අන්ධකාරයේ දිලුණු මරණයේ සිනහව

0
78

මේ කතාව පටන් ගන්නේ 1917 වසරේදි.

 ඒ වෙද්දී ලෝක යුද්ධය හින්දා මුළු ලෝකෙම කලබල වෙලා තමයි තිබ්බෙ. ඇමරිකාවේ හිටපු දුප්පත් පවුල්වල තරුණ කෙල්ලෝ හිටියේ හරිම අසරණ වෙලා. එයාලගේ තාත්තලා, අයියලා යුද්ධෙට ගිහින්. අම්මා එක්ක තනි වෙච්ච කෙල්ලන්ට සල්ලි ටිකක් හොයාගන්න තිබ්බ එකම විදිහ රැකියාවක් කරන එක විතරයි.

අන්න එහෙම රැකියාවක් හොය හොය ඉද්දි තමයි එයාලට අහසින් කඩා වැටුණා වගේ ‘Dream Job’ එකක් ගැන ආරංචියක් හම්බවෙන්නෙ. ඒ තමයි එක්සත් ජනපදයේ ඒ වෙද්දි ප්‍රසිද්ධියට පත්වෙලා තිබිච්ච රේඩියම් සමාගමේ ජොබ් එක. සාමාන්‍ය වැටුපට වඩා තුන් ගුණයක් මේ රැකියාවට එන අයට ගෙව්වා. දවසකට පෙනි එකහමාරක් වගේ හොඳ පඩියක් ලැබුණා. පිරිසිදු වටපිටාවත් එක්ක, අවුරුදු 16 ත් 18 ත් අතර හිටපු ලස්සන, සියුමැලි කෙල්ලෝ දහස් ගණනක් හරිම සතුටින් මේ වැඩේට එන්න අන්න ඒ පඩියත් ලොකුම ලොකු හේතුවක් වුණා..

ඒත් එයාලා දැනගෙන හිටියේ නෑ, තමන්ගේ හීන හැබෑ කරනවා වෙනුවට, මේ දිලිසෙන තීන්ත වලින් එයාලා අත්සන් කරේ තමන්ගේම මරණ සහතිකයට කියන එක.

එයාලට කරන්න තිබුණේ යුද්ධෙට ගිය සෙබළුන්ගේ ඔරලෝසු මුහුණත් පාට කරන එක. මේ තීන්ත හැදුවේ රේඩියම් සහ සින්ක් සල්ෆයිඩ් මිශ්‍ර කරලා. ඒකට එයාලා කිව්වේ ‘Undark’ කියලා.

ලිප්… ඩිප්… පෙයින්ට්

වැඩේ තිබ්බ අමාරුව තමයි, පින්සල පුංචිම පුංචි ඔරලෝසු අංකවල ගාන්න ඕන නිසා, තුඩ ඉක්මනටම මොට්ට වෙනවා. ඒ හින්දා සමාගමේ ලොක්කෝ මේ ලස්සන කෙල්ලන්ට ඒකට “solution” එකක් හොයලා දීලා තිබ්බා. ඒ solution එකට මෙයාලා කිව්වේ “ලිප්… ඩිප්… පෙයින්ට්”කියලා. ඒ කියන්නේ, බුරුසුව කටේ දාලා කෙළවලින් තෙත් කරලා තුඩ උල් කරගන්න එක. දවසකට ඔරලෝසු 250ක් පාට කරන්න ඕන හින්දා, එයාලා මේක දවසට දහස් වාරයක් විතර කරා.

‘මේක විෂ නැද්ද?’ කියලා මෙතන උන්න මොලේ තියෙන කෙල්ලෙක් ඇහුවාම, ලොක්කෝ හිනා වෙලා දුන්නෙ මෙන්න මේ වගේ උත්තරයක්.

