මනුජිත් දහරාට වට්ස්ඇප් ඇමතුමක් ලබා ගත්තේ රාත්‍රියේය. දුරකථන තිරයෙහි ඔහුගේ නම දිස්වද්දී දහරාට වූයේ බියත් සතුටත් එකවර මිශ්‍ර වූ හැඟීමකි. මේ ඔහුගේ නම තමාගේ දුරකථන තිරයෙහි දිස්වන්නේ බොහෝ කාලයකට පසුවය. ඇගේ දෑඟිලි පවා වෙව්ලන්නට වූයේ එනිසාය. ඔහු පිට රටකට යනවායැයි දැනගත් මොහොතේ සිට දහරාත් උන්නේ අනිත් සියලු බිරින්දෑවරුන් සේ සැකයත් බියත් හදවතෙහි තුරුළු කරගෙනය. එනිසාම ඇයත් විනාඩියෙන් විනාඩිය ඔහුට සුරක්ෂිත ගමනාන්තයක් පැතුවාය. අවසන පෙරේදා රාත්‍රියේ ඈ ශ්‍රියාලතාව සොයා ගියේ මනුජිත්ට යැවූ එකඳු කෙටි පණිවිඩයකටවත් පිළිතුරු නොවූ නිසාය. අම්මාත් තාත්තාත් සිටියේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශනය නරඹමින්ය.
“අම්මේ.. මනුජිත් කෝල් කලාද…අම්ම කියපු වෙලාවත් එක්ක එයා ඩුබායි වලට ගිහිල්ලා බහින්න වෙලාව ඇති අම්මේ. මම මැසේජ් දැම්මට ඒවා බලලා නැහැ. එයා පරිස්සමට ගිහින්ද අම්මේ….”
“ඔව්.. පුතා මට කෝල්කලා. ඔය ළමයා ඒ ගැන වද වෙන්න ඕන නෑ.”
ශ්‍රියාලතා එසේ පැවසූයේ තම ඉරියව්ව එකඳු තත්පරයකටවත් වෙනස් නොකරමින්ය. දහරා ආපසු හැරුනේ කිසිවක් නොකියමින්ය. ඇයට දැන ගැනීමට අවශ්‍ය වී තිබුණේත් මනුජිත් කරදරයකින් තොරව ඩුබායි රටට ගොඩ බැස්සාද යන්න ගැන පමණි. ඔහු ගියේ සත් සමුදුරු තරණය කරමින් යන ගමනක් මිස රට ඇතුළත වාහනයකින් යන කිලෝමීටර් කිහිපයක් නොවේ. වඩාත් බිය දැණුනේ එනිසාය.
“මනූ කොහොමද ඔයාට..ඔයා කතා කරන කරනකල් මම බලාගෙන හිටියා. ඔයා පරිස්සමට ගියා කියලා අම්මා කිව්වා. කෑම බීම ටික එහෙම හොඳට හම්බවෙනවද…”
දහරා කියවා ගෙන ගියේ කටපාඩම් කරගෙන සිටියා සේය. ඔහු නවාතැන් ගත්තේ කොහේද? කෑම බීම වේලාවට ලැබෙනවාද? යන්න ගැන අම්මාගෙන් අසන්නට කිහිප වරක්ම සිත් වුවත් දහරා එසේ නොකළාය.
“දහරා මට වැඩිවෙලාවක් කතා කරන්න බැරිවෙයි. මම ඔයාට ගත්තේ හදිසි පණිවිඩයක් කියන්න.”
“අනේ ඇයි මනූ ඔයා හොඳින් නේද..”
“ඔව් මම හොඳින්…මෙහේ ආවේ සති තුනක වැඩකට උනාට බොස් අද මට කතා කරලා කිව්වා අවුරුදු එකහමාරක් විතර ඉන්න වෙයි කියලා.”
“අවුරුදු එකහමාරක්?….
“ඔව්..එයාලට මගේ වැඩ ගැන පැහැදීමක් තියෙන නිසා මෙහේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකක්ම මට බාර දෙන්න හදනවා. ඒක මං මේ වෙලාවේ රිජෙක්ට් කරනවා කියලා කියන්නේ මගේ ජොබ් එකටත් ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා දහරා ඔයා කොහොම හරි ඔහේ මැනේජ් කරගන්න.”
“එතකොට අපේ බබා ලැබෙනකොටවත් ඔයා මම ළඟ නෑ නේද…?
