මතකයක සේයා – 33

0
1274

මන්දාකිණි සමඟ බොහෝ වේලාවක් වාද කරමින් හිඳ ශෙනාල් ගේ දෙමව්පියන් පිටව ගියේ ඇගේ හදවතට තවත් බරක් එකතු කරමිනි. එහෙත් ඔවුන් දෙදෙනාට පැවසූ දේවල් පිළිබඳව පසුතැවීමක් මන්දාකිණි තුල වූයේ නැත.

” ශෙනාල් ගේ තාත්තා නිකන් හිටියත් මං මේක ලේසියෙන් අතාරියි කියලා හිතන්න එපා. තමුන් කාගේ කවුරු වුණත් කොච්චර සල්ලි තිබුනත් මට වැඩක් නැහැ.මට වැදගත් මගේ ළමයා විතරයි. අපේ එකාත් මොන එහෙකට එල්ලුනාද මන්දා නොගැලපෙන උන්ට “

ශෙනාල් ගේ මව වූ සුසිලා විනාඩි කිහිපයකට පෙර තමා ඉදිරියේ දී පැවසුවේ කෝපයෙන් පුපුරමිනි. ඇය එම වචන කිහිපය පවසා අවසන් කරනවාත් සමගම මන්දාකිණි වාඩි වී සිටි සුව පහසු අසුන වේගයෙන් පසුපසට තල්ලු කරමින් නැගී සිටියාය.ඒ අනපේක්ෂිත නැගී සිටීමෙන් ශෙනාල් ගේ මවත් පියාත් දෙදෙනාම තිගැස්සුනු බව මන්දාකිණි පැහැදිලිවම දුටුවාය.

” නොගැලපෙන තැනක පැටලුණේ මම. එහෙම පැටලිලාත් ඔක්කොම අසාධාරණකම් ඉවස ගෙන හිටියෙත් මම. අම්මා ඔය කියන හොඳ පුතා කරපු දේවල් එකින් එක කියන්න ගත්තොත් අම්මට හිතෙයි ඒ පුතාව හැදුවට වඩා හොඳයි නිකන් හිටියනං කියලා. අම්මයි තාත්තයි දැන් මෙතනින් යන්න.මාත් එක්ක ඇවිල්ල කතා කරා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකද එයා මට ගහපු විදිහ ඒ රෙස්ටූරන්ට් එකෙන් CCTV පොලිසියට දීල තිබුණා. ඉතින් එහෙම තියෙද්දි ශෙනාල් ට ගැලවෙන එක කොහොමත් ලේසි වෙන්නේ නැහැ. හැබැයි අම්මයි තාත්තයි තව මෙතන කලබල කරන්න ආවොත් මට ඒකට විරුද්ධ වත් මොනවා හරි කරන්න පුළුවන් කියලා මතක තියා ගන්න ” 

මුහුණින් මුහුණ බලා ගත් ශෙනාල් ගේ මවත් පියාත් කාර්යාල කාමරයෙන් පිටව ගියේ පරාජිත හැඟීමෙනි. තමා ආවේගශීලී වූවාද එසේත් නැතිනම් තමා වෙනුවෙන් පෙනී සිටියාද කියා තෝරා බේරා ගත නොහැකිව මන්දාකිණි එම ඉරියව්වෙන්ම නැවත අසුනට කඩා වැටුණාය.

ගෙවී ගිය අවාසනාවන්ත රාත්‍රියේ දී සිදු වූ කිසිවකට තමා කිසිසේත්ම වැරදි නොමැති බැවින් තමා බිය විය යුතු නැති බව සිතමින් මන්දාකිණි ශෙනාල් ගේ දෙමව්පියන්ගේ පැමිණීමට පෙර යන්නට සූදානම් වූ බැංකු ගමන යාමට පිටත් වූවාය.

Elegant space By Mandi වෙතින් පිටත් වුනු ශෙනාල් ගේ දෙමව්පියන් කෙලින්ම පැමිණියේ පොලිස් ස්ථානය වෙතය. තම පුතු වෙනුවෙන් මෙවැනි ගමනක් පැමිණෙන්නට සිදු වේ යැයි සිතා නොතිබුණු නිසා දෙදෙනාම උන්නේ කම්පනයෙනි.එම නිසා පොලිස් ස්ථානයට ඇතුළු වූ ඔවුන් දෙදෙනා වටපිට බැලුවේ මීළඟට කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිවය. ඔවුන් දෙදෙනාව දුටු පොලිස් කොස්තාපල්වරයෙක් ඔවුන් අසලට පැමිණියේ විමසිල්ලෙන් බලමිනි.