 “පිස්සුද ළමයිනේ, මේක ලෙඩ සුව කරන, ලස්සන කරන මැජික් එකක්. ඔයාලගේ මූණ රෝස පාට වෙයි” කියලා. ඒ වචන වලට රැවටිච්ච කෙල්ලො දිගටම “මේ මොකද්ද කියලා” නොදන්න සං‍යුතියක් තියෙන පින්සල දෙතොලෙන් හැඩ කරලා ඔරලෝසු මුහුණත් පාට කරන්න කටයුතු කරා. හැබැයි ඒ කිසිම වෙලාවක මේ ළමයින්ට හිතුණෙ නෑ “මේකෙ කිසිම විෂක් නෑ” කිව්ව තමන්ගෙ ලොක්කො ඇයි ඊයම් ආවරණ ඇඳගෙන, ඈතින් ඉඳලා වැඩ බැලුවේ කියන එක. 

කාලයක් යද්දි මේ තරුණ කෙල්ලෝ මේ දිලීම විලාසිතාවක් කරගත්තා. එයාලා වැඩ ඇරිලා ගෙදර යද්දී විනෝදෙට වගේ තමන්ගේ නියපොතුවල, දත්වල මේ දිළිහෙන තීන්ත ටිකක් ගාගෙන ගියා. ඒ තීන්ත පැල්ලම් නිසා රෑට වැඩ ඇරිලා ගෙදර යන කෙල්ලො හරියට දිළිහුනේ බිමට කඩාගෙන වැටුණ ආකාසේ තියෙන ලස්සන, දිළිසෙන තාරකා වගේ. සිකුරාදා හවසට තමන්ට තියෙන හොඳම ගවුම ඇඳගෙන ඇවිත්, අහම්බෙන් වැටුණා වගේ තීන්ත ටිකක් ඇඳුමෙ ඉහිරවගෙන, රෑ සාදවලට යන්න පවා මේ ලස්සනට ඉන්න ආස තරුණ කෙල්ලො කටයුතු කරා. ලයිට් ඕෆ් කළාම හෝල් එක ඇතුළෙ දිලිසෙන මේ ලස්සන කෙල්ලන්ව දැකලා කොල්ලෝ වශී වුණා. අඩු පඩියට වෙන තැන්වල වැඩ කරපු යාළුවෝ මේ දිළිසෙන කෙල්ලන්ට ඊර්ෂ්‍යා කළා.

 මුළු නගරයම එයාලට ආදරේට කතා කරේ “Ghost Girls” ලා කියලා.

ඒත් එයාලා දැනගෙන හිටියේ නෑ, මේ දිලිසීම පිටුපස තියෙන්නේ මාරාන්තික විකිරණයක් කියන එක. පින්සල කටේ දාගෙන හැඩ කරද්දි කට ඇතුළට එකතු වුණ රේඩියම්, ශරීරය කැල්සියම් කියලා වරදවා හඳුනගෙන, ඇටකටු තුළ තැන්පත් වෙලා, ඇතුළතින්ම ඇටකටු දිරවීම කරනවා කියන එක මේ ගෑනු ළමයි කිසි සේත්ම දැනගෙන හිටියෙ නෑ.

මුලින්ම අසනීප වුණේ මොලී

මේ විදියට අවුරුදු 5ක් ගෙවිලා ගියා. මෙච්චර දවසක් දිළිසි දිළිසි උන්න දවස් චුට්ට චුට්ට වේදනාකාරී වෙන්න පටන් ගත්තා. ඒ විදියට මුළින්ම ලෙඩ වුණේ මොලී මැජියා කියන තරුණ ලස්සන කෙල්ල. 1922 දී එයාට ආවා දරාගන්න අමාරු මාරම ලොකු දත් කැක්කුමක්. මේක දතක් නරක් වීම නිසා ආව වේදනාවක් කියලා හිතපු දන්ත වෛද්‍යවරයා මොලීගෙ දත් ගලවන්න හදද්දි තමයි “මේක මේ දත් කැක්කුමක් වෙන්න බෑ” කියන පළවෙනි සැකේ හැමෝටම ආවෙ. ඩොක්ටර් දත් ගලවන්න හදද්දී, විදුරුමස් දිය වෙලා හකු ඇටය මතු වෙන තරමටම මොලීගෙ අස්ථි දියවෙලා තිබ්බා. ඩොක්ටර් හෙමින් සැරේ එතනට තමන්ගෙ ඇඟිල්ල තිබ්බා විතරයි, මුළු යටි හකු ඇටේම දිරච්ච ලී කෑල්ලක් වගේ ගැලවිලා අතට ආවා. හක්කේ ඇට කෑලි තම්බපු කඩල ඇට වගේ එළියට ආවා. මොලීගෙ කටේ හැදුණු තුවාලවලින් සැරවයි, ලේයි ගලන්න ගත්තා. තුවාලවලින් ආව අධික දුර්ගන්ධය හින්දා මෙච්චර දවසක් ලස්සනට දිළිහිච්ච මොලීව සමාජයේ හැමෝම අතරෙ කොන් වුණා. මෙච්චර දවසක් Ghost Girl කෙනෙක් විදියට හැමෝම පිළිගත්ත එයා දැන් මිනිස්සුන්ව බය කරන පිසාච පෙනුමක් අත්පට්න් කරගෙන උන්නා. කාලයක් තිස්සෙ වින්ද ශාරීරික වගේම මානසික වේදනාව, පීඩාව අවසන් කරලා මොලී මියයන්නෙ රුධිර නාලිකා පුපුරලා ගිහින් ලබපු ඉතාම දරුණු වේදනාවක් එක්ක.

