මතකයක සේයා – 20

0
57

බෙන්තොට නගර මධ්‍යයෙන් මඳක් ඈතට වන්නට පිහිටා තිබූ පාසල සොයා ගන්නට කෛලාශ් ට හැකි වූයේ ඒ අවට මාර්ග පිළිබඳව සත්සර තුළ හොඳ මතකයක් තිබූ නිසාය. පාසලේ ගේට්ටුව අසලදීම කෛලාශ් තුළ තිබූ බොහෝ මතක ආවර්ජනය වූ අතර පාසල බොහෝ සේ වෙනස් වී සහ දියුණු වීද තිබිණි. සතියේ දවසක් වූ බැවින් දරුවන් කිහිප දෙනෙක් පිට්ටනියේ සෙල්ලම් කරමින් සිටි අතර මැදි වයසේ පසු වූ මුරකරුවෙකු ප්‍රධාන ගේට්ටුව අසල මුර කුටියේ වාඩි වී වෙහෙසකර දෑසින් යුතුව පාර දෙස බලා ගෙන උන්නේය.

” අන්කල් ” 

බැලූ බැල්මට ඉතා වැදගත් පෙනුමැති තරුණයන් දෙදෙනෙකු නිසා මුරකරු ඉතා ගරු සරු ඇතිව වහාම අසුනින් නැගිට මුර කුටියෙන් පිටතට පැමිණ කෛලාශ් සහ සත්සර සිටි තැනට ඇවිද ආවේය.

” මේ මහත්තුරු කාව හම්බ වෙන්නද ? “

” අංකල් අපි මේ තොරතුරක් දැන ගන්න කියලා ආවෙ ” 

සත්සර පළමුවෙන්ම කතාවට අවතීර්ණ වූයේය.

” මොනා ගැනද මහත්තයෝ ? ” 

” මේ මහත්තයා පොඩි කාලේ මේ ඉස්කෝලේ තමයි ඉගෙන ගත්තේ.ඊට පස්සේ එයා පිටරට පදිංචියට ගියා.එයාට දැන ගන්න ඕනේ මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත එයාගේ පොඩි කාලේ යාලුවෙක් ගැන ” 

මුරකරු මද වේලාවක් කල්පනා කර කෛලාශ් සහ සත්සර දෙස නැවත විමසිල්ලෙන් බලා මුර කුටියට ගොස් එහි තිබූ ස්ථාවර දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගෙන පැරැණි පොතකුත් පෑනකුත් සහිතව නැවත පිටතට පැමිණියේය.

” මේකේ ඔය මහත්තුරු දෙන්නගේ විස්තර ලියලා ඇතුලට යන්න ” 

මුරකරු විසින් දිගු කළ පොතෙහි දෙදෙනාගේම විස්තර ලියූ සත්සර මුරකරු විසින් කියන ලද මං සලකුණු ඔස්සේ පාසලේ කාර්යාලය වෙත යන්නට පියවර එසවූවෝය.

තමා ඉතා කුඩා කාලයේදී සෙල්ලම් කළ පිට්ටනියත් පැරණි පන්ති කාමරත් දකින විට කුඩා වියෙහි පසු වූ කෛලාශ් සහ ලියානා සෙල්ලම් කළ ආකාරය කෛලාශ් ගේ මනසේ ඇඳී මැකී ගියේ තත්පර ගණනාවක් තුළදීය. කිසි හෝ ඇය සොයා ගන්නට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් කෛලාශ් සත්සර සමඟ විදුහල්පති කාමරය අසලට ගොස් විවෘත කර තිබූ දොරට තට්ටු කළේ විදුහල්පති තුමිය යම් කාර්යයක නිරත වෙමින් හුන් නිසාය.

” එන්න ” 

විදුහල්පතිතුමිය කාරුණිකව පවසා ඇය ඉදිරියේ තිබූ අසුන් දෙක අතින් පෙන්වමින් වාඩි වන ලෙසට කෛලාශ් ටත් සත්සරටත් ආරාධනා කළ අතර කෛලාශ් අසුන් ගත්තේ ගැහෙන හදවතිනි.

” මැඩම් අපි ආවේ පොඩි තොරතුරක් ගැන දැන ගන්න ” 

කෛලාශ් නොසන්සුන්ව නිහඬව බලා හුන් නිසා සත්සර ඒ මොහොතේදීත් ඉස්සර වී හඬ අවදි කළේය. කෛලාශ් පියවි සිහියට පැමිණ මේ තමා කතා කළ යුතු මොහොත බව පසක් කර ගත්තේ ඉන් පසුවය.

