සඳ දිය දහරා – 16

0
1185

නීති විරෝධී මත්ද්‍රවයක් ළඟ තබා ගැනීම හේතුවෙන් දහරාගේ චූටි මාමා බන්ධනාගාර ගත කෙරුණේ ඒ අතරේමය. ගෙවී ගිය දින කිහිපයේම දහරා  උන්නේත් සිත් හොඳකින් නොවේ. අම්මාත් ආච්චීත්  දිගින් දිගටම පැවසූයේ මනුජිත්ගේ  නිවසේ කිසිවෙකු හා චූටි මාමාගේ ප්‍රශ්නය නොකියන ලෙසය. ඔහුට තෙමසකට වඩා වැඩි කාලයක් සිරගතව සිටින්නට සිදුවනු ඇතැයි සාමා පවසද්දී දහරා වෙවුලා ගියාය. ආච්චීත්, අම්මාත් දෙදෙනාම පවසන්නේ ඔහේ රස්තියාදු ගැහුවාට ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකුවත් විකුණන කෙනෙකුවත් නොවන බවය. දන්නා තරමින් මේ ඔහුට එවන් චෝදනාවක් වූයේ ප්‍රථම වරටය. වත්තේ සිදුවන පොඩි පොඩි මතගැටුම් රණ්ඩු සරුවල් වලට හවුල් වූවාට චූටි මාමා යනු කිසිවෙකුට කරදරයක් නොකරන පුද්ගලයෙකු බව දහරා දනී.

“මේක ඌ අල්ලන්න කවුරුහරි හිතා මතා කරපු වැඩක්..”

නිවසට පැමිණි චූටි මාමාගේ මිතුරන් කිහිප දෙනෙකුම එසේ පැවසූ බව දහරාට කියුවේ සාමාය. මේ දිනවල නිවස මළ ගෙයක්  හා සමාන බව විශ්වාසය. ආච්චී  දවස ගතකරන්නේ  හැඬූ කඳුළින්යැයි කීවේත් අම්මාමය. ඒ කුමක් වුවත් දහරාට වත්තට නොපැමිණෙන ලෙස සාමා  දැඩි ලෙස කියා සිටියාය. 

“වත්තේ මිනිස්සු ඔක්කොම දන්නවා බං චූටි මාමා එහෙම දෙයක් කරන කෙනෙක් නෙමෙයි කියලා. මොකද එයාගේ බ්ලඩ්  ටෙස්ට් වලින් එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කියලා ඔප්පු වෙලා නැහැනේ. එයාගේ ළඟ මත්ද්‍රව්‍ය තිබුණු එක තමයි වරද. හැබැයි ඉතින් ඒවා කොහෙන් ආවද කවුරු දුන්නද කොහෙට ගෙනියනවද කියන එක අදටත් ඔප්පු කරගන්න බෑ. ඒක හින්දා මේක හිතා මතාම චූටි මාමා කරදරේ දාන්න කරපු දෙයක් කියලා තමයි වත්තේ මිනිස්සුත් කියන්නේ. එහෙම දේවල් කළානම් අවුරුදු හතළිස් පහක් වෙනකල් ඔය මනුස්සයා ඔහොම ඉන්නවද බං…”

නිශාදි පවා පැවසූයේ ඒ අයුරින්ය. 

“ආච්චි හැමතිස්සෙම කියනවා පුතේ අපිට මේ මොනවද උනේ කියලා හිතාගන්න බෑ කියලා. චූටි මාමා එහෙම වරදක් කරන එකක් නෑ කියලා කියලා  මගේ හිතත් කියනවා. ඔය සල්ලි වලට කෑදර වෙච්ච මනුස්සයෙක් නෙමෙයිනේ පුතේ.” 

අම්මා එසේ පැවසූයේ වරක් දෙවරක් නොවේ. දහරාට වඩා  දුක සිතුනේ මෙවේලෙහි ඔවුන් සමග එක්ව  ඒ දුක බෙදා ගන්නට නොහැකි වීම ගැනය. එහෙත් ඔහු හැකි සෑම වේලාවකම අම්මාටත් ආච්චීටත් දුරකථනයෙන් කතා කළාය. 

