපාවෙයි. හැමදාම කියනවා වගේ එකම එක දෙයක් මතක තියාගන්න. අදටත් ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඔයා වෙනුවෙන් අම්මයි, ආච්චියි, මාමයි තුන්දෙනාම බලන් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ලෝකේ උඹේ මතක වලින් පිරිලා…මමත්……”

දුරකථනය විසන්ධි වී  ගියේ එහා පසින්ය. නිශාදී එසේ කරන්නේ හැඬුම් ආවාට පසුවය. ඒ හිත්වල තමා ගැන අදටත් ඇත්තේ දුකකි. තමාට ආපසු හැරී යන්නට තැනක් ඇතිවග විශ්වාසය. එහෙත් යළිත් පෙර උන් දහරා වන්නට නොහැක.

මනුජිත්ගේ සුළු වෙනස් වීමක් අභියස වුවත් අසීමාන්තිකව කඩා වැටුණු දහරා එදවස උන්නේ තමාගේ මුළු ලෝකයම ඔහු පමණක් යයි සිතාගෙනය. ඉගෙනීමේ කටයුතු පවා අතපසුවනු දැනුනත් දහරාට ඒ ගැන වගක් වූයේ නැත. නිශාදි සිටින්නේ විශ්ව විද්‍යාලයෙන් කැඳවීමක් ලැබෙන තුරු බලාගෙනය. බොහෝ කලකට පසුව සේකරවත්තෙන් විශ්ව විද්‍යාලයට යන්නේ ඈය. මේ දෙදෙනා එක්ව යන්නට පතා උන් ගමනකි. අධ්‍යාපන කටයුතු වලදී  දහරා උන්නේ නිශාදිටත් වඩා මදක් ඉහලින්ය. 

ඕ දිගු සුසුමක් මුදා හැරියේ සෝදා වේලාගෙන ආ මනුජිත්ගේ  ඇඳුම් පිළිවෙලකට නවා අල්මාරියේ තැන්පත් කරමින්ය. 

නිශාදි ගැන ඉරිසියාවක් හෝ තමාට අහිමි වූ විශ්ව විද්‍යාල සිහිනය ගැන වේදනාවක්වක් දහරාගේ සිතෙහි වූයේ නැත. ලැබූ ජීවිතය ගලපාගන්නට ඕ පැතූයේ අද ඊයේක නොවේ. 

තමා ගැබිනියක බව දැනගත් මොහොතේ පටන් බොහෝ කාලයක් යනතුරු දෙපසට චෝදනා කර ගනිමින් සිත් රිදවා ගනිමින් දරන්නට නොහැකි තරම් අවලාද අසමින් නින්දා විඳිමින් ගත කළ ජීවිතයෙන් පසුව විවාහයට සූදානම් වන්නයැයි මනුජිත් පණිවිඩ එවද්දී සතුටු වෙන්නට තරම් සිතක් දහරාට නොවූවාය. තමා මේ යන්නේ කුල ගෙයකට නොව ගිනි ගෙයකට බව ඇය විශ්වාසයෙන්ම දැන සිටියාය. එහෙත් ජීවිතයේ කුමක් හිමි වුවත් එය සතුටින් දරාගන්නටත්, බාර ගන්නටත් ඕ තමාටම පොරොන්දු දී  ගත්තාය. ඒ මිනිසෙකු අත්දැකීම් වලින්  ලබන පන්නරයත් පරිණත බවත් විය යුතුය. 

“ගෑනු හිත හයිය වෙන්නේ දුක් විඳින්න විඳින්න. ගෑනු හිතක් කියන්නේ යකඩයක් වගේ. තැලෙන්න තැලෙන්න මුවහත් වෙන..”

