සඳ දිය දහරා – 9

0
1563

“මනූ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද…”

දහරා මනුජිත්ගෙන් ඇසුවේ රාත්‍රියේය. එකම යුගල යහනාව බෙදා ගත්තත් දෙදෙනා වූයේ දෙපසකට හැරීගෙනය. වෙනදා හමුවන පැය දෙක තුනේ ඔවුනොවුන්ගේ  සුසුම් සොයා වෙහෙස වූ අතීතය ඔහුට අමතකව ගිය ගණනය. නාඳුනන්නන්  සේ මේ යුගල යහනේ ගෙවා දමන රාත්‍රීන්වල ඇයට කඳුළ අමුත්තක් වූයේ නැත. එහෙත් මේ දඬුවම විඳින්නට ඈ දැන් සිත හදාගෙනන අවසන්ය.

“මොනවද…..”

ඒ හඬෙහි වූයේ තරහක් පමණි.

“මට මොකද වෙන්නේ?…..”

“මං දන්නෙ කොහොමද…”

“ඇයි මනූ අපිට ආයෙමත් ඉස්සර වගේ ආදරෙන් ඉන්න බැරි. අපි දෙන්නා ආදරය කළේ අපි දෙන්නාගේ උවමනාවට. අපි දෙන්නා ඒ ආදරෙත් එක්ක මේ තරම් දුරක් ගියේ අපි දෙන්නගෙ උවමනාවට. ඔයා ඉස්සර කිව්වේ ඔයාට මාව නැතුව බෑ කියලා ඒ බොරුවටද..කියන්න මනූ අඩුගානේ මං ගැන අනුකම්පාවක්වත් ඔයාගේ හිතේ නැද්ද.  අඩුගානේ මගේ බඩේ ඉන්න මේ දරුවා..”

දහරාගේ හඬ හැඬුම් මුසු වී තිබිණ.

“නවත්ත ගන්න දහරා මට දැන් මේ කියවිල්ල අහගෙන ඉඳලා ඇතිවෙලා. ඔයාට ඕන වුනේ කොහොම හරි මගේ කරේ එල්ලිලා මං ගාවට එන්නනේ. ඔයාගේ උවමනාව දැන් ඉෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ නිසා පින් සිද්ධ වෙයි පාඩුවේ ඉන්න.”

ඒ හඬ රළුය.

“මට ඔයාගේ ළඟට එන්න ඕන උනා තමයි.ඒ මගේ ලෝකේ හැමදේම ඔයා උන නිසා. මට ඇත්ත කියන්න මනූ  මට ආදරය කළේ බොරුවටද. මගෙන් ගන්න තියෙන හැම ප්‍රයෝජනයක්ම අරගෙන මාව අතෑරලා දාන්නද…ඒක ඔයා හිතා මතාම කරපු දෙයක්ද මනූ”

“එහෙම නොකරපු එක ගැන තමයි අද මං පසු තැවෙන්නේ..

“ඔය කේන්තිය නිවාගෙන අපි ටිකක් කතා කරමු මනූ. මං ඔයාගේ ළඟට එන්නේ නැතුව කාගේ ලඟට යන්නද..අනේ ප්ලීස්..”

“දහරා මං ඔයාට හැමදාම කිව්වා.  මේවා කෙරෙන්න ඕන පිළිවෙලක් තිබුණා. ඔයයි මමයි දෙන්නම පොඩි ළමයි නෙමෙයි. අවුරුදු දහ අටට වැඩි අය. එතකොට මේ කිසිම දෙයක් සිද්ධ වුණේ ඔයාගෙවත් මගේවත් අකමැත්තෙන් නෙමෙයි. මං දන්නවා ඔයාට මගේ අතින් උනේ වරදක් කියලා. ඒ උනාට මෙහෙම හදිස්සියේ ගෑණියෙක් ගෙදරට ගෙනල්ලා තාත්තා කෙනෙක් වෙන්න වුවමනාවක් මට තිබුණේ නෑ. මේවා හරි ලස්සනට වෙන්න තිබුණු දේවල්. ඔයාලගේ වත්තේ මිනිස්සුන්ට මේවා සාමාන්‍ය උනාට අපිට මේවා අසාමාන්‍යයි. ඔයාගේ උවමනාවක් නැතිකම හින්ද තමයි හැමදේම මේ විදිහට වෙනස් වුණේ. ඔයාට මං ඒව⁣ට තමයි බෙහෙත් ගෙනත් දුන්නේ. ආදරේ කරන මිනිස්සුන්ට මේවා අරුමයක් නෙමෙයි. ඒත් ඔයා වගේ ඒ මිනිස්සු මෝඩ නෑ..”

