මතකයක සේයා – 35

0
1171

ශෙනාල් පිළිබඳව සිදු කෙරුණු පොලිස් පරීක්ෂණ වලින් සහ ඔහුව හමු වීමට පැමිණි පුද්ගලයන් පිළිබඳව කෙරුණු විමර්ශන වලින් ශෙනාල් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ බව සහ ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු බව තහවුරු කර ගෙන තිබිණි.එකී තොරතුරු දැන ගන්නට ලැබුණු විට මන්දාකිණි බොහෝ සේ කම්පාවට පත් වූවාය.මෙතුවක් කාලයක් තමා ජීවත් වී ඇත්තේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු සමග යන කාරණාව සුළු කොට තැකීමට ඇයට හැකි වූයේ නැත. ඇය කාර්යාලයේ අසුන මත වාඩි වී ශෙනාල් සමග ගත කළ ජීවිතයේ බොහෝ දේවල් ගලපා ගන්නට උත්සාහ දැරුවාය.

වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයකු වූ ශෙනාල් ලබා ගන්නා වැටුප පිළිබඳව තමා කිසි දිනක වත් විස්තර අසා තිබුණේ නැත.ඉඳ හිටක නිවසට ගෙන එනා යමක් හැරුණු කොට ඔහුගේ මුදල් පාලනය සහ වියදම් පිළිබඳවද තමා දැන උන්නේ නැත. එය අසන්නට වුවමනාවක් වූයේද නැත.අනික් අතට ඔහු අසාමාන්‍ය ලෙස කෝපයට පත් වීම, හේතුවක් නොමැතිව තමාව සැක කිරීම සහ අනවශ්‍ය අවස්ථාවන් වලදීත් නොසන්සුන් ලෙස හැසිරීම යන සියලු කාරණා ඔහු ගේ මත් ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වන්නට ඇති බව මන්දාකිණි සිතුවාය.  ඔහු මත්පැන් පානය කර නිවසට පැමිණි දින වල දී පවා අනවශ්‍ය ලෙස කලබලකාරී ගති පෙන්වීමටද මත් ද්‍රව්‍ය හේතු වන්නට ඇත. කොතරම් උගත් පුද්ගලයකු වුවද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ජීවිතයේ පතුලටම ඇද වැටිය හැක. මේ වන විට ශෙනාල් ගේ තත්ත්වයද එයමය. 

පොලිසියෙන් ලද තොරතුරු කෛලාශ් වෙත දැන්වීමට මන්දාකිණි තීරණය කළේ අනතුරුවය.මේ මොහොතේදී එය කියා හිත නිදහස් කර ගැනීමට කෛලාශ් හැරුණු කොට තම ජීවිතයේ වෙනත් අයෙක් නොමැති නිසා මන්දාකිණි දෙවරක් නොසිතාම කෛලාශ් ගේ අංකය ඇමතුවාය.

” ඔයා කොච්චර ලොකු අමාරුවකද වැටෙන්න ඉඳලා තියෙන්නේ කියලා ඔයාට දැන් තේරෙනවද මන්දාකිණි? ඔයාව මෙහෙම හරි බේරුනේ ඔයා කාටවත් වරදක් නොකරන හින්දා “

කෛලාශ් එපමණක් පමණක් පැවසූ අතර මන්දාකිණි එය හදවතින් පිළිගත්තාය. තමා යටතේ සේවය කරන සියලු දෙනාට පවා තමා කිසි දිනක වත් වචනයකින් හෝ අහිතක් කර නැත. ශෙනාල් ගෙ අතින් ගත් කල ද තත්ත්වය එසේමය. දෛවය විසින් තම ජීවිතය සාධාරණ ලෙස තීරණය කර තිබෙන නිසා මෙතැන් පටන් තම ජීවිතය රැක ගත යුත්තේ තමා විසින්ම ය.

දහවල් වරුවේ හෝටලයට පැමිණෙන බවට පොරොන්දු වී මන්දාකිණි හැකි තාක් ඉක්මනින් කාර්යාලයේ වැඩ අවසන් කර නිවස වෙත පැමිණියාය. අනතුරුව හැඟීම් විරහිත තැනැත්තියක මෙන් ගබඩා කාමරයේ තිබූ විශාල ගමන් මලු දෙකක් ගැන ප්‍රධාන නිදන කාමරයට පැමිණ අල්මාරියේ පිළිවෙලින් අසුරා තිබූ ශෙනාල් ට අයත් ඇඳුම් සියල්ල ගෙන ගමන් මළු වල තැන්පත් කළාය.

