දහරා නිවසින් පිට වූ හැටියේම ශ්‍රියාලතාත් නිවසින් පිට වූයේ මෑණියන් හමුවීමට යාම සඳහාය. ඒ හදිසි තීරණයකි. මනුජිත් කුමක් පැවසුවත් මේ සියල්ල සිදුවූයේ මෑණියන්ගේ විශ්ම කර්ම ශක්තියේ ප්‍රතිඵලයක් ලෙසයැයි ඈ විශ්වාස කළාය. මනුජිත්ගේ ජීවිතයේ ඉදිරිය ගැනත් ඇගෙන් යමක් අසා දැනගන්නට ශ්‍රියාලතාට ඕනෑ විය.
තමා නිවසට පැමිණෙන්නට පෙර දහරා පැමිණියහොත් යන සිතුවිල්ල ඇයට ඇති වූයේ පා ගමනින් බස් නැවතුම තෙක් ඇවිද යද්දීය.
“ඉස්තෝප්පුවට වෙලා ඉන්නේ නැතැයි…”
අවසන ඇය එසේ සිතුවාය.
“අද උදේ මට හිතුනා මැඩම් මේ පැත්තට එයි කියලා…”
මෑණියන් ශ්‍රියාලතාව පිළිගත්තේ එසේ පවසමින්ය. දහවල නිසාදෝ දේවාලය තුළ සිටියේ මෑණියනුත් ඇගේ ආව තේවා කටයුතු කරනා සැමියාත් පමණි.
“ඔහෙන් ඉඳගත්තනම්…”
කෙටි බංකුවක් ශ්‍රියාලතා වෙත පෑ ගැහැණිය ඉඳගත්තේ මදක් උස් වූ ආසනයකය.
“ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න උවමනාව හිතේ තියෙනවා. ඒක අහන්න මේ පැත්තෙ එයි කියන විශ්වාසේ මගේ හිතේ ඇති වුණා.”
ශ්‍රියාලතා ‘එහෙමයි’යයි පැවසූයේ දෑත් එක් කරගෙනය. ස්වාමීන් වහන්සේ කෙනෙකු කෙරෙහිවත් ඇයට මේ සා ගෞරවයක් වූයේ නැත. තමාගේ සිතෙහි ඇති දේ හරියටම කියන්නට දන්නා මෑණියන් ගැන එවේලෙහිත් ඇයට ඇතිවූයේ පුදුමයකි. යලිත් වරක් මනුජිත්ට වචනයෙන් හෝ ඇයට අපහාස කරන්නට ඉඩ නොදෙමියැයි ශ්‍රියාලතා සිතුවේ මෑණියන් දෙස බලාගෙනමය.
“හිතේ මනාපෙට මේ කාරණා කියන්න බෑ දේව අවසරයෙන් දෙයියෝ පෙන්නුම් කරන්න ඕනේ. යමු එහෙනම් දේවාලෙ දිහාට. පඬුරක් එහෙම ලෑස්ති කරගන්නකෝ.”
ඇය ඉස්සර වූයේ එසේ පවසමින්ය. ශ්‍රියාලතා ඈ පසුපස ඇදුනේත් දෑත් එක් කරගෙනය. පසෙක වූ බුලත් කොලයක් ශ්‍රියාලතා වෙත පෑවේ ඇගේ සැමියාය. දෝතින් එය අල්ලා ගත් ගැහැණිය රුපියල් දහසේ නෝට්ටු දෙකක් ඒ මත තැබුවාය. කළු කෙසඟ මිනිසා විසින් දේවාලය තුළ පැදුරක් එලුවේ ඉන්පසුවය.
“මේ ගැත්තාගේ පුතා පිට රටක බොහෝම සන්තෝසෙන් ඉන්න බව පෙන්නනවා. අද හෙට ලංකාවට එන්නේ නෑ. ඒ කාලේ තව දිග්ගැස්සෙනවා. ආපහු ලංකාවට එනකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා තියෙනවා. ඒ ගෑනි ආපහු ඔය පැත්තවත් නොබලන්න යනවා. දැනටමත් ඒක අපිට නොදැනුනාට හෙමි හෙමිහිට සිද්ධ වෙනවා. දෙවියන්ගේ කැමැත්තට මං ආරක්ෂාවක් කරන්න වැලි වගයක් දීපු බව මේ ගැත්තට මතක ඇති.”