“එදා මං හිටියේ  අසනීපෙන් ඔයා ඒක දන්නවා. ඒක බීපු ගමන් මට වොමිට් උනා.”

දහරා එසේ පැවසූයේ කළකිරීමෙන්ය. ඔහු හැසිරෙන්නේ සම්පූර්ණ වරද තමා පිට පටවමින්ය. 

“එහෙම උනානම් ඔයාට තිබුණා ඒක මට කියන්න.”

“දවස් කීපයක්ම මට උණ තිබුණානේ මනූ..”

“මට කතා නොකර හිටියේ නෑනේ.”

“කවද හරි දවසක අපි දෙන්න එකතු වෙන්න බලන් හිටියනං ඒ දවස චුට්ටක් ඉස්සර වෙච්ච එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද මනූ. අපි සතුටින් ඉමු.”

“ඒක ඔයාට එහෙම නොවුනට මට ප්‍රශ්නයක් තමයි. ඔයාල වගේ වතුවල ජීවත් වෙන කෙල්ලෝ මුලින්ම කරන්නේ බඩක් හදාගන්න එක. ඊට පස්සේ අතින් කටින් එල්ලගෙන දුක් විඳිනවා. ජීවිතේ ගැන කිසිම සැලැස්මක් නෑ. මට ඕන වුණේ ජීවිතේ විඳින ගමන් ඉස්සරහට යන්න. මෙච්චර ඉවසන්න බැරි කෙනෙක් කියලා දන්නවනං මං කීයටවත් ඔයාට ළං වෙන්නේ නෑ. තව ටිකක් ඉවසුවා නම් ඔයා කැම්පස් යනවා. එහෙම උනානම් අපේ ගෙදර මිනිස්සු අකමැති වෙන්නෙත් නෑ. එහෙනං ලස්සනට වෙඩින් එකක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන අපිට එකතු වෙන්න තිබුණා.”

“මේ හැමදේම දැන් වෙලා ඉවරයි මනූ. ඉස්සරහට මට වෙන්නේ මොකද කියලා විතරක් මට කියන්න. ඔයා හොඳටම දන්නවා මං වෙන අය එක්ක ගිහින් නාස්ති උන් නෑ කියලා” 

“මොනවා වෙන්නද…ඔය ඉන්න විදිහට ඔහොම ඉන්න…”

“එතකොට මේ අපේ දරුවට..”

“දැන් තමුසේ මගේ පස්සෙන් ඇවිල්ලා අර චණ්ඩිය ලව්වලා මාව බය කරලා කසාද බැඳගත්තේ ළමයාගේ උප්පැන්නෙට නම දෙන්න ඕනෙ කියලා නේද. දැන් ඒක වෙනවනේ..වදයක් වෙන්නෙ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා..මං ඔෆිස් ගිහින් ඇවිල්ලා ඉන්නේ මට මහන්සියි. නිදා ගන්න ටිකවත් සැනසීමේ නිදා ගන්න දෙනවා..”

“මට ඕනේ  ඔයත් එක්ක ඉස්සර වගේ ආදරෙන් ඉන්න සතුටින් ඉන්න. මට මොනවා කළත් ඔයාගේ අම්මයි තාත්තයි ගැන මගේ හිතේ පුංචිමවත් තරහක්වත් නෑ. මං ආසයි ඒ දෙන්නගේ දුවෙක් වෙන්න.”