දහරා එසේ අසා තිබුණේ කවදා කොතනකදීදැයි මතකයක් ඒ සිතෙහි වූයේ නැත. එහෙත් දැන් ඇයට වුවමනාවී ඇත්තේ  එවන් ගැහැණියක වන්නටය. මේ ජීවිතය තුළ රිදීම් අනන්තය. දෑසට කඳුලක් උනා  එන මොහොතක් නැති තරම්ය. සියල්ල හැරදා යන්නට සිතෙන මොහොතවල් ඕනෑ තරම්ය. එහෙත් අම්මාගේ කඳුළු පිරි දෑසත් ආච්චීගේ වියපත් දෑස් වල වූ වේදනාවත් චූටි මාමාගේ කෝපයත් සිහිවන සෑම මොහොතකදීම දහරා මැරී උපන් ගැහැණියක වූවාය. 

දැන් ඇයට අවැසි වන්නේ ඉවසීමෙන් බලා සිට මනුජිත්ගේ  ජීවිතයේත් ඔහුගේ මවගේ පියාගේ ජීවිතයේත් තමාට තැනක් හදාගන්නටය. ඒ වෙනුවෙන් වෙහෙස විය යුතු බව දහරා දනී. ඉවසිය යුතු බවද දනී. 

“ගෙදර කවුද…..ගෙදර කවුද……”

දහරා කාමරයෙන් එළියට ගියේ කිසිවෙකු කතා කරන හඬ ඇසුණ නිසාය. පැමිණ සිටියේ යාබද නිවසක තරුණියකි. දෙවරක් තුන්වරක් ගේට්ටුව අසලට පැමිණ ඈ ශ්‍රියාලතා හා කතාකර යනු දැකකතිබුණත් දහරාට මින් පෙර ඇයව මුණ ගැසී තිබුණේ නැත.

“ශ්‍රියාලතා නැන්දා හොඳට ඇඳගෙන එළියට යනවා දැකපු හින්ද තමයි නංගි මං ආවේ. ඔයා දැක්කහම මට හිතුනා කෑම එකක් හදලා ගෙනත් දෙන්න. ශ්‍රියාලතා නැද්ද කිව්වා ඔයා පිටින් ගේන ජාති කන්නෙ නෑ කියලා. ඒ උනාට ආසාවට මං උදේ ගෙදර උයාපු බත් එකෙන් ටිකක් ඔතාගෙන ආවා.”

අම්මා නිවසින් පිටතට ගිය බව දහරා දැන උන්නේ නැත. කොහොමටත් මුළුතැන් ගෙයි වැඩපළ ඉවර වූ පසුව ඈ උන්නේ කාමරයේය. දහරාට දන්වා නිවසින් එළියට බැසීමේ පුරුද්දක් ශ්‍රියාලතාට වූයේ නැත එනිසාම ඕ  බියෙන්  සැකයෙන් තොරව කට පුරාම ඈ හා හිනැහුණාය. 

“තවම කන්න ටිකක් අමාරුයි අක්කේ. ඒ නිසා වෙන්න ඇති අම්මා එහෙම කියන්න ඇත්තේ.”

“ඔයා ශ්‍රියාලතා නැන්දට  අම්මා කියලද කතා කරන්නේ..ඒකත් හොඳයි ලොකු අම්මා මොකද අම්මා  මොකද නේද..කොහොමත් ශ්‍රියාලතා නැන්දට දුවලා නැති නිසා එයා ඉස්සර ඉඳලම දුවලට හරි ආසාවෙන් හිටියේ. ඔයා ශ්‍රියාලතා නැන්දට දුරින් ඥාති වෙන නංගි කෙනෙක්ගේ දුවෙක් කියලා කිව්වහම මං කිව්වෙත් ඔන්න නැන්දට දුවලා නැති අඩුව පිරිමැහුනා කියලා…”

හයියෙන් හුස්ම හෙලූ දහරා උත්සහ කලේ සන්සුන් වන්නටය. මනුජිතගේ  අම්මා තමාගේ ඥාතීත්වය පවා ලොවට වසංගන්නට උත්සාහ දරමින් සිටී. 

