මතකයක සේයා – 17

0
1639

ශෙනාල් නික්ම ගිය පසු මන්දාකිණි කාර්‍යාල මේසය මත හිස තබා ගෙන ඉකි ගසමින් බොහෝ වේලා හැඬුවේ ගත වී ගිය ශෝකී මිනිත්තු කිහිපය සිහිපත් කරමිනි.

” නෑ ඉතින් ඔයා මෙච්චර දේවල් කියන්නේ මගෙන් අයින් වෙන්න ඕන නිසානේ නේද? ඔයාට දැන් ඒකනේ වෙන්න ඕනේ ? “

ශෙනාල් ඇසුවේ කෝපය යටපත් කර ගෙන එහෙත් තරමක තර්ජනාත්මක ස්වරයකිනි.

” නොගැලපෙන තැනක ඉඳලා ඔයාට මහන්සි නැද්ද ශෙනාල් ඇත්තටම ? ” 

අසරණ බවකින් මන්දාකිණි එසේ අසන විට හෝ ශෙනාල් ගේ හදවත මදකට වත් උණු වූයේ නැත.

” හරි මං බලා ගන්නම්කෝ ” 

ඇඟිල්ලක් දිගු කර එසේ කියා ශෙනාල් කාර්‍යාලයේ දොර විවෘත කර ගෙන එය තදින් වසා දමා යන්නට ගියේය. මොහොතක් ගල් ගැසී බලා සිටි මන්දාකිණි එහෙමම තම අසුනට බර වූවාය.

ජීවිතය නතර වී ඇත්තෙ ලෙහෙසි පහසු තැනක නොවූවත් තමා හට එය බාර ගන්නවා හැර කරන්නට වෙන යමක් නොමැති බව මන්දාකිණි ඒ වන විටත් සක් සුදක් සේ දැන උන්නාය.තමා කොතෙක් හඬා වැටුනද , තමා කොතෙක් දුක් වුවද තම ජිවිතයේ කිසිවක් කිසි ලෙසකින් වත් වෙනස් නොවන නිසා මන්දාකිණි දෑතින්ම කඳුලු පිස දමමින් අසුනින් නැගී සිටියේ වාහනයේ යතුරත් ,දුරකථනයත් ,අත් බෑගයත් අතට ගනිමිනි.

ආයතනයෙන් පිට වන්නට පෙර හදිසියේ යමක් වූවා මෙන් මන්දාකිණි නැවත හැරී ආයතනයෙ තමා වෙනුවෙන් වෙන් කර ඇති නාන කාමරය වෙත ඇතුලු වී හැඬීමෙන් ඉදිමී ගිය තමා ගේ දුක් බර මුහුණ දෙස තප්පර ගණනාවක්ම බලා උන්නාය.අනතුරුව කරාමය හැර කිහිප වරක්ම මුහුණ සෝදා ගෙන සින්ක් එක මතක වූ ටිශූ පෙට්ටියෙන් ටිශූ කිහිපයක් ගෙන මුහුණ තෙත මාත්තු කල මන්දාකිණි කණ්නාඩියට හිනැහී බලා උන්නේ කිසිවක්ම නොවූ පරිදි දැන් තමා ලෝකයට මුහුණ දිය යුතුය යන හැඟීමෙනි.

අත් බෑගයේ වූ මේකප් කට්ටලය පිටතට ගත් මන්දාකිණි පව්ඩර් ස්වල්පයකුත් , ලිප්ස්ටික් බිඳකුත් ආලේප කර ගෙන හිසකෙස් ද පීරා ගෙන නාන කාමරයෙන් පිටතට පැමිණියේ සිතේ වූ සියලු දුක් දෝමනස්සයන් අමතක කර දමා සිනහවක් මුහුණට නගා ගන්නට වෑයම් කරමිනි.

කෛලාශ් ඉදි වෙමින් පවතින හෝටලයේ එහා මෙහා ඇවිදිමින් සේවකයන් වැඩ කරනා අන්දම පරික්ශා කරමින් කාලය ගත කලේ අලසකමිනි. ඒ අතර මන්දාකිණි ගේ ආයතනයෙන් පැමිණි සේවකයින්ද , ඇගේ කළමණාකාරිනිය වූ මීනූ ද විය. 

” Excuse me මීනූ “

මීනු බැම්මක් මත වාඩි වී ලැප්ටොප් පරිඝණකයක් උකුලේ තබා ගෙන යම් කාර්‍යයක නිරත වී උන්නාය. ඇය හිස ඔසවා බැලුවේ කෛලාශ් ගේ හඬටය.