ඒ හඬ හැඬුම් මුසුවී තිබිණ. එහෙත් දහරා මහත් ආයාසයකින් දරා ගත්තාය. ගැහැණියකගේ දරා ගැනීමේ සීමාව කොපමණදයත් ඈ දැන් ඉන්නේ ඒ සීමාව ප්‍රගුණ කරමින්ය.
“ළමයි හම්බ වෙනකොට ළඟ ඉන්න ඔයාට ප්‍රයිවට් හොස්පිට්ල් එකක නෙමෙයිනෙ බබා හම්බවෙන්නේ. හදිසියේ හරි ඔයා ලඟ නවතින්න ඕන උනත් ඒ නවතින්න දෙන්නේ ගෑනු කෙනෙකුට විතරයි. අනිත් එක තමන්ගෙ ගෑනිට බබා හම්බ වෙන්න ඉදිද්දි මිනිස්සු කී දෙනෙක් මේ රටවල් වල රස්සාව කරනවද. ඒ මිනිස්සුන්ට හිතෙන හිතෙන වෙලාවට ලංකාවට යන්න පුළුවන්කමක් නෑ. අනිත් එක මේ වෙලාවෙ මට වැදගත් වෙන්නේ මගේ දක්ෂකමට හම්බවෙච්ච ජොබ් එක..ඔයා ඔය වැඩ ටික මැනේජ් කරගන්න. තමන්ට තනියෙන් කරගන්න පුළුවන් නිසානේ තනි තීරණ අරගෙන ළමයි හදා ගත්තෙත්…”
මනුජිත් එපමණක් පවසා දුරකථනය විසන්ධි කලේ දහරා යමක් පවසන්නට ප්‍රථමය. එදා සිටම ඔහුට රට රැකියාවක සිහිනයක් වූ බව ඈ දනී. කොහොමටත් මනුජිත්ගේ හැසිරීමේ හැටියට මේ දරුවා එකවරම ඔහු පිළිගනීයයි ඈ විශ්වාස නොකළාය. මේ අයුරින් දෙපසකට වී ගත කරන කාලයෙන් පසුව බොහෝ දේ වෙනස් වේ යැයි දහරාට සිතුනේ කල්පනා බරව හෝරාවකට වඩා වැඩි කාලයක් ගත වූවාට පසුවය.
“ඒ කාලෙදි ඔයාගේ තාත්තට ඔයාවයි මාවයි ඕන වෙයි පුතේ….”
දහරා එසේ පැවසූයේ තමාගේ කුස අතගාමින්ය. මිනිසුන්ට තමාගේකම් වැඩිපුර දැනෙන්නේ හුදෙකලා වූවාට පසුවයැයි ඇය අසා තිබේ. එනිසාම දිගටම ඔහුට කෙටි පණිවිඩ යවන්නටත් දරුවා ගැන කියන්නටත් ඈ සිතා සිටියාය.
“ඔයා මේ ලෝකෙට ආවට පස්සේ අපි නිතරම ඔයාගේ ෆොටෝ තාත්තට යවමු. එතකොට එයාට ආස හිතෙයි. සමහර විට ඔයාගේ හුරතල් දැක්කට පස්සේ ආච්චිටයි සීයටයි ඔයා ගැන ආදරේ හිතිලා තියෙයි. සමහර දේවල් වෙනස් වෙන්න කාලයට ඉඩ දෙන්නම ඕනේ පුතේ. අපි හිතමු හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියලා. සමහර විට ඔයාගේ තාත්තටයි මටයි මේ කාලෙ ඈත් වෙන්න සිද්ධ වුනෙත් හොඳකට වෙන්න ඇති. අපි මේ විදිහට හිත් රිදවගෙන එක ගෙදරක හිටියනං වැඩි කල් යන්න කලින් අපිට අපිව තවත් එපා වෙන්න තිබුණා.”
දහරා යළිත් වරක් එසේ පැවසූයේ තම කුස තුළ වැඩෙන ප්‍රාණියාටය. ඔහු සිය දෑත් එහෙටත් මෙහෙටත් කරන අයුරු දහරාට දැනිණ.
‘එයාට මං කියන දේවල් තේරෙනවා වගේ…’
එවර ඈ තමාටම මුමුණා ගත්තේ මහත් වූ ස්නේහයකින්ය. කැඩී බිඳී ගිය ජීවිත යළිත් එක්තැන් කිරීමේ හැකියාව ඔහුට වෙතැයි දහරා විශ්වාස කළාය.
පසුදා ශ්‍රියාලතා බැංකුවට ගියේ දොරවල් වසා ගෙන සිටින්නයැයි දහරාට පවසමින්ය.
