මතකයක සේයා – 34

0
1096

 ශෙනාල් ව උසාවියේ ඉඳලා පොලිසියට ගෙනාපු වෙලාවේ එයා ගේ අම්මා ඉතින් එතන අඬලා කරලා  සෑහෙන කලබල කරලලු අම්මා. මම විස්තර මොන හරි දැන ගන්න කියලා පොලිසියට ගිය වෙලාවේ තමයි මට එතන කෙනෙක් කිව්වේ.”

කෛලාශ් ඇන්ඩ්‍රියා අමතා පසුගිය දින කිහිපයේ සිදු වූ සියල්ල නොසඟවාම පැවසුවේය.

” මොනා උනත් මන්දාකිණී ඒ අම්මටයි තාත්තටයි කතා කරපු විදිහ ගැන මට පුදුමයි අම්මා.මොකද එයා මෙච්චර කාලයක් හිටියේ හැමදේටම ඔලුව පාත් කර ගෙන නේ.දැන් වත් එයා , එයා වෙනුවෙන් කතා කරන එක ලොකු දෙයක්.ඒ අම්මයි තාත්තයි හරියට මන්දාකිණි ට කතා කරලා තියෙන්නේ ශෙනාල් ගේ අතේ කිසිම වැරැද්දක් නැති ගානට.ඒ අම්ම නම් පිලිගන්න කැමති වෙලාම නැහැ වැරැද්ද වෙලා තියෙන්නේ පුතා ගේ අතින් කියලා “

ශෙනාල් විසින් මන්දාකිණි හට අවන්හලේ දී පහර දුන් දිනයේ සිට ඇය බොහෝ සේ වෙනස් වී තිබුණු අතර වෙනදා ඇය තුළ නොතිබුණු ආත්ම ශක්තියක් සහ ධෛර්යයක් ඇය කෙරෙන් නොඅඩුවම දක්නට තිබිණි.ඒ පිළිබඳව කෛලාශ් උන්නේ බොහෝ සතුටෙන්ය.

” තමන් හරි නම් පිට අය මොනවා කරත් කිව්වත් වැඩක් නැහැ පුතා. ගොඩක් ඉවසන ගෑණු අය අන්තිමට කාටවත් රිද්දන්න බැරි තරමටම ගල් ගැහෙනවා. මන්දාකිණි ට දැන් වෙලා තියෙන්නේත් ඒක.මෙච්චර කල් එයා අඳුර ගත්තේ නැති එයා ගේ වටිනාකම එයා දැන් අඳුරගෙන තියනන එකම කොච්චර ලොකු දෙයක්ද පුතා. ඒක නෙමෙයි. මං ඔයා ගෙන් දෙයක් අහන්නද? “

දින කිහිපයක් මුළුල්ලේම කෛලාශ් ගෙන් අසන්නට සිටි යමක් ඇසීමට ඇන්ඩ්‍රියා මුල පිරුවාය.

” මොකක්ද අම්මා ? අහන්න ? “

” හැබැයි ඔයා මට ඇත්තම කියන්න ඕනේ “

ඇන්ඩ්‍රියා කීවේ තරවටුවක හඬින් වුවත් එහි ගෑවී තිබුණේ කෛලාශ් කෙරෙහි වූ අප්‍රමාණ ආදරයමය. 

” මං කවදාවත් අම්මට බොරු කියලා නෑනේ.අනිත් එක අම්මා දන්නවනේ මට අම්මට කියන්න බැරි දෙයක් නෑ කියලා “

කුඩා වියෙහි සිටම කෛලාශ් ඕනෑම දෙයක් ඇන්ඩ්‍රියා සමග බෙදා ගන්නට පුරුදු වී සිටියත් තරුණ වියට එළඹි පසුව තීරණ ගැනීමේ දී සෑම විටම ඔහුට ස්වාධීන වීමට ඇන්ඩ්‍රියා මෙන්ම එරික් ද කටයුතු කළෝය. එම නිදහස කෛලාශ් කිසිවිටකත් අයුතු ලෙස ප්‍රයෝජනයට නොගත් නිසා දෙදෙනාටම ඔහු පිළිබඳව බියක් වූයේ නැත. 

” ඔයාට මන්දාකිණි ගැන මොකක් හරි අදහසක් හිතේ තියෙනවද ? මං අහන්නේ එයාව මැරි කරන්න වගේ ? ” 

ඇන්ඩ්‍රියා සෘජුවම කාරණාවට එළඹියාය. තම මව අසන්නට සූදානම් වන්නේ එය බව පළමු මොහොතේම කෛලාශ් හට දැනුනු නිසා එයට දිය යුතු පිළිතුර ද ඔහු සූදානම් කර ගෙන සිටියේය.

