සඳ දිය දහරා – 32

0
1125

රීටා නිවසින් පිටතට පැමිණියේ ඇඳ මත වූ සාමාගේ තුවාය වැලට දමන්නටය. පසුගිය දින සෑදුනු වෛරස් උණ රෝගයෙන් පසුව තවමත් වෙනදාසේ  කඩිමුඩියේ වැඩ කරන්නට තරම් ශක්තියක් ඇඟට නොවේ.

ගේට්ටුව අසලම නතර කළ අලුපැහැ කාර් රථයෙන් බැස ඇවිදගෙන විත් ගේට්ටුව අසල නතර වූ තරුණයා ඇගේ නෙත ගැටුණේ තුවාය වැලට දමා ආපසු හැරෙද්දීය.ඒ  පාරක් අසන්නට හෝ කිසිවෙකු ගැන විපරම් කරන්නට පැමිණි අයෙකුයැයි සිතූ රීටා ගේට්ටුව අසලට ඇවිද ගියේ අඩියට දෙකටය. සිනහ මුසුව ගේට්ටුව අසල නතර වූවා විනා ඔහු කිසිවක්ම ඇසුවේ නැත. යමක් අසන්නට පෙර රීටා  තරුණයා දෙස හොඳින් බැලුවේ එනිසාය. කළු පැහැති දිග කලිසමකුත් සුදු පැහැයට හුරු කමිසයකුත් ඇඳගෙන උන් ඔහු ගෙලෙහි  තද රතු පැහැ ටයිපටියක් ඵලදාගෙන උන්නේය. තවමත් ඔහු සිනාසී රීටා දෙස බලාගත් ගමන්මය. 

“මේ මහත්තයා…”

තත්පර කිහිපයක් ගතව යනතුරුත් ඔහු කිසිවක්ම කතා නොකළ නිසා මුලින්ම හඬ අවදි කළේ රීටාය. 

“ආච්චි අම්මට මාව අඳුනගන්න බැරුව ගියා නේද…”

වියපත් ගැහැණිය දෑස් විසල්කර ඔහු දෙස එක එල්ලේ බැලුවේ ඔහු එසේ පැවසුවාට පසුවය. මේ දෑස් විශ්වාසය. කොහොමටවත්ම ඔහුව දන්නා හඳුනන බවක් ඒ මතකයේ වූයේ නැත. 

“ආච්චි අම්මට වේළුයි තංගමනීයි නම් අමතක වෙන්න විදිහක් නෑ”

එවර ඔහු යළිත් පැවසූයේ පෙර වූ සිනහවෙන්මය. 

“මතකයි. ඒගොල්ලෝ මේ වත්තෙන් ගිහිල්ලා බොහොම කල්නෙ මහත්තයෝ…”

“බොහොම කල් නිසා නේන්නං ආච්චි අම්මට මාව මතක නැත්තේ. මතක ඒගොල්ලන්ට පුතෙක් හිටියා රමාෂ් කියලා. ඉස්සර වත්තේ ඉඳපු යාලුවෝ තඩි දෙමළා කියලා විහිළු කරද්දි මං ඒ කේලම ඇවිල්ල කියන්නේ ආච්චි අම්මටයි, සාම නැන්දටයි.”

“දෙයි හාමුදුරුවනේ..මේ එතකොට වේළුගේ බාල කොල්ලද. අපේ කෙල්ල දුවත් එක්ක කියලා තිබුණ තමයි දොස්තර මහත්තයෙක් කියලා. අනේ ඉතින් මං කොහොම අඳුනා ගන්නද. එන්න මහත්තයෝ ගෙට..කොච්චර දෙයක්ද අපිව බලලා යන්න ආපු එක. අපේ සාමා,  කෙල්ලගෙන් විස්තර අහගෙන  මාත් එක්ක කියද්දි මගේ ඇස් දෙකට කඳුළු පිරුණා. අම්මපා මහත්තයෝ…”

“දැන් ආච්චි මාව ගේ ඇතුලට  ගන්නේ නැතුවම කතා කරන්නද හදන්නේ….”

ඔහුට ආරාධනා කළාට ගේට්ටුව නොඇරි බව රීටාට  සිහි වූයේ එවේලෙහිය. ඇය උන්නේත් ගේට්ටුව දෑතින්ම අල්ලාගෙනය. 

“ඔන්න බලන්න ඉතින් මගේ සිහිය..යැයි පවසමින් ඈ ගේට්ටුව ඇර තරුණයාට ඇතුළු වන්නට ඉඩ ලබා දුන්නේ හිනැහෙමින්ය.”

“ගෙදර කවුරුවත් පේන්න නැත්තේ..”