“මහ ලොකු චණ්ඩියා හිරේ ලු නේ….”

දහරා තිගැස්සුනේ දිනක මනුජිත්  එසේ පවසද්දීය. ඔහු දැන් කාමරයට පැමිණෙන්නේ අල්මාරියෙහිවන ඇඳුමක් ගැනීමට හෝ ඔහුගේ පොත් මේසයේ වන  යමක් ගැනීමට පමණි. මනුජිත්ට  තමා හා එක යහනක නිදා නොගන්නයැයි දෛවඥයෙකු පැවසූ බව දහරා දැනගත්තේ ශ්‍රියාලතා කවුරුන් හෝ කළ දුරකථන සංවාදයකින්ය. දැන් පෙර සේ ඇය ඒවාට දුක් නොගත්තාය.

“ඔ… ඔයා කොහොමද දන්නේ…..”

දහරා එසේ ඇසුවේ බිඳී ගිය හඬකින්ය. 

“ඒ වෙන දේවල් අපිටත් ආරංචි වෙන ක්‍රම තියෙනවා. ඕකා තමයි ඒ දවස්වල උඩ පැන්නෙ තමුසේව මගේ කරේ එල්ලන්න. ඒ පව තමයි ඌ මේ ගෙවන්නේ”

“ඇයි මනූ  එහෙම කතා කරන්නේ…එයාල වැඩිහිටියෝ විදිහට ඒ වෙලාවේ කලේ කරන්න පුළුවන් දේ..ඔයා හරියට කතා කරන්නේ මම වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා මේ දරුවා හදාගෙන ආව වගේ.”

“ඔව්…ඉතින් ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරනකල් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නත් අපිට බෑනේ.”

“අනේ මනූ  ඔයා මොනව කිව්වත් කමක් නෑ ඒ වගේ කතා කියන්න එපා. මං ජීවිතේ ගොඩක් දේවල් දරා ගත්තෙත් ඉවසුවෙත් ඔයා නිසා. මගේත් හීන ගොඩක් තිබ්බා මනූ. ඒත් ඔයා ගැන විශ්වාස කරලා මං ඒ හීන මරල දැම්මා. අනිත් එක චූටි මාමා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්වත් ඒවා විකුණන කෙනෙක්වත් නෙමෙයි. ඒක මට විශ්වාසයි” 

“එහෙනම් එයාගේ කලිසම් සාක්කුවලට ඕවා උඩ ඉන්න දෙයියෝ ගෙනත් දාලා වෙන්න ඇති.”

“ඔව් ඇත්තටම ඒක  එහෙමයි කියලා තමයි කියන්නේ. ඒ පැත්තේ හැමෝම ඒක දන්නවා. එයා කුලියක් මලියක් කරගෙන කාටහරි උදව්වක් කරගෙන ඉන්න කෙනෙක්.”

“ඒ තරම්  විශ්වාසයක් තියෙනවා. උඹට ඒක  කියන්න තිබුණනේ පොලිසියට හරි උසාවියට හරි ගිහිල්ලා. අනේ මේ තමුසෙ දන්න බම්බුව. කාට හරි කටක් ඇරලා  කියන්න පුළුවන්ද හලෝ…බලන් ගියහම තමුසලට මොනවද තියෙන්නේ. තමුසෙලගේ පවුල් වල ගෑනුන්ට මිනිස්සු යා දෙනවද කියලා කියනවා. තමුසෙගේ සීයයි තාත්තයි දෙන්නම මැරුනේ  අඩු වයසෙන්. තමුසේ  හින්දා මටත් මගේ ජීවිතේ නැති කරගන්න බෑ.”

ඔහු එසේ පවසද්දී දහරා වෙව්ලා ගියාය.

“අනෙ මනූ  ඔයා මේ මොනවද කියන්නේ…?”

“කියන්නෙ රට්ටු කියන කතා. පින් සිද්ධවෙයි තමුසෙ මේ ළමයා හම්බුනාට පස්සේ ළමයත් අරගෙන යන මළ දානෙක යනවා. මොනවද තමුසෙට ඕනේ සල්ලිද…එහෙම නැත්නම් මේ ගෙවල් දොරවල්ද..මේ ඔක්කොම තියාගෙන හරි කමක් නෑ මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙනවා.”