“එහෙම වෙන්න තිබුණා මං කියපු විදිහට ජීවත් උනානං. පින්  අයිති වෙයි කට වහගෙන නිදා ගන්නවා. එහෙම නැත්නම් මං සාලෙ සැටියට යනවා.”

මනුජිත් අනෙක් පස හැරුනේ එසේ පවසමින්ය. අඳුරේ ඇගේ දෑස් වලින් ගලා ගිය කඳුළු ඔහු දුටුවේ නැත. දුටුවත් එය අමුත්තක් වූයේද නැත. දිගු සුසුමක් මුදාහල දහරා අනෙක් පසට හැරුණාය. වර්තමානයේ ඇයට හිමිව තිබුණේ හෙට දවස අවිනිශ්චිත වූ ජීවිතයකි. එකම බලාපොරොත්තුව වූයේ දරුවාගේ මුහුණ දැක ඔහු වෙනස් වේය යන්නය. එනිසාම තවදුරටත් දහරා දරාගන්නටත් ඉවසන්නටත් සිතුවාය. 

දිගු සුසුමක් මුදාහල ඕ අනෙක් පස හැරුනේ ඒ අතීත මතක අතර නතර වෙමින්ය.

සිත තුළ සැකයක් වුවත් ඈ එදා සාමා සමඟ වෛද්‍යවරයා වෙත ගියේ තමාට කුමක් හෝ රෝගී තත්ත්වයක් ඇතිවී ඇතැයි සිතාගෙනය. යන ගමනේදීත් අම්මා ඇයත් සමඟ රැකියාව කළ වැඩිහිටි කාන්තාවකගෙන් ඒ ගැන විමසුවාය. 

“ඒකනේ අක්කේ  මේ කෙල්ල මට කිව්වෙත් නෑනේ. මට එකපාරටම මතක් උනේ සරෝජාව. අන්තිමට බඩේ ගෙඩියක් තිබිලා ඔපරේෂන් කරන්නත් උනානේ…”

එහා පස උන් අය පැවසූයේ කුමක්දැයි දහරාට  ඇසුණේ නැත. ඈ උන්නේ ත්‍රීවිලරයේ බඳට හිස තබාගෙනය. මහා අලසකමක් සමග ගතට දැනෙමින් තිබුණේ කෙඩත්තු  ගතියකි. 

“ඒකනේ බය..හෙට අනිද්දා දීගෙක යන්න ඉන්න කෙල්ලොනේ. ඔය බඩවල්වල අසනීප දිගටම තියෙන්න නරකයි”

අම්මා තවත් මොන මොනවාදෝ පවසනු ඇසුණත් දහරා ඊට කන් නොදුන්නාය. සිදුව ඇත්තේ කුමක්දැයි යන්න පිළිබඳව අවබෝධයක් ඇයට නොවූයේ තමාව ඒ තරමට විශ්වාස කරගෙන සිටි නිසා බැව් දහරා දනී. 

“ඈ බං උඹත් පුදුම අම්මෙක්නෙ. මේකිට මාසයක් දෙකක් අසනීප නොවෙනකොට සුදු මැලි වෙලා ඉන්නකොට කන දෙයක් කට හරියට ගන්න බෑ වමනෙ යන්න එනවා කියද්දී. උඹට  හිතා ගන්න බැරි වුණාද මේකි බඩින් කියල. එහෙම උනානං මේවා හා හෝ ගාන්නේ නැතුව අපිට විසඳගන්න තිබුණා.”

වත්තේ කිහිප දෙනෙකුගෙන්ම බැනුම් ඇසුවේ අම්මාය. ඒ අතරින් පෙරමුණෙහිම වූයේ නිෂාදිගේ මවය. ඇත්තය. දරුවන් වැරදි කරද්දී වැදූ අම්මාට නිවනක් නොවේ.

