සඳ දිය දහරා – 29

0
2704

මනුජිත් ශ්‍රියාලතාට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ රාත්‍රියේය. ශ්‍රියාලතා ළඟ තිබුණේ බොත්තම් එබිය හැකි කුඩා දුරකථනයකි.

ඒවාට කතා කිරීමට ලොකු ගණනක් වියදම් වන බව පැවසූයේත් මනුජිත්‍මය.

“ඉන්නකො මම කාට හරි කියලා අම්මට ෆෝන් එකක් එවන්න. අම්මා ඒකට වට්ස්ඇප් හදාගන්න.”

“ඔව් ඉතින් එහෙමවත් කරපංකෝ මට ඔය කාගේ හරි ලඟට ගිහිල්ලා ඒක පුරුදු වෙන්න බැරිය. උඹට කොහොමද පුතේ බඩ කට පිරෙන්න කනවද..”

“කෑමටනම් පුරුදු වෙන්න ටිකක් කල්යයි අම්මේ. මෙහේ  ඔය තෙල් ජාතී සෝස් ජාති  පාවිච්චි කරලා තමයි කෑම හදන්නේ. අපිට ඒවා ඒ තරම් පුරුදු නැහැනේ.”

“අනේ මේකි හින්ද වෙච්ච විනාසයක්. අන්තිමට මගේ කොල්ලට රටත් දාලා යන්න වුණා.”

“ඒකි මොනවද කරන්නේ?…..”

“අද දවලුත් ඔන්න  කොහෙද යනවා කියලා ගිහිල්ලා චීස්, බටර් බෑග් එකක් උස්සගෙන ආවෙ. උඹට කියන්න කොහේ කා එක්ක ගිහිල්ලා එනවද මන්දා. දැන් හරි ගෙම්බර්. තනියම උයන් කන්නේ.” 

“ඕකිගෙන් ගැලවෙන්න  මොනවා හරි කරන්න ඕනෙ අම්මේ. හිතුවොත් මම දිගටම ලංකාවට එන්නේ නෑ.” 

“නාවත් කමක් නෑ පුතේ තාත්තවයි මාවයි ඔහෙට ගෙන්න ගන්න බලහං. දැන් අර නෝනා  පුංචි බැඳලා ඉන්න බාප්පගේ නංගි ඒ ළමයි ඉන්න රටට ගෙන්න ගත්තනේ. අර හන්දියේ කාන්තිත් ගියේ. ආන්න එහෙම මොනවා හරි කරගන්න බලහන්කෝ. අපිටත් ඇහැ පියවෙන්න කලින් ඔය රට රාජ්ජත් මොන වගේද කියලා බලා ගන්න.”

ශ්‍රියාලතා පැවසූයේ බලාපොරොත්තු දහසක් තබාගෙනය. ‘තමා පුතා ඉන්නා රටට යනවා’යැයි එවිට නෑදෑ පරපුරට ආඩම්බරයෙන් පැවසිය හැකිය. 

“ඕකි මෙහෙන් එලවන්නත් වැඩපිළිවෙලක් මම ලෑස්ති කරල තියෙන්නෙ.”

“අනේ අම්මේ…මේ… ඔය මෑණියෝ කියන ගෑනිනං  සත පහකට විශ්වාස කරන්න එපා. රවට්ටලා  අම්මගේ සල්ලි කඩා ගන්නවා විතරයි.”

“හා හා කට..කට වරද්දගෙන නැති නස්පැත්ති කරගන්න එපා. උඹට ඔය රටට යන්න ලැබුනෙත් මෑණියෝ නිසා. ඉන්න තැනකවත් හොඳින් ඉන්න බලහං දෙයියෝ කෝප කරගන්නෙ නැතුව. එව්වා ලේසි නෑ.”

“අම්මේ ඔය වැඩකට නැති කතා නවත්තලා මං මේ කියන දේ අහගන්නකො හොඳට. අම්ම හෙට අනිද්දා දහරාගේ ගෙදරට පණිවිඩයක් යවන්න.”

“යවලා…”

“දහරාගේ අම්මා ගෙන්න ගෙන මෙයාව එයා එක්ක යවන්න. කොහොමත් ඔය ඉස්සර ඉඳලා එන සිරිතක් තියෙනවා නේද ළමයා හම්බවෙන්න ඉන්නකොට ගෑනු කෙනා එයාගේ අම්මලගෙ ගෙදර යනවා කියලා.”