මනුජිත්ගේ හඬ අන් කවරදාටත් වඩා උස්ව ඇසෙමින් තිබිණ. දහරා කීප වතාවක්ම ඔහුව නිහඩ කරගන්නට තැත් දැරුවත් එය සාර්ථක උත්සාහයක් වූයේ නැත. 

“අනික මනුජිත්  ඔයා හොඳට හිතලා කියන්න ඔයාට මාව එපාද. අඩුගානේ ඔයාගේ මේ දරු පැටියා, එයා ඔයාගේ ලෙයින් හැදිච්ච දරු පැටියෙක් මනුජිත්…”

“මොන දරුවෙක්ද ගෑනියේ…..මොන දරුවෙක් ගැනද උඹ ඔය කියවන්නේ..”

“අපේ දරුවා ගැන. මගේ බඩේ ඉන්න අපේ දරුවා ගැන. ඇයි මනූ ඔයා ඔහොම හැසිරෙන්නේ. මගේ අතින් වරදක් උනානං මට සමාවෙන්න. ආපහු හැරිලා යන්න තැනක් මට නෑ මනූ..මේ දරුවා  තාත්තා කෙනෙක් නැති දරුවෙක් විදියට ලෝකෙට දෙන්න මට බෑ. ප්ලීස්…ඔයා චුට්ටක් අපි දෙන්න ගැන හිතන්න උත්සහහ කරන්න. 

අනේ එළියට ඇහේ කෑ ගහන්න එපා…”

“ඇයි පුතා මොකද මේ කෑ  ගහන්නේ?…..”

ශ්‍රියාලතා එසේ අසමින් කාමරයට පැමිණියේ දහරා එසේ පවසද්දීමය. 

“මෙයා කියන්නේ හිරේ ඉන්න මෙයාගේ මහ ලොකු මාමා හරි අහිංසකයෙක් කියලා.”

“උන්ගේ අහිංසකකම්  දැන් ඔය ලෝකෙට ඔප්පු වෙලා තියෙන්නේ. ඔය අපිට කරපු අපරාදෙම තමයි උන්ට පඩිසන් දුන්නේ..මගේ කොල්ලගේ ජීවිතේ කෑවා. හොඳක් වෙන්න එපා උන්ට…”

ඒ අහස පොළොව නුහුලන කතාව කුමක්දැයි දහරාට  නොතේරුම්ය. වරදක් වූවානම් නම් ඒ මනුජිතුත් තමාත් එක්ව කළ වරදකි. එසේ වී තිබියදීත් තමාගේ නිවසේ අයට දෙස් දෙවොල් තබන්නේ ඇයිදැයි ඕ සිතුවේ මවිතයෙන්ය.

“මෙන්න මෙහෙට එන්න පුතා යන්න. උදේ පාන්දර මේ ගෑනුත්  එක්ක කෑ ගහගන්න එකේ තේරුමක්නෑ. දවසම නාස්ති ⁣වෙන එක විතරයි වෙන්නේ. එක්කෝ මේ මගුල මේකිට  එපා වෙන්න ඕනෙ නැත්තං අපිට එපා වෙන්න ඕනේ. කවද හරි මේ ගේ ඇතුලෙ එකෙක් මැරිල තමයි නතර වෙන්නේ…”

ශ්‍රියාලතා කාමරයෙන් පිටතට ගියේ මනුජිත්වත්  ඇදගෙනය. දහරා එහෙමම ඇඳ මත ඉදගත්තේ කුසට අත තබා ගනිමින්ය. හත් මස සම්පූර්ණ වීමට තිබුණේ තවත් දින කිහිපයකි. තමා තනිවම කරන මේ සටන තවදුරටත් තේරුමක් නැතැයි සිතෙනා  තරමට ම ඕ පසුබා උන්නාය. 

“අම්මා කෙනෙක් තමන්ගේ දරුවොත් එක්ක ජීවිතේ ඉස්සරහට ඇවිදගෙන යනවා මිසක්කා ආපහු හැරීමක් නෑ. ඒ හයිය තියෙන්නේ අම්මා කෙනෙකුටම විතරයි.”

