ශෙනාල් ව පසෙකට තල්ලු කර දමා මන්දාකිණි කාමරයේ දොර වසා ගෙන යහන මතින් වාඩි වී කාමරයේ දොර දෙස බලා උන්නේ ශෙනාල් මහ හඬින් කෑ ගසමින් වේගයෙන් දොරට ගැසීම නතර වන තුරුය. තර්ජනාත්මක හඬකින් විවිධාකාර වූ දෑ පවසමින් විනාඩි දහයකට වඩා කාලයක් දොරට ගසමින් හුන් ශෙනාල් අනතුරුව පරාජය භාර ගෙන නිහඬ වූයේය. තවත් විනාඩි කිහිපයක් නිසොල්මනේ බලා හුන් මන්දාකිණි යහනේ කෙළවරක දිගා වී දෑස් පියා ගත්තේ වෙනදා නොදැනුනු තරමේ සැනසීමකිනි.
තවත් දින තුන හතරක් ගෙවී ගියේ ඉතා වේගයෙනි.ඒ දින කිහිපය ඇතුළත මන්දාකිණි තම තීරණයේම නොසැලී සිටිමින් ක්‍රියා කළ අතර කිසිම විටෙක තමාට අඩන්තේට්ටම් කිරීම සඳහා ශෙනාල්ට ඉඩ නොතබන්නට ඇය වග බලා ගත්තාය. ශෙනාල් අවදි වීමට පෙර කෙසේ හෝ නිවසින් පිට වී සවස් යාමයේද නිවසේදී කළ යුතු යුතුකම් පමණක් ඉටු කරමින් හැකි තාක් ඔහුව මග හැර සිටින්නට ක්‍රියා කළ මන්දාකිණි පෙර තිබූ බියගුළු ස්වභාවය වෙනුවට මහා පෞරුෂයකින් හෙබි ශක්තිමත් කාන්තාවකගේ භූමිකාව නිවස තුළදී විදහා දැක්වූවාය.
මන්දාකිණි ගේ මේ හැසිරීම අදහා ගත නොහැකි තත්ත්වයක හුන් ශෙනාල් උන්නේ කිසිවක් කර කියා ගත නොහැකිවය. ඇය සමග ගැටුමක් ඇති කර ගතහොත් ඒ මොහොතේම තමාට නිවසින් පිට වීමට සිදු වනු ඇතැයි හැඟීමක් දැනුණු බැවින් ශෙනාල් මන්දාකිනි ඉදිරියේ හැකි සෑම විටම මෘදු හැසිරීමක් පෙන්වන්නට උත්සාහ කළේය.එහෙත් ඉවසීමේ සීමාවෙහි කෙළවරෙහි උන් මන්දාකිණි ඒ කිසිවකට තම තීරණය වෙනස් කිරීමට ඉඩ තැබුවේ නැත. යම් හෙයකින් තමාට මේ නිවසින් පිට වීමට ස්ථීර ලෙසම සිදු වුවහොත් තමාට සිදුවන ආර්ථික කඩා වැටීම පිළිබඳව සිතා ශෙනාල් තරමක් පසු බැස උන්නේය.
හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු කෛලාශ් බලාපොරොත්තු වූ පරිදිම මෙවර විධිමත්ව සිදු කෙරෙමින් පැවතුණු අතර මීනූ සම්පූර්ණයෙන්ම එහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළ බැවින් මන්දාකිණි වැඩි වශයෙන් කාර්යාලයේ රැඳෙමින් පසුගිය සමයේ මග හැරුණු අනෙක් වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කළාය.
ඉදි වී නිම වෙමින් පවතින හෝටලයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කෛලාශ් දිනපතාම හෝටලය වෙත පැමිණියද මන්දාකිණි ව දක්නට නොලැබුණු නිසා කෛලාශ් උන්නේ හදවතින් නොසන්සුන් වෙමිනි. සම්බන්ධීකාරක කටයුතු සියල්ලම කෙරෙන්නේ මීනූ අතින් නිසා මන්දාකිණි ඇමතීමේ උවමනාවක් නොවූවත් ඇයව දැක ගැනීමෙහි දැඩි ආශාවක් හදවතෙහි පැන නගිමින් තිබුණු නිසා කෛලාශ් Elegant space By Mandi වෙත යාමට සිතුවේ තවත් දින දෙකකට පසුවය.
