“මේ වෙලාවේ මනුජිත් ලංකාවෙ නෑ කියලා මට නිශාදි කිව්වා. ගමේ ක්ලිනික් එකට සහභාගී වෙන ගමන් මනුජිත් එක්ක ඔයා ඉඳලා හිටලා හරි වෙනම ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්න යන එක හොඳයි. ඒ මමම වෙන්න ඕනේ නෑ. ඔයාගේ තියෙන මේ පොඩි පොඩි වෙනස්වීම් ගැන මනුජිත් දැනුවත් වෙන්න ඕනේ.”
“එකපාරක් එයාට ක්ලිනක් එකෙනුත් එන්න කියලා කිව්වා.”
“ඉතින් එයා ගියාද..”
දහරා හිස වැනුවේ නැතැයි කියන්නටය. එදා ඒ බව මනුජිත් හා පවසන්නට ගොස් තමා හොඳටම බැනුම් ඇසූ බැව් දහරා රමාෂ් හා පවසන්නට ඉක්මන් නොවූවාය. මනුජිත්ගෙන් පමණක් නොව ඈ ඉන්පසුව සායනයට සහභාගී වූ දින පවුල් සෞඛ්‍ය සේවිකාවගෙනුත්, වෛද්‍යවරයාගෙනුත් බැනුම් ඇසුවේය.
“මට තේරෙනවා. මේක එයා බලාපොරොත්තු වෙච්ච මොහොතක් නෙමෙයි. ඇයි දහරා දරුවා හදාගන්න තීරණය කළේ. මං කිව්වේ සමහර විට උත්සාහ කළානං ඔයාට තිබුණා එයාව නැති කරන්න වුණත්. වෛද්‍ය වරයෙක් විදිහට මං ඒ වචනෙවත් කියන්න කැමති නෑ. නමුත් මිනිස්සු එහෙම කරනවා. ඇත්තටම ඇයි දහරා ඒ වගේ තනි තීරණයක් ගත්තේ. මං මේ ඔයත් එක්ක කතා කරන්නේ වෛද්‍ය වරයෙක් විදිහට නෙමෙයි. යාළුවෙක් විදිහට.”
“මම දන්නෙ නෑ රමාෂ් ඒ කාලේ කොහොමද ගතවුණේ කියලා. ඇත්තටම මං ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට දවස් ගානක් යනකල් මං හිටියේ මේ ලෝකේ නෙමෙයි වගේ. දැන් හැමදේම වෙලා ඉවරයි කියලා හිතලා මං ආපහු පියවි ලෝකෙට එනකොට මට දැනුනේ මං මැරිලා ඉපදුනා වගේ හැඟීමක්. මගේ අම්මයි ආච්චියි මගේ දෙපැත්තෙන් වාඩිවෙලා දැන් ඉතින් මොනව කරන්නද පුතේ අපි එන විදිහකට මුහුණ දෙමු කිව්වා මිසක්කා මේ දරුවා මරල දාමු කියලා කිව්වේ නෑ. සමහර විට එයාලා ඒ වෙලාවේ එහෙම කිව්වනම් මම ඒකට එකඟ වෙන්නත් තිබුණා. ඒ වෙලාවේ මං වැඩ කලේ කාගෙවත් අතට නූල දීල නැටවෙන රූකඩයක් ගානට.”
“එතකොට හස්බන්ඩ්….”
“ඒ එයාලගේ කැම්පස් එකේ එක්සෑම් ඉවර වෙච්ච කාලෙ. එයාලා දවස් හතරක ට්‍රිප් එකක් ගියා මන්දාරම් නුවර. එහෙට සිග්නල් තිබුණෙ නැහැ. දවස් එකහමාරක් විතර මම මනූට කෝල් කරන්න ට්‍රයි කරාට ඒක හරි ගියේ නෑ. අන්තිමට මම මැසේජ් එකක් තිබ්බා. ඒ මැසේජ් එක එයා සීන් කරලා කියලා පෙන්නුවට එයා මට කතා කළේ නෑ. මං දිගින් දිගටම එයාට ගත්තා. කතා කරන්න පුළුවන් වෙච්ච ගමන් එයා කලේ මට හොඳටම බැනගෙන බැනගෙන ගියපු එක. ඒ වෙලාවේ එයා කිව්වේ මං කොහොම හරි ළමයා නැති කරන්න ක්‍රමයක් හොයන්නම් කියලා.”
