” ලියානා මන්දාකිණි එදිරිසිංහ ” යනුවෙන් අපැහැදිලි අත් අකුරෙන් ලියන ලද නම ඇතුළත් පැරණි ලිපි ගොණුව වෙව්ලන දෑත් මත තබාගෙන කෛලාශ් තත්පර ගණනාවක් ගොළු වී බලා උන්නේය. ලිපි ගොණුව විවෘත කළ විට එහි උඩින්ම තිබුනේ ලියානා මන්දාකිණි එදිරිසිංහ යන කුඩා දැරිය පාසල් නිල ඇඳුමෙන් සැරසුණු කුඩා උඩුකය ඡායාරූපයක් සහිත විස්තර ඇතුළත් කඩදාසියකි. ඒ ඡායාරූපය දෙස බලා ගෙන මන්දාකිණි ගේ දීප්තිමත් දෑස් මතකයට නගා ගන්නට කෛලාශ් දෑස් පියා ගෙන මොහොතකට උත්සහ දැරුවේය. මන්දාකිණි ගේ කාර්යාලයේ දී ඇගේ ඡායාරූපය දුටු පලවන මොහොතේම ඇයව හුරු පුරුදු බව දැනුනේ මේ නිසා බව සිහිපත් කරමින් කෛලාශ් එම කඩදාසිය සත්සර අත තැබුවේය.
” උඹ හිතුවා හරි එහෙනම් ”
සත්සර සිනාමුසුව පැවසූ අතර කෛලාශ් ට දැනුනේ අතිශය සැනසිලිදායක හැඟීමකි.හදිසියේ යමක් මතක් වූවා මෙන් කෛලාශ් සත්සර අත තිබූ කඩදාසිය නැවත ගෙන එහි ලිපිනය පරීක්ෂා කර බැලුවේය.
” එයා ඉන්නවා කිව්වේ Apartment එකක. Your Home කියලා.මෙතන තියෙන්නෙ වෙන ඇඩ්රස් එකක් නේ ”
කෛලාශ් බලාපොරොත්තු සුන් වූ දෑස් වලින් නැවත සත්සර දෙස බැලුවේ අසරණවය. සත්සර නැවත එම කඩදාසියත් ලිපිගොනුවත් ගෙන එහා මෙහා පෙරලෙමින් පරීක්ෂා කර බැලුවේය.
” පස්සේ ගෙවල් මාරු කරා වෙන්න පුළුවන්නේ ? ”
සත්සර මඳක් කල්පනා කර බලා කීවේය.එහෙත් කෛලාශ් ගේ සිතට දැනුනු දෙගිඩියාව පහව නොගිය අතර ඔහු කාර්යාල සහායිකාව දෙසට හැරුනේය.
” මට මේකෙ කොපි එකක් ගන්න පුලුවන්ද අවුලක් නැත්නම් ? ඔතන ඕනෙ නම් මගේ ෆයිල් එකක් ඇති ඔයාට මගේ විස්තර බලන්න පුළුවන් ”
” මම ප්‍රින්සිපල් මැඩම්ගෙන් අහලා ගෙනල්ලා දෙන්නම් ”
සහයිකාව මඳ සිනහවක් පා මන්දාකිණිගේ විස්තර ඇතුලත් කඩදාසියද ගෙන පිටව ගියාය.
” අපි ඒකේ තියෙන ඇඩ්‍රස් එකට ගිහිල්ලා බලමුද බං ? ”
කෛලාශ් එසේ ඇසූ විට සත්සර ඔහු දෙස පුදුමයෙන් බැලුවේය.
” ඇයි බං මෙච්චර ලේසියෙන් මන්දාකිණි ගෙන් මේක කෙලින්ම අහන්න පුළුවන්කම තියෙද්දි අපි රස්තියාදු වෙන්නේ ? ”
” නෑ ඉතින් මං මුලදි හැසිරිච්ච විදිහත් එක්ක මේ වගේ සෙන්සිටිව් දෙයක් එහෙම එකපාර අහන්න පුළුවන්ද බං ? අනිත් එක මම එයාගේ ක්ලයන්ට් කෙනෙක්. එයා මාව හරියට දන්නෙත් නෑ ”
” හරි දැන් මේ ඇඩ්රස් එකට ගිහිල්ලා අපි මොකද කරන්නේ ?”