“ඉස්සරනං එහෙම තමයි ඉතින්. ඒ උනාට උඹ හම්බවෙන්න ඉන්නකොට මං අපේ මහ ගෙදර ගියේ නෑ. තාත්තා කිව්වේ එහේ ඉඳලා ඉස්පිරිතාලෙට එනවට වඩා මෙහේ ඉඳලා ඉස්පිරිතාලෙට යන එක ළඟයි කියලා. මං මේ බයේ ඉන්නේ මේකිත් එහෙම කියයිද කියලා”

“මේක ඊට වඩා වෙනස්නෙ අම්මේ… අම්මා මං කියන දේ කරන්නකෝ. මං නැතිව වගකීම බාර ගන්න බෑ කියන්න. ඒ චාරිත්‍රයට වැඩ කරන්න ඕනේ කියලා කියන්න. කොහොමත් ඊට පස්සේ තුන්මාසේ පනිනකල් ඕකි ආපහු මේ ගෙදරට එන්නේ නෑනේ.” 

“ඊට පස්සේ උඹ මොකක්ද කරන්න හිතන් ඉන්නේ.”

“ඊට පස්සේ කරන්න ඕන දේ මං අම්මට කියන්නම්. දැනටමත් මට හොඳ බිලක් ගිහිල්ලා ඇති.” 

“පුතේ අර සල්ලි ටික…”

“තාම පඩියක්වත් හම්බවෙන්නේ නැතුව මං කොහොමද අම්මේ සල්ලි එවන්නේ. විනාඩියකට දෙකකට කතා කරන කතා කරන සැරේට පොලී  මුදලාලි වගේ සල්ලි ඉල්ලන්න එපා.”

“නෑ පුතේ  මං ඒක මේ නිකමට මතක් කලේ.”

“මං තියන්නම් එහෙනම්…”

ශ්‍රියාලතා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබේවායැයි පැවසුවත් ඒ හඬ මනුජිත්ට නොඇසුණු බව ඈ දැන සිටියේ නැත. සැමියා ගෙන ආ පාන් රාත්තල කන්නට හාල්මැස්සන් හොද්දක් සකස් කල යුතුයැයි සිතූ ඈ මුළුතැන් ගෙයට ගියේ දුරකතනය කාමරයේම තබමින්ය. සැමියා උන්නේ විසිත්ත කාමරය මැද තිබූ රූපවාහිනිය නරඹමින්ය. දෙපැත්ත කළු පැහැවී ගිය රූපවාහිනී තිරය දැන් තවත් කුඩා වී ඇතුවා සේය. මේ රූපවාහිනිය මනුජිත් කුඩා කාලයේදී  මිලදීගත් එකකි. පෙට්ටි හැඩය ගත් මේ අයුරේ රූපවාහිනී යන්ත්‍ර දැන් නිවාසවල නැති තරම්ය. ගෙවී ගිය කාලයේ එය හත් අට වරකට වඩා සාදන්නට ඇතැයි ශ්‍රියා ලතා සිතුවාය. 

“දැන් නම් මේවයේ කෑලි එන්නෙත් නෑ කියලා කියනවා ශ්‍රියාලතා.”

අවසන් වරට රූපවාහිනිය අලුත් වැඩියා කරන්නට ගිය වේලේ සැමියා එසේ පැවසූ අයුරු ශ්‍රියාලතාට සිහි වූයේත් ඒ හදිසියේමය. මනුජිත්ට ඉගැන්නුවා විනා නිවසේ අඩුපාඩුවක්වත් මිලදී ගන්නට තමන් උනන්දු නොවූ වග ඇය දනී. ඇය බලාපොරොත්තු ගොඩක් සිත තබාගෙන බලා සිටියේ මනුජිත්  විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව රැකියාවක් කර ඒ සියලු අඩුපාඩුන් පිරිමසා දෙන තුරුය. 

“කොහෙද ඉතිං මේ ගෑනි මගේ දරුවාගේ කරේ එල්ලුනා. එහෙම නොවුනානම් මේ වෙද්දි අපේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා තියෙන්න තිබුණා.”

ශ්‍රියාලතා ගෑස් ලිප මත වූ කුඩා ඇතිලි දෙක ඇර බැලුවේ දහරා මුළුතැන් ගෙය තුළ නොමැති බව සැක හැර දැනගෙනය. නාන කාමරයේ වතුර ශබ්දයෙන් ඈ එය තහවුරු කර ගත්තාය. ඉන් එකක තැම්බූ  බිත්තරයක්ද අනෙක් ඇතිලියේ පරිප්පු හොද්දක්ද විය. කුඩා මුට්ටියක රතු කැකුළු සහලේ බත් ස්වල්පයක්ද විය. මදක් එහාට වන්නට වූ පිඟානක ලූණු තක්කාලි සහ දම් පැහැති ගෝවා වර්ගයක් එක්කර  සෑදූ සලාදයකි. 

‘මේකි තනියෙන් උයන්න පටන් අරගෙන අපිට වඩා හොඳට කනවා..’