“ඉතින් ඔයා ඒකට එකඟ වුණාද…”
“මට තාම ඒ කිසි දෙයක් හිතාගන්න බෑ රමාෂ් මට ඒ වෙලාවේ ඕන වුණේ දරුව නැති කරන්න නෙමෙයි. මගේ ජීවිතේ නැති කරගන්න. මනූ මට බනින ඒවා අහගෙන අම්මයි ආච්චියි අඬන දිහා බලාගෙන චූටි මාමා කේන්තියෙන් දරාගන්න හැටි බලාගෙන ඒ දවස් ගෙවිලා ගියේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. හැබැයි එක දවසක් මට මේ බඩේ ඉන්න දරු පැටිය ගැන ලොකු ආදරයක් දැනුනා. හරියට මට එයා ඕනෙ වගේ හැඟීමක්. ඊට පස්සේ මනූ මට කතා කරලා බැන්නා මාස තුනක් යනකම් බම්බු ගැහුවද කියලා. දවසක් ආච්චි මට කිව්වා ඒ කොල්ලා හදිසියේ ළමයා නැති කරන්න යන්න කතා කළොත් ඒ මෝඩ වැඩේට එකඟ වෙන්න එපා දැන් බඩට තුන් මාසෙත් පැනලා අම්මයි දරුවයි දෙන්නම නැති වෙන්න පුළුවන් කියලා.”
“ආච්චි දැනගෙන හිටියද මනුජිත් එහෙම දේකට ට්‍රයි කරනවා කියලා”
“නෑ. ඒ උනාට ආච්චිලට සමහර දේවල් ඉවෙන් වගේ තේරෙනවා. නිශාදිත් මට ඒක ඒ විදිහටම කිව්වා. ඇත්තමයි රමාෂ් මට ඒ වෙද්දි එයාව නැති කරන්න නෙමෙයි එයාව ඕනේ කියලා විතරයි දැනුනේ. පස්සේ මනූ කෙලින්ම කිව්වා එයා මාව මැරි කරන්නේ නෑ කියලා. මම දන්නෙ නැහැ අම්මයි ආච්චියි දවසක් එහේ ගිහින් තිබුණා. ඒ ගොල්ලෝ මට අහන් ඉන්න බැරි තරමටම කැත චෝදනා කළා. මනූ පවා.”
දහරා තවමත් උන්නේ බිම බලාගෙනය ඇගේ දෑසින් ගලා ආ කඳුළු බිඳුවක් උකුල මත තිබූ ෆයිල් කවරයට වැටී බොඳව යන අයුරු රමාෂ් බලාගෙනය.
“සොරි දහරා මම ඔයාගේ හිත රිද්දුවා. ඔයාගේ සිටුවේෂන් එකත් එක්ක මට මේ විස්තර අහන්න හිතුනා. අපි දැන් ඒ ගැන කතා නොකර ඉමු. මං ඔයා ඒ ගතපු තීරණයට මේ වෙලාවේ හදවතින්ම රෙක්ස්පෙක්ට් කරනවා. දහරා මට ලොකු උවමනාවක් තිබුණා මගේ වෘත්තිය ජීවිතයේදී මේ ප්‍රසව හා නාරිවේදය කියන පැත්ත තෝරගන්න. දරුවෙක්ට උපත දෙන්න අම්මා කෙනෙක් ශාරීරිකවත් මානසිකවත් සූදානම් වෙන විදිහ හරි ලස්සනයි. ඒ හැඟීම මේ ලෝකේ තියෙන වෙන කිසිම හැඟීමකට සමාන කරන්න බෑ. ඒ වගේම ඒ අවස්ථාවේදී කායිකවත්, මානසිකවත් ඒගොල්ලෝ විඳින වේදනාව ඒ වේදනාවටත් මේ ලෝකේ වෙන කිසිම දෙයක් සම කරන්න බෑ දහරා. මෙතනට දරුවෙක් කුසේ තියාගෙන එන හැම අම්මා කෙනෙකුටම මං හරියට රෙක්ස්පෙක්ට් කරනවා. හේතු දහසක් තිබුණත් තමන්ගේ කුසට ආපු දරුවෝ රකිනවා නේද..ඒ තමයි වීර කාන්තාවෝ.”