මේ හැමදේම පිටිපස්සෙ මොලී සේවය කරපු තැනට ලොකු සම්බන්ධයක් තියෙන විත්තිය කට්ටියට හිමින් සැරේ සැක හිතෙන්න ගත්තා. හැබැයි සල්ලි බලේ තිබ්බෙ කම්පනිය පැත්තට. ඉතින් තමන්ව බේරගන්න නින්දිත වැඩක් කරන්න කම්පනිය දෙපාරක් හිතුවෙ නෑ. එයාලා සල්ලි වියදම් කරලා, මරණ පරීක්ෂකවරයාට හොඳ, සුපිරි අල්ලසක් එහෙම  දීලා, මරණ වාර්තාවේ ලියෙව්වේ මරණයට හේතුව සමාජ රෝගයක් (Syphilis) කියන එක. එයාලට ඕන වුණේ කෙල්ලන්ගේ චරිත ඝාතනය කරලා ඇත්ත වහගන්න.

මොලීගෙන් මේ සිද්දිය ඉවරයි කියලා අපි හිතුවට ඒක එහෙම උනේ නෑ. මොලීට ඇතිවෙච්ච දුක්ඛිත ඉරණම මොලී එක්ක එකට මේ කම්පනියෙ වැඩ කරපු තව කෙල්ලො ගොඩක් දෙනෙක්ට උනා. සමහරුන්ගේ කොඳු ඇට කැඩුණා. තවත් කෙල්ලෙක්ගේ උකුල් ඇටේ හටගත්තු පිළිකාවක් නිසා ඇතිවෙච්ච ගෙඩිය ෆුට්බෝලෙකට වඩා ලොකු එකක් උනා. මොලී විදියට මරණීය ඉරණමක් තමනුත් අත් කරගෙන කියලා තේරිච්ච ගමන් ගොඩක් කෙල්ලො ජීවිතාසාව අත ඇරගත්තා.

ෆයර් වෙච්ච ග්‍රේස් ෆ්‍රයර් 

ඒත් මරණ මංචකයේ හිටපු ග්‍රේස් ෆ්‍රයර් කියන කෙල්ල මේ අසාධාරණයට එරෙහිව සටන් කරන්න තීරණය කරේ “මං මැරුණත් අනාගතේ තව කෙල්ලන්ට මෙහෙම නොවිය යුතුයි” කියලා හිතුව හන්දා. ග්‍රේස් බය නැතුව තවත් යාළුවෝ හතර දෙනෙක් එක්ක එක්කහු වෙලා කම්පැනියට විරුද්ධව නඩු දැම්මා. එයාලා උසාවියට ආව එක ඒ දවස්වල පත්තර වල විස්තර කරලා කිව්වේ ‘ජීවමාන මළවුන්ගේ හමුදාව’ කියලා මේ ගෑනු ළමයි හරිම දුක්බර තැනකට ඇදලා දාලා. ඇඟේ පොඩිවත් පණක් නොතිබ්බ හන්දා අත උස්සලා දිවුරුම් දෙන්නවත් එයාලට හයියක් තිබ්බේ නැති බව ඇත්ත. ඒත් තමන් වෙනුවෙන්, මොලී වෙනුවෙන් වගේම අනාගත ලෝකයේ බොහෝ ගෑණු ළමයි වෙනුවෙන් උසාවියට ඇවිල්ල තමන්ට වඩා දහස් වතාවක් බලවත් කම්පනි එකකට විරුද්ධව කතා කරන්න මේ ගැණූ ළමයින්ගෙ හිත්වලට ඕනවටත් වඩා හයිය තිබ්බා.

