සඳ දිය දහරා – 31

0
973

අව් රශ්මිය ඉවසිය හැකි එකක් වූයේ නැත. සාමා කුඩය අකුලා ගත්තේ පෝටිකෝව යටට පැමිණියාට පසුවය. එකී දෑස් විසල් වූයේ වෙනදා හැරී යනු වෙනුවට මනුජිත්ගේ  මව සිනහසෙමින් ඉදිරියට පැමිණෙද්දීය. 

“මං ඒත් බැලුවා කවුද කියලා…’

“මාර අව්වක් තියෙන්නේ..මේ ටික පයින් ආවෙ හරි අමාරුවෙන්.”

“අර ළමයානං කාමරේ මං හිතන්නේ. කතාබහ කරල ආවනම්.. මටත් ටිකක් කතා කරන්න තියෙනවා.”

“ඇයි අක්කේ මොනවා හරි ප්‍රශ්නයක්ද…?”

“නෑ….නෑ එහෙම එකක් නෙමෙයි. කතාබහ කරලා එමුකෝ.”

ශ්‍රියාලතා යළි හැරී ගෙතුලට ගියේ එසේ පවසමින්ය. සාමා දැන් හමා යන සුළඟටත් බියය. එනිසාම ඈ නිවස තුළට ඇවිද ගියේ සිතෙහි වූ සැනසීම බිංදුවටම අහිමි කරගෙනය. 

“මනුජිත් කතා කරනවද පුතේ…”

විනාඩි කිහිපයක් කල් ගත කර විඩා නිවා ගත් සාමා සිය දියණියගෙන්  ඇසුවේ මද හඬකින්ය. තවමත් මේ හිතේ ගින්දරෙහි නිමාවක් නොවේ.

“ගිය ගමන්නේ  අම්මා නිතර කතා කරන්න බෑ. ඒ උනාට පුළුවන් වෙලාවට මැසේජ් කරනවා”

දහරා කලින් කටපාඩම් කරගෙන සිටි බොරුව ඇඟට පතට නොදැනීම කියා දැමුවාය. සාමා මේ ප්‍රශ්නය අසන බව ඈ දැන උන්නාය. වෙනසකට වූයේ මදක් ප්‍රමාද වීමය.

“මනුජිත්ගේ අම්මා කිව්වේ මමත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා. මොකුත් ප්‍රශ්නයක් එහෙම නෑ නේද දහරා.”

“දන්න තරමින්නම් නෑ අම්මේ. හැබැයි එයා ඉතින් අම්මා වගේනම් නෙමෙයි. සමහර වෙලාවට අනිත් අයට ප්‍රශ්නයක් නොවෙන දේවල් එයාට ප්‍රශ්නයක් වෙනවා.” 

“එහෙම තමයි අතේ ඇඟිලි පහ පස් විදිහක් නේ. මිනිස්සුත් ඒ වගේ. ඒ ඒ තැනදි ඒ ඒ විදිහට ජීවත් වුණහම අපිට හිත් රිදව ගන්නේ නැතුව ඉස්සරහට යන්න පහසුයි.” 

“මට නැතිවුනාට ආච්චිගේ අත්ගුණේ ඔයාට හොඳට පිහිටලා තියෙනවා….”

සාමා පැවසූයේ දහරා විසින් බෙදා දුන් බත් පිඟාන කන අතරේය. මහ මෙරක් නොවූවාට සැබවින්ම එය  රසවත්ය. 

“තමන්ගේ මිනිහා තමන් ළඟ රන්ද ගන්න තවත් එක ක්‍රමයක් තමයි කටට රහට උයලා පිහලා  කන්න දෙන එක. තමන්ගේ ගෑනිගේ කෑම එකේ රහ වැටුණු මිනිහා ආපහු පිට තැනකින් කෑම කන්න යන්නෙ නෑ කියනවනේ.”

