සඳ දිය දහරා – 19

0
319

දහරා කාමරයේ අල්මාරිය ඇර බැලුවේ මනුජිත් පිටව ගොස් විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. ඔහුගේ කාර්යාලීය ඇඳුම් සියල්ලම පාහේ ගෙන ගොස් තිබිණ. ඒ අතරේ පිටතට අඳින කමිස කලිසම් කිහිපයකුත් කිහිපයකුත් විය. ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ දවස් දෙක තුනකට නොවන බව විශ්වාසය. එනිසාම දහරාගේ පපුව රිදුම් දෙන්නට විය. තවදුරටත් තමාට හිමි නොවන තැනක බලෙන් රැඳී සිටිනවාවන් හැඟීමක් ඇයට ප්‍රථම වරට දැනෙන්නට විය. ඇය මනුජිත්ගේ ජීවිතයට ඇතුළු වූයේ කුසෙහි උන් දරුවාට අයිතිවාසිකම් කියාගෙනය. එසේවිත් මාස තුනකට වඩා වැඩි කාලයක් ගතව ගියත් අදටත් මේ නිවසේ ඇයට වූයේ බෝඩිංකාරියකගේ තැනකි. වෙනසකට වූවානම් නිවසේ වැඩපළ කිරීමට සිදුවීමය. සියල්ල තමාගේ කරගන්නට ඉක්මන් වූයේ දහරාය.

යළිත් අල්මරිය වසා දමා අගුළු දැමූ දහරා ආලින්දය වෙත ඇවිද ගියේ අම්මා තාත්තාත් සොයාගෙනය. කුමක්දෝ යමකට උස් හඬින් හිනැහෙමින් සිටි ඔවුන් දෙදෙනා ඒ කතාව නැවැත්වූයේ දහරාව දුටු හැටියේමය. 

“මට ටිකක් කතා කරන්න පුළුවන්ද අම්මේ…”

අවසන දහරා එසේ ඇසුවේ යටහත් පහත් ස්වරූපයෙන්ය. 

“මොකද කතා කරන්න බැරි මේ කටවල් හොඳට තියෙන්නේ.”

“මනූ කොහෙද අම්මේ ගියේ..”

“එයා කොහෙද ගියේ කියලා මගෙන් අහන්නේ ඔයා දැනගන්න එපැයි. කසාද අයිතිවාසිකම තියෙන්නේ ඔය ළමයටනේ”

“අම්මා හොඳටම දන්නවනේ මනූ ටික දවසක ඉඳලා මගේ මූණවත් බලන්නේ නෑ කියලා. වෙනදා අහපු ප්‍රශ්නෙකට යන්තම් හරි උත්තර දෙනවා. දැන් ඒකත් නෑ.”

“ඒක ඉතින් ඔය ළමයාගේ හොඳකම නිසා සිද්ධ වෙච්ච දෙයක් මිසක් අපේ වරදක් නෙමෙයි.”

ඈ කතා කරන්නේ නුහුරටමය. එහෙත් වෙනදා සේ පසු බා යන්නට සිතක් ඇයට වූයේ නැත. 

මං වැරැද්දක් කළා කියලා මං පිලිගන්නවා අම්මේ. මෙච්චර අඩු වයසකින් මගේ අම්මවත් රවට්ටලා මනූව විශ්වාස කරපු එක තමයි මගේ වරද. ඒකට දඬුවම මං ඕනවටත් වඩා විඳිනවනේ. එහෙම නැතුව මං කාටවත් වෙන කිසිම වරදක් කරලා නැහැ. 

“දැන් ඔය ළමයා මොකක්ද කියන්න හදන්නේ?.”

“අනේ අම්මේ..මං මේ ගෙදරට ආවේ අනුන්ගේ දරුවෙක් අරගෙන නෙමෙයි. මෙයා නොහිටියනං මං කවදාවත් බලෙන් මනූගේ ජීවිතයට ඇතුල් වෙන්නෙ නෑ අම්මේ…”

දහරා පැවසූයේ සිය කුස අතගාමින්ය. මෙම නිවසට පැමිණ ගෙවී ගිය කාලය පුරා එකදු දිනයක්වත් ඇය මේ අයුරින් මනුජිත්ගේ අම්මා තාත්තා සමග කතා කර තිබුණේ නැත. එහෙත් කුමක්දෝ හේතුවකට අද පසුබා යන්නට තරම් සිතක් ඇයට වූයේ නැත.