“රමාෂ් හිතන විදිහ හරි ලස්සනයි…”
“ඔක්කොම එක දවසෙ කතා කරන්න ඕනෙ නෑ දහරා අපි හෙමිහිට කතා කරමු ඔයාගේ හිත හැදෙනවනම්.”
“මට සමාවෙන්න රමාෂ් නිශාදි කියන්න ඇති මම කිව්වා කියල ඔයාට නම්බර් එක දෙන්න එපා කියලා. මට එහෙම කරන්න හිතේ පොඩි බයක් වගේ දෙයක් තිබුණා. හැම මොහොතකම මං උත්සාහ කරන්නේ මගේ ජීවිතේ නැතිවෙලා ගියපු දේවල් ලං කරගන්න. ඒ ගමනෙදි හුළඟකින් හරි බාධාවක් වෙනවට මං බයයි.”
“අනේ නෑ දහරා මම චුට්ටක්වත් තරහ නැහැ. ඔයාව මට හොඳට තේරෙනවා. මෙතන මගේ නම්බර් එක තියෙනවා. ඔයාට මාව ඕනඋන වෙලාවක ඔයා මට කතා කරන්න. ප්ලීස් පුලුවන්නම් මං ඔයාට කියන විදිහට ඉස්සරහ කාලෙදි මම මේ කාර්ඩ් එකේ දාලා දෙන ඩේට් එකට මගේ ළඟට එන්න. ඒක තමයි දහරා ඔයා පරිස්සම්ම වෙන්න ඕන කාලේ. අපි ලස්සන නීරෝඟීරෝ දරුවෙක් මේ ලෝකෙට බිහිකරමු.”
දහරා එවේලෙහි හිස වැනුවේ ‘හා’යැයි කියන්නටය. ඉන්පසුව තත්පර කිහිපයක් ගතව යනතුරු ඔහු සාමා ගැනත් රීටා ගැනත් ඇසුවේය.
“මම හිතුව දහරා මම ආපහු සේකර වත්තට යන්නේ නෑ කියලා. මල්ලි ගැන මතකෙ අලුත් කරගන්න මම ටිකක් බය උනා. ඒ උනාට මාත් එක්ක හැදිලා වැඩිලා උස්මහත් වෙච්ච මිනිස්සු දැන් මොන වගේද? මොනවද කරන්නේ? කියලා දැනගන්න මට උවමනාවක් තිබුණා. ඔයයි නිශාදියි හම්බුනාට පස්සේ ඒ උවමනාව තවත් වැඩි වුණා. මට දැන් සාම නැද්ද බලන්න යන්න ආසයි. එයාගේ නිහඬකමට මං හරි ආසයි..”
දහරා පිළිතුරක් නොදී රමාෂ් දෙස බලා සිටියේ මුවගෙහි සිනහවක් තබාගෙනය. මෙතරම් කාලයක් ගෙවී ගොස් තිබියදීත් ඔහු වෙනස්ව සිටියේ නැත. එදවසත් ඔහු අම්මාට ආදරේය.
“දැන් යාළුවා එළියට වෙලා අපි දෙන්නට බැන බැන ඇති. දහරාට පරක්කු වෙන්නෙ නැත්තං අපි නිෂාදිත් එක්ක කොහෙට හරි ගිහිල්ලා මොනවා හරි කාල යමුද..?”
“අනේ බෑ රමාෂ්. මනුජිත් ලංකාවේ නැති එකේ මං එහෙම ගමන් යන එක හරි මදි නේද. ඔයා නිශාදි එක්ක ටිකක් නිදහසේ කතා කර කර ඉඳලා යන්න. එයානං ඒකට හරි කැමති වෙයි. මේ දවස් ටිකේම කෝල් එකක් ගත්තොත් ඔයා ගැන විතරමයි මමත් එක්ක කතා කරන්නේ.”