ඊයේ පෙරේදා කියවූ නවකතාවක සටහන්ව තිබූ දෙබසක්  දහරාට සිහි වූයේ ඒ හදිසියේමය. 

“තාත්තා නැතිවෙද්දි උඹලයි  අම්ම තරුණයි.  ඒ වගේම හරි ලස්සනයි. උඹව  හම්බුනාට පස්සේ ඇඟපත ආරලා පිරිලා ආපු කාලේ. ඔය වැඩපලේ මහත්තයෙකුත් එක පාරක් මේ ගෙදරටම ඇවිල්ලා අම්මා ගැන මගෙන් අහලා ගියා. පිරිමියෙක් නැතුව ගෑනියෙක්ගෙ තරුණ කාලේ දරාගන්නව කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. උඹේ  අම්මා පිරිමියෙක් එක්ක ජීවත් වෙච්ච ගෑනියෙක්. එහෙම කෙනෙකුට තනිවෙන්න ලේසි නෑ. ඒ උනාට ඉතින් හැමදාම කිව්වේ උඹට වෙනස්කමක් වෙන්න දෙන්න බෑ කියලා. එහෙම ගෑනි මේවා කොහොම දරාගන්නවද කියන එකයි මට තියෙන වේදනාව.”

තමා ගැබිනියක බව දැනගෙන දින කිහිපයක් ඉක්ම යද්දී ආච්චි එසේ පැවසූ අයුරු දහරා සිහිකලේ වේදනාවෙන්ය. 

ඔයාගේ ආච්චි අම්ම මං  නිසා එයාගේ ජීවිතේ දරා ගත්තා වගේම මට ඔයා නිසා මේ ජීවිතේ දරා ගන්න වෙනවා. ඒක නිසා අපි තව චුට්ටක් ඉවසන් ඉමු පුතේ…”

අවසන දහරා තමාටම මුමුණා ගත්තේ දෑස් දෙපසින් කඳුළු බේරී එද්දීය. ඒ කඳුළු රෑ ඇඳුමෙන් වැසී තිබූ කුස මත වැටී බොඳව යන අයුරු ඈ බලාගෙනය. විනාඩි කිහිපයකට පසුව දහරාට ඇසුණේ මනුජිත්ගේ යතුරු පැදිය සැර දමා නික්මෙන හඬය. සිර ගෙදරට ගොස් චූටි මාමා බලන්නට සිතුනත් සේකර වත්තට ගොස් අම්මා හා ආච්චී සමග එක්ව දුක බෙදා ගන්නට සිතුනත් දහරා ඒ සියල්ල දරා ගත්තාය. තමා යලි සේකර වත්තට ගියහොත් මනුජිත්ගේ  අම්මාත් තාත්තාත්, ඔහුත් තමාව ප්‍රතික්ෂේප කරාවියැයි බියක් ඈ තුළ විය. තමාගේත් ඔහුගේත් නොගැළපීම්වලදී ඒ සියල්ලෝම ඉස්සර කර ගත්තේ තමා සේකර වත්තේ උපන් ගැහැණියක වීමේ අඩුවය. 

නාඳුනන අංකයක් සටහන් කරමින් දහරාගේ  ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඈ ජංගම දුරකථනය කන තබා ගත්තේ දෑස් වල වූ කඳුළු පිසදා ගනිමින්ය. 

“දහරා…..”

එහා පසින් ඇසුණු පිරිමි කටහඬ මින් පෙර අසා තිබූ එකක් නොවේ. 

ඒ කවුරුන්දැයි අසන්නට කට ඉස්සර කරද්දීම එහාපස උන් තැනැත්තා පැවසූයේ “මනුජිත් මේ වෙලාවේ ගෙදරින් එළියට ගියා කියලා මම දන්නව දහරා. එහෙම දැනගෙනම තමයි ඔයාට මං කතා කලේ. ප්ලීස් ෆෝන් එක තියන්නේ නැතුව ටික වෙලාවක් මට ඇහුම්කන් දෙන්න…” යනුවෙන්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here