නඩුවේ තීරණාත්මක සාක්ෂිය වුණේ, මැරිලා අවුරුදු 5කට පස්සේ මොලීගේ ඇඟ ගොඩ අරගෙන පරීක්ෂා කරන එක. එතනදී හැමෝම දැක්කා, මොලීගේ ඇටකටු තාමත් අඳුරේ දිලිසෙනවා කියන එක. ඒ අනුව මොලීගෙ මරණයට හේතුව මේ රේඩියම් කම්පනි එක හන්දා මේ තරුණීයන්ගෙ ඇඟ ඇතුළට එකතු වුණ මරණීය රේඩියම් කියන එකත්, මිය ගියාට පස්සෙත් ඒ ගෑණු ළමයින්ගෙ ශරීර අස්සෙන් මාරාන්තික විකිරණ තාමත් එන බවත් තහවුරු කරගන්න පුළුවන් වුණා.

අන්තිමට 1928 දී එයාලා නඩුව දිනුවා. ඒත් කම්පැනිය අවුරුදු ගාණක් නඩුව ඇදගෙන ගියා. ග්‍රේස් ඇතුළු කෙල්ලෝ පස් දෙනාටම වන්දි මුදල් වියදම් කරන්නවත් වෙලාවක් නැතුව, මොලී වගේම මරණීය වේදනාවක් අත්පත් කරගෙන මේ ලෝකෙන් සමුගත්තා.

Safety Laws ආවෙ මේ මරණ නිසා

ඒත් එයාලගේ ඒ ජීවිත පූජාව අපතේ ගියේ නෑ. එදා රේඩියම් කෙල්ලෝ සටන් කරපු හින්දා තමයි අද ලෝකේ “සේවක ආරක්ෂණ නීති” (Safety Laws) හැදිලා තියෙන්නේ.

රේඩියම් සමාගම මේ අතරේ රේඩියම්වලින් දත්බෙහෙත්, සෝඩා, සබන්, වතුර ෆිල්ටර් වගේ හැමදේම හදලා විකුණුවා. ඒ හින්දා ධනවත් එබන් බයර්ස් වගේ අය මේක විශ්වාස කරලා බීලා මැරුණා. මුදල් කඳු ගොඩ ගහලා, කම්පනි ඇත්ත හැංගුවා.

කවුද මේ එබන් බයර්ස්?

1880 දී ඇමරිකාවේ හිටපු හරිම පොහොසත් පවුලක තමයි එබන් බයර්ස් ඉපදුණේ. එයා පොඩි කාලේ ඉඳන්ම හොඳට ඉගෙන ගත්තා. යේල් විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් ගත්තා. ඒ විතරක් නෙවෙයි, එයා දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙක්. සල්ලි ඕන තරම් තිබ්බ හින්දා ගොඩක් තරග දිනන්න එයාට පුළුවන් වුණා. උපාධියෙන් පස්සේ එයා තාත්තගේ ලෝහ සමාගමේ සභාපති වුණා.

ඔය අතරේ තමයි ජේ.ඒ. බේලි කියන කෙනෙක් “Radithor” කියලා රේඩියම් අඩංගු ඖෂධයක් හදන්නේ. මේකෙන් ඕන ලෙඩක් හොඳ වෙනවා කියලා එයා හොඳටම මේ බෙහෙත ප්‍රචාරණය කළා. මේක කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, ඩොක්ටර්ලා රෝගීන්ට මේක දුන්නොත්, බෙහෙතේ ගාණෙන් 17%ක් කොමිස් විදිහට එයාලට ලැබුණා.

1927 දී එබන්ගේ ජීවිතේ හදිසි වෙනසක් වෙනවා. ඒ තමයි ගොල්ෆ් ගහන අතරේ එයාගේ අතකට වෙච්ච අනතුරක් හන්දා දරාගන්න අමාරු වේදනාවක් විඳින්න වෙච්ච එක. ඒ වෙලාවේ එබන් හම්බ වෙන්න ගිය ඩොක්ටර් එයාට නිර්දේශ කළේ මේ ආශ්චර්යමත් Radithor කියන බෙහෙත.

