“මට මේ කවුද කියලා අඳුනගන්න බැහැ….”
දහරා අවසන පැවසූයේ ඉවසීම බිඳී ගිය තැනදීය.
“නංගි මම කසුන් අයියා..මනුවගේ බෝඩිමේ ඉඳපු යාළුවා. ඒ කාලේ මනුවා ඔයාව හම්බවෙන්නේ එන්නේ මගේ රතුපාට ස්කූටි එකේ…”
“අයියේ මට මතකයි. ඒත් කොහෙන්ද ඔයාට මගේ නම්බර් එක හම්බුනේ.”
“එදා මගේ නම්බර් එක දීල ආවට ඔයා කතා කළේ නැහැනේ. ඊට පස්සේ මාර ගේමක් ගහලා තමයි මම මේ නම්බර් එක හොයා ගත්තේ. මනුවගේ ෆෝන් එකෙන්ම තමයි. ඌ කරටි කැඩෙන්න ගහලා ඉන්න වෙලාවක”
“ඇයි අයියා මට හදිසියේ කතා කළේ..”
“මම මේ කතා කරන්නේ මගේ උවමනාවකටම විතරක් නෙමෙයි. යාළුවෝ හැමෝම වෙනුවෙන්. නංගි ඔයා ඉන්න තත්ත්වේ අපිට නොතේරෙනවා නෙමෙයි. ඔයා දන්නවද මීට දවස් තුනකට කලින් අපි මනුව හම්බවෙලා ඔයා ගැන කතා කළා.”
“නැහැ අයියේ මං දන්නෙ නෑ….”
“එහෙම දැනගන්න ඌ ඇවිල්ලා ඔයාට හැම දෙයක්ම කියන්නෙත් නැහැනේ.”
“එයාවත් මමවත් හිතපු නැති විදිහට එකපාරටම අපිට මැරි කරන්න වුණා අයියේ. ඒ නිසා….”
“නංගි නොහිතපු විදිහට එක පාරටම කියලා කියන්නේ කොහොමද. ඔයාලා දෙන්නා ආශ්‍රය කරපු විදිහට ඒක බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. දැන් ඔයාලගේ ගෙවල්වල අය දන්නවද ඔයා මේ ඉන්න තත්වෙ මොකක්ද කියන එක. මං අහන්නේ මනුවගේ අකමැත්තෙන් බලෙන් වගේ ඔයා ඔතන ඉන්නවා කියන එක”
“ඒ කිව්වේ අයියේ…”
“නංගි අපි විවෘතව කතා කරමු. මනුවා ඔයාව පිළිගන්න කැමති නෑ කියන එක ඌ කෙලින්ම කිව්වා. අපි ආපු වෙලාවේ බොරුවට හැසිරුනාට මනුවගේ අම්මයි තාත්තයිත් ඒ තීරණේම ඉන්නේ කියලා අපි දන්නවා. නීතියෙන් ඕගොල්ලෝ බැඳිලා ඉන්න බව ඇත්ත. ඒ උනාට නීතියයි ජීවිතෙයි එකතු කරන්න බෑනේ නංගි හැම තැනකදිම”
“දන්නෙ නෑ අයියේ…..”
දහරා පැවසූයේ මද හඬකින්ය. ඉඳහිට දරා ගැනීමටම නොහැකි වූ තැනකදී නිශාදි හා යමක් පැවසුවාට මනුජිත්ගේ වරදක් අඩුපාඩුවත් තවත් පිරිමියෙකු හා කතා කරන්නට ඇයට සිත් දෙන්නේම නැත.
“මේ උගේ වැරදි අඩුපාඩු ගැන ඔයා එක්ක කතා කරනවා නෙමෙයි නංගි. ඇත්තටම කියනවනං අපිට ඕන වුණේ ඔයාගේ පැත්තෙන් අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියල අහල දැන ගන්න.”
දහරා මඳක් නිහඬ වූයේ ඔහු එසේ පවසද්දීය. ගිනි පෙළෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බයය. දහරා දැන් සිටින්නේත් එවන් තත්වයකය. දවසක් දෙකක් දුටු පලියට මිනිසුන් විශ්වාස කරන්නට ඇයට දැන් හැකියාවක් නොවේ. මනුජිත් වෙනස් වූවානම් මේ ලෝකයේ ජීවත්වන ඕනෑම මිනිසෙකුට වෙනස් විය හැකියැයි දහරාට සිතුනේ එවේලෙහිය. අනිත් පැත්තෙන් බලන විට මේ ඔහුගේ යහළුවන්ය. තවදුරටත් තමා මේ ජීවිතයේ තවෙකෙකුට ඕනෑ විදිහට නැටවෙන රූකඩයක් නොවිය යුතුයැයි දහරා විශ්වාස කළාය. ගෙයි ගිනි පිටට නොදිය යුතු වූවා සේම පිටත ගිනි ගෙට නොගැනීමත් බිරිඳක විසින් කළ යුතු දෙයක් බව ඈ දනී.