කෙල්ල ගියා උදේම දහරව බලලා එන්න බලල එන්න. පොඩි එකීට මුණ ගැහුන නම් අපිට වෙච්ච දේවල් මහත්තයා දන්නවත් ඇතිනේ.  අනේ ඉතින් මට ලෝභකමේ බෑ. මේ ඉස්සර වත්ත පුරාම දුව පැන ඇවිත්ද අපේ දරුවෙක්නේ..අම්මා කෙනෙකුට උහුල ගන්න පුළුවන් දේවල් නෙමෙයි උනේ.

එවර රීටා පැවසූයේ තරුණයාගේ දෑත් අතගාමින්ය. සැබැවින්ම අද ඔහු උසින් මහතින් වැඩි දේහදාරී තරුණයෙකි. ඇගේ ඇස් කදුළින් දිළිසෙමින් තිබුණේ ඔහු වෙනුවෙන් උපන් ලෝබකම දරා ගත නොහැකිවය. 

“අම්මා අදටත් මල්ලිව මතක් කරලා හරියට දුක් වෙනවා. සමහර වෙලාවට අසනීපත් වෙනවා. අපි ලංකාවට ආවේ මේ ළඟකදී.”

“කෙල්ල කියල තිබුණා මහත්තයෝ..”

“මට සාම නැන්දව මුණගැහිලා කතා කරන්නත් වුවමනාව තිබුණා. අපරාදේ අද මං ආපු දවසෙම නැන්දා නැති වුනානේ.”

“දැන් එනවත් ඇති මහත්තයෝ. දවල් කෑම කාපු ගමන් එහෙන් පිටත් වෙනවා කියලා කිව්වා. මං තේ ටිකක් ලෑස්ති කරන්නම්.”

“තව ටිකකින් බොමු ආච්චි අම්මේ.. මම ටිකක් වෙලා ඉන්නවා කොහොමත්.”

අනේ ඉතින් ඇස් වහක් කට වහක් වදින්න එපා. රත්නත්තරේ පිහිටයි. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මහත්තයාව දැක ගන්න මට වාසනාව ලැබුණානේ. අම්මයි අප්පයිනං කවදාවත් ආපහු මේ වත්තට එන එකක් නෑ. කවුරු මොන දේවල් හිතේ තියාගෙන මොන විදිහකට පළිගන්න එහෙම අපරාධයක් කළාද මන්දා.”

“එහෙම තමයි ආච්චි අම්මේ. අපි බලාපොරොත්තු වෙන දේවල්ම නෙමෙයිනේ ජීවිතවල වෙන්නෙ. මං මෙහෙ ආපු බවක් අම්මටනම් කිව්වේ නෑ. එහෙම උනානම් අම්ම කලබල වෙනව. තාත්තගෙ හිතේ නම් පොඩි වේදනාවක්, තරහක්, කලකිරීමක් තියෙනවා. කාලයත් එක්ක ඉතින් ඕවා මගඇරිලා යයි. ඒක නෙමෙයි ආච්චි චූටි මාමටත් කරදරයක් වුනාලු නේද.?”

“ඒක නේන්නම් මහත්තයා. සෙල්ලක්කාරයා උනාට කවදාවත් හිරේ විලංගුවේ ලග්න  වැඩක් කරන කොල්ලෙක් නෙමෙයි. කවුරු හරි හිතා මතා ඒක කරලා කියලා තමයි කියන්නේ. ඊයෙ කෙල්ල බලන්න ගිය වෙලාවේ කියලා තියෙනවා ඒක කරපු කෙනා මම දන්නවා කරන්න ඕන දේත් මම දන්නවා කියලා. මට බය ආපහු ඇවිල්ලා කරදරයක් කර ගනීද කියලා.”

“එහෙම වෙන එකක් නෑ. නීතියට ඒක බාර දුන්නහම හරි. නීතියෙන් හැංගෙන්න කාටවත් බෑ.”

ගේට්ටුව විවර වන හඬ ඇසුණේ රමාෂ් සමග රීටා කතා කරමින් සිටියදීය. සාමා කොතරම් පැවසුවත් ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නට හුරු නොවීම පිළිබඳව එවේලෙහි රීටාගේ සිතෙහි වූයේ පසුතැවීමකි. දහරා අතත්, සමන් අතත්, සාමා අතත් ජංගම දුරකථන වූ  නිසා හදිසියේ හෝ යමෙකුගෙන් පණිවිඩයක් දැන ගැනීමට අපහසුවක් වූයේ නැත. ඔවුන් තිදෙනාම ගෙදර නොවේනම් පාරට බැස අහල පහළ කාට හෝ කිව්වාට පසුව දුරකථන ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව වේ. එනිසාම රීටාට ජංගම දුරකථනය දැනුනේ අමතර බරක් ලෙසය. එවැන්නක් තිබුනානම් සාමාට කතාකොට ඉක්මනින් නිවසට පැමිණෙන්නයැයි කියන්නට තිබිණ. 