මන්දාකිණි ගේ ආයතනය ඉදිරිපිටට පැමිණි කෛලාශ් කැබ් රථයෙන් බැස සෙමෙන් පියවර තබමින් ආයතනයට ඇතුළු වූයේය. පෙර දිනයේදී මෙන්ම ආයතනයේ ප්‍රධාන දොරටුව විවෘත කරන විටම දැනුණු සෞම්‍ය සුවඳ කෛලාශ් ගේ හදවතෙහි වූ නොසන්සුන් භාවය තරමක් දුරට අඩු කළේය.පිළිගැනීමේ නිලධාරිනිය සිනා මුසු මුහුණින් වඩා සුහදශීලීව කෛලාශ් ව පිළිගත්තේ ඔහු පෙර දිනයකද පැමිණි බවට මතකයේ තිබුණු බැවිනි.
” ගුඩ්මෝනින් සර්. මැඩම්ව මීට් වෙන්න නේද ? ”
කෛලාශ් ගේ ඉරියව්වල යම් දෙගිඩියාවක් සටහන්ව තිබුණු බැවින් පිළිගැනීමේ නිලධාරිනිය විමසා සිටියේ පෙර වූ සුහදශීලී බවින්මය.
” ඔව්. මන්දාකිණි ඉන්නවද ඔෆිස් එකේ? ”
” මැඩම් නම් ඉන්නවා. Appointment එකක් තියෙනවද ? ”
” නෑ ”
පිළිගැනීමේ නිලධාරිනිය තප්පර කිහිපයක් කල්පනා කර අනතුරුව ස්ථාවර දුරකථනය වෙත අත තැබුවාය.
” සර් ගේ නම ? ”
” කෛලාශ් ”
” මම මැඩම්ට inform කරන්නම්.මේ දවස් ටිකේ මැඩම් ටිකක් බිසී නිසා විසිටර් කෙනෙක් ආවොත් appointment එකක් තියෙනවද කියලා බලන්න කියලා ,කියලා තියෙන්නේ ”
” No worries ”
කෛලාශ් සිනහවක් පා පිළිගැනීමේ නිලධාරිනියට දුරකථන ඇමතුම ලබා ගැනීමට ඉඩ තබා ලොබියේ වූ සෝෆාවට බර වූයේය.මන්දාකිණි වෙත දුරකථන ඇමතුම ලබා දුන් පිළිගැනීමේ නිලධාරිනිය කෛලාශ් ඇමතුවේ තවත් විනාඩි කිහිපයකට පසුවය.
පෙර දින පැමිණි මතකය ඔස්සේ කෛලාශ් සිතිවිල්ලේම මන්දාකිණි ගේ කාර්යාල කාමරය වෙත පිය මැන්නේ චකිතයෙනි.මේ ආකාරයට ආයතනයට පැමිණ ඇය හමුවීමට සුවිශේෂී හේතුවක් හෝ කාරණාවක් නොමැති බැවින් ඇය තමා පිළිබඳව වරදවා වටහා ගනීවි යැයි හැඟීමක් එක වරම ඔහු තුළ ඇති වූයේය.නැවත හැරීමට කාලයක් නොමැති බැවින් කෛලාශ් ආයාසයෙන් මවා ගත් සිනහවකින් යුතුව මන්දාකිණි ගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේය.
” ගුඩ්මෝනින් කෛලාශ්.Take a seat ”
මන්දාකිණි සිනා මුසුව කෛලාශ් ව පිළිගෙන ඇය ඉදිරියේ වූ අසුන පෙන්වූ පසුව කෛලාශ් අසුන් ගත්තේය.
” ගුඩ්මෝනින් ”
” ඉතින්. මොකෝ මේ පැත්තේ ? ”
මන්දාකිණි දිදුලන දෑස් වලින් කෛලාශ් දෙස බලා උන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
” ඇත්තටම කිව්වොත්.. මං ආවේ එහෙම විශේෂ දේකට නෙමෙයි මන්දාකිණි ”
කෛලාශ් ඇත්තම කීවේය.මන්දාකිණි එයට මදහසක් පෑවේ ඇය ඉදිරියේ වූ ලැප්ටොප් එක වසා දමා පසෙකට කරමිනි.
” පොඩි කාලෙ මට ලියානා කියපු එක්කෙනා දැන් මොකද මන්දාකිණි කියන්නේ?”
මන්දාකිණි සිනාසුනේ අව්‍යාජවය.කුඩා කාලයේදී පවා ඇය තුළ වූ ඒ අව්‍යාජ බවට ළෙන්ගතු වූ තමාට තමා ඉදිරියෙහි සිටින වැඩුණු යුවතිය කෙරෙහි ළෙන්ගතු කමට වඩා යමක් දැනෙනා බව කෛලාශ් පසක් කර ගනිමින් උන්නේය.