අල්මාරියේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම හිස් වූ පසු මන්දාකිණි යහන මත වාඩි වී හිස් වූ අල්මාරිය දෙස බොහෝ වේලාවක් ඔහේ බලා උන්නාය. අනතුරුව තමා ආසන්නයේ තිබෙන ගමන් මලු දෙස ද බැල්මක් හෙළුවාය. මේ ඇඳුම් අතරින් බොහෝමයක් තමා ශෙනාල් හට විවිධ අවස්ථාවන් වලදී තෑගි කළ ඒවාය.තමා ත්‍යාග ලැබුවේ අඩුවෙන් වුවද කිසි දිනක ඒ පිළිබඳව නොතකා සතියකට වරක් හෝ ත්‍යාගයක් ලෙස යමක් ශෙනාල් අත තබන්නට තමා වග බලා ගත් බව මන්දාකිණි සිහිපත් කළේ වේදනාවෙනි.

දිගු සුසුමක් හෙළූ මන්දාකිණි යහන මතින් නැගිට කාමරයේ එක් කොනක ඇති සුවිසල් කන්නාඩි මේසය ඉදිරියට පැමිණියාය. ඒ මත තබා තිබූ ශෙනාල් ට අයත් සුවඳ විලවුන් ,ඔරලෝසු සහ ආභරණ ආදියද මන්දාකිණි එක් ගමන් මල්ලක කොනක ඇසිරුවාය. රුපියල් 25000 ක් වැනි මුදලකට ශෙනාල් වෙනුවෙන් මිලට ගත් සුවඳ විලවුන් බෝතලය අතට ගත් මන්දාකිණි එහි මූඩිය හැර නාසය වෙත ලං කර ගත්තාය. ශෙනාල් ගේ ප්‍රියතම සුවඳ විලවුන් වර්ගය වූයේ එය ය.ඔහු ඒ බව පැවසූ දිනයට පසු දිනයේදීම තමා එය මිලට ගෙන ශෙනාල් හට තෑගි කළ ආකාරය සිහිපත් වී මන්දාකිණි ගේ දෑස් වලට කඳුළු උනා ආවේය. දෑස් තදින් පියා ගත් ඇය ගමන් මලු දෙක වසා දමා කන්නාඩි මේසය මත තබා තිබූ දුරකථනය රැගෙන සාලය වෙත පියමැන්නාය.

සෝෆාවේ වාඩි වූ මන්දාකිණි දුරකථනයේ ගබඩා කර තිබෙන දුරකථන අංක ඔස්සේ ගොස් ශෙනාල් ගේ හොඳම මිතුරෙකු වූ අරවින්ද ගේ අංකය සොයා ගත්තාය. අනතුරුව වෙව්ලන ඇඟිලි තුඩු වලින් එම අංකයට ඇමතුමක් ගෙන දුරකථනය කනේ තබා ගත්තාය. විනාඩියක් පමණ ගත වූ පසු අරවින්ද නමැති මිතුරා අනෙක් පසෙන් දුරකථන ඇමතුමට සම්බන්ධ වූයේය.

” හෙලෝ ” 

” හෙ..හෙලෝ.. අරවින්ද.. මම.. මන්දාකිණි “

මන්දාකිණි ගොත ගැසුවාය. අරවින්ද ගේ නිවස ඉදිකරන සමයේදී ඔහු හා සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා අංකය හුවමාරු කර ගත්තද තම රාජකාරිය අවසන් වූ පසු මන්දාකිණි කෙදිනකවත් ඔහු අමතා තිබුණේ නැත.

” ආ. කියන්න මන්දාකිණි “

” මේ.. ශෙනාල් ගැන මුකුත්…..”

මන්දාකිණි නතර වූවාය. තම පෙම්වතා තමාට පහර දී පොලිස් අත්අඩංගුවේ පසු වන බව පිටස්තර අයෙකුට කෙසේ නම් කිව හැකිද?