” අපිට එතනට ගියාම දැන ගන්න පුළුවන්නේ ලියානායි මන්දාකිණි යි කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද කියලා “
කෛලාශ් නොසන්සුන්ව අසල වූ පුටුවකින් අසුන් ගත්තේය. සියල්ල විසඳා ගත හැකි බවක් දැනුනද අනෙක් අතට සිතට දැනෙන්නේම පැටලිලි සහගත බවකි.තමා අතට මේ පත් වූයේ තම සිතේ මෙතෙක් කාලයක් ඇඳෙමින් මැකෙමින් තිබුණු කුඩා දැරියගේ තොරතුරු බවට කිසිම සැකයක් නැත.ඇගේ අනෙක් නමද මන්දාකිණි බව සඳහන්ව තිබෙද්දිත් එය තහවුරු කරගන්නට මන්දාකිණි වෙත යන්නේ කෙසේදැයි කෛලාශ් නැවත නැවත කල්පනා කළේය.
කාර්යාල සහායිකාව පැමිණියේ විනාඩි දහයකට පමණ පසුවය. ඇය විස්තර ඇතුළත් පත්‍රිකාවේ මුල් පිටපත ලිපිගොනුව තුළට දමා එහි ඡායා පිටපත කෛලාශ් අතට දුන්නේය.කෛලාශ් එය දෝතට ගත්තේ දැඩි බලාපොරොත්තු සහගත බවකිනි.අවුරුදු ගණනාවක් මුළුල්ලේම තම හදවතෙහි නොමැකී තිබුණු රුව සොයා ගැනීමට හැකි වීමම වාසනාවකි.ඒ මන්දාකිණි නම් තමා තවදුරටත් ඒ කුඩා දැරියව සොයා වෙහෙස විය යුතු නැත යන හැඟීමෙන් නැවත විදුහල්පති කාමරයට ගොස් විදුහල්පතිතුමියට ද ස්තූති කර කෛලාශ් සත්සර සමගින් පැමිණ වාහනයට නැගුනේය.
” මට දැන් මේක කියපන් කෛලාශ් “
සත්සර වාහනයට නැගී රියදුරු අසුනේ වාඩි වි වාහනය පණ ගැන්වීය
” මොකද්ද ? ”
” දැන් මේ කෙල්ලව හොයා ගෙන ඇත්තටම උඹ මොකක්ද කරන්නේ හිතන් ඉන්නේ ?”
කෛලාශ් කල්පනා කළේය.කුඩා කාලයේදී පාසල තුළ තමා අප්‍රමාණ පීඩාවන්ට ලක් වන විට තමා වෙනුවෙන් පෙනී සිටි එකම තැනැත්තිය වන්නේ ඇය ය.විදෙස් ගත වූ විට පවා ඇය දැක්වූ කරුණාව සහ ඇගේ රූපය තම සිතින් මැකී ගියේ නැත. යමක් වැටහෙන වයසට පැමිණි විට පවා තමා සෑම විටම උත්සාහ කළේ ඇය ගැන තොරතුරක් සොයා ගැනීමට වුවත් එය සාර්ථක වූයේද නැත. ව්‍යාපාරය මුල් කොට ගෙන තමා මව්බිමේහි පදිංචියට පැමිණියේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. ඇයව සොයා ගැනීම පිළිබඳව සිතුවා මිස ඉන්පසුව කරන්නේ කුමක් දැයි කියා තමා ඇත්තටම සිතා නොතිබූ බව කෛලාශ් හට සිතුනේ සත්සර එය විමසූ විටය.
කිසිවෙකුගේ අනුකම්පාවක් නොලද තමා හට අනුකම්පා කළ සහ කරුණාව දැක්වූ ඒ කුඩා දැරියට තමා බොහෝ සේ ආදරය කළ බවත්, තරුණ වියට එළඹෙද්දීත් තමා ප්‍රේම සම්බන්ධයක් කෙරෙහි අවධානය යොමු නොකළේ මතකයේ ඇඳී තිබෙන ඒ රූපය නිසා බවත් කෛලාශ් කල්පනා කලේය.
” මං ජීවිත කාලෙම ආදරේ කළේ එයාට ”
කෛලාශ් ආයාසයෙන් මිමිණුවේය.
” මචං. දැන් ඔය හොයන කෙල්ල මන්දාකිණි හරි වෙන කවුරුහරියි කියමුකෝ.ඒ කෙල්ල බැඳලා ළමයි ඉන්නවනම් හරි බඳින්න ඉන්නවනම් හරි උඹ මොකද කරන්නේ?”
කෛලාශ් එවැන්නක් පිළිබඳව සිතීමට පවා බිය වූයේය. තමාට තිබුනේ මීට පෙර මව්බිමට පැමිණ ඇය පිළිබඳව සෙවීමටය.
” අපි ඉස්සෙල්ලා මේ කවුද කියලා හරියටම හොයා ගමු සත්සර. මන්දාකිණි ගෙන් අහන්න කලින් අපි මේ ඇඩ්රස් එකට ගිහින් බලමු කෝකටත් ”
” ඔව් ඉතිං උඹ මුලින් මන්දාකිණිට දාපු පාට් වල හැටියට මේ වගේ දෙයක් කෙලින් අහන්න පුළුවන්කමක් නෑනේ කොහොමත් ”
සත්සර සිනාසෙමින් එසේ කියා විස්තර පත්‍රිකාවේ තිබූ ලිපිනයට අනුව දුරකථනයේ සිතියම ක්‍රියාත්මක කර බලා වාහනය ප්‍රධාන පාර වෙත හැරවූයේය.