රීටා⁣ගේ ඉහේ  මලක් පිපුනේ ගේට්ටුව විවර වූයේ සාමාගේ සුරතින් බව දුටුවාට පසුවය. 

“බලන්න මේ ඇවිල්ල ඉන්න මහත්තය අඳුරනවාද කියලා……

කුඩය අකුලා ගත් සමා නිවසට ඇතුළු වන දොර අසල අසුන්ගෙන උන් කඩවසම් තරුණයා දෙස බැලුවේ දෑස් විසල් කරය. ගතව ගියේ තත්පර කිහිපයකි. ඔහුව හඳුනාගත් ඇගේ මුවෙහි ඇඳුනේ හසරැල්ලකි. 

“රමාෂ් මහත්තයා…උස මහත උනාට පොඩි කාලේ තිබුණු හිනාව එහෙමමයි. අනේ මගේ කෙල්ල අදත් මතක් කළා. හරියට පින් දුන්නා.”

“කොහොමද සාම නැන්දේ…රමාෂ් නම් තමයි හැබැයි මං මහත්තයා නෙමෙයි. මෙච්චර වෙලා රීට ආච්චිත් එහෙම කතා කරද්දි හරි අමාරුවෙන් අහගෙන හිටියේ. අපි මේ එක වත්තේ එකට හැදිච්ච මිනිස්සු. එදා ඒ දේ නොවුනානම් අදත් මං මෙහේ.”

“එහෙම නොවුන නං අපිට මේ විදිහට මහත්තයාව දකින්න නැති වෙන්න තිබුණා. ජීවිතයේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියන්නේ ඒක හින්ද වෙන්න ඇති.”

“මං තේ ටිකක් හැදුවෙත් නෑ. එහෙනම් කතා කර කර ඉන්නකෝ. ඉස්සර නම් මහත්තයා ලැවරිය කන්න හරි ආසයි. වෙලාවේ හැටියට ඉක්මනට හදන්න පුලුවන් ඒක තමයි.”

රීටා නිවස තුළට ගියේ එසේ පවසමින්ය. 

“අනේ ආච්චි අම්මා කරදර වෙන්න එපායැයි  පැවසුවත් ඇගේ ලැවරියාවක් කන්නට ආසාවක් එවේලෙහි රමාෂ්ගේ සිතෙහි ඇති විය.”

“ඔය රීට නැන්දට ඕන කෑම ජාතියක් හදන්න පුළුවන්. මට සිංහල කෑම විතරක් නෙමෙයි. අපේ කෑම හදන්න පුරුදු කලෙත් කළෙත් රීටා නැන්ද තමයි…”

එදවස අම්මා හිනැහමින් පවසන අයුරු රමාෂ්ට සිහිවූයේ ඒ හදිසියේමය. තත්පර කිහිපයක් ගතව යනතුරු ඔහු නිහඬව සාමා දෙස බලා සිටියාය. උස මහත සිරුරක් නොවූ නිසාවෙන්දෝ තවමත් ඇයගේ වයස පෙනෙන්නේ නැත. දහරාත් ඇයත් එක ළඟ සිටගත් කල නොදන්නා අයෙකුනම් අක්කා, නංගී යැයි පවසනු නොඅනුමානය.

“සාම නැන්දනම් හිටිය වගේමයි. අද දහරට හරි සතුටු ඇති. මට හරි දුකයි සාම නැන්දේ දහරට වෙච්ච දේට…”

“ඒකනේ මහත්තයා මේ කෙල්ල මොනව කරගත්තද කියලා මට අදටත් හිතාගන්න බෑ. තාමත් මං ඉන්නේ හීනෙක අතරමං වෙලා වගේ. මෙච්චර මෝඩ උනාද කියලා හිතද්දී…ඊළඟ පාර නම් මම විශ්ව විද්‍යාලේ යනවමයි  කියලා ඉඳපු කෙල්ල.” 

“දහරාගේ හස්බන්ඩ් මේ  දවස්වල ලංකාවෙ නෑ කියලා කිව්වා.”

“අනේ මන්දා..මට තේරෙන්නේ නෑ පුතේ. දහරා මට කිව්වා පුතා එක්ක හැම දෙයක්ම කිව්වා කියලා.”

“හැම දෙයක්ම වෙන්නත් බෑ සාම නැන්දේ ගොඩක් දේවල්. සමහර විට එයා අපිට කියන දේවල් වලට වඩා හංගන දේවල් වැඩි ඇති”

“පුතාටත් ඒක දැනුනද…ගොඩක් ඇති නෙමෙයි හංගන දේවල් ගොඩක් තියෙනවා. ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ කෙල්ල මගහරින්න ඕන හින්දමයි කියලා මගේ හිතනම් කියන්නේ.”