“අනේ අක්කේ..මං හීනකින්වත් හිතපු දෙයක් නෙමෙයි මේ. මොන අම්මටද පුළුවන් දරුවෙක් ගැන විහිළුවකටවත් එහෙම හිතන්න. මං හිතුවෙම බඩේ ගෙඩියක් කියලා…”

අම්මා ඒ සැමටම පිළිතුරු දුන්නේ හැඬූ කදුලෙන්ය. ඒ අතීතය සිහිපත් වූ සෑම වතාවකම ලය පිළිස්සෙන තරමට වේදනාවක් අදටත් දැනේ. මේ විඳවන්නේ ඒ සා අහිංසක වූ ඇයව රිදවීමේ පවම විය යුතුය. 

වෛද්‍යවරයාට රෝගියාගේ තතු  පැවසූයේත් සාමාමය. අවසන ඔහුගේ තීරණය වූයේ මුත්‍රා  පරීක්‍ෂණයක් කිරීමය. ඒ සඳහා විනාඩි හතළිහක පමණ කාලයක් බලා සිටින්නට සාමාටත් දහරාටත් සිදුවිය. අවසන හෙදියක විසින් මවත් දියණියත් වෛද්‍යවරයාගේ කාමරයට කැඳවද්දී ඔහු සිටියේ නළලත රැළි කරගෙන වෛද්‍ය වාර්තාවක් පිරික්සමින්ය. 

“ඉඳගන්නකෝ…”

හෙදිය වෛද්‍යවරයාගේ  දෙවුරහිස් වලින් අල්ලා ඇයව අසුන් ගැන්වූයේ පරිස්සමටය. 

“කසාද බැඳලා කොච්චර කාලයක් වෙනවද…?”

වෛද්‍යවරයා එසේ ඇසුවේ මහා බියක් දරාගෙන උන් දහරාගේ  සිතෙහි වූ සැකය සනාථ කරමින්ය. 

“ඩොක්ටර් මේ මගේ දුව. එයා කසාද බැඳලා නෑ..”

සාමා එසේ පැවසූයේ දහරා දෙසත් වෛද්‍යවරයා දෙසත් මාරුවෙන් මාරුවට බලමින්ය. 

“ඩොක්ටර් එහෙම අහද්දිවත් අනේ මට එහෙම දෙයක් ගැන හිතුනෙ නෑ..”

පසු කලෙකදී අම්මා කිහිප දෙනෙකු සමගම එසේ පවසන අයුරු දහරාට ඇසී තිබිණ. 

දහරා උන්නේ වෙව්ලමින්ය. ඒ බව සාමා වටහා ගත්තේ දියණිය අසලම සිටගෙන ඇයව තම සිරුරට වත්තම් කරගෙන උන් නිසාය.  

“අනේ මහත්තයෝ මේ දරුවා වෙව්ලනවා..”

“ඔව් එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද එයා දවස්  ගානකින් හරියට ආහාරයක් අරගෙන නෑ. අපිට මෙයාට සේලයින් එකක් දෙන්න වෙනවා. ඇඳට නඟින්නකෝ…අම්මා ඔයාගේ දුව ප්‍රෙග්නන්ට්.”

වෛද්‍යවරයා එසේ පැවසූයේත් හෙදියක පැමිණ දහරාව නැගිට වන්නට තැත් දැරුවේත් එකම වරකය. ආපසු ඈ පුටුවටම කඩා වැටෙද්දී ‘මොකක්ද මහත්තයා කිව්වේ? මට තේරුනේ නෑ…’යනුවෙන් ඇසුවේ සාමාය. 

“ඔයාගේ දුව අම්ම කෙනෙක් වෙන්න යන්නේ. මගේ අනුමානයේ හැටියටනම් මාස තුනකට වැඩි මිසක් අඩුවක් නෑ. ඒක තීරණය කරන්න අපිට ස්කෑන් එකක් කරන්නම වෙනවා. දැනට මම සේලයින් එකක් දෙන්නම්. මම වී ඕ ජී  ඩොක්ටර් කෙනෙක්ට ලෙටර් එකක් දෙන්නම්. හෙටම පුළුවන් නම් දුවව එක්කරගෙන ගිහිල්ලා පෙන්නන්න. මොකද එයා ටිකක් වීක්.”