” අම්ම දන්නවනේ මතක ඇති කාලෙක ඉඳලම එයාව හොයා ගන්න එක ඇරෙන්න වෙන දෙයක් මගේ ඔළුවේ තිබුණේ නෑ කියලා. ඇත්තටම මම එයාව එහෙම හෙව්වෙ ඇයි කියල මම දන්නේ නෑ අම්මා. එහෙම හොයා ගත්තට පස්සේ මොනවද කරන්නේ කියල වත් මට අයිඩියා එකක් තිබුනේ නැහැ. ඒත් මට දැනෙනවා අම්මා මං එයාට හරි ආදරෙයි කියලා. ඒත් එහෙමයි කියලා මට එයාව අයිති කර ගන්න ඕනේ කියලා ලෝබ කමක් දැනෙන්නේ නැහැ. ශෙනාල් කියන්නේ මන්දාකිණි ගේ සල්ලි වලට ආදරේ කරන මිනිහෙක් මිසක් කවදාවත් මන්දාකිණි ව ආදරෙන් බලා ගන්න හිතන මිනිහෙක් නෙමෙයි. ඒ නිසා අම්මා මට මුලින්ම ඕනේ මේ වෙලාවෙ එයාට උදව් කරන්න ” 

ඇන්ඩ්‍රියා නිහඬව අසා උන්නාය. තම කුසින් නොවැදුව පුතු බොහෝ යහපත් ගති ගුණ සහ ආකල්ප ඇතිව උස් මහත් වී තිබීම පිළිබඳව ඇය හදවතින් ආඩම්බර වූවාය.

” අම්මා අහ ගෙනද ඉන්නේ ? “

ඇන්ඩ්‍රියා මුනිවත රකින බැවින් කෛලාශ් ඇසුවේය.

” ඔ..ඔව් පුතා. මම අහගෙන ඉන්නේ “

” ශෙනාල් ගෙන් අයින් වෙන්න මම මන්දාකිණි ට උදව් කරේ එයාව අයිති කර ගන්න අදහසකින් නෙමෙයි අම්මා.එයා දුක් විඳිනවා බලන් ඉන්න බැරි කමට. කොහොමත් මම කිව්ව නිසා නෙමෙයි මන්දාකිණි ලීගල් ඇක්ශන් වලට ගියේ.එදා තිබ්බ සිටුවේෂන් එකත් එක්ක එයාට එහෙම කරන්න වුණා.ඊට පස්සේ කරපු හැමදේමත් එයා කරේ එයාට ඕන හින්දා “

කෛලාශ් කීවේ දෙගිඩියාවෙනි. කෙදිනක හෝ මන්දාකිණි ශෙනාල්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම ට තමා විසින් ඇයව පෙළඹුවා යැයි කියා චෝදනා කරනු ඇතැයි කෛලාශ් තුළ බියක් වූයේය. කෛලාශ් පැවසූ කාරණා වලින් ඇන්ඩ්‍රියා හටද එය තේරුම් ගත හැකි විය.

” ඔයා හිතන්න එපා මන්දාකිණි කවදා හරි ඔයාට බ්ලේම් කරයි කියලා. එයා එච්චර මෝඩ ළමයෙක් නෙමෙයි පුතා.ඒ නිසා ඔයා ඒ වගේ දෙයක් හිතලා පොඩ්ඩක් වත් වොරි වෙන්න එපා. තේරුනාද ? “

” ඔව් අම්මා. මන්දාකිණි කියන්නේ මහ පුදුම කෙල්ලෙක්. එයාට ඔහොම උන එක පව් කියලා හිතෙනවා ” 

” දෙයක් වෙන්න තියෙනව නම් ඒක වෙනවා පුතා. ඔයා දැන් ඕව ගැන හිතන්න එපා.ඔයා දැන් හිතන්න ඕනේ ඔයා ගේ හොටෙල් එකේ ඕපනින් එක ගැන. මන්දාකිණි කොහොමටත් ඔයත් එක්ක ඉන්නවනේ “

හෝටලය විවෘත කිරීමේ උත්සවය පිළිබඳව කෛලාශ් හට සිහිපත් වූයේ ඇන්ඩ්‍රියා ඒ පිළිබඳව කතා කළ පසුවය. පසුගිය දින කිහිපයේ තිබූ කලබලකාරී තත්ත්වය මධ්‍යයේ වුවද මන්දාකිණි හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධ ඇගේ කාර්යභාරය නොපිරිහෙලාම ඉටු කළාය.ඊට අමතරව හෝටලය විවෘත කිරීමේ උත්සවයේ සියලු සැලසුම් කටයුතු සිදු වූයේද මන්දාකිණි ගේ අදහස් වලට අනුවය.