” Yes මිස්ටර් කෛලාශ් “

” මන්දාකිණි දැන් එනවද? ” 

” මැඩම්ට උදේ වරුවේ වැඩ වගයක් තියෙනවා කිව්වනේ මිස්ටර් කෛලාශ් .ඒ ටික ඉවර වුන ගමන් එයි. ඒකයි එතකන් මට එන්න කිව්වේ “

මීනූ පිළිතුරු දුන් පසු මද සිනහවකින් ඇය දෙස බලා කෛලාශ් ඉවතට ඇවිද ගියේ නොසන්සුන් වූ සිතිනි.

මන්දාකිණි සෙමින් වාහනය පදවා ගෙන විත් Hotel Sunzet ඉදි කෙරෙන සුවිසල් භූමියට ඇතුලු වී ගසක් සෙවණෙහි වාහනය නතර කර බලා උන්නාය.තමා අත ගැසූ මේ විශාල ව්‍යාපෘතිය නිසි ලෙස අවසන් කර භාර දී නිදහස් විය යුතුය යන හැඟීමෙන් වාහනයෙන් බැස මන්දාකිණි ඒ වෙත යන්නට පා එසවූයේ මීනූ සිටින්නේ කොයි ඉසව්වේ දැයි විමසිල්ලෙන් බලන අතරේය.

ලොබිය හරහා හෝටලයේ ඉදිරිපිටට පැමිණෙමින් හුන් කෛලාශ් සිතිවිල්ලේ ඇවිද එන මන්දාකිණි ව දුටුවේ අහම්බයකිනි.ඒ සැණින්ම අත් ඔරලෝසුව දෙස බැලූ කෛලාශ් එහි වේලාව 12.10 ලෙස සටහන් වී තිබෙනු දුටුවේය.

” කලින් ඇවිල්ලා ” 

තමාටම මුමුණා ගනිමින් කෛලාශ් දෙපා ඉක්මන් කර මන්දාකිණි පැමිණෙන දෙසට ඇවිද ආ අතර මන්දාකිණි කෛලාශ් ව දුටුවේ අනතුරුව ය. ඔහු දුටුව පසුව මන්දාකිණි මද සිනහවක් පෑ නමුත් ඉදිමි රතු වී ගිය දෑස මෙන්ම වෙනස් වූ මුහුණද හඳුනා ගන්නට කෛලාශ් හට ගත වූයේ විනාඩියක් තරම් වූ කෙටි කාලයකි.

”  ගුඩ් ආෆ්ටර්නූන් මිස්ටර් කෛලාශ් “

මන්දාකිණි සිනාසී කීවේ මුහුණේ වූ ශෝකි බව සඟවා ගනිමිනි. කෛලාශ් පිළිතුරක් නොදී ඉතා උනන්දුවෙන් ඇගේ මුහුණ දෙස බලා උන්නේ ඒ ශෝකී බව පසුපස ඇත්තෙ කුමනාකාරයේ කරුණක් දැයි හඳුනා ගන්නට මෙනි.

” මිස්ටර් කෛලාශ් Are you ok ? ” 

 මන්දාකිණි දෙස එක එල්ලේ බලා හුන් කෛලාශ් පියවි ලෝකයට පැමිණියේ ඇය ඇසූ එම ප්‍රශ්නය හමුවේ ය.

” මං ඔයාගෙන් අහන්න ඕන එක ඔයා මගෙන් අහන්නේ ඇයි මන්දාකිණි ? ” 

මන්දාකිණි එක වරම බිම බලා ගත්තේ කෛලාශ් ගේ දෑස් මග හරින්නටය.තමා මුලු ලෝකයකින් තමාව සඟවන්නට උත්සහ කලද එය ලෙහෙසි පහසු කාර්‍යයයක් නොවන බව මන්දාකිණි තේරුම් ගත්තේ ඒ මොහොතේදී ය.

” ඇයි මිස්ටර් කෛලාශ් ? ” 

” ඇයි අහන්නේ? ඔයා ඉන්නේ අවුලක ” 

කෛලාශ් ප්‍රශ්නයක් නොඅසා තමාට පෙනෙන්නට ඇති දේ කීවේ මන්දාකිණි කිසිවක්ම නොකියනා බව දන්නා නිසාවෙනි. තවත් කෙටි වේලාවක් හෝ කාර්‍යාලයේ හිඳ එන්නට තිබුනා යැයි පසුතැවීමක් මන්දාකිණි හට දැනුනේ ඉන් පසුවය.