“ඇයි ඔයා කිසි දෙයක් කියන්නෙ නැත්තේ.”
යළිත් එහා පසින් ඒ හඬ ඇසෙද්දී ඈ තිගැස්සී ගියාය.
“අයියේ මම හොඳින්…”
“ඔයා හොඳින් නෙමෙයි කියලා මම හොඳටම දන්නවා.”
“පොඩි පොඩි ප්‍රශ්න අපි අතරේ තියෙනවනං ඒවත් කාලයට බාරදීලා විසඳෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ඇරෙන්න මට මේ වෙලාවෙ අයියත් එක්ක කියන්න දෙයක් නෑ. බොහොම ස්තූතියි මට කතා කළාට. එක පාරටම තමන් බලාපොරොත්තු නොවුනු දේවල් මිනිස්සුන්ට කරන්න උනහම ටිකක් එක්සයිට් වෙනව නේද. අයියේ මම ඉන්නෙත් එහෙම තත්වෙක. මේ වගේ වරදක් උන තැනකදි පිරිමි පාර්ශවයට වඩා ගැහැණු පාර්ශවයට එල්ල වෙන චෝදනා වැඩියි. ඒක මනුජිත්ගේ මේ ගෙදර වැඩිහිටියන්ටත් පොදුයි අයියේ. හැබැයි මම විශ්වාස කරනවා කාලයත් එක්ක ඒ තියෙන අපැහැදීම් දුරු වෙලා යයි කියලා. මම තියන්නම් අයියේ. බොහොම ස්තුතියි ඔයාලට මං ගැන හොයලා බැලුවට.”
දහරා දුරකථනය විසන්ධි කර දිගු සුසුමක් මුදා හැරියේ ඔහු එහා පසින් තවත් යමක් පවසන්නට ප්‍රථමවය.
අපේක්ෂාවන් කඩවුණු කසුන් තත්පර කිහිපයක් යනතුරුම සිය ජංගම දුරකථනය දෙස බලා සිටියේ නිහඬවය. ඊයේ පෙරේදා මිතුරන් කථිකා කරගත් පරිදි මනුජිත්ව හමු වූයේ සුපුරුදු අවන්හලේදීය. ඔහු කෙලින්ම කියා සිටියේ දහරා තමාත් අතර යළි සබඳතාවයක් ඇති නොවන බවය. ඊට හේතු ලෙස ඔහු බොහෝ දේ පැවසුවේය. එසේ සබඳතාවයක් ඇති කරන්නට උත්සාහ නොකරන ලෙසද ඉල්ලා සිටියේය. දරුවා ලැබෙන තුරු නිවසේ සිටින්නට ඉඩ හැර ඇයගෙන් දික්කසාදය ඉල්ලා සිටින බවද දරුවා වෙනුවෙන් වන්දි වශයෙන් මාසිකව මුදලක් ගෙවීමට එකඟවන බවද ඔහු පැවසුවේය.
“මචං මං එයාව ආශ්‍රය කළා තමයි හැබැයි ඒ මැරේජ් එකකට යන්න බලාගෙන නෙමෙයි. මැරේජ් ලයිෆ් එකක් ගැන හිතද්දි අදටත් එයාව ගලප ගන්න මට බෑ. අනිත් එක අපි අතරේ දෙයක් උනා නං ඒක අපි දෙන්නගෙම කැමැත්තෙන්. කොයිම වෙලාවකවත් එයාට බෑ මගේ පැත්තට ඇඟිල්ලක් දික් කරන්න. අනිත් එක තමයි කිසිම මොහොතක අපි දැන් දරුවෙක් හදාගමු කියලා අපි දෙන්න කතා වුණේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම මාවත් රවට්ටලා එයාගේ තනි කැමැත්තට කරපු දෙයක්. ඇත්තටම කිව්වොත් එයා එතනදි කලේ එයාට ඕන දේ. මට කියපං මචං මං වැරදිද..”
මනුජිත් කළ සමහර පැහැදිලි කිරීම් වලදී මිතුරන්ට වූයේ නිහඬ වන්නටය. පැහැදිලි කිරීම් රැසකින් පසුව අවසන මිතුරන් පවා තීරණය කළේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට මැදිහත් නොවී සිටින්නටය. ඒ ඔහුගේ ඉල්ලීමකි.
