මතකයක සේයා – 14

0
1448

දුරකථන ඇමතුමේ එහා පසින් ඇසෙන්නේ මන්දාකිණි ගේ හඬ නොවන නිසා කෛලාශ් හඬ අවදි කිරීමට පෙර මොහොතක් නැවතී උන්නේය.

” හෙලෝ ? ” 

මීනු නැවත වතාවක් කතා කළේ ඇමතුම ලබා ගෙන එහා පසින් ඉන්නා පුද්ගලයා කිසිවක් නොකියා නිහඬව ඉන්නා නිසාය.

” Can I speak to Mandakini ? ” 

ඇමතුමේ එහා පසින් ඇසෙන්නේ සෞම්‍ය පිරිමි කටහඬකි.එහෙත් මේ මධ්‍යම රාත්‍රියේ කාර්යාලයේ කටයුතු සඳහා භාවිතා කරනා දුරකථන අංකය අමතා මන්දාකිණි විමසන්නේ කවුදැයි මීනු කල්පනා කලාය.

” Who is speaking ? ” 

” Im Kailash. Hotel Sunzet එකේ owner ”  

කෛලාශ් කලබලයකින් තොරව පිළිතුරු දුන්නේය. ඔහු නම කියූ සැණින්ම මීනූ හඳුනා ගත් නමුත් මෙවැනි වේලාවක මන්දාකිණි ඇමතීමට කෛලාශ් වැන්නෙකුට ඇති උවමනාව කුමක් දැයි සිතමින් මීනූ තවත් මොහොතක් බලා උන්නාය.ඇගේ නිහඬ බවට කෛලාශ් වටහා ගත්තේ ඉදිරියෙන් පෙනෙන බිත්ති ඔරලෝසුවේ ඇති වෙලාව දුටු විටය.

” අනේ Im sorry මේ වෙලාවේ කරදර කරා නං.මට ඇත්තටම ඕන වුනේ මන්දාකිණිව පර්සනලි කන්ටැක් කර ගන්න ” 

කෛලාශ් සෘජුවම තම අවශ්‍යතාවය පැවසුවේය.මෙය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නොවන ඇමතුමක් බව මීනු අනුමාන කළේ කෛලාශ් වෙතින් කිසිදු කලබලයක් හෝ කෝපයක් දකින්නට නොවූ නිසාය.මෙතෙක් දිනයක් සියලු කටයුතු සහ කාරණා සඳහා තම ආයතනය සම්බන්ධ කරගත්තේ සත්සර නිසා, මැදියම් රැය පසු වන මොහොතක කාර්යාල අංකයට අමතන්නට තරම් කෛලාශ් හට ඇති උවමනාව කුමක් දැයි මීනු තුල වූයේ කුතුහලයකි.

” මොකක් හරි ප්‍රශ්නයක්ද මිස්ටර් කෛලාශ් ? ” 

” ප්‍රශ්නයක් නම් තමයි.හැබැයි මට නෙමෙයි.මන්දාකිණි ට” 

මීනූ තැති ගත්තාය.කෛලාශ් හිටි හැටියේම දුරකථනයෙන් අමතා මේ පවසන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අපොහොසත්ව ඇය උන්නේ දැඩි නොසන්සුන්භාවයකිනි.

” Alright , මන්දාකිණිව පර්සනලි කන්ටැක් කර ගන්න පුළුවන් නම්බර් එකක් ඔයාට මට දෙන්න බැරි නම් , අඩුම ගානේ ඔයා එයාට කෝල් එකක් දීලා මේ වෙලාවේ කරන්නේ මොකක්ද කියලා හරි හොයලා බලන්න “

” මට ඇත්තටම මිස්ටර් කෛලාශ් කියන දේ තේරෙන්නේ නැහැ “

කෛලාශ් මීට හෝරාවල් කිහිපයකට පෙර සිදුවූ සියල්ල කෙටියෙන් පැහැදිලි කර මන්දාකිණි තුළ දක්නට ලැබුණු හදිසි වෙනස පිළිබඳවත් මීනූ වෙත කියා සිටියේ ඇත්ත වශයෙන්ම මේ මොහොතේදී ඇය හට කාගේ හෝ උදව් අවැසි බව සිතමිනි.

මීනු දුරකථන ඇමතුම අවසන් කළේ හිස ගිනි ගෙනය.අනෙක් අතට තම පෞද්ගලික දුරකථනය අතට ගත් මීනු එහි මන්දාකිණිගේ අංකය සොයා ගෙන ඇමතුමක් ගත්තේ කලබලයෙනි.

