සඳ දිය දහරා – 33

0
1330

අම්මා පැමිණ ගිය වේලේ සිටම මනුජිප්ගේ මව උන්නේ කාමරයට වීගෙනය. තමාව දරු ප්‍රසූතිය සඳහා නිවසට කැඳවාගෙන යන්නයැයි ඈ විසින් පවසා තිබුණත් දහරා උන්නේ වෙනමම කල්පනාවකය.

එවැන්නක් පවසන්නට තිබුණේ මනුජිත්ය. ඔහු දවසින් දවස දරුවාට ඇති අයිතියෙන් ඈත් වෙනවායැයි දහරාට සිතිණ. වර්තමානයේ ඔහුත් තමාත් එකතු කර තබන බැඳීම දරුවාය. ඔහු මේ සියල්ල අතහැර ගියේ උවමනාවෙන්මයැයි දහරාට සිතුනේ ඊයේ පෙරේදා සිටය.

“උඹට නං පිස්සු කොච්චර දෙයක්ද ඒක. ඔහේ ඉඳලා අමාරුවක් වෙච්ච වෙලාවකට ඔය මිනිස්සු ගණන් ගන්නේ නැතුව හිටියොත් මොන දෙයියන්ට කියන්නද. කියලවත් කරව ගන්න බැරි වැඩක්. රටකින් රටකට යද්දිවත් උඹට කියලා නොගියපු මිනිහා මේං  කියලා උඹට කතා කරලා කියයි. පිස්සු මල විකාර හිතන්නේ නැතුව මේ වෙලාවේ තමන්ගෙයි  තමන්ගේ දරුවන්ගෙයි  ආරක්ෂාව ගැන හිතන්න.” 

නිශාදි පවා පැවසූයේ ඒ අයුරින්ය. 

අවසන ශ්‍රියාලතා සැමියා විසින් ගෙන ආ පාන් රාත්තලත් රැගෙන මුළුතැන් ගෙයට  යද්දී දහරාත් ඒ පසුපස ඇවිද ගියාය. 

“අම්මේ….”

ශ්‍රියාලතා උන්නේ පාන් රාත්තල කපමින්ය. ඉන් මඳක් එහාට වන්නට කුඩා ස්ට්‍රෝබෙරි  ජෑම් බෝතලයක් විය. 

“අම්මේ….”

“මොකෝ ළමයෝ කට පාඩම් කරනවද?”

“අම්මේ මනුජිත් කිව්වද මට ගෙදර යන්න කියලා.”

“හ්ම්…ඔය ළමයාගේ අම්මා ආවට පස්සේ කතා කරලා දරුව හම්බවෙන්න ගෙදර යවන්න කියලා කිව්වේ.”

“එතකොට අම්මලා…”

“අම්මලා කිව්වේ…”

ශ්‍රියාලතා එවර ඈ දෙසට හැරුනේ කලබලයෙන්ය. ඊයේ පෙරේදා සිට ඇය බියෙන් උන්නේ දුවට උදව් කරනා මුවාවෙන් දහරාගේ අම්මා පැමිණ මෙහි නතර වන්නට උත්සාහ දරාවියැයි කියාය.

“නෑ  මං කිව්වේ මනුජිත් ගෙදර නැති වෙලාවෙ මම අම්මවයි තාත්තවයි ඒ විදිහට දාලා යන එක හරිද.”

“පිස්සුද ළමයෝ…අවුරුදු හතරක් තිස්සේ ඒ ළමයා විශ්ව විද්‍යාලෙ ඉඳිද්දී අපි මේ ගෙදර තනියම තමයි හිටියෙ. අනිත් එක මේ වයසක කොන්දේ කැක්කුම තියෙන මට ඔය ළමයාට හදිස්සියක් වුණොත් කර කියාගන්න දෙයක් නැති වෙනව. දන්නවනේ තාත්තා ගෙදර එන්නේ ඇඳට වැටෙන්නේ කොයි වෙලාවෙද කියල බලාගෙන. අනිත් එක චාරිත්‍ර වාරිත්‍රවල හැටියටනම් හත් මාසෙන් තමන්ගේ දුවව ගෙදර එක් කරගෙන යන්න කියලා අපි කියන්න ඕනේ නෑ. ඒවා යුතුකම්”

“අම්මා ඒක මගෙන් කීප සැරයක්ම ඇහුවා. ඒත් මනුජිත්  කැමති වෙයිද දන්නේ නැති නිසා තමයි මම නිහඩව හිටියේ.”