“අනිත් එක අම්මේ… තාත්තා කෙනෙක් නැති දරුවෙක් ලෝකෙට ගෙනල්ලා ඒ දරුවට දුක් විඳින්න දෙන්න මට බැහැ. ඒකමයි මං බලෙන් හරි මනුජිත්  ළඟට ආවේ. තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් එක්ක ගෑනියෙක් අසරණ වුනහම මොනවද  වෙන්නේ කියලා මං අම්මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.”

“ඒක ඔය ළමයා දැනගන්න තිබුණේ මීට කලින්. වැරැද්ද කරන්න ඇත්තේ ගෑනියෙකුයි පිරිමියෙකුයි දෙන්නෙක් එකතුවෙලා බව ඇත්ත. ඒ උනාට වරදක් උන තැනකදී වැඩිපුරම ඇඟිල්ල දික්වෙන්නේ ගෑනිගේ පැත්තට. අපිට බෑ මේ ලෝකෙ වෙනස් කරන්න. ඇත්තටම කිව්වොත් හොඳ චරිතයක් තියෙන දරුවෙක් විදිහට ඔයාව මේ ගෙදරට පිළිගන්න අපිට බෑ. අපි කැමතිත් නෑ. අපි අපේ දරුවා වෙනුවෙන් මේ ගෙදරට ගේන්න බලාපොරොත්තු හොඳ පෙළපත් නාමයක් තියෙන වැදගත් තැනක වැදගත් විදිහට හැදුනු දරුවෙක්. පිරිමියෙක් වගේ නෙමෙයි. ගෑණු ළමයෙක් දීගෙක යනකොට දෑවැද්දට  වඩා අරන් යන්න ඕන දේවල් තියනවා කියලා ඔය ළමයාගේ අම්මා කියලා දීලා නැතුව ඇති.”

“මගේ තාත්ත නැති බව ඇත්ත අම්මේ. ඒ උනාට මමත් මනුජිත් වගේම මගේ ගෙදර හුරතලේට හැදිච්ච දරුවෙක්. මගේ අම්මා ආපහු කසාදයක් කරගෙන නැත්තේ මම නිසා. මගේ මාමා කසාදයක් කරගෙන නැත්තේ අම්මයි මමයි තනිවෙයි කියන බයට. ඒ හැමෝගෙම ආදරේ වුනෙත් බලාපොරොත්තුව උනෙත් මම. මේ මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි අම්මෙ. මං මනූට හරියට ආදරය කළා. ඒ තරමටම එයාව විශ්වාස කළා.”

“අපූරු විශ්වාසයක්නේ ඒක. ඔයා මොන විදිහට කිව්වත් ගෑණු ළමයෙක් දැනගන්න ඕනේ තමන්ගේ චරිතයයි ආත්ම ගරුත්වයයි රැක ගන්න. අදත් හෙටත් මේ ගෙදර ලේලි විදිහටවත් දුව විදිහටවත් අපි ඔය ළමයාව පිළිගන්නේ නෑ. මනුජිත්  දවසක ඔය ළමයා පිළිගත්තත් එයාට මේ ගෙදර ඉඩක් නෑ. 

“එතකොට අම්මේ මේ දරුවා…මට ඉඩක් එපා. මේ දරුවට ඉඩක් දෙන්න.”

“ඒක ඔය ළමයට අදාල කාරණාවක්. අපි තවමත් විශ්වාස කරන්නේ නෑ මේ ළමයා අපේ පුතාගේ කියලා”

එසේ පැවසූයේ මෙතෙක්  වේලා නිහඬව උන් මනුජිත්ගේ පියාය. ඔහු මෙම නිවසේදී හඬ අවදි කරනවා නොඇසුණු තරම්ය. 

“දැන් ඔය ළමයා අපෙන් අහන්න ආවේ මනුජිත්  ගියේ කොහෙද කියලනේ. ඒ ළමයා සති දෙකකට ඔෆිස් එකේ වැඩකට ඩුබායි ගියා. මේ ගෙදර ඉඳලා සැනසීමෙන් එලියට බැහැලා යන්න බැරි වෙයි කියලා හිතලා තමයි අපේ නංගිලාගේ ගෙදර ඉඳලා පිටත් වෙන්න ගියේ. උඩින් යන ගමනක්නේ…”

දහරා ආපසු කාමරයට පැමිණියේ ඈ එසේ පැවසූවාට පසුවය. තවදුරටත් ඒ සිතෙහි ඉඩක් සොයා වෙහෙස වීම ඵලක් නැතැයි ඇයට සිතුනේ පළමු වරටය. එහෙත් දැන් දහරා සිටින්නේ පිදුරු ගසේත් එල්ලෙන ගණනටය. 

