සඳ දිය දහරා – 13

0
256

මනුජිත්ගේ මිතුරන් සුපුරුදු අවන්හලේ දී හමු වුවත් ඔහුට එම හමුව සඳහා ආරාධනා කර තිබුණේ නැත. ඔවුන් එසේ නොකළේ හිතා මතාමය. ගෙවී ගිය කාලය පුරාම මිතුරා සිටියේ එතරම් හිත හොඳකින් නොවන බව විශ්වාසය. කෙසේ හෝ වේවා  දැන් ඔහු විවාහකයෙකි. එපමණක් නොවේ  හෙට අනිද්දා පියෙකු වීමට අපේක්ෂාවෙන් සිටිනා අයෙකි. 

“ඌ සමහරවිට ජොලියට වෙන්න ඇති  බන් ඒකිට ලව් කරන්න ඇත්තේ. අන්තිමට කර ගහන්න වෙයි කියලා හිතන්නෙ නැතුව ඇති.”

“ඒ වුණාට බං ඒකි  ප්‍රෙග්නන්ට්  වෙනකල්  මූ මොන මඟුලක් කලාද…දරුවා තමන්ගේ කියල දන්නවනම් කොහොමත් බාරගන්න සිද්ධ වෙනවනේ බං.”

“උඹට  මතකද අර ඒ දවස්වල කැම්පස් එකට ආපු උස මෑන්. ඌ තමයි දහරාගේ මාමා. මං හිතන්නේ ඌ බලපෑම් කළා මූට කෙල්ලව මැරි කරන්න කියලා.”

“ඔව් ඉතින් ඒකි ඉඳපු තත්ත්වය අනුව බලපෑම් නොකර බැහැනේ බං.”

“මූ ජීවිතේට හිතන්නෙ නැතුව ඇති සේකර වත්තෙන් ගෑනියෙක් ගන්න වෙයි කියලා.” 

“මනුවා කලින්ම දැනගෙන ඉන්න ඇතිනේ බන් දහරා ඉන්නේ සේකර වත්තේ කියලා. ඒක දැන දැනත් මූ ඇස් දෙක පියාගෙන හීන දකින ගානටනේ බං වැඩ කරලා තියෙන්නේ.”

“ඌ මට ඊයේ පෙරේද හම්බ වුණා. මචං මම ටිකක් සීරියස්ලී ඒ ගැන කතා කළා.”

එක් මිතුරෙකු පැවසූයේ අන් තිදෙනාගේම අවධානය තමා වෙත හරවා ගනිමින්ය. 

“දැන් මොකක්ද ඌ කියන්නෙ.”

“ඌ කියන්නේනම් කීයටවත් දහරයි ඌයි අතර ආපහු සම්බන්ධයක් ඇති වෙන්නේ නෑ කියලා. ඌට දහරාව පෙන්නන්න බෑලු. ඒක ගෙදර ඒක කාමරේ එක ඇඳේ හිටියත් බං ඌට දහරා ගැන තියෙන්නේ මාර කේන්තියක්. ඒක ආයේ කොහොමටවත් නොපෑහෙන මගුලක් කියලා තමයි ඌ කියන්නේ”

“එක මාර කතාවක්නේ බං…”

“මේක තමයි අවුල. දහරාට හෙට අනිද්ද බබා හම්බවෙනවා. මූ මොනවා හරි ප්ලෑන් එකක් ගහගෙන ඉන්නවා ඒක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නෙත් නෑ. කොහොම උනත් මූ දහරා එක්ක දිගටම ඉන්න බලාපොරොත්තුවක් නෑ”

“මනුවට තියෙන්නෙ බං දැන් අතීතෙ පරණ කතා ඔක්කොම අමතක කරලා දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න. කොහොම උනත් ඒ දරුවගේ තාත්තා ඌනේ”

“එහෙම ජීවිතයක් පටන් ගන්නත් බං ඌට ඒ ගෑනි ගැන අංශු මාත්‍රික හරි ආදරයක් තියෙන්න ඕනේ. මනුවා ඉන්නේ එහෙම තත්වෙක නෙමෙයි බං”. 