පැය භාගයක් පමණ ඇතුළත කාලයක දී පෞද්ගලික පාරක කෙළවරට වන්නට තිබූ මධ්‍යම පාන්තික නිවසක් ඉදිරියේ සත්සර වාහනය නතර කළේය. විස්තර පත්‍රිකාවේ තිබූ ලිපිනයෙහි නිවසේ අංකය ගේට්ටුවේ ඉදිරිපිට සටහන් කර තිබූ නිසා සත්සර සහ කෛලාශ් දෙගිඩියාවෙන් යුතුව වාහනයෙන් බැස ගේට්ටුව අසලට පැමිණ නතර වූහ.
” පේන්න නම් කවුරුත් නෑ වගේ නේද බං ”
කෛලාශ් කීවේ ගේට්ටුවට උඩින් පෙනෙන දෙමහල් නිවස දෙස විමසිල්ලෙන් බලමිනි.
” බෙල් කරලා බලමු ”
සත්සර ගේට්ටු කණුවේ වූ සීනුව දෙවරක් පමණ නාද කළේය. විනාඩි දෙකක් පමණ ගෙවී ගියද කිසිදු හැල හොල්මනක් නිවස දෙසින් නොවූ නිසා සත්සර නැවත වරක් සීනුව නාද කර බලා උන්නේය.
තවත් විනාඩි කිහිපයක් ගෙවී ගිය පසුව මැදි වයසේ පසු වූ කාන්තාවක් විමසිලිමත් දෑසින් යුතුව ගේට්ටුව දෙසට පියවර තබා පැමිණ පසෙක වූ කුඩා ගේට්ටුව විවෘත කර පිටතට පැමිණියාය.
” මේ මහත්තුරු කාව හම්බ වෙන්නද? ”
කාන්තාව මදහසක් සහිතව ඉතා සුහදශීලී ලෙස විමසූ බැවින් කෛලාශ් ගේ මෙන්ම සත්සර ගේ සිත් වලට දැනුනේ විශාල අස්වැසිල්ලකි.
” මෙහෙ ලියානා කියලා කෙනෙක් ඉන්නවද ? ”
කෛලාශ් ආයාසයෙන් වචන ගලපා ගෙන කාන්තාවගෙන් ඇසූවේ සුබවාදී පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
” මෙහෙ එහෙම කෙනෙක් නෑ මහත්තයෝ.ඇයි ? ”
” අ..නෑ. මේ.. මම ළඟදි තමයි ලංකාවට ආවේ.මම මගේ පරණ යාළුවෙක්ව හොයනවා.ඉස්කෝලෙන් දුන්නේ මේ ඇඩ්‍රස් එක”
” වැරදිලා වෙන්න ඇති නේද ?”
කාන්තාව එසේ ඇසූ පසුව කෛලාශ් සහ සත්සර මුහුණින් මුහුණ බලා ගත් අතර කාන්තාව හදිසියේ යමක් මතක් වූවා මෙන් පියවරක් ඉදිරියට තැබුවාය.
” ඔය හොයන ළමයගේ වාසගම මොකක්ද ? ”
” එදිරිසිංහ ”
කෛලාශ් පිළිතුරු දුන් විට කාන්තාවගේ මුහුණේ ඇඳුණේ ප්‍රසන්න සිනහවකි.
” ආ.. එහෙනම් ඔය කියන්නේ එදිරිසිංහ මහත්තයාගේ දුව ගැන වෙන්න ඕනේ. අපි එයාලගෙන් තමයි මේ ගෙදර අර ගත්තේ.දැන් අවුරුදු ගානකට කලින්.මං හිතන්නේ දහයකටත් එහා ”
” එතකොට එයාලා කොහෙද ඉන්නේ දැන් ? ”
” ඒ දවස්වල මට කිව්වේ නම් කොළඹ පදිංචියට යනවා කියලා.සෑහෙන කාලෙකින් කතා කරෙත් නෑ හැබැයි.ඒ නිසා මම විස්තරයක් දන්නේ නැහැ මහත්තයෝ ”
කාන්තාව සමග තවත් මඳ වේලාවක් කතා බහකල ද ඉන් එහාා තොරතුරක් ලබාගත නොහැකි වූ බැවින් කෛලාශ් සහ සත්සර පැමිණ වාහනයට නැඟුණාහ.
” දැන් ඉතින් කරන්න තියෙන එකම එක දෙයයි කෛලාශ් ”