” හෙලෝ ” 

අනෙක් පසින් ඇසුණු මන්දාකිණි ගේ හැඬුම්බර හඬ හඳුනා ගන්නට මීනූ හට අපහසු නොවූයේ පසුගිය කාල වකවානුවේදී බොහෝ අවස්ථා වලදී මන්දාකිණි මෙවැනි තත්ත්වයන් වලට පත්ව තිබූ බැවිනි.

” මැඩම් ” 

” ඇයි මීනූ මේ රෑ වෙලා ? ” 

” මැඩම් කොහෙද ඉන්නේ? “

මන්දාකිණි දිගු සුසුමක් හෙළුවාය.දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලෙන් මිලට ගත් සුඛෝපභෝගී නිවසක් තිබියදී තමා හට රැය පහන් කරන්නට සිදු වී ඇත්තේ තමාගේම වාහනය තුළ හැඬූ කඳුලිනි

” ගෙදර ” 

තමා ඉන්නේ නිවස පෙනෙන මානයේය.ඉතින් එය බොරුවක් නොවේ.

” මැඩම් හොඳින් නේද ? ” 

” ඇයි මීනු එකපාරටම ? ” 

තමා හදිසියේම මෙවැනි ඇමතුමක් ලබා ගත් හේතුව මන්දාකිණි හට කියන්නට සිත් වූ නමුත් එය කිව යුතු දැයි මීනු තවත් වරක් කල්පනා කළාය.

” මට දැන් කෝල් එකක් ආවා මැඩම් ” 

” කාගෙන්ද ? ” 

සමහර විට ශෙනාල් විසින් මීනු අමතා තවත් අවුලක් ඇති කරන්නට උත්සාහ දරන්නට ඇත.ඒ සියල්ලෙන් හානි වන්නේ තමා මෙතෙක් කාලයක් තිස්සේ රැකගෙන ආත්ම ගෞරවය ය.එහෙත් මීනූ යනු තමාට වඩා වසර කිහිපයකින් බාල නමුත් තමා වැනිම තරුණියකි.එම නිසා තමා පත්ව සිටින තත්ත්වය තේරුම් ගැනීමට ඇයට අපහසු නොවනු ඇත.

” මිස්ටර් කෛලාශ් ගෙන් ” 

” මොකක් ? ” 

මන්දාකිණි පුදුමයට පත් වූවාය.

” මිස්ටර් කෛලාශ් ඔෆිස් නම්බර් එකට කෝල් කරා. මැඩම්ව පර්සනල් කන්ටැක් කරගන්න පුළුවන් නම්බර් එකක් ඉල්ලුවා.මං හේතුව ඇහුවහම , නම්බර් එක දෙන්න බැරිනම් මට හරි කෝල් කරලා මැඩම් ගැන පොඩ්ඩක් බලන්න කිව්වා ” 

හදවතට දැනුණු පුදුමය දෙගුණ තෙගුණ වූයේ ක්ෂණයකිනි.තමා කෙරෙහි කෝපයෙන් පසු වී ව්‍යාපෘතිය පවා තමා ගෙන් ඉවත් කර ගත් මිනිසෙකු මේ ආකාරයට තමා පිළිබඳව වද වීම සැබවින්ම ඇදහිය හැක්කක් නොවේ.

” මැඩම්ව හම්බුනා කියලා මිස්ටර් කෛලාශ් කිව්වා මට ” 

කඳුළින් පෙඟී තිබුණු දෑස් තද කර පියාගෙන මන්දාකිණි ආසනයට හිස හේත්තු කර ගත්තාය.තමා සමග එක වහලක් යට ජීවත් වන මිනිසා පවා හඳුනා නොගන්නා තමාගේ එක ඉරියව්වක පිටස්තර පිරිමියෙකු විසින් හඳුනා ගෙන තිබේ.

” මට වෙලාවකට මේ හැමදේම අත ඇරලා කොහෙට හරි යන්න හිතෙනවා මීනූ ” 

මන්දාකිණි කීවේ අසරණවය.කෛලාශ් විසින් පැවසූ දෙය අනුමානයක් හෝ අසත්‍යයක් නොවන බව මීනූ විසින් වටහා ගත්තේ ඒ වචන කිහිපය හමුවේය.