“එතකොට දහරටයි ළමයටයි මොකද බං වෙන්නේ?…”

“අනේ මන්දා. මට හිතාගන්න බෑ බං. ඌ හරියි කියලා මං කොයි වෙලාවකවත් කියන්නේ නෑ. ඒ උනාට කොල්ලෙක් හම්බවෙච්ච ගමන් විශ්වාස කරලා තමන්ගේ ජීවිතේ නැති කරගන්න කලින් කෙල්ලොත් දෙපාරක් හිතන්න ඕනේ. කවද වෙනකල් උන් මෙහෙම ජීවත් වෙන්නද බං.”

“බබා හම්බුනාට පස්සේ ඉතින් ඔහොම ඉන්න බෑනේ බං. අනිත් එක දහරට කොහොමටවත් ඔහොම ඉන්න බැරි වෙයි. මං හිතන්නේ මනූගේ  අම්මා තාත්තා උනත් ඒකිව ගණන් ගන්නේ නෑ. දහරා ඒ ගෙදර බලෙන් නතර වෙලා ඉන්න තාලෙට තමයි ඉන්නේ ඌ කියපු විදිහට. මනුවත් තවම මේ වෙච්ච දේවල් ගැන හිතා ගන්න බැරුව ඉන්නේ”

“ඔව් මු කතා කරන්නෙත් නෑ කියලා මට කිව්වා.”

“අපි සැහැල්ලුවෙන් හිතුවට මේක හෙන සීරියස් ප්‍රශ්නයක් බං. ඔහොම තැන්වලදි තමයි අන්තිමට මිනී මැරුම් වලින් කෙළවර වෙන්නේ. මොකද මනුව ගෙදර ඉන්නේ හැමතිස්සෙම මාර කේන්තියකින්. ඌ එදා මට කිව්වා ගෙදරට යනවා කියලා මතක් වෙද්දි අපායකට යනවා වගේ දැනෙනවා කියලා.”

“ඌ වෙනුවෙන් අපිට මොකක්ද කරන්න පුළුවන්…”

“ඌත් එක්ක සීරියස්ලී මේ ගැන කතා කරන එක. හැබැයි මචං ඒ ඩ්‍රින්ක් එකක් දාන ගමන් නෙමෙයි. මෙහෙම කතාකරන ඒවා සමහර වෙලාවට උදේට අමතක වෙනවා. දහරා පව් වෙන්න  පුළුවන්. ඒ උනාට මේ වෙලාවේ අපි හිටගන්න ඕනෙ අපේ එකත් එක්ක.”

“අපේ එකාට විසඳුමක් හොයලා දෙනවා කියන්නෙ බං දහරාට කොහොමත් විසඳුමක් ලැබෙනවා කියන එකනේ.” 

පැය කිහිපයක් පුරා මිතුරන් විවිධ දේ කතා කළත් අවසන ඔවුන් එකඟතාවයකට පැමිණියේ මනුජිත් හා කතා කරමින් තීරණයක් ගත යුතු බවය. සැමගේම මතය වූයේ දැන් ඔහු දහරාවත් දරුවාවත් පිළි අරගෙන ජීවත් විය යුතු බවය. ඔහුට තිබුනේ ඉලක්ක හඹා යන ගමනකි. ඒ ගමනට දහරාව බාධාවක් කර ගත්තේ ඔහුම මිස අන් කිසිවෙකු නොවේ.