“එහෙමයි”
“අන්න ඒ වැල්ල මහා බලගතුයි. ඉන්න හිතෙන්නෙ නෑ. හෙට අනිද්දම යන්න වැඩ සිද්ධ වෙනවා. ඊට පස්සේ ආපහු ඔය කඩුල්ල පනින්න හිතෙන්නේ නෑ. හැමදේම ඉවරයි. පුතා ආපහු ලංකාවට එන්නේ රජෙක් වගේ. සල්ලි රත්තරන් දේපළ උතුරන්න හම්බ වෙනවා. කොහේ හිටියත් දෙයියෝ දරුවා පරිස්සම් කරනවා. මාසෙකට වතාවක් දේව පූජාවක් තියලා පඬුරු පූජ කරලා කන්නලව් කරන්න ඕනේ දෙවියන්ට දරුවා ඉන්න තැනක ඉඳලා ආරක්ෂා කරන්න කියලා. දරුවාගේ දියුණුව කාටවත් වළක්වන්න බෑ. දෙයියො කියනවා මේක කවුරු හරි කරපු දේක ප්‍රතිඵලයක් කියලා. තමන්ට බොහොම ආදරෙන් ඉන්න තමන්ට හිතවත්කම් පාන ඒ උනාට යටි හිතින් තමන්ට ඉරිසියා කරන ගෑණු කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ කියලා දෙයියො කියනවා. ඒ කරපු දේ බලපාල තියෙන්නෙ පුතාට.බලගතු තැනකින් කරපු කොඩි විනයක් හා සමාන දෙයක්. ඒ ගෑනු ළමයාගේ බඩේ ඉන්නේ පුතාගේ දරුවෙක් නෙමෙයි. හැබැයි පුතා එක්කත් සම්බන්ධකම් තිබිලා තියෙනවා.
වාසනාවකට දේව බැල්ම පුතාට තියෙනවා. පුතා ඔය ඇත්තට වරින් වරේ සල්ලි එවයි. ඒ සල්ලි වලින් මුලින්ම බොහෝම ශ්‍රද්ධාවෙන් කොටසක් අයින් කරන්න ඕනේ. හිතට දැනෙන කොටසක්. අන්න ඒ ටික තමයි දෙවියො වෙනුවෙන් පූජා කරන්න ඕනේ. දෙවියන්ගේ පඬුරු වෙනුවෙන්. තේරුණා නේද..?”
“එහෙමයි.”
“දෙවියෝ ඔය ඇත්තිට කියනවා කලබල වෙන්න දුක් වෙන්න කාරණයක් නෑ කියනවා. මේ කරපු බලගතු දේව පූජාවලින් ගෙදර ආරක්ෂා වෙලා තියෙනවා කියලා. ආපහු ඔය ගෙදරට වින කරන්න කිසිම කෙනෙකුට බෑ කියලා. මොනව හරි දැනගන්න තියෙනවද..”
“ එහෙමයි කවුද මෑණියනි? අපිට ඒ හතුරුකම කරලා තියෙන්නේ…”
“තළෙළු ගෑණු පරානයක් පෙන්නනවා. ඒ තරං දිග කොණ්ඩයක් නැති. උසස් නැති මිටිත් නැති බොහෝම ළඟ ඥාතිකමක් තියෙන කෙනෙක්. නැත්තටම නැතිවෙලා යන්න කියලා මතුරපු බලගතු තෛලයක් තමයි ගේ ඇතුලට ඉහළ තියෙන්නේ”
“ඔය මෑණියෝ කියන්නේ අපේ මනුස්සයාගේ අක්කා ගැන. ඒ ගෑනිටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ එක්කෙනෙකුටවත් විශ්ව විද්‍යාලයට යන්න බැරි උනා. අනිවාර්යෙන්ම එයා තමයි ඔහොම දෙයක් කරන්න ඇත්තේ. ආව දෙන්කෝ ඔය ගෑනි ආපහු..”
“දැන් කවුරු ආවත් කිසි දෙයක් කරන්න බෑ. මේ ඇත්තිත් ස්වාමිපුරුෂයත්, පුතත් ඒ වගේම ඔය ගේ දොර ඉඩකඩනුත් බොහොම ආරක්ෂිතයි. දේව බැල්ම තියෙනකං කිසි කෙනෙකුට නරකක් නපුරක් හතුරුකමක් කරන්න බෑ. ඒ දේව බැලුම හැමදාම ඒ විදිහට තියාගන්න ඕන නම් මං අර කියපු විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ.”
“එහෙමයි මෑණියනේ……”
වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙලූ ගැහැණිය කර වටා වූ සළුව ගලවා පසෙක තැබුවාය. එවේලෙහි රිද්මයානුකූලව උස් පහත් වූ ඇගේ දෑත් වලට විරාමයක් ලැබී තිබිණ. ගත තිබුණේ දහඩියෙන් තෙත්වය. වරින්වර දේව කුටිය පුරා පැතිර ගිය සාම්බ්‍රාණි දුම නතරව තිබිණ.