සාමාට හදිසියේ මතක් වූයේ තමා කසාද බඳින්නට දින කිහිපයක් තියා වත්තේ උන් වැඩිමල් ගැහැණියක පැවසූ කතාවකි. ඒ කතාවල ඇත්ත නැත්ත බලන්නටවත් දිගු කාලයක් සැමියා සමඟ ජීවත්වන්නට නොහැකි වීම ගැන අදටත් සාමාගේ සිතෙහි වන්නේ තැවීමකි. මුල් කාලයේ ඔහුගේ සහෝදරයාත්, මවත්,  පියාත් තමා ගැන සොයා බැලුවද දැන් දුරකතන ඇමතුමක් හෝ ලබා දෙන්නේ නැත. කාලයත් සමගම ඒ සබඳතාවන් ගිලිහී ගියේ ඔවුන්ගේ සිත්වල තමා ගැන ඒසා  ප්‍රසාදයක් නොවන නිසා බැව් සාමා දනී. සැමියා අකාලයේ මිය ගියාට වැරදි කාරිය වූයේත් ඇයය. ගැහැණියකගේ හදහන හොඳනම් ඇය අවාසනාවන්තියක නොවූයේනම් සැමියාව අකාලයේ මියදීමට  හේතුවක් නැතැයි වැඩිහිටි කාන්තාවන් කිහිප දෙනෙකුම පවසනු සාමා අසාගෙනය. සැමියාගේ වියෝවෙන් දුක්ගත් ඇගේ සිතට එවේලෙහි දැනුනේ තමා ගැනම කෝපයකි. 

“ඇයි අම්මේ කල්පනා කරන්නේ. මාම බලන්න ගියාද…

“ගියා…ගියපු මෝඩකම කියලා හිතුනේ එතනට ගියාට පස්සේ. කොච්චර උනත් මට එයා එහෙම ඉන්නවා බලන්න හරි දුකයි. මාමා කියනවා එයාට මේ වැරැද්ද කලේ කවුද කියලා එයා දන්නවලු. එලියට ආවට පස්සේ ඒ ගැන බලා ගන්නවා කියලා.”

“අනේ මොකටද අම්මේ  ආපහු ප්‍රශ්න ඇති කරගන්නේ. එක පාරක් ඒ වැරැද්ද කරපු කෙනාට දෙවැනි පාරත් කරන එක මහ ලොකු දෙයක් නෙමේනේ. ඊට වඩා ලොකු දේකට මාමව පටලවලා අවුරුදු දෙක තුනකට හිරේ යවයි.” 

“කතා කරපු විනාඩි දහයේ මං හිතන්න එක පනස් වතාවකට වඩා මතක් කලේ ඔයාව. මට වෙලාවකට හිතෙනවා එයා එයාගේ ජීවිතේ ගැන නොහිතුවේ අපි හින්දද කියලා.”

“මටත් ඒකම හිතුනා අම්මේ…”

“දැන් මේ අපි කෑවට අර මනුස්සයා කාලද…”

“මනුජිත් ගියාට පස්සෙම අම්මා බත් ඉව්වේ නෑ.”

“ඒක මහා පුදුම කතාවක්නේ දරුවෝ.”

“හවසට පාන් ගේනවා. උදේට ඒකෙන්ම පාන් පෙත්තක් දෙකක් ඉතුරු කරගෙන කනවා. දවල්ට කිරි තේ හදාගන්නව මං දැකලා තියෙනවා අම්මේ. සමහර දවසට තාත්තා එද්දී ආප්ප, ඉඳිආප්ප ඒ වගේ දේවලුත් ගේනවා. බැරිම තැන තමයි මම තනියෙන් උයාගන්න පටන් ගත්තේ. මුලදී මුලදී මං එයාලටත් එක්ක ඉව්වා අම්මේ. ඒ උනාට අම්මවත්, තාත්තවත් ඒවා කෑවේ නෑ. ඒ උනාට මම තව එක්කෙනෙකුට වගේ සෑහෙන්න උයනවා. හැමදාමත් අම්මට කියනව කන්න කියලා. මේ අම්මා ටිකක් වෙනස්. එයා ඔය නක්ෂාත්‍ර වැඩත් හරියට විශ්වාස කරනවා. සමහරවිට මම මොනවා හරි දෙයි කියලා බය ඇති අම්මේ.”

“හ්ම්…ඒකත් එහෙමද…එතකොට අර මනුස්සයා කන්නේ..”

“තාත්තා වැඩ කරන තොග කඩේ ළඟ හෝටලයක් තියෙනවලු. උදේ කෑම එක දෙසීයයිලු. දවල් කෑම එක තුන්සිය පණහයිලු. තාත්තලට කොහොමත් දවල් කෑම එකට එහෙන් සල්ලි ගෙවනවලු. එහෙං කනවා කියලා තමයි කියන්නේ. ඒකත් මං අහගෙන අම්මේ කාත් එක්කද ටෙලිෆෝන් එකෙන් කියනවා.”