“මේ අහල පහල එවුන් එක්ක කතාවට යන්න ඕන නෑ. ඕකුන් අපිට කරල තියෙන හොඳක් නෑ. කවුරු කතා කලත් ගේ ඇතුලෙ නෑ වගේ සද්ද නැතුව ඉන්න ඕනේ..හොර හතුරෝ හැම තැනම”
ඈ තවදුරටත් පැවසූයේ සිය කුඩයත්, අත් බෑගයත් දෑතින් අල්ලා ගනිමින්ය. දහරා හිස වැනුවේ ඈට එකඟවය. උදෑසන දහරා මුං ඇට තම්බා ලුණු මිරිසක් සාදා ගත්තාය. මනුජිත්ගේ අම්මා පෙරදා සැන්දෑවේ ගෙන ආ පාන් පෙත්තක් ඇඹුල් කෙසෙල් ගෙඩියක් සමග ගිල දමන අයුරු දහරා බලාගෙනය.
“සැප විඳින්න පුළුවන්කම තියාගෙන මිනිස්සු දුක් විඳිනවා නේද. ඒකට කියන්නේ පව කියලා…”
කවදා කොතැනකදීදැයි මතකයේ නොවුනත් ආච්චි එසේ පැවසුවා දහරාට මතකය. මනුජිත්ගේ අම්මාත් ඒ අයුරේ අවාසනාවන්තියකයැයි දහරාට සිතුනේ මේ නිවසට පැමිණ දින කිහිපයක් ගතව යද්දීය.
ශ්‍රියාලතා බැංකුවට ගොඩ වූයේම දෑස්වල කඳුලක් තබාගෙනය. මේ හරි හැටි නොකා නොබී ඉතිරි කරගත් මුදල්ය. මනුජිත්ගේ තාත්තාට එහෙමකට කියා වැටුපක් ලැබෙන රැකියාවක් වූයේ නැත. එනිසාම ශ්‍රියාලතාට සිදුවූයේ සිය ජීවිත කාලය පුරාම අර පරිස්සම ගැන සිතන්නටය. දුක් විඳ ගෙවල් දොරවල් සාදා ගත්තා විනා යමක් ඉතුරු කර ගැනීමට ඒ වැටුපෙන් හැකි වූයේ නැත. පසු කලෙක මනුජිත්ගේ ඉගෙනීමට වියදම් කළේද බොහෝ අමාරුවෙන්ය. කනකර බඩුවකට වූයේ මේ කරෙහි ඵලදාගෙන සිටිනා පවුමක් පමණ වූ රන් මාලය පමණි. එයත් කී වරක් උකස් තැබුවාදැයි යන්න ශ්‍රියාලතාගේ මතකයේ නොවේ. මේ ලක්ෂ පහ ඈ වසර ගණනක් පුරා එකතු කළ මුදල්ය. මේ ඉඳ හිට දිනක ඔහුට වැටුපට අමතරව සන්තෝසම් සේ ලැබෙන මුදල් ය. ඒවා නොලැබුණායැයි සිතා අමතක කර දමමින් ශ්‍රියාලතා ඉතිරි කිරීමේ ගිණුමෙහි තැන්පත් කළාය. ලක්ෂ පහක් එකතු වද්දී එය ස්ථාවර තැන්පතු මුදලක් ලෙස ආයෝජනය කරන ලෙස පැවසූයේ බැංකුවේ නිලධාරියෙකි. ශ්‍රියාලතා ඊට එකඟ වූයේ වැඩි පොලියක් ලැබෙන නිසාය.
“ඇයි අම්මා පික්ස් එක කැන්සල් කරන්නේ….”
එසේ ඇසුවේ වෙනදා දැක නුපුරුදු වූ තරුණ නිලධාරිනියකි. පෙනුමේ හැටියට ඇය වැදගත් තැනක දරුවෙකු විය යුතුය. පෙනුමෙන් පවා ඈ දහරාට වඩා රූමත් වූවාය. ඒ සිහින් දිගු ඇඟිලි තුඩු පරිඝණකයේ යතුරු පුවරුව මත කඩිමුඩියේ දුවන අයුරු ශ්‍රියාලතා බලා සිටියේ මහත් වූ සංවේගයක් සිත මත තබාගෙනය.
ඉන්පසු පැමිණි දුරකථන ඇමතුමකට ඈ චතුර ලෙසින් ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු දෙන අයුරුත් ශ්‍රියාලතා බලා සිටියාය.