තමාටම පවසා ගත් ශ්‍රියාලතා අත දිගු කළේ බිත්ති කබඩය තුළ වූ පරිප්පු බෝතලය අල්ලා ගන්නටය. නාන කාමරයේ දොර ඇරුනේත් දහරා ඉන් පිටතට පැමිණියේත් එවේලෙහිය. 

“අම්මේ තාත්තා හරි බත් කනවනම්  අහල කන්න දෙන්න…”

ඕ එසේ පැවසූයේ තුවාය කර ලා ගන්නා ගමන්ය.

එහෙත් ශ්‍රියාලතා ඊට ප්‍රතිචාර ලෙස කිසිවක් නොකීවාය. මෙතෙක් වේලා නොවූ බඩගින්නක් දැණුනේ ඇතිලි වලට එබී බලද්දීය.

“ඇයි අපි දෙන්නට හාල් චුට්ටක් ලිපේ තියලා කිරි හොද්දක්  හදලා ගත්තනම් මදිද…”

සැමියා එසේ පැවසූයේ  රාත්‍රී ආහාරය සඳහා පාන් ගෙන එන්නයැයි ශ්‍රියාලතා පවසද්දීය. 

දැන් උදෑසනටවත් දහවලටවත් මේ නිවසේ ඔවුන් වෙනුවෙන් බතක් නොඉඳෙන තරම්ය. උදෑසන ශ්‍රියාලතා ආහාරයට ගන්නේ පෙරදා රාත්‍රියෙහි ඉතුරු වූ පාන් පෙත්තකි. උදෑසනත් දහවලත් සැමියා ආහාර ගන්නේ පිටතින්ය. 

“මේ දහජරාව හැමදාම ගිලින්න බෑ ශ්‍රියාලතා. අඩුවට කියලා කෑවට වතුරයි බතුයි කනවා වගේ.”

ඔහු කිහිප වරක්ම මැසිවිලි නැගුවා ශ්‍රියාලතාට මතකය. එහෙත් මනුජිත් නොමැතිව මෙම නිවසේ බතක් ඉදී කුමකටදැයි ඇයට සිතිණ. මේ අයුරින් පිරිමසා ගතහොත් කීයක් හෝ ඉතුරු කර ගත හැක. දහවල ශ්‍රියාලතාගේ කෑම වේල පිරිමැසෙන්නේ කිරි පිටි කෝප්පයක පොඟවා  ගන්නා ක්‍රීම් කැකර් බිස්කට් කිහිපයකින්ය. දහරා නිවසට පැමිණියාට පසුව දෙවේලෙහිම ඉවුම් පිහුම්  කටයුතු සිදු වූයේ ඈ අතින්ය. පිරිමසා ගැනීමටත් වඩා දැන් ශ්‍රියාලතාට වන්නේ මුළුතැන් ගෙහි වැඩ කටයුතු කිරීමේ කම්මැලිකමකි.

                                *****************

“රමාෂ් වගේ පිරිමි මේ සමාජෙ ජීවත් වෙනවා කියලා හිතනකොටත් පුදුමයි බං”

දහරා එසේ පැවසූයේ යෙහෙළිය සමඟ රාත්‍රියේ දුරකථනයෙන් කතාකරමින් සිටියදීය. 

“එහෙම පිරිමි ළමයි මේ සමාජෙ ඇති. අවාසනාවකට ඉස්සර වෙලාම උඹට හම්බවුණේ මනුජිත් වගේ පිරිමියෙක්. එහෙම උනහම මිනිස්සු තව කෙනෙක් විශ්වාස නොකර යනවා. මේ මං උඹගෙන් අහන්න හිටියේ. අර ඒ දවස්වල මනුජිත්ගේ යාළුවෙක් උඹට නිතරම කතා කරන්න ට්‍රයි කළා නේද.”

“ඒ මනුස්සයා තවමත් ට්‍රයි කරනවා අනේ.. සමහර වෙලාවට එක එක විදිහේ නම්බර්ස් වලින් ගන්නවා. තවත් සමහර වෙලාවට මැසේජ් කරනවා. මං ඒ එකක්වත් දැක්කේ නෑ වගේ ඉන්නවා. මට වෙලාවකට හිතෙනවා ඒ මනුජිත් කවුරුහරි දම්වල කරවන වැඩක්ද කියලා.”

“ඔව් ඉතින් එහෙම නෑ කියල කියන්නත් බෑ ඌ කරපු කියපු දේවල් වල හැටියට. දැන් උඹට කතා කළේම නැද්ද.”