” ඔයා බොරු කිව්වට ඔයාගෙ ඇස් බොරු කියන්නෑ මන්දාකිණි “

කෛලාශ් පියවරක් ඉදිරියට පැමිණෙමින් මන්දාකිණි දෙස සෘජුව බලා කීවේ මෘදු හඬිනි.මන්දාකිණි ඉන්නේ කුමක්ම හෝ ගැටලුවකට මැදිවී බව ඇගේ දෑස් මනාව කියා පාද්දී ඇය එය සියල්ලන්ගෙන්ම සැඟවීමට උත්සහ කරන්නෙ වෙන යමක් කිරීමට නොහැකි තැන විය යුතුය.

” ඔයා දන්නවා ඊයේ රෑත් මං ඔයාව කන්ටැක්ට් කර ගන්න ට්‍රයි කරා කියලා ” 

මන්දාකිණි කෛලාශ් ගේ දීප්තිමත් දෑස් දෙස අපහසුවෙන් බැලුවේ යන්තමින් හිස ඔසවා ය.

” අපි දෙන්නා අතරේ තියෙන්නෙ බිස්නස් ඩීල් එකක් වෙන්න පුලුවන් මන්දාකිණි.ඔයා මාව ලොකුවට නොදන්නවා වෙන්නත් පුලුවන්. දෙයක් කියන්න තරම් ඔයාට මාව විශ්වාස නැති වෙන්නත් පුලුවන් .ඒත් තමන් ඉස්සරහා මනුස්සයෙක් ප්‍රශ්නෙක බව දැක දැක අහක බලන් ඉන්න තරම් නරුමයෙක් නෙමෙයි මම ” 

මන්දාකිණි ගේ දෑස් වලට කඳුලු උනා ආවේ නිරායාසයෙනි.කෛලාශ් එය පැහැදිලිවම දුටු අතර ඔහු තුළ මන්දාකිණි පිළිබඳව උපන්නේ සුවිශාල අනුකම්පාවකි.

” ඔන්න ඔය කඳුලු වලට හේතුවයි මං අහන්නේ ? ” 

මන්දාකිණි උගුරෙන් පිටවන්නට ආ ඉකිය ආයාසයෙන් නතර කර ගෙන බලා උන්නාය.කෛලාශ් යනු තම ආයතනයේ සේවාව ලබා ගැනීමට පැමිණි ආගන්තුකයෙකි.එවැන්නෙකු සමඟ තම කඳුලු වලට හේතුව කිව හැකිද? 

” හරි.ඔයාට ඒක කියන්න බැරි නම් කමක් නෑ.ඒත්.. ” 

කෛලාශ් කියන්නට ගිය දෙය නතර කර ගත්තේය. ඒ මන්දාකිණි ගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි කියා පැහැදිලිව බලන්නටය.

” මට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවද? ” 

කෛලාශ් එය ඇසුවේ බැගෑපත් ස්වරයකිනි.මන්දාකිණි හිඳින්නේ කිසිසේත්ම හොදින් නොවන බව දැක දැකම තමාට වෙනතක් බලා හිඳිය නොහැක. අනෙක් අතට ඇය මේ තරම් තමාට සමීප බව දැනෙන්නේද කිසියම් හේතුවක් නිසා බව හිත කියන්නේ ය. එසේ තිබියදී මන්දාකිණි ට දුක් වෙන්නට හැර තමා තව දුරටත් නිහඬව සිටිය යුතු නොවේ.

” මට ඔයා වෙනුවෙන් මොන හරි කරන්න පුලුවන් දෙයක් තියෙනවද මන්දාකිණි ? ” 

කෛලාශ් නැවත ඇසුවේ මන්දාකිණි තිගැස්සී ඔහු දෙස බලද්දී. අසරණ බවක් ඇගේ දෑස් වලම ලියවී තිබෙද්දී ඇය වදනක් හෝ පිට නොකරන්නේ මන්දැයි විමතියෙන් කෛලාශ් බලා උන්නේය.

” නෑ මිස්ටර් කෛලාශ් ” 

මන්දාකිණි මිමිණු අතර කෛලාශ් දිගු සුසුමක් මුදා හැරියේය. එසේ නම් ඇය තමා ගේ උදව් ලබා ගන්නට සූදානම් නැතැයි යන හැඟිමක් ඔහු හට ඇති විය.

” ඔයා මගෙන් උදවු ගන්න කැමති නැත්තම් කමක් නෑ. ඒත් මනුස්සයෙක් කරදරේක ඉන්නවා දැක දැක අහක බලන් යන්න කියලා මගේ අම්මා මට උගන්නලා නෑ “

කෛලාශ් එසේ කියා යන්නට හැරුනේය.

” මිස්ටර් කෛලාශ් ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here