ඩොක්ටර් කිව්වේ පුංචි හැන්දක ප්‍රමාණයක් දවසට බොන්න කියලා. එබන් ඒක පාවිච්චි කරන්න ගත්තාම ටික කාලෙකින් එයාට හරිම සුවයක් දැනුණා. එයා හිතුවේ මේකෙන් තමන්ගේ ඇඟ එන්න එන්න තරුණ කරනවා කියලා.

මේ හොඳටම වැරදි විශ්වාසය නිසා එබන් කළේ වෛද්‍ය නිර්දේශය අතෑරලා, තමන්ම මේ බෙහෙත වැඩිපුර බොන්න පටන් ගත්ත එක. සමහර දවස්වල එයා බෝතලයක්ම එක පාර බීලා තියෙනවා.

ඔය කාලේ තාම රේඩියම්වල විස ගැන කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ හින්දා නීති මුකුත් තිබ්බේ නෑ. එබන් හිතුවේ මේක හරිම හොඳයි කියලා. එයා “Radithor” බෝතල් 1,400ක් විතර ඒ වෙද්දි බීලා තිබ්බා. තමන්ගෙ ඇඟට දැනිච්ච වෙනස හන්දා එයා ඒ බෙහෙත තමන්ගේ යාළුවන්ටයි, පෙම්වතියන්ටයි පවා බොන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. 

ඒත් ඒ කතාව බොරුවක් වෙන්න වැඩි කල් ගියේ නෑ, එබන්ගේ ඇඟේ හරිම අසාමාන්‍ය, දරුණු වේදනාකාරී තත්ත්වයන් ඇති වෙන්න ගන්නවා. රේඩියම්වල හානිය හැමෝටම තේරෙන්න ගත්තේ එතකොට.

මුලින්ම එබන්ගේ දත් එකින් එක ගැලවිලා හැලෙන්න ගත්තා. ඇඟේ බර අඩු වෙලා, නොදන්නා වේදනාවකින් එයා පීඩා වින්දා. ඩොක්ටර් ගාවට එබන් ගිහින් කිව්වේ “මට දැනෙන්නේ මම තවදුරටත් තරුණ නැහැ වගේ” කියලා.

රේඩියම් නිසා වුණ දේවල් අතරින් භයානකම දේ තමයි එයාගේ යටි තල්ලයි, උඩු තල්ලෙ වැඩි කොටසයි දිය වෙලා, හැලී යාම. එයා ජීවත් වෙලා ඉද්දිම එයාගේ හිස්කබලෙයි, මොළයේයි සිදුරු හැදුණා. ශරීරයේ කුණු වුණු කොටස් ඉවත් කරන්න ඩොක්ටර්ලාට සැත්කම් ගොඩක් කරන්න සිද්ධ වුණා.

අන්තිමේදී, අවුරුද්දකටත් වඩා ඇඳට වැටිලා ඉඳලා, 1932 මාර්තු 31 වෙනිදා, අවුරුදු 51 දී එබන් මැරුණා. මරණ පරීක්ෂණයෙන් තහවුරු වුණා විකිරණශීලී ද්‍රව්‍ය නිසා එයාට පිළිකා කිහිපයක් හැදිලා, ඇටකටු ඉක්මනට කැඩී යන තරම් දුර්වල වෙලා තිබුණා කියලා.

එබන්ගේ මේ ඛේදවාචකය හින්දා තමයි බලධාරීන්ගෙ ඇස් ඇරුණෙ. එයා මැරුණට පස්සේ බේලිගේ සමාගමයි, රේඩියම් තියෙන හැම නිෂ්පාදනයක්ම තහනම් කරන්න බලධාරින් පියවර ගත්තා. ඒත් බේලි කියන මනුස්සයා මේකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. එයා වෙන කම්පැනියක් පටන් අරගෙන, ගෙදරදී රේඩියම් ඖෂධ හදන්න පුළුවන් උපකරණ විකුණන්න පටන් ගත්තා.