ඇඳ මිට්ටමට කොට්ටය තබාගෙන දෙකකුල් දිග හැර ගත් දහරා දෑස් පියා ගත්තේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. ඒ යළිත් අතීතයේ සැරිසරන්නට ලැබෙන විරාමයක් බව ඈ දැන උන්නාය. 

නිදහසේ තමාගේ ජීවිතයට වූයේ කුමක්දැයි දහරා සිතා බලන්නේ දැන්ය. 

මනුජිත්ගේ මවත් පියාත් සේකර වත්තට පැමිණියේ අම්මාත් ආච්චීත් එහි ගොස් දින දෙකකට පසුවය. ත්‍රී රෝද රථයකින් පැමිණි ඔවුන් දහරාගේ නිවසට පැමිණෙන්නටත් පෙර මගදීම කෑ ගසා තිබිණ. ඔවුන් නිවස අසලින් බැස්සේත් කියවමින්ය.

“මේ මුඩුක්කු වලින් ගෑනු ගන්න තරම් අහේනියක් නෑ මගේ කොල්ලට. හිතා මතාම මගේ කොල්ලගේ කරේ එල්ලිලා දැන් මෙතන එනවා මගේ දරුවගේ වැරදි කියන්න. බලමු මේ කුමාරිහාමි කවුද කියලා.”

අවට ගෙවල්වල කිහිප දෙනෙකුම එක් රැස්වූයේ ඇගේ ඒ කෑ ගැසිල්ලටය. 

“මේක අපේ ගෙදර ප්‍රශ්නයක් උඹල පලයල්ලා…ඕන කමක් උනොත් මං කතා කරන්නම්.”

ආචිචී එසේ පැවසූයේ සැහැල්ලු ගවුමට උඩින් ඇද සිටි චින්තය ගලවා දමනා අතරේය. ඇගේ  වදන් වලට අමතරව අසල්වැසියන් ආපසු හැරුනත් ඒ කතාවක් ගොතන්නට පදමට ලුණු ඇඹුල් එකතු කරගෙනය. 

වාසනාවකට මෙන් එදා චූටි මාමා නිවසේ සිටියේ නැත. සාමා එදා නිවසේ නතර වූයේත් දහරා දොස්තර කෙනෙකුට පෙන්වන්නට වේලාවක් වෙන් කරගෙන සිටි නිසාය. 

“අපි මේ ආවේ මේවයේ ඇත්ත නැත්ත ඇස් දෙකෙන්ම  බලලා යන්න තමයි. ඇස් දෙක පියාගෙන බැලුවත් දැන් හොඳටම තේරෙනවා මේක අපේ ළමයා අමාරුවේ දාන්න හිතා මතා කරපු බොරුවක් කියලා. අපේ ළමයා අපිට විශ්වාසයි.”

මනුජිත්ගේ  මව එසේ පැවසූයේ සුදු මැළි වී සිටි දහරා දෙස අවඥාවෙන් බලාගෙනය. මේ මනුජිත්ගේ මව ඈ දුටු පළමු වතාවය. ඇරයුම් නොලබාම නිශාදී දිවගෙන සේ පැමිණියේ වත්තේ අයගෙන් ආරංචිය ලැබුණු නිසාය. 

“කොළුකමට පොඩි පොඩි සම්බන්ධකම් ඇතිවුණාට අපේ දරුවා මෙහෙම වැරැද්දක් කරන්නේ නෑ කියලා අපිට විශ්වාසයි. කරුණාකරලා ඕගොල්ලෝ මේ ළමයගෙන් බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද කියලා අහලා කසාද බන්දලා දෙන්න. 

තවදුරටත් අපිට කරදර කරන්න ආවොත් අපිත් නිකන් ඉන්නෙ නෑ.”

නිවස ඇතුළට පැමිණෙන්නයැයි  කිහිප වතාවක් පැවසුවත් මනුජිත්ගේ මව හෝ පියා නිවස ඇතුළට පැමිණියේ නැත. එක වරක් ඈ සාමාට පැවසූයේ මේ ගුබ්බෑයන් වලට රිංගා අපිට පුරුද්දක් නැති බවය. 

“අනේ නෝනට හිතෙනවද මේ අහිංසක දරුවා දැක්කහම හොරයක් බොරුවක් කරයි කියලා. අපේ දරුවා අපිට වැඩි නෑ නෝනා. ඒ උනාට ඉතින් මේ බඩේ ඉන්න දරුවට අප්පෙක් ඉන්න එපැයි..”

එසේ බැගෑපත් වූයේ ආච්චීය..