” මොකක්ද කාරණාව ? “

” මේ.. මහත්තයෝ අපේ පුතාව ඊයේ රෑ ගෙනල්ලා තිබුණා.මේ. ඒක ආරංචි වෙලා අපි ආවේ බලන්න “

ශෙනාල් ගේ පියා පොලිස් නිලධාරියා වෙත පිළිතුරු දුන්නේ දැනෙමින් තිබෙන අසරණ බව යටපත් කර ගන්නට උත්සාහ දරමිනි.

” පුතා ගේ නම මොකක්ද? “

” ශෙනාල් ” 

අනතුරුව පොලිස් නිලධාරියා ගේ මුහුණෙහි ඇඳුනේ සමච්චල් සහගත සිනහවකි. 

” ආ. අර රෙස්‍ටූරන්ට් එකකදි ගෑනු ළමයෙක්ට ගහපු එක්කෙනා නේද ? ” 

ශෙනාල් ගේ දෙමව්පියන් මුහුණින් මුහුණ බලා ගත්තේ ලැජ්ජාවෙනි. එහෙත් තමන් දෙදෙනාට මෙයට මුහුණ දෙනවා හැරුණු කොට මේ මොහොතේ දී කල හැකි කිසිවක් නැත. 

” ඔ.. ඔව් මහත්තයෝ “

ශෙනාල් ගේ පියා පිළිතුරු දුන්නේ පෙරටත් වඩා හඬ අඩු කරය.පොලිස් නිලධාරියා සිර මැදිරි පිහිටා තිබෙන කොටස දෙස බලා නැවත ශෙනාල් ගේ පියා දෙසට හැරුනේය.

” එයාව උසාවි ගෙනිහිල්ලා තාම ගෙනැල්ලා නැහැ.එන්න තව ටිකක් වෙලා යයි.තව කීප දෙනෙක් එක්කනෙ ගියේ. ඒ නඩුත් ඔක්කොම ඉවර උනාම තමයි කට්ටියව ආපහු ගේන්නේ. කොහොමත් මං හිතන්නේ ඕගොල්ලන්ගේ පුතාව නම් ඉක්මනට එළියට ගන්න බැරි වෙයි.එයා ඒ වෙලාවේ බීලත් නේ ඉඳලා තියෙන්නේ. අනිත් එක අර ගෑනු ළමයා විතරක් නෙමෙයි, ඒ රෙස්ටූරන්ට් එකෙනුත් මෙයාට විරුද්ධව ඇන්ට්‍රි එකක් දාලා තියෙනවා “

දෙදෙනාම මුහුණු බිමට බර කර ගෙන නිහඬ වූ අතර පොලිස් නිලධාරියා පිටව ගියේය. අනතුරුව බංකුවකට වාරු වූ ශෙනාල් ගේ පියා සුසුමක් පිට කළේ කලකිරීමෙනි.

” අපිට ඉන්න එකම ළමයා මෙහෙම අපරාධයක් කර ගනී කියලා කවුද හිතුවේ සුසිලා “

ශෙනාල් ගේ මව , ශෙනාල් ගේ පියා වූ ශාන්ත අසලින් වාඩි වූයේ සුපුරුදු කෝපයෙනි.

” මේ ඔක්කොට වග කියන්න ඕන අර නැට්ටිච්චි. දැක්කනේ අපිට කතා කරපු හැටි “

” ඒක අතකට මට හිතෙනවා ඒ ළමයාගේ අතේ වරදක් නෑ කියලා. කොහොමත් අපේ ළමයා කේන්ති කාරයා නේ සුසිලා. අනිත් එක අපේ එක්කෙනා ඒ ළමයට ගහනවා කැමරා වලත් තිබිලනේ. ඉතිං අපිට කියන්න බෑ නේ ඒක උනේ නෑ කියලා. එළියේදී එහෙම හැසිරෙන මිනිහා ගෙදරදි කොහොම වෙන්න ඇතිද ? “

ශාන්ත පැවසුවේ තම පුතු කෙරෙහි දැනෙන කලකිරීමට වඩා ඔහුගේ පියා වීම කෙරෙහි දැනෙන ශෝකයෙනි.