“ඒ මිනිස්සුන්ගෙත් පවට පින දෙන්න බෑ.” 

“මමත් තනියම ඒකම හිතුවා.”

“සාමා දහරා උයා තිබූ කෑම කන අතරේ දහරා කෑවේ රීටා විසින් කෙසෙල් කොළයේ ඔතා එවූ බත් මුලය. එය වෙනදා තරම් සරු වූයේ නැත. එහෙත් හාල්මැස්සන් බැදුමත් හින්දවූ පරිප්පු ව්‍යාංජනයත් යහමින් ඇඹුල් දමා සකස් කළ පොල් මැල්ලුමත් කදිම ගැලපුමකි. වෙනදා සේම දහරා බත් ඇටයක් ඉතිරි නොවන්නට සියල්ල කෑවාය.”

“අක්කේ මම තව ටිකකින් යන්න කියලා..”

සාමා ශ්‍රියාලතාගේ කාමරය අසලට ගොස් මදක් උස් හඬින් එසේ පැවසූයේ දහවල ආහාර ගෙන පැයක් පමණ ඉක්මවූවාට පසුවය. අඩ නින්දේ උන් ශ්‍රියාලතා නැගිට කාමරයෙන් එළියට පැමිණියේ ලිහී තිබූ කෙස් කලඹ එක මිටකට ගෙන ගෙඩියක් වන්නට බැඳ ගන්නා ගමන්ය. 

“ඔහෙන් වාඩි වෙමුකෝ. අපේ මහත්තයයි පුතයි දෙන්නම කතා කරලා කිව්වා මේ කාරණේ දහරාගේ අම්මත් එක්ක කතා කරන්න කියලා. ටෙලිෆෝන් එකෙන්. කොයි වෙලාවක හරි බලන්න ඒවි කියලා මම නිහඩව හිටියා.”

“මොකක්ද අක්කේ…”

“අපි අල්ල පනල්ලට හැදිච්ච මිනිස්සු නෙමෙයි. මගේ මගේ මහත්තයාගේ පවුල් දෙකේම උදවිය ඔය චාරිත්‍ර ගැන හරියට හිතුවා. ඒකනේ මේ මංගල්ලෙන් පස්සේ කිසි කෙනෙක් එන්න යන්නෙවත් නැත්තේ..මමත් අපේ පුතා හම්බවෙන්න ඉඳිද්දි හත්මාසෙන් අපේ ගෙදරට ගියා. සාමාන්‍යයෙන් කුළුඳුලේ දරුවා ලැබෙන්න ඕනේ තමන්ගේ දෙමව්පියෝ ළඟ. ඒ චාරිත්‍ර කෙසේ වෙතත් දැන් ඉතින් මේ ගෙදර දුවලා පැනලා ඒ වගේ අවධානමක් ගන්න පිරිමියෙක් නෑ. දවස තිස්සේම වැඩ කරලා ඇවිල්ලා පුතාගේ තාත්තට මළා වගේ නින්ද යනවා. මට උනත් බෙහෙත් ටික  බීලා ඇඳට වැටුනහම ආයි ඇහැරෙන්නෙ පාන්දර. දවල් දවසකට වුවමනාවක් වුණත් එහෙට මෙහෙට දුවන්න කෙනෙක් නෑ. ඒක හින්දා දැන් හත් මාසෙ ලබපු එකේ දුව ඒ කටයුතුවලට ගෙදර එක් කරගෙන ගියා නම් හොඳයි නේද.”

ශ්‍රියාලතාගේ දෑස් තිබුණේ අව පැහැව ගිය බිත්තියේ නතරවීය.  වසර ගණනකින් බිත්තිවල තීන්ත ආලේප නොකළ බව ඇයට සිහිවූයේත් ඒ හදිසියේමය. ශ්‍රියාලතා සිතා සිටියේ කවදා හෝ මනුජිත්ගේ විවාහ මංගල්‍යයක් සිදුවන වේලාවට මුළුගේම යළි සුදු හුණු පිරියම් කරන්නටය. වසර පහළොවකට පමණ ඉහතදී ගැසූ සිවිලිම දැන් අබලන්ව ගොස් තැනින් තැන ලෑලි ගැලවී ඇත. ඉඳහිට දිනක සිවිලිම මත දුවන මීයෙකු බිමට වැටෙන්නේ ඒ හිඩැස් අතරින්ය. මුළුතැන් ගෙය  පැත්තේ වහලය හොඳටම දිරා ගොස්ය. එය නම් ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රියාලතාට සිතිණ. එහෙත් අවසන සිදු වූයේ ඒ පැතූ පිළිවලට වැඩ කරන්නට නොවේ.