“වත්තක ජීවත් වෙච්ච පලියට වත්තක ඉපදුනු පලියට අපිට කෙල්ලෙක් මෙහෙමයි කියලා කියන්න බෑ බං. මූ  එහෙම තැනකට ගෙනල්ලා  දහරාව අතෑරලා දැම්මනං ඒක ඊට වඩා පවක් බං. අපි ඔක්කොටම දන්නවා ඌ කාලයක් තිස්සේ ඒ කෙල්ලත් එක්ක එහෙට මෙහෙට ගියා කියලා. පෙනුමෙන් මනුස්සයෙක් මනින්න බැරි උනාට දහරා කියන්නේ ඉපදිච්ච තැන කෙසේ වෙතත් අහිංසක කෙල්ලෙක් කියලා තේරෙනවනේ බං. එහෙම නොවුනානම්  මු කියන විදිහට ඔච්චර දරාගෙන ජීවත් වෙන්නත් බෑ. දරුවාගේ තාත්තා මූනං  මුගේ ඇඟේ කෙල්ලව ගහනවා ඇරෙන්න ඒ මිනිස්සුන්ට වෙන කරන්න දේකුත් නෑ. මචං මොනව කරන්නත් ඉස්සර වෙලා මනුස්සයෙක්ගෙ හිතේ මනුස්සකම කියන දේ තියෙන්න ඕනේ. මනුවා ඒ කෙල්ලව ආශ්‍රය කලේ අතාරින්න පුළුවන් තැනක තියාගෙන නෙමෙයි. ඌට පුළුවන් වෙච්ච හැම වෙලාවකම ඔය කෙල්ලව අරගෙන ඌ කොහේ හරි ගියා. ඌ එහෙම ගමන් වලට පාවිච්චි කළේ මගේ බයික් එක බං. ඒ නිසා මං හොඳටම දන්නවා. ජීවිතේ හැමදේම සෙල්ලමක් නෙමෙයි කියන එක ඌ අවබෝධ කරගත්තේ නෑ. උගේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න කියලා ජීවිතය විඳින්න කියලා අහිංසක කෙල්ලෙක්ව පාවිච්චි කරන එක හරි නෑ බං…අපි අපේ එකාගේ පැත්තෙ හිටගන්න ඕනේ තමයි. හැබැයි බං අපේ එකා වැරදිනම් අසාධාරණනම්  අපි හිටගන්න ඕනේ සාධාරණය පැත්තේ. දහරා කියන්නේ අපිට වඩා අවුරුදු හයක් විතර බාල පොඩි කෙල්ලෙක් බං. ඒ වගේ පොඩි කෙල්ලෝ ආදරේ කරද්දි හරි බොළඳයි. උන් ආදරේ කියලා හිතන්නේ ජීවිතේටම….දහරා හරියි කියලා මං කියනවා නෙමෙයි. හැබැයි ඉතින් මනුස්සයෙක් විදිහට මූට තිබුණා එහෙම නොකර ඉන්න.”

කසුන් කවදත් සිටියේ මනුජිත් නිවැරදියැයි පවසන තැනක නොවේ. විශ්ව විද්‍යාල බෝඩිමේදී ඔහු හා එක කාමරය බෙදාගෙන සිටියේ කසුන්ය. එනිසාම දහරා ගැන බොහෝ දේ මනුජිත් කසුන් හා පවසා තිබිණ. ඒ සම්බන්ධයේ සැබෑ තතු දැනගත් පසුව ඔහු මනුජිත්ට අවවාද කළ අවස්ථා බොහෝය. ඒ පිළිබඳව අනතුරු ඇඟ වූ අවස්ථාද බොහෝය. මිතුරාගේ සිතෙහි වූයේ දහරාව තමාගේ අවශ්‍යතා පිරිමසා ගෙන ඉවත් කළ හැකි සෙල්ලම් බඩුවක්ය යන හැඟීමය. 

“මං එයාව අතෑරලා දාලා ගියාට පස්සේ එයා මං ගැන කොහෙන් හොයා ගන්නද බං. අනිත් එක කොහොමත් ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ මම ලංකාවේ ඉන්නේ නෑ.”