” පුතාට එහෙම කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. කවුද දන්නේ අරකී අපේ පුතා ගෙන් සල්ලි එහෙම හුරන් කනවද කියලා “

සුසිලා පරාජය භාර ගැනීමට සූදානම් වූයේම නැත. ඇය ඒ මොහොතේ දී පවා උත්සාහ දැරුවේම ශෙනාල් අතින් සිදුවී ඇති සියලු වැරදි සාධාරණීකරණය කිරීමටය. එහෙත් වරදක් සිදු වී ඇත්නම් එය තම පුතු අතින් වුවද වරදක්ම බව ශාන්ත ඒ වන විටත් පිළිගෙන සිටියේය.

” ශෙනාල් ඉගෙන ගන්න පුළුවන් ඉහළටම ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන බව ඇත්ත. ඒ උනාට ඒ ගෑණු ළමයට ඊට වඩා සල්ලි තියෙන බව පේනවා සුසිලා. නැත්තං ඔච්චර ලොකු බිස්නස් එකක් කර ගෙන යන්න බෑ. අනිත් එක ඒ ළමයා රණ්ඩු සරුවල් කර ගන්න මෝඩ ළමයෙක් නෙමෙයි කියලමයි මට හිතෙන්නේ. හරි වැදගත් පාට ළමයෙක් “

ශාන්ත ඉදිරිය බලා ගෙන කීවේය. එවදන් ඇසුණු පසුව සුසිලා ගේ සිතෙහි වූ කෝපය තව තවත් බුර බුරා ඇවිලෙන්නට පටන් ගත්තේය.

” තමුසේ මොකටද ඔච්චරම ඒකි ගෙ පැත්ත ගන්නේ? වැරැද්ද කාගේ වුණත් , වෙලා තියෙන්නේ මොනවා උනත් මේ හිරේ වැටිලා ඉන්නේ අපේ එකම ළමයා. අපි ගන්න ඕන ඒ ළමයා ගේ පැත්ත “

” අපි එයා ගේ පැත්ත ගත්ත නිසා තමයි එයාට මෙහෙම වෙලා තියෙන්නේ.දැන් වත් ඒක පිළිගන්න සුසිලා. එයා වැරැද්දක් දෙකක් කරනකොට ඒක පෙන්නලා දුන්න නං, කරදඬු උස් මහත් වුණාට පස්සෙත් යාළුවොත් එක්ක ගහ මරා ගෙන ගෙදර එද්දි එහෙම කරන්න හොඳ නෑ කියල, කියල දුන්න නං අද මෙහෙම ඔයාටයි මටයි පොලිසියක බංකුවක් උඩ වාඩි වෙලා ඉන්න වෙන්නේ නෑ සුසිලා. කවදාවත් ඔයයි පුතයි මම කියපු දෙයක් ඇහුවද ? මං මොකක් හරි වැරැද්දක් පෙන්නලා දෙන කොට  හැමදාම ඔය දෙන්නා එක පැත්තක ඉඳගෙන මට අනං මනං කිව්ව ජීවිතේ පිළිවෙලක් කර ගන්න හිතුවේ නෑනේ. “

ශාන්ත කාලයක් පුරාවට හදවතේ තැන්පත් වී තිබුණු බොහෝ කාරණා වේදනාත්මක වචන ඔස්සේ පිට කරමින් උන්නේය. සුසිලා වචනයක් හෝ නොදොඩා ඉදිරිය බලා උන්නේ ශාන්ත පැවසූ සෑම වචනයකම ඇති සත්‍යතාවය නිසාත් ,තම එකම පුතු මෙවැනි ඉරණමකට  ලක් වීමට තමාත් හේතුවක් වන නිසාය.

” ශෙනාල්ව ගෙනාවම කන්න දෙන්න කෑම එකක් වත් කඩෙන් ගෙනාව නම් හරි.කාලාත් නැතුව ඇතිනේ හරියට “

ශාන්ත වාඩි වී සිටි බංකුවෙන් නැගිටිමින් කීවේ හදිසියේ මතක් වූ කාරණාවකි.සුසිලා ද එයට අවනත වෙමින් ඊළඟ තප්පරයේදීම බංකුවෙන් නැගී සිටියාය.ඔවුන් දෙදෙනාම පොලිස් ස්ථානයෙන් පිට වන්නට සූදානම් වූයේ ඒ අවට ඇති කුමක් හෝ අවන්හලක් සොයා යෑමේ අරමුණිනි. එහෙත් එයට පෙර ශාන්ත පොලිස් ස්ථානයෙන් පිටතට තැබූ පය ආපස්සට ගත්තේය.

” අන්න ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here