දහර එවර පැවසූයේ අපහසුවෙන් මුත් නඟාගත් සිනහවක් මුහුණේ තබාගෙනය. නිශාදි ඒසා උනන්දුවකින් පිරිමි යහළුවෙකු ගැන කතා කරනවා දහරා කෙදිනකවත් අසා තිබුණේ නැත. එනිසාම ඇගේ සිතෙහි රමාෂ් ගැන විශේෂත්වයක් ඇතැයි දහරාට සිතුනේ අද ඊයේක නොවේ. ඔවුන් හා ටික වේලාවක් රැඳී සිටින්නට සිතෙහි ආසාවක් වුවත් දහරා එසේ පැවසූයේ හිතාමතාමය. තමා කීයට නිවසට ගියත් සොයන්නට බලන්නට හෝ අසන්නට කෙනෙකු නොවන බව විශ්වාසය. එහෙත් දෙදෙනා තනිවම කතාබහ කිරීම වටී.
නිශාදිට ලැබිය යුත්තේත් රමාෂ්වන් පිරිමියෙකි. රූපයෙන් සේම උගත්කමින් සේම ඔහු හැදියාවෙනුත් උපරිම තැනක සිටිනා අයෙකු බව දහරා තේරුම් ගත්තේ ගෙවී ගිය විනාඩි කිහිපයකට පසුවය. පිරිමියෙකුගෙන් මේසා සංයමයක් බලාපොරොත්තු විය හැකිදැයි සිතෙනා තරමටම ඔහු සන්සුන් අයෙකු වී උන්නේය.
රමාෂ් වායු සමනය කරන ලද කාමරයෙන් එළියට පැමිණියේ දහරා නිශාදි අසලට පැමිණ විනාඩි කිහිපයකට පසුවය.
“මම දහරට කිව්වා අපිත් එක්ක ගිහිල්ලා මොනවා හරි කාල යමු කියලා. ඒත්…එයාට බැහැලු.”
“ඇයි බෑ කියන්නේ…”
“නිශාදි මනුජිතුත්…”
“අනේ මේ..මේ මනුස්සයා ඉස්සරහදි මගේ කට අවුස්ස ගන්න එපා. මනුජිත් තුන් වේලටම කතා කරලා ඔයා කෑවද නැද්ද කියලා හොයලා බලනවනේ. අද එළියට ආපු එකේ මොනවා හරි කාලා චුට්ටක් වෙලා ඉඳලා කතාබහ කරලා යමු. නැත්තං තව මාස දෙක තුනක් යද්දි රමාෂ් අපිට දකින්න වෙන්නේ දහරා මේ විදිහට නෙමෙයි පිස්සියෙක් විදිහට. දහරා මනුස්සයෙකුට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඔයා දැන් ඉන්නේ ඒ දරා ගැනීමේ සීමාව ඉක්මවලා. ඇයි මේ හම්බවෙන පුංචි වෙලාවෙන්වත් ඔයාගේ හිත හදාගන්න දෙයක් එකතුකර ගන්නේ නැත්තේ. ඒ ගෙදර නැන්දම්මවත් මාමණ්ඩිවත් ඔයා එනකල් නොකා නොබී බලන් ඉන්නවා නෙමෙයිනේ. අනිත් එක යාළුවො දෙන්නෙකුත් එක්ක එළියට ගිහිල්ලා කෑම චුට්ටක් කාලා කතා කරනවා කියන එක වරදක්ද.”
“නිශාදී එයාට බල කරන්න එපා.”
“මට මෙයා කියන දේවල් වලට කේන්ති යනවා රමාෂ්. තමන්ට තමන්ම කරගත්ත වැරදි වලින් අද ඔයා විඳවනවා. අපි හදන්නේ විනාඩියක් හරි ඔයාව සතුටින් තියන්න. මෙන්න මෙහෙ එන්න අනේ යන්න. මං කොහොමත් රමාෂ් අද මෙයාව එළියට ගත්තෙම මෙයාට කොහෙට හරි ගිහිල්ලා රසට කන්න අරන් දෙනවා කියලා හිතාගෙන. ඔයාටත් අපි එක්ක එන්න පුළුවන්නම් හොඳයි…”
නිශාදි ඉස්සර වූයේ දහරාවත් ඇදගෙනය. දැන් ඉතින් තමාට නික්ම යන්නට ඇය ඉඩ නොදෙන බව දැන දැනම හේතු කාරණා පැවසීම පලක් නොවන බව දහරා දැන සිටියාය. එනිසාම නිහඩව පැමිණි ඈ නිශාදිගේ අණ කිරීම් වලට යටත් වෙමින් සිටියාය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)