“එදායින් පස්සේ නම් කතා කළේ නෑ. හැබැයි මං අද උදෙත් අම්මගෙන් ඇහුවහම ‘ඒ ළමයා තමන්ගේ අම්මටනම් කතා කරනවා කියලා කිව්වා’.  මොනවද කිව්වේ මොකද වෙන්නේ? ඒ කිසි දෙයක් අහන්න බෑනේ බං. මේ මනුස්සයා කතා කරන්නෙම අනිත් පැත්තට. අපිට හම්බවෙන්න ඉන්නෙ පුතෙක් කියලා මං එයාට මැසේජ් එකකුත් දැම්මා. අඩු තරමින් ඒක බලලවත් නැහැ. නම්බර් එක මාරු කරලද දන්නෙත් නෑ.”

“එහෙම කළානං මිනිහා ඔය උඹව මග අරින්නම ගිය ගමනක්. ආපහු ලංකාවට එන්නේ නැතුව හිටියොත් අපි කොහේ කියලා හොයන්නද බං.” 

“එහෙම කරයිද මට කෙසේ වෙතත් අම්මටයි තාත්තටයි…”

“ඔය මිනිහට අම්මයි තාත්තයි ගැන හැඟීමක් තිබුනනම් උඹව අමාරුවේ දාන්න  කලින් දෙපාරක් හිතෙනවනේ බං.”

“එහෙම කියද්දි මට බය හිතෙනව නිශාදි. වෙලාවකට හිතෙනවා මටත් දරුවෙක් එක්ක තනිවෙන්න වෙයි කියලා.” 

“දැන් කියලා ඉතින් වෙනසක් නෑනේ. මිනිහගෙ ගෙදර කියලා ඒ ගෙදර  කාමරේක ඉන්න එක විතරයි වෙනසකට තියෙන්නෙ.”

“අනේ එහෙම නෙමෙයි. කවද හරි අපි තුන්දෙනාට එකට එකතු වෙන්න ලැබෙන්න  කියලා ප්‍රාර්ථනා කරන්න.”

“අනේ මේ බම්බුව උඹත් එක්ක කතා කරනකොට මට කේන්ති යනවා බං. දැන් උඹ කෑවද කියල කියහන්කෝ. අර මනුස්සය වියදම් කරලා අරන් දීපු දේවල් වලින් ප්‍රයෝජනයක් ගනින්..”

“තාම කෑවේ නෑ උයලා තියල ආවේ..”

“ටික ටික ශක්තිමත් ගෑනියෙක් වෙයං බං. ගැරඬිය වුණත් දරමිටි බඳින්න ගත්තේ ඌට පෙනයක් නැති නිසානේ”

“අම්මේ මෙයා දන්න දේවල්…..”

“අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහිල්ලත් තේරුම් ගන්න බැරි වෙච්ච දේවල් උඹට ඇතිවෙච්ච මේ ප්‍රශ්නෙත් එක්ක මං තේරුම් ගත්තා බං. හරි යන්න ගොඩක් කල් ගියාට මනුස්සයෙක්ට වරදින්න යන්නේ තත්පරයයි.”

“මේ හැමදේම මං නොදන්නවා නෙමෙයි නිශාදි. මටත් පුළුවන් කෑ ගහන්න, බනින්න, රණ්ඩු වෙන්න, අඬන්න.. ඒත් එහෙම කරලා මං මේ ජීවිතේ මොනවා දිනාගන්නද කියලා මටම හිතෙනවා. රමාෂ්  කිව්වා වගේ හිතට සහනයක් නැතුව මොනව ලැබුණත් මොකටද. මං දැන් ඉන්නේ මගේ ඉවසීමේ අන්තිම වෙන්න ඇති. දරුවා ලැබෙනකල්  විතරයි මං මේ හැම දේකටම උත්සහ කරන්නෙ. එහෙම කළොත් මට ආපස්සට හැරිලා සතුටු වෙන්න පුළුවන් මම නිකම්ම නිකං කිසි දෙයක් අතෑරියේ නෑ කියලා. මං මගේ දරුවට යුතුකම් ඉෂ්ඨ කරන්න උපරිමයෙන් වෙහෙස වුණා කියලා. හැබැයි ඒ දේවල් බලාපොරොත්තු විදිහට නොලැබුනාට අමුතු දුකක්වත් අමුතු සතුටක්වත් දැන් මගේ හිතේ නෑ. ඊට පස්සේ දරුවා හදාගෙන ජීවත් වෙන්න ඕන ක්‍රමය මං දන්නවා…”

“උඹට හැමදාම මං ඉන්නවා…”

නිශාදී එසේ පැවසූයේ දහරාගේ හඬ නෑසී ගියාට පසුවය. දහරා  හයිය කෙල්ලකි. එසේ නොවීනම් ඇයට මේ සා දුකක් වේදනාවක් දරා ගැනීම ලේසි පහසු වන්නේ නැත.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here