“අහිංසක…අහිංසකනං ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් බඩක් හදාා ගනීවිද. මේ වගේ උන්ට අහිංසකයි කියනවනම් අහිංසක ළමයින්ට මොනවද කියන්නේ. අපි හිතුවා හරි මහත්තයා. මේවා ඇස් දෙකෙන් බලා කියාගත්ත එකක හොඳයි. එහෙම නොවුනනං නිස්කාරණේ අපිත් අපේ අහිංසක දරුවාව සැක කරනවා. මේ වගේ තැන්වල එක විනාඩියක්වත් ඉන්න හිතෙන්නෙ නෑ මට. දැන් ඔහේලගේ බොරුව ඇස් පනාපිටම ඔප්පු උනානේ. අපේ පස්සෙන් එන්නේ නැතුව කාව හරි හොයලා කසාද බන්දලා දීලා දානවා. මේ වගේ කෙල්ලො හැදුවහම උන් රටටත් බරක් ගෙවල් වලටත් බරක්.”

මනුජිත්ගේ මව ආපසු හැරුනේ එසේසේ පවසමින්ය. ඒ වන විටත් සේකර වත්තේ සියල්ලෝම දහරා ගැබිනියක බව දැනගෙන අවසන්ය. 

                             ******************

ඇඳ මත තබා තිබූ ජංගම දුරකථනය නාද වූයේ  නිශාදිගේ  අංකය සටහන් කරමින්ය. දිගු. සුසුමක් මුදාහල ඈ දුරකතනය කන තබා ගත්තාය. නිශාදිට ඇත්තේ ඉවකි. තමාට අවශ්‍ය වේලාවටම දුරකථනය නාද වන්නේ ඇගේ අංකය සටහන් කරමින්ය. 

“ඔහොමම ලයින් එකේ ඉඳහන් ඈ… එහා පැත්තේ යාළුවෙක් ඉන්නවා මං එයාවත් ලයින් එකට ගන්නවා..”

නිශාදී එසේ පැවසූයේ දහරා යමක් අසන්නට පෙරය. 

“තත්පර කිහිපයකට පසුව ‘දහරා..’ යැයි ළයාන්විතව ඇසුණු ඒ හඬ හඳුනාගන්නට අපහසුවක් ඇයට වූයේ නැත. 

“රමාෂ්…”

“දහරාගේ ෆෝන් නම්බර් එක මට දෙන්න නිෂාදි කැමති උනේ නෑ. ඒ නිසා මට මෙහෙම හරි කතා කරලා බලන්න හිතුනා. කොහොමද දහරා ඔයාට …හොඳින් නේද…”

“මා…. මම හොඳින් රමාෂ්.”

“මාව මෙච්චර ඉක්මනටම අමතක කරලා දාපු එකනේ දහරා පුදුමේ. නිශාදි  ගොඩක් දේවල් කිව්වා. ඇයි දහරා මුලින්ම තමන්ට ආදරේ කරන්න පුරුදු නොවුනේ. එහෙම උනානම් ඔයා කවදාවත් මේ වගේ හදිසි තීරණ ගන්නේ නෑ. ඔය ගේ ඇතුලෙ ඔයා සතුටින් නෙමෙයි නං ආපහු හැරෙන්න ඔයාට තවත් කාලය තියෙනවා..මුලින්ම ඔයාගේ කුසේ ඉන්න දරු පැටිය ගැන හිතන්න ඕනේ. එයා සුවෙන් මේ ලෝකෙට බිහිවෙන්නනම් හැම වෙලාවකම ඔයා හොඳ මානසිකත්වයක ඉන්න ඕනේ. නිශාදි කියන විදිහට ඔයාට ආපහු ටික කාලෙකට හරි සේකරවත්තට එන්න බැරිද දහරා.”

“එයාට කියලා වැඩක් නෑ රමාෂ්. එයා බලාගෙන ඉන්නේ මනුජිත්ගේ ගේ ඇතුලේ ප්‍රාතිහාරයක් වෙනකල්. මම නම් ඉර හඳ වගේ විශ්වාසයෙන් කියන්නේ ඒ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. සාම නැන්දා තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් හැදුවනම් ඇයි එයාට බැරි තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් හදන්න. තව දුරටත් මනුජිත්ලගේ කකුල් දෙක ළඟ වැඳ වැටෙන්න ඕනද…?”

එහා පසින් ඇසුණේ නිශාදිගේ  හඬය. මුව මත අවඥා සහගත සිනහවක් තබාගත් දහරා “ඉතින් කොහොමද රමාෂ්  ඔයාට” යැයි ඇසුවේ කතාව වෙනතකට හැරවීමේ අරමුණින්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here