‘අනේ ඉතින් මගේ කොල්ලටත් මම බලාපොරොත්තු උනේ මේ වගේ දරුවෙක්නේ. දැක්කත් හිත පිරෙනවා. කොහෙද ඉතිං කාලකන්නි කමට අර ගෑනියෙකුට කර ගහන්න උනානේ…’
එවර ශ්‍රියාලතා මුමුණා ගත්තේ තමාටම වුවත් ඒ හඬ යාන්තමට පිටතට ඇසිණ.
‘අම්ම මොනවා හරි කියනවා කියලා ඇහුනට මට තේරුනේ නෑ..’
බැංකු නිලධාරිනිය යළිත් පැවසූයේ සිනහමුසුවය. තිගැස්සුණු ශ්‍රියාලතා නෑ.. නෑ…මොකුත් නෑ යනුවෙන් පැවසූයේ කලබලයෙන්ය.
“අම්මා කොහොමද යන්නේ…”
“ඒ කිව්වේ..”
“වාහනේකද ආවේ”
“අනේ නෑ මිස්. මං බස් එකේ ආවේ..”
“දැන් ආපහු යන්නෙත් බස් එකේමද?”
“ඔව්..”
“එහෙනම් මේ සල්ලි පරිස්සමට මෙතනදිම බෑග් එකේ දා ගන්න. බස් එකට අවශ්‍ය මුදල විතරක් අතේ තියාගන්න අම්මා. ආපහු බෑග් එක අදින්න එපා.”
ඈ සුදු පැහැ ලියුම් කවරයක බහාලූ මුදල ඇය අතට දුන්නේ එසේ පවසමින්ය. හිස වැනූ ශ්‍රියාලතා ඇය පැවසූ ආකාරයටම අත් බෑගයට මුදල් දමා හොඳින් වසා ගත්තාය. ඉන්පසු කිහිලි ගන්වා ගත්තේ වටපිට බලමින්ය.
“යමක් කලානං කලේ එයා වෙනුවෙන් මිසක් අපි වෙනුවෙන් නෙමෙයිනේ. එයා හොඳින් හිටියොත් ඒ ඇති.”
අවසන එසේ සිතූ ශ්‍රියාලතා මුදල්වලටවන තණ්හාවත් ආශාවත් අතහැර දැමුවාය. බසයෙන් ආ යුතු මඟත් පයින් ආ යුතු මඟත් ඈ පැමිණියේ කල්පනාවෙන් හා පරිස්සමින්ය. මනුජිත් පැවසූ පරිදිම තට්ටය පෑදුනු අවුරුදු 45 ක් පමණ වයස ඇති පිරිමියෙකු පැමිණියේ සැඳෑවේය. ඔහු මනුජිත්ගේ රුව සඳහන් සිය ජංගම දුරකථනය ශ්‍රියාලතා වෙත පෑවේ මිදුලේ සිටමය.
“වීඩියෝ කෝල් එකේ ඉන්නෙ ආන්ටිගේ පුතා තමයි..”
ඔහු පැවසූයේ සැබෑවකි. ශ්‍රියාලතා ඔහුගේ ජංගම දුරකථනයට එබුණේ දෑස් විසල් කරගෙනය. මනුජිත් සිටියේ කර්මාන්ත ශාලාවක් වැනි තැනකය.
“අම්මේ ඔය අයියට අර සල්ලි ටික දෙන්න. මේ වගේ මූණ බලාගෙන කතා කරන්න පුලුවන් හොඳ ෆෝන් එකක් මම ඉක්මනට එවන්නම්. අරයා ගෙදර නිසා තමයි මම අම්මලට ඒ පහසුකම් මුකුත් හදලා දුන්නේ නැත්තේ. මම තියන්නම් එහෙනම්. වැඩ කරන වෙලාවට කතා කරන්න බෑ අම්මේ…”
ශ්‍රියාලතා ගෙතුළ වූ මුදල් බෑගය ගෙනවිත් අමුත්තා අත තැබුවේ පරිස්සමටය. ඒ අතර වාරයේත් කිහිප වරක්ම දහරා පෙනෙන්නට සිටීදැයි හැරි හැරී බැලුවාය. ඔහු සමග කතා බහක් ගොඩනඟා ගැනීමට උත්සාහ කලත් ඊට අවස්ථාවක් වූයේ නැත. ශ්‍රියා ලතාට දැනුනේ ඔහු මුදල් ලබා ගත්තාට පසුව තමාව මගහැර ගිය බවකි.
( යළිත් හමුවෙමු ආදරයෙන් )