“දේව ආරූඪයෙන් මට මොනවද කියෙව්වේ කියලා ඒ හැටි මතකයක් නෑ. ඒ පිළිවෙලට වැඩ ටික කළා නං හරි. පුතාගේ ජීවිතේ සාර්ථක වෙනවා වගේම ඒ ගෑනිගෙ ප්‍රශ්නෙත් ඔතනින්ම ඉවරයි කියලා හිතේ තියා ගත්තොත් හොඳයි. එහෙනම් මම යනවා වතුර ටිකක් නා ගන්න. හවස මන්ත්‍රීතුමාගේ ගෙදර ශාන්ති කර්මයකට සහභාගි වෙන්න තියෙනවා. මැඩම් නිසා මේ වෙලාවේ දේවාලෙට ආවා මිසක්කා වෙන කෙනෙක් නිසානං එන්නේ නෑ.”
මෑණියන් සමුගත්තේ එසේ පවසමින්ය. ශ්‍රියාලතා ඈ යන මගටත් දෑත් එක්කරගෙන වැඳගෙන උන්නාය. පඬුරු ලෙස ලබා දුන් රුපියල් දෙදහස මදියැයි ඇයට සිතුනේ ආපසු හැරෙද්දීය. මෑණියන් මේ කර දුන්නේ සුළු පටු උදව්වක් නොවේ. යළිත් සිය අත් බෑගය ඇරි ශ්‍රියාලතා එහි ඇතුළත පොකට්ටුවක් තුළ අර පරිස්සමට තබා තිබූ රුපියල් දහසේ කොළය අසල වූ පින් කැටයට දැමුවාය. දෙවියන්ගේ අණ පරිදි මෑණියන් පැවසූ ලෙස මනුජිත් සල්ලි එව්වාට පසුව ඉන් සැලකිය යුතු කොටසක් දේව පූජාවේ පඬුරු ලෙස වෙන් කරන්නට ඈ සිතුවාය.
******************
දහරා වටපිට බැලුවේ තට්ටු කිහිපයකින් සමන්විත වූ විසල් ගොඩනැගිල්ලේ රිය අංගනය තුළ වාහනය නැවතුවාට පසුවය.
“මෝඩි. ඇස් දෙක ලොකු කරගෙන වටපිට බලන්න එපා. මමත් එක්කනෙ ඇවිල්ලා ඉන්නේ.”
නිශාදී එසේ මිමිණූයේ යෙහෙළියගේ කනට කරය. දෙදෙනා විදුලි සෝපානයට ගොඩ වූයේ රමාෂ් පසුපසින්ය. එය විසල් ආපන ශාලාවකි.
“කැමති දෙයක් ඕඩර් කරන්න දහරා. අද මගේ පුංචි කාලේ යාළුවො දෙන්නට ලන්ච් එක මම ගානෙ.”
රමාෂ් පැවසූයේ මෙනුපත දහරා වෙත දිගු කරමින්ය.
“මෙයා ඕඩර් කරන්න ගියොත් අද අපිට කන්න හම්බවෙන්නේ නෑ රමාෂ්. ඒක නිසාම මමත් මේකට හවුල් වෙනවා.”
දහරා නිශාදිගේ දකුණු කකුල කෙනිත්තුවේ ඈ එසේ පැවසුවාට පසුවය. අවසන ආහාර තේරුවේ දහරා නොව නිශාදිය.
“පිළිවෙලක් වෙයංකො බං මනුස්සයෙක්ගෙ හිත දිනා ගන්න ඔහොම හැසිරිලා බෑ. බලහං රමාෂ් පිරිමියෙක් වෙලත් ඉන්න වැදගත්කම. බොරුවට හරි එහෙම හැසිරියන්කෝ…”
දහරා යෙහෙළියගේ කනට කර එසේ පැවසූයේ රමාෂ් දුරකථන ඇමතුමක සිටියදීය.
“අනේ මේ මගේ ඔය බොරු සෝබන වැඩ නෑනේ. මට ආදරේ කරන පිරිමියා දැනගන්න ඕනේ මම හැසිරෙන විදිහ ගැන. ඌ ඉස්සරහදි ඒක විදිහකටයි නැති වෙලාවට තව විදිහකටයි හැසිරෙන්න මම දන්නේ නෑ. මේ මගේ හැටි. කවුරු උනත් මට කැමති වෙනවනම් කැමති වෙන්න ඕනේ මගේ හැටි දැනගෙන.”
නිශාදි එසේ පැවසූයේ දහරාට පිළිතුරු දෙමින්ය. අවසන ඈ මික්ස් රයිස් එකක්, නූඩ්ල්ස් වර්ගයක් හා චිකන් ඩෙවල් එකක් තෝරා ගත්තාය.