” මොකක් හරි ප්‍රශ්නයක් නම් අපි කතා කරමු මැඩම්. ඒ කිසිම දෙයක් මගෙන් එහාට යන්නේ නෑ කියලා මැඩම් හොඳටම දන්නවනේ.office එකේ ගොඩක් දේවල් අවුල් වෙනකොට මැඩම් ඉන්නේ හොඳින් නෙමෙයි කියලා මං දැන ගෙන හිටියේ.ඒත් මට ඒක අහන්න තරම් හයියක් තිබුණේ නැහැ “

මන්දාකිණි හට මීනූ කෙරෙහි දැනුනේ අප්‍රමාණ සෙනෙහසකි.සහෝදරියක් හෝ නොමැතිව හැදී වැඩුණු තමා හට කළමනාකාරිනියකට පමණක් සීමා නොවී මීනූ විසින් ලබා දෙන මේ ළයාදරත්වයට මන්දාකිණි යටි හිතෙන් ස්තූතිවන්ත වූවාය.

” මං ඉන්නේ ප්‍රශ්න ගොඩක පැටලිලා මීනු.කොටින්ම මගේ දාඩිය මහන්සියෙන් හම්බ කර ගත්ත සල්ලි වලින් ගත්ත ගේ ඇතුලට යාගන්න විදිහක් නැතුව මං මේ වාහනේ ඇතුළට වෙලා ඉන්නේ “

” අනේ මැඩම් “

ශෙනාල් ගෙන් පැමිණ තිබූ කෙටි පණිවිඩ පිළිබඳවත් ,නිවසට පැමිණි පසුව සිදු වූ සියල්ල පිළිබඳ වත් මන්දාකිණි මීනූ සමග පැවසුවේ ශෝකයෙනි.තමාට මේ ඉරණමට මුහුණ දීමට සිදු වූයේ තමාගේම වරදින් වුවත් එය නිවැරදි කර ගැනීමට තමා ප්‍රමාද දැයි නැති නම් එයට ධෛර්යයක් නොමැති දැයි මන්දාකිණි හට ඒ මොහොතේ දීත් සිතා ගත හැකි වූයේ නැත.

” මැඩම් හෙට ඔෆිස් එන්නේ කොහොමද ?” 

රැය පහන් වනතුරු වාහනයේ ගත කිරීමට සිදුවනවා නම් හෙට උදෑසන දී කාර්යාලයට යාම පවා ගැටළුවක් බව මන්දාකිණි හට සිහි වූයේ එවිටය.නොගැලපෙන බැඳීම් සමග බැඳුණු විට ජීවිතය බලා සිටියදීම අගාධයට ඇද වැටෙන බවට තවත් උදාහරණ මන්දාකිණිට අවැසි වූයේ නැත.

” ශෙනාල් හෙට උදේටත් මේකම කළොත් උදේ වෙනකන් ඉඳලා මෙහේ හෙඩ් ඔෆිස් එකට කතා කරලා එයාලා ළඟ තියෙන අනිත් කී එක ගෙන්න ගන්නවා මගේ එක නැති වුණා කියලා හරි. ඒත් මං හිතන්නේ නැහැ ශෙනාල් උදේ වෙනකනුත් කේන්තියෙන් ඉදියි කියලා.එයත් උදේට ඔෆිස් යන්න ඕනෙනේ. කොයි වෙලාවේ හරි එයා ගෙදරින් එළියට එන්න එපැයි ” 

” මැඩම් මේ හැම දේ ගැනම මුල ඉඳලා හිතන්න. කිසිම අඩුවක් නැතුව සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබිලත් මෙහෙම ජීවිතයක් මැඩම්ට ඕනෙ නෑ කියල තේරෙනවාා නේද ? ” 

තමාට වඩා ලාබාල යුවතියක වුවද මීනූ පවසන්නේ සත්‍යයකි.මේ තමාට උරුම ජීවිතය නොවේ.මෙය තමා පැතූ ජීවිතයද නොවේ.

” ඔයා දැන් නිදාගන්නන ළමයෝ. මං ආපහු තව ටිකකින් උඩට ගිහින් බලනවා.බලමුකෝ මොකද වෙන්නේ කියලා.මං එන්න පරක්කු උනොත් ඔෆිස් එකේ වැඩ ටික බලලා කරන්න “

මන්දාකිණි සූදානම් වූයේ දුරකථන ඇමතුම අවසන් කිරීමට නමුත් මීනූ මොහොතකට නතර වූවාය.

” මැඩම් ? ” 

” ඇයි මීනූ ? ” 

” මම මිස්ටර් කෛලාශ් ට නම්බර් එක දෙන්නද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here