වෛද්‍යවරයා පැවසූයේ බොහෝ පැහැදිලිවය. දහරාගේ නෙතු  තිබුණේ බිමට හැරවී ගෙනය. තත්පර කිහිපයකට පසුව ඇය දුටුවේ තමාව අතහැරී හෙදිය අම්මාව වත්තම් කරගන්නා ආකාරයය. 

සිහිය ආ හැටියේම ඇය තමාට පහරදේ යැයි දහරා බිය වූවාය. ඩිස්පැන්සරිය  දෙවනත් වන්නට කෑ ගසා බැන වදීවියැයි සිතුවාය. ඇගේ දෑත් වලින් තම ගෙල මිරිකා දමාවියැයි සිතුවායි. එහෙත් සිදුවූයේ ඒ කිසිවක් නොවේ. සිහිය ආ හැටියේම ඇඳෙන් නැගිට ගත්

 සාමා  දහරාව වැළඳ ගත්තේ හඬාගෙනය. 

“අනේ මගේ රත්තරනේ මොනවද උඹ මේ කරගත්තේ…උඹ විශ්ව විද්‍යාලේ යවන්න බලාගෙන ඉඳපු මට මොනවද මේ අහන්න උනේ..අනේ මට කියහන් රත්තරනේ මේක  හීනයක් කියලා..අනේ දොස්තර මහත්තයෝ ආයෙත් පරීක්ෂණයක් කරලා බලන්න. එහෙම වෙන්න විදිහක් නෑ. මේ අපේ වත්තේ අහිංසකම කෙල්ල. මගේ දරුව හින්දා කියනවා නෙමෙයි දොස්තර මහත්තයෝ. අනේ එහෙම නරකට අපි හදපු දරුවෙක් නෙමෙයි මේ. මේ දරුවා මහන්සි වුනේම කැම්පස් යන්න. අනේ වරදින්න පුළුවන්නේ දොස්තර මහත්තයෝ…”

කටපාඩම් කරගෙන උන්නාක් මෙන් සාමා කියවාගෙන ගියේ ඉකි බිඳුම අතරින්මය. 

“අම්මා දැන් කලබල වෙන්නෙ නැතුව මේ ළමයට සේලයින් එක දීල ගෙදර එක් කරගෙනන යන්න. ඊට පස්සේ හෙමින් සීරුවේ අහල බලන්න මොකද උනේ කියලා. දෙයක් උනාට පස්සේ අඬලා කෑ කෝ ගහලා වැඩක් නෑ. අම්මා බුද්ධිමත්ව මේ වෙලාවෙදි කටයුතු කළොත්  ඔයාගේ දුව බේරගන්න වගේම එයාට එල්ල වෙන නින්දා අපහාස වලින් එයාව ගලව ගන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මේ දරුවට කොතනක හරි වරදක් උනාද කියල…ඒ නිසා අම්ම සිහි කල්පනාවෙන් මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ. එහෙම නැති උනොත් මේ දරුවත් අම්මට නැති වෙන්න පුළුවන්. මේ වෙලාවෙත් එයා ඉන්නේ ශාරීරිකව ඒ තරම් හොඳ තත්වෙක නෙමෙයි. ඒ නිසාම ඉක්මනින්ම මානසිකව වැටෙන්නත් පුළුවන්. මං හිතනවා අම්මට මං කියන දේවල් තේරෙනවා කියලා. හෙමින් ප්‍රශ්න කරන්න හෙමින් අහන්න දරුවට මොකද වුණේ කියලා.”

වෛද්‍යවරයා එසේ පවසනු දහරාට යාන්තමට ඇසුණේ ඇඳට මදක් ඉහළින් එල්ලා ඇති  සේලයින් බෝතලය දෙස බලා සිටියදීය.

(හටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here