“දැන් කැමතියිනේ. කොහොමටත් ඔය ළමයාගේ ඒ වගකීම බාරගන්න අපිට බෑ. තුන් මාසෙන් එනවනම් එහෙමයි හය මාසෙන් එනවනම් එහෙමයි. ඒක කතාබහ කරලා කරගන්න බැරිය. ඉස්සර වෙලා ගෙදර ගිහිල්ලා ඔය බරෙන් හෑල්ලු වෙලා ඉන්න.”

යළිත් ශ්‍රියාලතා දහරාට පිටුපා සිට ගත්තේ ජෑම් බෝතලය අරිනා ගමන්ය. 

“මනුජිත් මට කතා කළේ නැති නිසා අම්මේ මං බැලුවේ.”

“කතා කරන්නේ කොහොමද ළමයෝ ඒ දරුවා එහෙට ගිය හැටියෙමනේ. අනිත් එක මේ ගෙදර ඉඳිද්දි වුනත් ඔය ළමයත් එක්ක එයාගේ වැඩි කතාබහක් තිබුණෙ නැහැනේ. එහෙම කෝල් එකක් ගන්න බර ගානක් යනවලු. මටත් එදා කතා කරපු වෙලේ හදිස්සියේ තමයි ඔය ටික කිව්වේ. ඔය ළමයා ගියාට පස්සේ අපේ හිතත් නිදහස්. නැත්තං කොයි වෙලේත් හිතේ බයෙන් සැකෙන් ඉන්න එපැයි. යමක් කමක් කරකියා ගන්න පුළුවන් පිරිමියෙක් හිටියනම් කමක් නෑ මේ නාකි අපි මොනවා කරන්නද.”

“මනූ ගියපු වෙලාවේ එහෙම යන එකෙන් යුතුකමක් පැහැර හරිනවා වගේ හැඟීමක් මට දැනුන අම්මේ. අම්ම එහෙම කියනවනං ප්‍රශ්නයක් නෑ. හැබැයි එක පාරක් හරි මට මනූ එක්ක කතා කරලා යන්න තිබුනනම් හොඳයි කියලා හිතෙනවා.”

“ඔය ළමයා ඔය කොයි වෙලාවෙත් ෆෝන් එක ඔබ ඔබ ඉන්න වෙලාවෙ මැසේජ් එකක් යවන්න. එතකොට කතා කරයිනේ. හදිසියේ හරි ඒ අතරතුරේ මට කතා කලොත් මම ඒක කියන්නම්.” 

පාන්පෙති  කිහිපයක ජෑම් තවරා ගත් ශ්‍රියාලතා මුළුතැන් ගෙයින් ඉවත් වූයේ එසේ පවසමින්ය. දහරා රාත්‍රියට තමා වෙනුවෙන් සාදාගත් පොල් සම්බෝලයත්, කීරමින්  බැඳුමත් සුදු හාලේ බත් ස්වල්පයකුත් බෙදාගෙන මුළුතැන් ගේ තුළම ඇති කුඩා බංකුවෙන් අසුන් ගත්තාය. 

                          ***********************

“ඔය කාරණාව මගේ හිතේ නම් කීප දවසක ඉඳලා තිබුණා. ඉස්සර නං ඉතින් වැඩ සිද්ධ වෙන පිළිවෙල ඕක තමයි. දැන් කාලේ මිනිස්සු හැමදේටම වඩා හිතන්නේ පහසුවනේ. කොහොම උනත් දුවෙක් ඔය වගේ අවස්ථාවක ඉන්න ඕනේ තමන්ගේ අම්මා ලඟ.”

රීට  පැවසූයේ සුදු පැහැ පෝසිලෙන් පිඟානෙහි වූ දෙවැනි ලැවරියා එකත් රමාෂ්  වෙත දිගු කරමින්ය. ඔහු සියල්ල දැන උන් නිසා සැඟවීමට තරම් දෙයක් වූයේ නැත. අම්මා විසින් ලැවරියා  සාදා තේ සූදානම් කරන  තුරුම සාමා සිටියේ රමාෂ් හා දහරා ගැන කතා වෙමින්ය. අවසන මනුජිත්ගේ මවගේ යෝජනාව ඇය රීටා හා පැවසූයේත් රමාෂ්  ඉදිරිපිටදීමය. 