ඔහු දහරාව අත්හැර දැමීමේ ක්‍රමය ගැන පැවසූයේ එතරම්ම සැහැල්ලුවකින්ය. මිතුරන් නොදත් බොහෝ දේ කසුන් ඔවුන් හා පැවසූයේ මධුවිතෙන් සප්පායම් වූවාට පසුවය. 

“ඌට දහරාව හම්බවෙනකොට ඔය කෙල්ල හරි පුංචි කෙල්ලෙක් බං. කැම්පස් යන්න ඒම් එකක් තියාගෙන ටියුෂන් ආපු කෙල්ලෙක්. මොකක්දෝ හේතුවකට ඒ කෙල්ල තමන්ගේ ජීවිතේටත් වඩා මූව විශ්වාස කළා. මට ඇහිල තියෙනවනේ බං ෆෝන් එකෙන් දහරට මූ කතා කරන විදිහ. මූට තිබුණ ලස්සන වචන සෙට් එකක්. මූ දාහරාව රැවට්ටුවේ හිතාමතාමයි බං. ඒක එහෙම කරනවා කියලා දැන දැනම තමයි ඌ එහෙම කලේ. ඒකයි මට ඌට සමාවක් දෙන්න බැරි.”

අවසන මිතුරන් කසුන්ට එකඟ වූයේය. 

“මචං මූ කියන විදිහට අපි මේ ප්‍රශ්නයට අත දාන්න ඕනේ අපේ එකා වෙනුවෙන් නෙමෙයි දහරා වෙනුවෙන්.”

“අනිත් එක බං මං දන්න තරමින් මේ ඒ ළමයාගේ ෆස්ට් ලව් එක. මූ ඔය වත්තක් ගැන කියන්නේ තමන්ගෙ ගැලවිල්ලට. එහෙම නැතුව මං දන්න තරමින් මූ සෑහෙන්න ඔය කෙල්ලගේ පස්සෙන් ගියා. මූ   කිය කිය හිටියේ කවදහරි හොඳ දෑවැද්දක් එක්ක කෙල්ලෙක්ව ගන්නවා කියලා. ඌට තිබුනෙ හරි වෙනස් මානසිකත්වයක් බං. මං හිතන්නේ උගේ අම්මා ඔළුවට දාපු දෙයක් තමයි ඒ. මචං මනුවා  බලන් හිටියේ කෙල්ලෙක්ගේ දෑවැද්දකින් ගොඩ යන්න. ඒක එහෙම නෙමෙයි කියලා දැනගත්තට පස්සේ තමයි බං ඌ දහරාව පාවිච්චි කරන සෙල්ලම් බඩුවක් ගානට දා ගත්තේ. මචං මනුවට තිබුණේ මහා ආත්මාර්ථකාමී ගතිගුණ. ඌට උගේ ඒම් එකට යන්න උඹලව හලනවද මාව හලනවද දහරාව හලනවද කියන එක වැදගත් නෑ බං. අම්මට තාත්තට උනත් එච්චරයි.  ඌත් එක්ක අවුරුදු හතරක් එක රූම් එකක ඉඳපු අත්දැකීමෙන් මම මේ කතා කරන්නේ. මචං අපි මොනවා කිව්වත් කලත් උගේ හිතේ මේ වෙද්දිත් යම්කිසි ප්ලෑන් එකක් ඇති. හැබැයි යාලුවෝ විදිහට අපි එක සැරයක් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා කතා කරමු. මචං හිඟන්නියෙක් වුණත් බඩට දරුවෙක් දීලා අතෑරලා දාන්න අයිතියක් අපි කාටවත් නෑ. ඇස් දෙක පියන් බැලුවත් මෙතනදි අපේ එකා වැරදියි බං. දහරාගේ බඩට මාස තුනක් නොවුනානම් දහරාගේ මාමා මේ ප්‍රශ්නෙට මැදිහත් නොවුනනම් ඌ මෙලහටත් ඒ දරුවා නැති කරන්න ඕන හැම දෙයක්ම කරලා. කරල නෙමෙයි ඌ ඒක කරන්න උත්සාහ කළා.” 