“මචං උඹලට කියන්න පහසුයි. තමන් අකමැති කෙනෙක් එක්ක ජීවිතේ ගෙවන්න සිද්ධ වෙනවා කියන්නේ මිනිහෙක් මැරි මැරී උපදිනවා හා සමානයි. උදේ හවස දහරා දකිද්දී මට ඇතිවෙන්නේ වෛරයක් පිළිකුලක්. ප්ලීස් ඒ හින්දා උඹලා මගේ මේ ප්‍රශ්නෙට අත දාන්න එපා. එහෙම උනොත් වෙන්නේ අපේ මේ යාළුකමත් නැති වෙන එක බං..මම ඇතිකර ගතපු මේ ප්‍රශ්නේ මමම විසඳ ගන්න ඕනේ. උන් මාස තුනක් යනකල් මේක මට හංගගෙන හිටියෙත් ප්ලෑන් කරලා බං. එතකොට කිසි දෙයක් කරන්න බෑ කියලා උන් දන්නවා.”
මිතුරන් නිහඬ වද්දී කසුන් උන්නේ වෙනමම කල්පනාවකය. ඔහුට දහරාගේ මුහුණ අමතක කළ හැකි එකක් වූයේ නැත. ඒ අහිංසක කම ඔහුගේ සිතට වද දෙමින් තිබිණ. මනුජිත් නික්ම ගිය පසුව මිතුරන් පැවසූයේ “ඌ කෙලින්ම කිව්වනේ බං උගේ ජීවිතේ ප්‍රශ්න වලට අපිට අත දාන්න එපා කියලා. එතනින් එහාට කියන්න කරන්න දෙයක් නෑ බං ඇත්තටම….අපි අපේ යුතුකම ඉෂ්ඨ කරන්න උත්සාහ කලා. අනික දහරට උඹේ නම්බර් එක දීල ඇවිල්ලත් එයා අපෙන් කිසිම වෙලාවක උදව්වක් ඉල්ලුවෙ නෑනේ. කෙල්ලෙක් නිසා ඉඳලා හිටලා හම්බවෙන අපේ මේ යාළුකමත් නැති කරගන්න ඕන නෑ.” යනුවෙන්ය.
අවසන කසුන් තීරණය කළේ දහරාට කෙලින්ම කතා කරන්නටය. ඔහු මේ දුරකථන අංකය සොයා ගත්තේත් මේසය මත තිබූ මනුජිත්ගේ ජංගම දුරකථනයෙන්ය. පදමට මත් වී සිටි මනුජිත්ට දුරකථනය පිළිබඳව වගක් වූයේ නැත. වාසනාවකට මෙන් තවමත් එහි රහස් අංකය වූයේ බෝඩිමේ සිටියදී ඔහු භාවිතා කළ රහස් අංකයමය. කුමක්දෝ අහේතුවකට කසුන් වූයේ දහරාට අසාධාරණයක් සිදුවූවාය යන හැඟීමෙන් මිදෙන්නට නොහැකිවය.
“අන්න මහ අම්මණ්ඩිය ඇවිල්ලා…’
මනුජිත්ගේ මව කාමරයට එබුණේ දහරා කල්පනා බරව සිටියදීය. කෙදිනකවත් තමාට ඔහුගේ සිතෙහි හෝ මේ නිවසෙහි තැනක් නොලැබේයැයි සිතද්දී ඕ බිය වූවාය. තරුණ ගැහැණියක දරුවෙකු සමග තනිවීම ලෙහෙසි පහසු නොවන බව විශ්වාසය. තනිවම ජීවිතය කෙසේ ගෙවා දැමුවත් දරුවෙකුගේ වගකීම සමග එසේ ජීවත් විය නොහැක.
දහරා හැකි ඉක්මනින් කඳුළු පිසදා ගත්තා පමණක් නොව බේබි ක්‍රීම් බිදක්ද මුහුණෙහි තවරා ගත්තාය. දහඩිය දමාගෙන වෙහෙසකරව උන් අම්මා ඈ යන විටත් ආලින්දයේ සිටගෙනය.
“අම්ම ඊයේ කතා කරද්දිවත් එනවා කියලා කිව්වෙ නෑනේ.”
“ආච්චිට ටිකක් සනීප මදි. ඒ හින්දා මං උදේ බෙහෙත් ගන්න යන්න නතර වුණා. හිටිගමන් හිතුණා දුවලා ඇවිල්ල ඔයාවත් බලලා යන්න ඕනේ කියලා.”
“ඇයි අම්මේ ආච්ටිට..”
“උණ හැදිලා. උණට වඩා ඉතින් හිතේ අමාරුව තමයි.”
“අපි යමු අම්මේ කාමරේට….”