“හැබැයි නැන්දේ ඒ යෝජනාව මේ වෙලාවෙ කියලවත් කරගන්න බැරි වැඩක්. දහර සෑහෙන්න වීක් වෙලා ඉන්නේ. මං කිව්වේ එයා සෑහෙන්න දුර්වල වෙලා ඉන්නේ. එහෙම කෙනෙක් මේ වෙලාවේ ආරක්ෂිත තැනක ඉන්න එක වඩා හොඳයි. ආච්චිටයි නැන්දටයි එතකොට දහරාගේ කෑම බීම ගැනවත් ටිකක් සැලකිලිමත් වෙන්න පුළුවන්නේ.”

“මටත් ඔන්න ඕකම හිතුනා මහත්තයෝ…”

“මම කිව්වා ලබන සතියේ ඇවිල්ලා කෙල්ලව එක්කරගෙන එන්නම් කියලා. ඊට කලින් හුණු  ටිකක් ගාගෙන මේවා පිළිවෙලක් කරගන්න ඕනේ. චූටි මාමා ගෙදර නැති එකේ පාඩුව දැනෙන්නේ දැන් තමයි.” 

“කවුරු හරි කන්ට්‍රැක්ට්  කරන මනුස්සයෙක් අල්ල ගත්තනම් පහසුයි  නේද නැන්දේ.?”

“ඔව් අර අපේ මල්ලිගේ යාළුවෙක් ඉන්නවා. එයාට කියලා බලන්න ඕනේ. ඒක නෙමෙයි, මට අහන්නත් අමතක වුනා පුතා දැන් කොහෙද නතර වෙලා ඉන්නේ කියලා.”

“මම රාජගිරියෙන්  පොඩි ඇනෙක්ස් එකක් ගත්ත නැන්දේ. හොස්පිට්ල් එකෙත් ක්වාර්ටස් තියෙනවා. ඒ උනාට මට හිතුනා වෙනම නතර වෙලා ඉන්න එක මගේ පාඩම් වැඩවලටත් පහසුයි කියලා. ඒ ගෙදරත් ඉන්නේ නැන්දගෙම වයසේ ලේඩි කෙනෙක්. එයා මට කෑම බීම ටිකත් බොහොම පිළිවෙලට, පිරිසිදුවට  හදල දෙනවා.”

“එහෙනම් කමක් නෑ….”

“මම එහෙනම් යන්නම් නැන්දේ නිශාදිලගේ ගෙවල් පැත්තටත් චුට්ටක් යන්න ඕනේ. එදා අහම්බෙන් හරි දහරවයි නිශාදිවයි මුණ ගැහුනේ නැත්නම් මම මෙහෙම ගමනක් නොයන්නත් තිබුණා.” 

“වත්තෙ මිනිස්සු මහත්තයාව අඳුරගත්තොත් පුදුම වෙයි…”

“ඉස්සරහට මෙහෙට නිතරම එද්දි අපි එයාලත් එක්ක කතා කරමු. දහරා බලන්න එන්න වෙනවනේ ඉතින්.  අද එහෙම කතා කර කර ඉන්න තරම් විවේකයක් නෑ. නැන්දේ මුකුත් හිතන්නේ නැතුව මේක ගන්න ඕනේ. මේක මම දුන්නා කියලා දහරට දැනගන්න තියන්න එපා. මේ සල්ලි වලින් එයාටයි බබාටයි පිරිසිදුවට නිදහසේ ඉන්න පුළුවන් විදිහට කාමරේ අඩුපාඩු  ටික හදා ගන්න. නැන්ද කිසිම දේකට බයවෙන්න එපා. දුක් කරදර ඉවසීමෙන් දරා ගන්න මිනිස්සුන්ට බොහොම ඉක්මනට සතුට ලැබෙනවා. දහරාගේ  ජීවිතෙත් ඒක ඒ පිරිසටම සිද්ධ වෙයි.”