හැබැයි මේකේ අන්තිම බිහිසුණුම කොටස තියෙන්නේ මෙතන. 1965 දී, එබන් මැරිලා අවුරුදු 35කට පස්සේ, විද්‍යාඥයෝ රේඩියම්වල බලපෑම බලන්න එයාගේ සිරුර ගොඩට ගත්තා.

එතකොට එයාලා දැක්කා, අවුරුදු ගාණක් ගියත් එබන්ගේ දේහය තාමත් දරුණු විදිහට විකිරණශීලී බව. ඒක විශේෂ පෙට්ටියක තැන්පත් කරලා තිබුණ එක ලොකුම ලොකු වාසනාවක් කියලා එයාලා කියන්නෙ අන්න ඒ හන්දා.

මේ කතාවෙන් හොඳටම තේරෙනවා, සල්ලි කොච්චර තිබ්බත්, රේඩියම්වල විෂෙන් නම් කාටවත් ගැලවෙන්න බැරි වුණා කියන එක. රේඩියම් කෙල්ලන්ගේ කතාවේදී දුප්පත් , තරුණ, ලස්සන සේවිකාවො මැරුණා වගේම, එබන් බයර්ස් වගේ ධනවත් පාරිභෝගිකයෝ පවා මේ බොරුවට රැවටිලා මැරුණා.

Safety Guidelines ආවෙ මේ ගෑණු ළමයින්ගෙ කැපවීම එක්ක

අද අපි ඕනෑම ෆැක්ටරි එකක, ඕනෑම වැඩපොළක, ‘සේවක ආරක්ෂාව’ කියලා කතා කරනවා නම්, ඒකේ මුල්ම අඩිතාලම දාලා තියෙන්නේ මේ රේඩියම් කෙල්ලන්ගේ ලේ වලින් කියලා කිව්වත් වැරදි නෑ. එදා එයාලා හරි දරුණු විදිහට වේදනා වින්දා, ඒ වින්ද වේදනාව නිසා තමයි ලෝකේ පුරාම ‘අනතුරුදායක ද්‍රව්‍ය’ එක්ක වැඩ කරනකොට අඳින්න ඕන ආරක්ෂක ඇඳුම් මොනවද, සේෆ්ටි ගයිඩ්ලයින්ස් මොනවද කියලා නීති හැදුණේ.

ඒ කාලේ කම්පැනියේ ලොක්කො ඊයම් ආවරණ ඇඳගෙන, ඒත් අහිංසක කෙල්ලන්ට ‘මේක හොඳයි’ කියලා බොරු කිව්වනේ. ඒ අසාධාරණය නිසා තමයි අද නීතියක් තියෙන්නේ, හානිකර ද්‍රව්‍ය ගැන පරිභෝගිකයාට සහ සේවකයාට හැම විස්තරයක්ම දැනුම් දෙන්න ඕන කියලා. ඒ වගේම, රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ කරන්න කම්පැනියෙන් ස්වාධීන ඩොක්ටර්ලා ඉන්න ඕන කියලා නීති ආවේත් ඒ බොරු වහන්න ගිය අසාධාරණ නඩු හින්දයි.

අද අපි කවුරුත් ආරක්ෂිතව, බය නැතුව වැඩ කරන්නේ, ඒ කෙල්ලෝ පස් දෙනා තමන්ගේ වේදනාවත් එක්ක උසාවි ගිහින් අවසානයේ මරණීය දිනුමක් ලබාගත්තු හින්දා. එයාලගේ මරණය තමයි, මිලියන ගණන් මිනිස්සුන්ට අද වෙද්දි ආරක්ෂිත ජීවිතයක් ලබා දෙන්න කටයුතු කරේ.

ඒක නිසා, රේඩියම් කෙල්ලන්ගේ කතාව කියන්නේ අපි අහලා අමතක කරන්න හොඳ කතාවක් නෙවෙයි. 

එයාලගේ කැපකිරීමට අපි සදා ණයගැතියි කියන එක අමතක කරන්න හොඳ නැහැ. තවමත් තමන්ගෙ මිනී වලවල් වල ඉඳන් දිළිසෙන කෙල්ලො අපිට මතක් කරලා දෙන්නෙ අන්න ඒ කතාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here