” මට ඒකේ කරන්න කිසිම දෙයක් නෑ අම්මා. ඒ හැමදේම මන්දාකිණි බලල කරනවා “

” එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ.එයා වැඩේ හරියට කරන්නේ නෑ කියලා ඔයා කලින් බැන බැන නේ හිටියේ “

කෛලාශ් මව් බිමට ගිය මුල් දිනවල දී මන්දාකිණි පිළිබඳව පැවසූ දේවල් සිහිපත් කරමින් ඇන්ඩ්‍රියා සැහැල්ලුවෙන් සිනාසුනාය.කෛලාශ් ද ඒ සිනහවට එකතු වූයේ තම දෑස් මානයේ හිඳින්නේ තම මතකයේ ඇඳි සේයාව වූ ලියානා නම් කුඩා දැරිය බව නොදැන තමා හැසිරුණු ආකාරය පිළිබඳව සිහිපත් කරමිනි.

” ඔයාලා දෙන්නටත් opening එකට එන්න තිබුන නම් හොඳයි අම්මා. ඒ වුනාට ඉතින් ඔහේ තියෙන වැඩත් එක්ක තාත්තාට වෙලාවක් හොයා ගන්න අමාරුයි නේ “

” අපි දෙන්නා ඔතන හිටියේ නැති උනාට අපි දෙන්නගේ ආශිර්වාදය ඔයත් එක්ක හැමදාම තියෙනවානේ පුතා. ඒ නිසාම තමයි තාත්තයි මමයි ඔයාට ලංකාවට එන්න ඉඩ දුන්නේ. අපිට ඔයාව අපි ළඟ තියා ගන්න ඕනේ නම් අපි එහෙම එන්න දෙන්නේ නැහැ නේ.අපි දෙන්නටම ඕන උනේ ඔයා ආස කරන විදියට ඔයා ජීවත් වෙනවා බලන්න “

තවත් බොහෝ වේලාවක් ඇන්ඩ්‍රියා සමඟ බොහෝ දේ කතා බහ කළ කෛලාශ් ඇමතුම අවසන් කළේ සැහැල්ලු වූ සිතිණි. හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට තව ඇත්තේ දින දෙකක් පමණ නිසා අවසන් කිරීමට බොහෝ වැඩ රාජකාරී තිබෙන බව කෛලාශ් සිතුවේ හෝටලයට යාමට සූදානම් වී නිවසේ තරප්පු පේළිය බසින අතරතුරදීය. 

හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු තමා බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් මන්දාකිණි ගේ මූලිකත්වයෙන් සිදු වී නිමා වෙමින් පවතින නිසා ඒවායේ අඩුපාඩු පරීක්ෂා කිරීමට කෛලාශ් මෙන්ම මන්දාකිණි ද දහවල් වරුවේ පැය කිහිපයක් වෙන් කර තිබිණි. මන්දාකිණි ආයතනයේ වැඩ කටයුතු නිමා කර හෝටලයට පැමිණෙන බව දන්වා තිබුණු නිසා කෛලාශ් ඇයට ඇමතුම් ලබා දෙමින් බාධා කරන්නට නොගියේය.

උදෑසන ආහාරය ලබා ගත් කෛලාශ් තමාව රැගෙන යාමට පැමිණි කැබ් රථය පැමිණෙන තුරු මිදුලේ බංකුවක් උඩ වාඩි වී උන්නේය.විනාඩි දහයකට පමණ පසුව කැබ් රථය පැමිණි බවට දුරකථනයට ලැබුණු පණිවිඩයකට අනුව කෛලාශ් සුවිසල් ගේට්ටුවෙන් පිට වූයේය.ඔහු රථයට නැගීමට සූදානම් වන විටම දුරකථනය නාද වූ අතර ඇමතුම පැමිණෙමින් තිබුණේ මන්දාකිණි ගෙනි.කෛලාශ් රථයට නැගුනේ ඇගේ ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගන්නා අතරේය.

” මම මේ හොටෙල් එකට යන්න කැබ් එකට නැග්ග විතරයි මන්දාකිණි.ඔයා ඔෆිස් එකේ නේද ? ” 

මන්දාකිණි වචනයක් හෝ පවසන්නට පෙර කෛලාශ් ඇසුවේ ප්‍රබෝධමත් හඬිනි.

” කෛලාශ් … මට.. පොලිසියෙන් කෝල් එකක් ආවා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here