” ඔයා කැමතිනම් මං එහෙම කතා කරන්නම්.මං ඉතින් මෙහාට ආවට පස්සේ ඔයාව අඳුරන්නේ මන්දාකිණි කියලනේ “
” ඉතින් කියන්නකෝ ”
මන්දාකිණි මේසයට බර වී දෙඅත් නිකට මත තබා ගෙන කෛලාශ් දෙස බලා උන්නේ සෘජු බැල්මකිනි.
” ඔයා පහුගිය දවස් කීපයේ හොටෙල් එක පැත්තේ ආපු නැති නිසා මං නිකමට මේ පැත්තට ආවේ “
මන්දාකිණි ගේ මුහුණෙහි ඇඳී තිබුණු සිනහව බිඳෙන් බිඳ මැකී ගියේ බලා සිටියදීමය.
” මට පහුගිය කාලේ කර ගන්න බැරි වෙච්ච, මග ඇරිච්ච වැඩ ගොඩක් තියනවා කෛලාශ්. මම දැන් තමයි ඒ ටික පොඩ්ඩ පොඩ්ඩ සෙට්ල් කර ගන්නේ.ඒත් තාමත් මටත් වඩා උසට මට වැඩ තියෙනවා “
මන්දාකිණි හිනැහෙන්නට උත්සාහ කළාය.එහෙත් ඒ උත්සාහය පිටුපස කුමක්දෝ ශෝකාකූල බවක් පෙනෙන්නට තිබෙනා බව කෛලාශ් ට දැනුනේය.
” මගේ ප්‍රොජෙක්ට් එකත් එහෙම එකක් නේද ? ”
” ඇත්තටම කිව්වොත් ඔව් “
මන්දාකිණි පිළිතුරු දුන්නේ පෙරටත් වඩා ශෝකයෙන් දිගු සුසුමක් හෙළමිනි.
” මං කවදාවත් එහෙම වැඩ වලදි මිස්ටේක්ස් වෙන්න වැඩ කරපු කෙනෙක් නෙමෙයි කෛලාශ්.ඒත් පහුගිය කාලෙදි එහෙම උනා. මං පොඩ්ඩක් හරි හිත හදා ගත්තෙ ඔයා ගේ ප්‍රොජෙක්ට් එක මට ආපහු හම්බවුණ නිසා.ඒ ඇරුනම තව දෙක තුනක් මට නැතිවුණා.ඒවට ඉතින් කරන්න දෙයක් නෑ.නැති වෙච්ච දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑනේ “
” ඒව එහෙම උනේ ඇයි කියලා මං ඇහුවට කමක් නැද්ද මන්දාකිණි ? ”
කෛලාශ් හඬ බාල කර ඇසුවේ ඉතා මෘදු ලෙසය.දිගු කාලයක් මුළුල්ලේ නිරන්තරයෙන්ම ශෙනාල් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් ඔහුගේ රළු බවට මැදි වී හුන් මන්දාකිණි ගේ හදවත හැඟීම්බර වූයේ ඒ මෘදු බව හමුවේය.
” කියන්න පුලුවන් ද ? ”
මන්දාකිණි ගේ නිහඬ බව හමුවේ කෛලාශ් නැවත ඇසුවේය.
” මට පහුගිය කාලේ ප්‍රශ්න ගොඩක් තිබුනා කෛලාශ්. ඒව නිසා මගේ ඔලුව හොඳටම අවුල් වෙලා තිබුනේ.ඒ කාලේ මගේ ජීවිතේ තිබ්බ පිළිවෙල එහෙම් පිටින්ම නැති වෙලා ගියා.මං තාමත් ඒක හදා ගන්න මහන්සි වෙනවා. මොකද රෑ දවල් නොබලා මහන්සි වෙලා හදා ගත්ත බිස්නස් එක වැටෙන්න දෙන්න මට බැහැ. ඊටත් වඩා මගේ අම්මයි තාත්තයි මං ගැන තියන් ඉන්න බලාපොරොත්තු කඩන්නත් මට බෑ “
තම දෙමව්පියන් සතුටු කිරීමට නම් ශෙනාල් වැනි සහකරුවෙකු ගෙන් සදහටම ඉවත් විය යුතු බවත්, එය තවමත් පහසු කටයුත්තක් නොවන බවත් සිහිපත් වී මන්දාකිණි ගේ දෑස් තෙත් විය.
” ඔයා ඉන්නේ හොඳින් නෙමෙයි මන්දාකිණි.මට ඒක දැනුත් දැනෙනවා.මට ඒක කලින් ඉඳලමත් දැනුනා.මොකක්ද ප්‍රශ්නේ කියලා මට කියන්න පුළුවන්ද ? ”