මනුජිත්ගේ මව අම්මා මේ නිවසින් පිටව යන තුරුම කාමරයෙන් එළියට නොඑනා බව විශ්වාසය. සාමා හැරී හැරී බැලුවේ තමා එද්දී ආලින්දයේ සිට නැගිට ගිය මනුජිත්ගේ මව යළි එළියට නො ආ නිසාය.
“හදිස්සියට මුකුත් හදාගෙන එන්න බැරි උනා පුතේ. මේ උදේ ගෙදර උයපු එකෙන් බත් චුට්ටක් දාගෙන ආවා. මෙතන ගෙදරට ඕනෙ කරන පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා.”
“ඉන්න මං අම්මට කන්න මොනවා හරි අරන් එන්නම්.”
තවමත් උදෑසනට නොකෑ එක ගැන දහරාට සතුටු සිතුනේ එවේලෙහිය. ඕ පිඟානක් ගෙන බතුත් ඇතිලියේ ඉතිරිව තිබූ මාළු පිණි සියල්ලත් ඊට බෙදා ගත්තාය. වතුර වීදුරුවකුත් බත් පිඟානත් ගෙන ඈ කෙලින්ම ගියේ කාමරයටය. දහරා වෙනදාට වඩා බිය සැක හැර මේ නිවසෙහි හැසිරීමට දැන් හුරුව උන්නාය.
“අම්ම අත හෝදගෙනන එන්නකෝ….”
සාමා දියණිය විසින් බෙදා දුන් බත් පිඟාන අතට ගනිද්දී දහරා ඕ ලන්ච් ෂීට් එකක ඔතාගෙන ආ බත් මුල ලිහා ගත්තාය. වාසනාවකට මෙන් අද ශ්‍රියාලතා එළියෙන් තබා තිබුණේ බෝංචිත්, පරිප්පුත්, ලින්නා මාළුවෙකුත්ය.
“මාමට වෙච්ච දේ ගැන හිතා ගන්න බෑ පුතේ. මේ මිනිස්සු තවම දන්නෙ නෑ නේද.?”
“දන්නව අම්මේ මනුජිත්ට ආරංචි වෙලා අද උදේ මගෙන් ඇහුවා.”
“අනේ පුතේ ඒක ඔයාට ලොකු ලැජ්ජාවක්. තවත් ඒ මිනිස්සු අපේ ඔළුවට අත හෝදන්න බලයි.”
“මොනවා කරන්නද අම්මේ මාමා එහෙම වැරදි වැඩ නොකරන කෙනෙක් කියලා අම්මයි මමයි දෙන්නම දන්නවා.”
“ඒ උනාට ඒක එහෙම විශ්වාස කරන්නේ අපි විතරයිනේ පුතේ.”
“ඒ ඇති අම්මේ.. මිනිස්සු හිතන දේවල් වෙනස් කරන්න අපිට බෑ.”
“වත්තේ ඔය පොඩි පොඩි වලි වලට පටලැවුනට මාමට එහෙමකට කියලා තරහකාරයෙක් හිටියේ නෑ පුතේ. ඒකයි අපිටත් විශ්වාස කරන්න බැරි. ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා මාමව බලලා ආවනේ. මේ දවස්වල නලින්දලගේ අලුත් ගෙදර වහල ගහනවා. මාමා එතන අත් උදව් දිදී තමයි ඉඳලා තියෙන්නේ. නලින්දත් දහ අතේ දිවුර දිවුර කියනවා එයා දැනුවත්ව පිට කෙනෙක් ගෙදරට ආවෙ නෑ කියලා. මාමත් කියනවා සැක හිතන්න තරම් කෙනෙක් හිටියේ නැහැලු. ලොකු හාමුදුරුවෝ කියන්නෙත් කවුරු හරි කෙනෙක් හරියටම ග්‍රෑම් ගණන මැනලා සාක්කුවට දාලා කියලා.”
“කාටද අම්මේ චූටි මාමව හිරේ යවන්න ඕන වුණේ.”
“අනේ මන්ද පුතේ…මං ඉක්මනට යන්නත් ඕනේ. නිශාතිගේ අම්මට ආච්චි ළඟ පැයක් දෙකක් ඉන්න කියලා තමයි මං ආවේ. වෙනද මාමා ගෙදර වියදමට කීයක් හරි ගෙනත් දෙනවා. ඒකත් නැති උනානේ. දැන් ඉතින් නිවාඩු දාලා බෑ. ඔයා ඉස්පිරිතාලෙ නතර උනහමත් මම නිවාඩු දාන්න එපැයි.”
සාමා පිඟානත් ගෙන නැගී සිටියේ එසේ පවසමින්ය. දහරා උන්නේ මේ කිසිවක් සිතාගත නොහැකි තැනකය. කවුරුන් කෙසේ කීවත් පවුලේ හයිය වූයේ මාමාය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)