කසුන් නිකමට මේ කිසිවක් නොපවසන බව මිතුරන්ට විශ්වාසය. හඳුනාගෙන උන් කාලය පුරාම ඔහුට තිබුණේ පරාර්ථකාමී හිතක් බව මිතුරන් දැන සිටියේය. ඔහු අන් අයගේ දුක, කඳුළු වෙනුවෙන් ඉස්සර වූයේ කොන්දේසි විරහිතවය. මේ වනතුරුත් මනුජිත්ගේ  ඒ ක්‍රියා කලාපය ගැන ඔහු වදනක්වත් කතා නොකළ තරම්ය. 

“ඉස්සර ඔය කෙල්ලව රූම් එකකට ගෙනිහිල්ලා ආවට පස්සේ වෙච්ච දේවල් ඒ ටූ ඉසෙඩ්  කිය කිය හිනාවෙනවාා බං. ඒනිසාම තමයි මම දවසකට දෙතුන් පාරක් මගේ නංගිට කතා කර කර එයා පරිස්සම්ද කියල බැලුවේ. එයා චුට්ටක් තනියම එළියට යැව්වත් මං අපේ අම්මට කෑ ගැහුවා බං. අන්න එතැනදී තමයි මං තේරුම් ගත්තේ මූ කවදාවත් දහරාව මැරි කරන්න හිතාගෙන ආශ්‍රය කරන්නේ නෑ කියලා. ඒ අහිංසක කෙල්ලගේ පුද්ගලිකත්වය රකින්න මූට කිසිම උවමනාවක් තිබුණේ නෑ බං. එක දවසක් මූ  බාත්රූම් එකේ ඉන්න වෙලාවෙ දහරා දිගටම මූට කෝල් කරා. බැරිම තැන මම ෆෝන් එකට ආන්සර් කලේ. මම ඒ ළමයට කිව්වා නංගි ඔයා ඉස්සර වෙලා ඉගෙනගෙන ඉන්න කියලා…මොන පැත්තකින් බැලුවත් මනුවව  සාධාරණීකරණය කරන්න හේතු මට නෑ බං. දහරා ප්‍රෙග්නට් කියලා එයා දැනගන්නකොට උඹට මතකද අපි හිටියේ මන්දාරම්නුවර. ඌ අවුල් වෙන්න හේතුව උඹල නොදැන හිටියට මං දැනගත්තා. මූ ඒ  වෙලාවෙත් කලේ කෙල්ලගේ කෝල්ස් ආන්සර් නොකර ඉඳපු එක. දිගින් දිගටම දහරාට  චෝදනා කරපු එක….බබාව නැති කරන්න පුළුවන් තැන් හොයපු එක.”

මිතුරන් කසුන්ට සවන් දීගෙන සිටියේ දහරා පිළිබඳව මහත් වූ අනුකම්පාවක් දරාගෙනය. 

“උඹ මේ කතාව කියනකොට මට මතක් උනේ අපේ නංගිව. සෑහෙන්න පරිස්සම් කරගන්න ඕනෙ බං. මූ වගේ එකෙකුට අහුවුනොත් ජීවිතේම ඉවරයිනේ. කෙල්ලෝ ආදරේ ළඟදි හරි බොළඳයි බං. උඹ  කියන්න වගේ උන් ආදරේ කරන්නේ ආදරේ තමයි ජීවිතේම කියලා හිතාගෙන..අපි දහරා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න ඕනෙ බං. මූ  කියන්න වගේ අපේ එකා කියලා අසාධාරණේදීත් අපි අපේ එකාව රැකල වැඩක් නෑ.”

අවසන මිතුරන් පැවසූයේ එසේය. සැලැස්මක් නොවුනත් ඔවුන් දහරාගේ පාර්ශවයේ සිට ගන්නට සිතා ගත්තේ ඉන් පසුවය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here