“අම්මත් ඒ ගැන මට මතක් කළා අක්කේ. ඒ උනාට අක්කල මුලින් කිව්වනේ සේකර වත්තත් එක්ක තියෙන සම්බන්ධකම් අතාරින්න කියලා. ඒක හින්දම එහෙම දෙයක් අහන්න මං බය වුණා. එහෙමනං අක්කේ ගේ දොර පොඩ්ඩක් අස් පරස් කරගෙන දහරාව මං ලබන සතියේ එක්කරගෙන යන්නම්. දෙයියනේ කියලා තුන්මාසේ පහුවෙලා ආපහු එක්කරගෙන එන්න බැරුවැය. හිතේ සැකෙන් බැලුවට අපේ පැතිවල එහෙම නරක මිනිස්සු නෑ අක්කේ. අක්කටයි අයියටයි ඕන වෙලාවක එහේ ඇවිත් යන්න පුළුවන්.” 

සාමා එසේ පවසද්දී ශ්‍රියාලතා සිටියේ යටි සිතින් හිනැහෙමින්ය. 

“ළමයා හම්බවෙනකල් මුකුත් කරන්න බෑ. තුන් මාසේ පහු උනාට පස්සේ දෙයියනේ කියලා ආපහු පුතා දිහාවත් ඔය ගෙවල් දොරවල් දිහාවත් හැරිලා නොබලන්න හිතෙන විදිහට මං වැඩක් කරලා දෙන්නම්.” 

මෑණියන් හමුවන සෑම දිනකම එසේ පැවසුවා ඇයට මතකය. 

“මෑණියන් අමතක කරන්නේ නැතුව ඒක මතකෙ තියාගෙන ඉන්න එකනේ පුදුමේ..” එවෙලෙහි ශ්‍රියාලතා තනිවම සිතුවේ සිතෙහි උපන් ගෞරවනීය හැඟීමත් සමඟය. 

“එහෙනම් ඒ විදිහට වැඩ ටික කරගන්නකෝ. මේ ගෙයිත් වහල ගහන්න ඕනේ. ඒ වැඩ ටික හෙමි හෙමිහිට   කරන්න බාසුන්නැහේ කෙනෙකුට බාර දීලා අපි දෙන්නත් මාසෙකට විතර අක්කලයි ගෙදරට යන්න හිතාගෙන ඉන්නේ.”

ශ්‍රියාලතා එසේ පැවසූයේ පුටුවෙන් නැගී සිටිනා ගමන්ය. ඒ කතාබහ නිම වූවායැයි පවසන්නට ඉඟියක් බව සාමා දැන සිටියාය. එක අතකින් දැන් ඇගේ සිතට සහනයකි. දියණියට මෙවේලෙහි තමාගේ රැකවරණයත් සෙනෙහසත් අවශ්‍යය. සාමා පසුගිය කාලය පුරාම කල්පනා කරමින් සිටියේ දහරාට දරුවා ලැබුණු පසු ඈ හා  තනි නොතනියට මාසයක්වත් රැඳී සිටිනා ආකාරය ගැනය. ඒසා කාලයක් නිවාඩු ලබාගන්නට නොහැකි බව විශ්වාසය. ඒ සියල්ලටම වඩා මේ නිවසේ රැඳී සිටීමට ඇති අකමැත්ත ඇගේ සිතට වද දුන්නාය. එසේ සිතද්දී මේ සතුටු විය යුතු කාරණයකි. දැන් තමාට ඕනෑ හැටියට දහරාට යුතුකම් ඉටුකරන්නට හැකිය. දවසක් ඇර දවසක් තමා වැඩට ගියත් අම්මාත් අහල පහල වැඩිහිටි උදවියත් දහරා ගැන සොයා බලන බව ඈ දනී. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here