” මැඩම් මං පොඩි කාලෙදි ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ. මං ඉස්කෝලේ ආවේ මෙතන එහා පැත්තෙ තියෙන ළමා නිවාසේ ඉඳලා “

කෛලාශ් එසේ කියූ පසුව විදුහල්පති තුමියගේ මුහුණේ හැඟීම් වෙනස් වන අයුරු කෛලාශ් මෙන්ම සත්සර ද පැහැදිලිවම දුටුවෝය.

” මගේ දැන් අම්මයි තාත්තයි මාව හදාගන්න ගන්නකොට මට වයස අවුරුදු නමයක් වගේ.ඊට පස්සේ ඒ දෙන්නා මාව එක්කගෙන ඕස්ට්‍රේලියා ගියා.මං හැදුනේ ඉගෙන ගත්තේ එහේ.ටික දවසකට කලින් තමයි මං ලංකාවට ආවේ.දැන් මට වයස තිස් එකයි. ඇත්තටම මං හොයන්නේ මගේ පොඩි කාලේ යාලුවෙක් ගැන විස්තර ” 

අනතුරුව විදුහල්පතිතුමියගේ මුහුණේ ඇඳුනේ බැරෑරුම් ස්වරූපයකි.

” ඔයාගේ නම මොකක්ද කිව්වේ ?” 

” කෛලාශ් ” 

” හොඳයි කෛලාශ්. මම මේ ඉස්කෝලේ වැඩ බාර අරගෙන තැනට අවුරුදු පහක් හයක් වෙන්නේ. ඔයා හොයන්නේ ඊටත් අවුරුදු ගානකට කලින් මේ ඉස්කෝලේ ඉගෙන ගත්තු ළමයෙක් ගැනනේ.ඒක හොයාගන්න ටිකක් අමාරු වෙයි.හැබැයි බැරි වෙන එකක් නෑ. ඒ ළමයාගේ විස්තර මොනවා හරි තියෙනවද ? ” 

කෛලාශ් සත්සර ගේ මුහුණ දෙස බැලුවේ අසරණ වූ දෑස් වලිනි.

” මම දන්නේ එයා ගේ නම ලියානා කියලා විතරයි මැඩම්.මං එතකොට ගොඩක් පොඩි නිසා මට ඊට එහා විස්තරයක් මතක නැහැ ” 

විදුහල්පතිතුමිය සුසුමක් හෙලා අනතුරුව ස්ථාවර දුරකථනයෙන් යමෙක් අමතා කාර්යාලයට පැමිණෙන ලෙස පැවසුවාය.විනාඩි කිහිපයක් ඇතුළත සාරියකින් සැරසුන කාර්යාල සහයිකාවක් යැයි කිව හැකි තරුණ කාන්තාවක් විදුහල්පතිතුමිය ගේ කාමරයේ දොරට තට්ටු කර එයට ඇතුළු වූවාය.

” මෙයාලා මෙහේ ඉගෙන ගත්ත ලියානා කියලා ගෑණු ළමයෙක් ගැන විස්තර හොයනවා. හැබැයි හුඟක් කල්. මං හිතනවා ඒ ළමයා ගැන විස්තර ඇති කියලා අපේ පරණ ෆයිල්ස් වල. මෙයා ඉගෙන ගත්ත අවුරුද්දයි අනෙක් ඕන විස්තරයි අහගෙන ඒ ළමයා ගැන තොරතුරක් පුළුවන් නම් හොයලා දෙන්න “

විදුහල්පති තුමිය තරුණ කාන්තාවට කෙටි විස්තරයක් කළාය.

” හරි මැඩම් මං බලන්නම්. කොහොමත් අයින් කරපු නැති පරණ ෆයිල්ස් ඩොකියුමන්ට්ස් සෑහෙන්න තියෙනවා.ඒවයින් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ටිකක් වෙලා යයි “

” ඒකට කමක් නෑ.ඔය දෙන්න මෙයත් එක්ක ගිහින් ඕන විස්තරේ එයාට දෙන්න.එයා පරණ ෆයිල්ස් වලින් විස්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා හොයලා බලයි ” 

විදුහල්පති තුමිය එසේ කී පසුව කෛලාශ් සහ සත්සර ඇයට ස්තූති කර අසුන් වලින් නැගිට කාර්යාල සහායිකාව පසුපස ගොස් වෙනත් කාර්යාලයකට ඇතුළු වූවෝය. එහි බොහෝ පැරණි පෙනුමැති කබඩ් කිහිපයක්ම වූ අතර සහායිකාව දොර අසලම වූ අසුන් කිහිපයක් කෛලාශ් ට සහ සත්සරට පෙන්වූවාය.