“මේ හොඳටම මදි”යැයි පැවසූ රමාෂ් ඊට සුප් වර්ගයකුත් තායි බතකුත් ඩෙසර්ට් වර්ග කිහිපයකුත් තෝරා ගත්තේය. අවසන මේසය මත වූයේ කෑම වර්ග ගොඩකි.
“අපි වෙනුවෙන් ලොකු වියදමක් රමාෂ්….”
දහරා පැවසූයේ මද හඬකින්ය.
“බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට බඩ කට පුරා කන්න දෙන එක පිනක් කියලා මං අහලා තියෙනවා. අපේ අම්මා කියනවා මල්ලි හම්බවෙන්න ඉදිද්දී දහරාගේ ආච්චිගේ බත් කන්න ආස හිතිලා සමහර දවසට ගිහිල්ලා ඉල්ලගෙනත් කනවලු”
“ආච්චිත් ඒක කීප දවසක් මතක් කළා රමාෂ්. ඔයාලා ගියාට පස්සේ අපිට දැණුනේ අපිත් එක්ක ඉඳපු අපේම කෙනෙක් නැතිවුනා වගේ හැඟීමක්.”
“මටත්…දෙන්නත් එක්ක කතා කර කර ඉන්නකෝ. ඩෙසර්ට් කන ගමන් උඩ තට්ටුවේ ෆාමසියක් තියෙනවා. මම චුට්ටක් ඒකට ගිහිල්ලා එන්නම්”
රමාෂ් සමුගත්තේ එසේ පවසමින්ය.
“මේ ඔහොමම අපි වචනේ දාමුද බලන්න රමාෂ්ට ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නැද්ද කියලා දැනගන්න.”
දහරා හිස වෙනුවේ නිශාදී එසේ ඇසුවාට පසුවය.
“සමහරවිට ඇති නේද. සුද්දියෙක්ද දන්නෙ නෑ. සමහර විට ටැමිල් ගර්ල් කෙනෙක් වෙන්නත් පුළුවන් රමාර්ෂ්ලගේ තාත්තා චුට්ටක් එයාලගේ ආගම ජාතිය ගැන වැඩිපුර හිතන කෙනෙක්නේ. මං අහලා තියෙනවා ඔය ජැෆ්නාවල ටැමිල් අය හරි ආඩම්බරයි කියලා. සමහරවිට බං අපිට නොකිව්වට රමාෂ් මැරි කරලද දන්නෙත් නෑ.”
“ඇයි බං ඔය පහුගිය දවස්වල උඹගෙන් කොයි වෙලාවෙ ඇහුවත් කිව්වෙ රමාෂ් එක්ක කතා කළා කියලනේ. ඉතින් ඔය විස්තර අහගන්න බැරි උනාද?”
“එහෙම අහන්න පුළුවන්ද බං..”
“දැන් උඹ ඇත්තටම රමාෂ්ට කැමතියිද…?”
“අනේ මන්දා බං මට ඒක කියන්න තේරෙන්නේ නෑ. මට එහෙම එකක් පටන් ගන්න ඕනි කියලා හැඟීමක් තිබුණේ නෑ. අම්මෝ උඹේ ආදරය කිරිල්ලෙන් පස්සේ නම් මං කොහොමත් හිතුවා හොඳට හොයන්නෙ බලන්නේ නැතුව එෆෙයාර් එකක්නම් පටන් ගන්නේ නෑ කියලා. ඒ උනාට රමාෂ්ව හම්බ උනාට පස්සේ මං දන් නෑ බං මට නිකං මොනවදෝ උනා. ඒ උනාට අපි ඉක්මන් වෙන්න ඕනෙ නෑ.”
“ඔව් ඒක හරි. කිසිම දේකට ඉක්මන් වෙන්න ඕන නෑ. අපි කාලයාට ඉඩ දීලා හෙමින් බලාගෙන ඉමු. මේ ඉන්නේ රමාෂ් උනාට සේකර වත්තෙන් ගියපුර රමාෂ් නෙමෙයි. කාලයත් එක්ක අපේ ජීවිතවල ගොඩක් වෙනස්කම් සිද්ධ වෙලා. සමහර වෙලාවට ඒවා ආපහු හැරෙන්න බැරි වෙනස්කම් වෙන්නත් පුළුවන්. මං කැමති නෑ මට වෙච්ච දේ ඔයාට වෙනව දකින්න. හැමදේටම අවශ්‍ය කාලය.”
දහරා එසේ පැවසූයේ යෙහෙළියගේ දකුණත අල්ලාගෙනය.
( යළිත් හමු වෙමු ආදරයෙන්)