” මට ආරංචි උනා මන්දාකිණි. ඒත් ඉතිං ඔයා ගෙන් ඔය වගේ පර්සනල් දෙයක්  හාරඅවුස්සන්න බැහැනේ. මට අපේ එවුන් කීප දෙනෙක්ම කතා කරා.ශෙනාල් ගේ පේරන්ට්ස් ලාත් මෙහෙ ඇවිල්ලලු නේද ? ” 

” ඔ.. ව්.. මාව හම්බ වෙන්න ආවා “

” මන්දාකිණි මට කතා කළේ ? “

අරවින්ද ඇසුවේ අනිවාර්යෙන්ම මන්දාකිණි තමාව අමතන්නට ඇත්තේ වැදගත් කාරණාවකට විය යුතු බව අනුමාන කළ නිසාය.

” ශෙනාල් ගේ නඩුව ටිකක් ඇදෙයි ” 

මන්දාකිණි ආයාසයෙන් කියා ගත්තාය.

” ඒ ඇයි ? “

” මගේ කේස් එකට අමතරව… දැන්.. ඩ්‍රග්ස් කේස් එකකුත් තියෙනවා අරවින්ද  ” 

” මයි ගුඩ්නස්…. ” 

අරවින්ද තප්පර ගණනාවක් නිහඬව සිටියේය.ඒ කාලය බොහෝ දිගු බව දැනුනු බැවින් මන්දාකිණි හඬ අවදි කළාය.

” ඒ නඩුවෙදි මොකක් උනත් ආපහු එයාට සමාව දෙන්න මට අදහසක් නෑ අරවින්ද. මං හිතනවා එයා කරපු දේවල් මම ඉවසුවා ඇති කියලා. එයාගේ අම්මයි තාත්තයි උනත් පිළිගන්න ලෑස්ති නැහැ එයා අතේ වැරැද්දක් තියෙනවා කියලා. මෙතනින් එහාට මට මේවා ඉවසන්න පුළුව න්කමක් නෑ අරවින්ද ” 

” ඔයාගේ පැත්තෙන් බැලුවම ඔයා මාර සාධාරණයි මන්දාකිණි.ශෙනාල් මගේ ඉස්කෝලේ කාලෙ ඉඳන් යාළුවා තමයි.ඒත් එහෙමයි කියලා ඌ ඔයාට කරපු දේවල් හරි කියලා මම කියන්නේ නැහැ. ඌ මෙහෙට ඇවිල්ල බෝඩ් වෙලා කොච්චර හොඳ රස්සාවක් කරත් ආශ්‍රය කරන්නේ හොඳ උන්ව නෙමෙයි කියලා මං දැන ගෙන හිටියා.මං ඌට කීප සැරයක් ඒ ගැන කිව්වත් එක්ක. ඔයාගේ ගෙදරට ආවට පස්සේ තමයි ඌ පොඩ්ඩක් හරි පිළිවෙලට හිටියේ. පස්සේ පස්සේ ඒකත් නැති උනා නේ.එක දවසකුත් පාටි එකක වලියක් දාගෙන මට ආරංචි වෙලා මම ඌට කෝල් කරා.ඒ වෙලාවෙත් මම ඌට තේරුම් කරා.ඊට පස්සේ ඌ මාත් එක්ක වැඩිය කතා කරේ නෑ “

මන්දාකිණි සුසුමක් හෙළුවාය.වසර ගණනාවක තම ආදර කතාවට තිත තියන්නට වේලාව පැමිණ ඇත.

” ඔයා තාමත් කිව්වෙ නෑ මන්දාකිණි ඇයි මට කතා කළේ කියලා “

දුරකථනයේ අනෙක් පස හිඳිමින් සුසුම් හෙලන මන්දාකිණි සිටිනා තත්ත්වය අවබෝධ කර ගන්නට ශෙනාල් ගේ මිතුරෙකු වුවද අරවින්දට අපහසු වූයේ නැත.

” මට ඔයා ගෙන් උදව්වක් ඕනේ අරවින්ද “

” මොකද්ද මන්දාකිණි ? මට පුළුවන් දෙයක් නම් මම කරන්නම් “

” ශෙනාල් මේ ප්‍රශ්න වලින් නිදහස් වුනත් එයා ආපහු මේ ගෙදරට එන්න ඕන නැහැ අරවින්ද. ඒ නිසා මම ගෙදර තියෙන ශෙනාල් ගේ බඩු සේරම පැක් කරා. ඔයාට පුළුවන්ද ඒ ටික එයාගේ පේරන්ට්ස් ලාට යවන්න ? නැත්තං යවන විදිහක් හදලා දෙන්න ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here