” මෙතනින් වාඩි වෙන්න.මිස්ටර් ගේ අවුරුද්ද මොකද්ද ? ඉස්කෝලෙට ඇතුල් වෙච්ච ? ” 

කෛලාශ් මදක් කල්පනා කර පිළිතුරු දුන් පසුව සහායිකාව පැරණි කබඩ් කීපය වෙත හැරුණේ කල්පනාකාරීවය.එම කබඩ් වල විවිධ අවුරුදු සඳහන් කළ කොළ අලවා තිබුණු අතර ඇය එක් කබඩ් එකක් අසල නතර වී එය එය විවෘත කර එහි තිබූ ලිපි ගොනු රාශියක්ම පිටතට ගෙන අසල වූ මේසය මතින් තැබුවාය.ඒවා දූවිලි වලින් පිරී තිබුණු නිසා සහායිකාව කබඩ් එකක් මත තිබූ දූවිලි පිස්නාවක් ගෙන ලිපි ගොණු පිස දමා වාඩි වී එක් ලිපි ගොණුවක් ගෙන පරීක්ෂා කිරීම  ආරම්භ කළාය.

” ඒ ළමයාගේ නම කිව්වේ ලියානා කියලා නේද ? ” 

පළවෙනි ලිපිගොනුව පෙරළා බැලීමෙන් පසුව සහායිකාව කෛලාශ් දෙසට හැරී විමසූ අතර ඔහු හිස වනා ” ඔව් ” ලෙස පිළිතුරු දුන්නේ බොහෝ බලාපොරොත්තු සහගතවය.

” මේ වැඩේ හරියයිද බං ? ” 

කෛලාශ් සත්සර වෙත නැඹුරු වී ඇසුවේ දෙගිඩියාවෙනි. 

” ඔය ෆයිල් ටික අවුරුදුවල පිළිවෙලට තිබ්බ නිසා හොඳයි. නැත්තං උඹ හිතනවද ළමයි සිය ගානක් අස්සෙන් එක ළමයෙක් ගැන විස්තර හොයා ගන්න ලේසි වෙයි කියලා. ඒකත් මේ අවුරුදු බර ගානකට කලින් හිටපු ළමයෙක් ගැන ? ” 

” මට එයාව කොහොම හරි හොයා ගන්න ඕන බං ” 

කෛලාශ් හඬේ දැඩි අසරණ බවක් තැවරී තිබුණු අතර සත්සර හට ඔහු කෙරෙහි දැනුනේ අනුකම්පාවකි. කෛලාශ් කුඩා අවදියේ මිතුරියක පිළිබඳව මතකයක් නිතර අවදි කරන බව ඉඳහිට ලංකාවට පැමිණ සිදු කෙරෙන නෑදෑ හමුවීම් වලදී පැවසූ ආකාරය සත්සර ගේ මතකයේ තිබුණු නමුත් ඒ මිතුරිය සෙවීම කෙරෙහි කෛලාශ් තරුණ වියට පත් වුණු පසුව මේ තරම් වෙහෙසක් දරනු ඇතැයි කියා සත්සර බලාපොරොත්තු වූයේම නැත.ඔහු ඒ අරමුණ වෙනුවෙන් ව්‍යාපාරයක් මුල් කරගෙන මව්බිමට පැමිණීමට සැලසුම් කල ද ටික දිනකින් එය ඔහුට අමතක වී යනු ඇතැයි සිතුවද එසේ සිදු වූයේද නැත. බලාපොරොත්තු වූවාටත් වඩා කෛලාශ් ඒ පිළිබඳව පීඩනයකින් පසු වන බව ඔහු ගේ ඉරියව්වලින් ඒ මොහොතේ ද දැක ගත හැකිව තිබුණි.

පැයකට අධික කාලයක් කාර්යාල සහායිකාව ලිපි ගොනු පෙරළා බලමින් වෙහෙස වුනු අතර කෛලාශ් මෙන්ම සත්සරද ඇය පිළිතුරක් ලබා දෙන තුරු බලා උන්නේ නොඉවසිල්ලනි.

” ඔයා හොයන්නෙ මෙයාවද බලන්න ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here