“මල්ලිත් තවම ඉගෙන ගන්නවලු නේද. එයා කසාද බඳින්න තව ටික කාලයක් යාවි ඉතින්. නංගිගේ  මහත්තයා පිටරටක ලු නේද..”

“ඔ…ඔව් අක්කේ…”

“මෙහෙ ආපු එක හොඳයි. ඔය දුෂ්කර පළාත්වල හරි හැටි හොස්පිටල් එකකටවත් යන්න පහසුකමක් නෑනේ. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති එකේ ශ්‍රියාලතා නැන්ද වගේ වැඩිහිටි කෙනෙක්ගෙ රැකවරණය යටතේ ඉන්න එක තමයි වඩා හොඳ. ගේ ඇතුලටම වෙලා ඉන්න එපා එළිපහලියට බැහැලා ඉන්න. ටික කාලයක් මෙහේ හිටියත් සතුටින් ඉන්න නංගි. මෙහෙට වැඩිය කවුරුත් යන්න එන්නෙනම් නෑ. ශ්‍රියාලතා නැන්දා පාඩුවේ ඉන්නවා මිසක්කා අනිත් අයගේ දේවල් හාර අවුස්සන කෙනෙක් නෙමෙයි. හරි හොඳ මනුස්සයෙක්. මිනිස්සු ආශ්‍රය කරන්නේ උනත් ගානට මිම්මට. ඉඳලා හිටලා මං කෑම චුට්ටක් අරගෙන ආවට කමක් නෑ නේද නංගි…”

“අනේ කමක් නෑ අක්කේ…”

“මට අවුරුදු හතළිස් දෙකක්. තවම දරුවො නෑ. ඒක මං ලබා උපන් හැටි කියලා හිත හදාගෙන ඉන්නේ. මහත්තයත් කොයි වෙලාවකවත් ඒ ගැන කියලා ඇඟිල්ලෙන් ඇන ඇන මාව රිදවන්නේ නෑ නංගී. මට පුළුවන් තරම් බඩදරු අම්මලට උදව්ව් කරනවා. නංගිට මං ඇදුම් ටික ලෑස්ති කරගන්නත් උදව් කරන්නම්කෝ..මේ ආත්මෙ මට නොලැබුණු ඒ සම්පත ලබන ආත්මෙවත් මට ලැබෙයි. උදේ හදපු දේවල් හින්දා මහ ලොකු දෙයක් නෑ. මං නංගි වෙනුවෙන් වෙනම කෑම වේලක් හදාගෙන එන්නම්. එහෙම අප්පිරියයි කියලා නොකා ඉන්න එපා. බඩේ ඉන්න පැටියට මේ දවස්වල හොඳ පෝෂණයක් ඕනෙම වෙනවා. ටවු⁣මේ ක්ලිනික් එකට යනවා කියලා කිව්වේ නේද…මෙහේ මිඩ්වයිෆ් මිසුත් නරක නෑ. මහත්තයා අඳුරන ඩොක්ටර් කෙනෙක්නේ ටවුමෙ ක්ලිනික්  එකේ ඉන්නවා කිව්වේ. එක අතකින් ඒක හොඳයි…එහෙනම් මං ගිහිල්ලා එන්නම් නංගි. ඔතනින් හැරුනහම තුන්වෙනි ගේ තමයි මගේ ගෙදර. දවල් දවසට මං විතරයි ඉන්නේ. වෙලාවක ශ්‍රියාලතා නැන්දගෙන් අහලා ඇවිල්ලා යන්න එන්න.” 

ඇය පැවසූයේ දහරාගේ කුසත්, හිසත් දෙකම අතගා “තෙරුවන් සරණයි”යැයි පැවසුවාට පසුවය. 

දොර අඩවල් කර තැබූ දහරා නිවස තුළට ඇවිද ගියේ යළිත් පපුව මත මහා බරක් තබාගෙනය. මනුජිත්ගේ අම්මා ඒ සා බොරු කන්දරාවක් කියා තිබුනේ තමා ඔහුගේ බිරිඳ බව වසංගන්නටය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here