“ඒකි ගෙදරටවත් මටවත් ඇත්තක් කියන්නෙ නෑ කියලා මට වෙලාවකට හිතෙනවා. අපි අහනවට දකිනවට වඩා එයා සෑහෙන්න දුක් විඳිනවා. සාම නැන්දටයි රීටා ආච්චිටයි සමන් මාමටයි. එයා ගොඩක් දේවල් හංගනවා. මට උනත් ඔය කියන්නේ වෙන දේවල් වලින් බාගයයි. එයා හරියට දැන් මේ ජීවිතය විඳවන්නේ  ඒක එයාට ලැබුණු දඬුවමක් කියලා හිතාගෙන.”

නිශාදී කීප වරක්ම එසේ පැවසූ අයුරු රමාෂ්ට සිහි වූයේත් එවේලෙහිය.

“මට එයාව බරක් නෙමෙයි පුතේ. ඒ උනාට තාත්තෙක් නැති දරුවෙක් මේ ලෝකෙට උපද්දලා මගේ කෙල්ලයි ඒ දරුවයි දෙන්නම අසරණ වෙයි කියලා මට බයයි. ලෝකයා පිළිගන්නේ පේන දේ. මේ වගේ ප්‍රශ්නෙකදි ගෑණු කෙනෙකුට ඇඟිල්ල දික්වෙන එක වළක්වන්න අපි කාටවත් බෑ පුතේ. දහරා දැන් ඒ වරද එයාට කරගෙන ඉවරයි. මොනවා සිද්ධ වුණත් එයාට වගේම දැන් අපිටත් ඉවසන්න වෙනවා.” 

එසේ පවසද්දී සාමාගේ දෑස් වල දිළිසුණු කඳුළු රමාෂ් හොඳටම දුටුවේය. මේ ආසියාතික සමාජයේ ගැහැණුය. වදනින් නිර්වචනය කරනා ගැහැණුකම රකින්නට උත්සාහ ගන්නා ගැහැණුය. රමාෂ් සාමා  දෙස බලා සිටියේ කම්පා වූ සිතින්ය. 

“අම්මවයි තාත්තවයි දවසක එක්කගෙන එන්න පුතේ. වත්තේ අනිත් ගෙවල් වලටත් ගියාද….”

“කොහෙටවත් යන්න ඕන නෑ නැන්දේ..යන ගමනේ නිශාදිලාගේ ගෙදරට පොඩ්ඩක් ගොඩ වැදිලා යනවා. ඇත්තටම මම අද ආවේ සාම නැන්දා බලන්න ලොකු උවමනාවක් තිබුණු නිසා. දහරා  මමත් එක්ක එයාට වෙච්ච දේවල් කියද්දි මට සාම නැන්දව මැවි මැවී පෙනුනා.” 

රමාෂ්  පැවසූයේ සැබෑවටමය. 

“වැරදෙන්නෙත්, පැරදෙන්නෙත්, දුක් විඳින්නෙත්, සතුටු වෙන්නෙත් මිනිස්සුමනේ නැන්දේ. අපි කොහොමහරි දහරට වැරදිච්ච තැනින් ගොඩ එන්න උදව්කරමු. අපේ අම්මා නිතර කියන දෙයක් තමයි හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ කියලා.”

“මමත් එහෙම හිතුවා පුතේ ඒත් අන්තිමට එහෙම උනානේ. අර වයසක මනුස්සයගේ පණ ඩිංග තමයි ඔය කෙල්ල. ඊයේ පෙරේද වෙනකල් සමන් මාමා වෙරළු අච්චාරු  ටිකද අඹ  අච්චාරු ටිකද ඒ මුකුත්ම නැත්නම් ටොපියක් හරි අරගෙන ගෙදරට එන්නේ. පුතා දන්නවනෙ මගේ ජීවිතේ උනත්  හැම දෙයක්ම මං කැප කළේ ඔය දරුවා වෙනුවෙන් කියලා.”

සමා යළිත් පැවසූයේ මඳක් එහාට වන්නට තබා තිබූ දහරාගේ සේයාරුවක් දෙස බලාගෙනය. ඒ ඇය වැඩිවිය පැමිණි දා  ගත් සේයාරුවකි. රෝස පැහැ සැටින් වර්ගයේ රෙද්දකින් මැසූ ගවුමක් ඇද සිටි ඇගේ හිස පලදා තිබුණේ මලක් සහිත හෙයා බෑන්ඩ් එකකි. ආච්චී විසින් කර පැළඳු කුඩා චේන් පොටත්. සාමා විසින් රැගෙන දුන් කරාඹු යුගලත්. තාත්තාගේ පාර්ශ්වයේ ආච්චි අම්මා විසින් රැගෙන ආ අත් ඔරලෝසුවත් පළදාගෙන ඈ උන්නේ ආඩම්බරයෙන්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here