රමාෂ්  පැවසූයේ සාමාගේ හිස මතින් තම දකුණත තබාගෙනය. උසින් මහතින් වැඩී උන් ඉලන්දාරියා කෙරෙහි ඇගේ සිතෙහි උපන්නේ ලොබකි. රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු කිහිපය ඈ තම දෝතින්ම අල්ලා ගත්තේ රමාෂ් කිහිප වරක්ම බල කලාට පසුවය. 

“ජීවිතයේ හැමදාම නරක කාල තියෙන්නෙ නෑ සාම නැන්දේ. අද ඉඳලා මේ හැම දෙයක්ම දරා ගන්නත් සතුටු වෙන්නත් අඬන්නත් දුක් වෙන්නත් ඔයාලත් එක්ක මමත් ඉන්නවා. මට කවදාවත් අමතක වෙන්නෙ නෑ අපේ ගේ ගිනි ගනිද්දී සාම නැද්ද මාව තුරුළු කරගෙන ඉඳපු හැටි. දහරා මට පවන් ගගහා මගේ ඔළුව අත ගාපුු හැටි..රීට ආච්චි කුලී ගෙදරට යනකල් අපිව කන්න බොන්න දීලා මෙහේ නතරකර ගතපු හැටි….”

“එහෙම ජීවිතේ මුල මතක තියෙන මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නේ?. ගොඩක් මිනිස්සු ඉහලට යනකොට තමන් ඉඳපු තැන තමන් කරපු දේවල් අඩුම තරමින් තමන්ගේ දෙමව්පියෝවත් මතක නෑ. දවසින් දවස හරියන්න ඕනේ මහත්තයෝ…”

රීටා  එසේ පැවසූයේ දෑත් එක් කරගෙනය. 

“වේළු අයියගෙයි  තංගමනී  අක්කගෙයි පුතෙක් වෙච්ච ඔයා මීට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ පුතේ. ජාතියෙන් මොනවා උනත් ඒ මම දැකපු උතුම්ම මිනිස්සු දෙන්නෙක්. පුතා ඔය කිව්වා වගේම මට මතකයි මගේ මනුස්සයා නැතිවෙච්ච වෙලාවේ තංගමනී  අක්කා මොන තරම් මගේ හිත හැදුවද කියලා.”

රමාෂ් සාමාගේත් රීටාගේත් දෙපා වැන්දේ නිවසින් පිටවීමට ප්‍රථමය. ඔහු අළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ කාරයට  නැගී නික්ම යන තුරුම ගැහැණුන් දෙදෙනා වූයේ ගේට්ටුව අසලට වී ගෙනය. 

“පුදුම පින්වන්ත දරුවෙක්……”

“අනේ අම්මේ රුපියල් පනස්දාහක් දීලා…”

“ඔය ගැන දහරට කියන්න එපා කියලා මගින් මඟටම කිව්ව නේද.?”

“ඔව් දහරා මේක දැනගත්තොත් දොස් කියයි.” 

“අනේ මන්ද බං මට මොකක්දෝ දෙයක් දැනෙනවා. හරියට අපේ කරදර කාලෙ ඉවරයි කියල වගේ. දේව දූතයෙක් අපි ළඟට ආවා වගේ තමයි අද මේ දරුවා ආවේ.”

“මටත් මනුජිත්ගේ ගෙදරින් පිට වෙද්දි එහෙමම හිතුනා අම්මේ. දහරා අපිට කියනවට වඩා දෙයක් හංගගෙන දරා ගන්නවා. එයා එහෙම ජීවත් වෙන්න ඕන ළමයෙක් නෙමෙයි. අපිත් හරියට අපේ දරුවා මනුජිත්ගේ කරේ බලෙන් එල්ලුවා වගේ වැඩක් කලේ. අපි ඒ වෙලාවේ අපි ගැන විතරක් හිතුවද මන්දා. ලෝක අපවාද ගැන විතරක් හිතුවද මන්දා. අපි අපේ දරුවා දුන්නේ පුංචිමවත් සැනසීමක් නැති තැනකට කියලා මතක් වෙද්දි මගේ හිත පිච්චෙනවා අම්මෙ. කෙල්ල සෙල්ලම් බත්  උයනවා වගේ පුංචි පුංචි ඇතිලි වගයක් තියාගෙන මොනව හරි උයාගෙන කනවා. අර මිනිස්සු මනුජිත් ගියාට පස්සේ අද වෙනකල් බත් කටක් කෑවේ නැහැලු. ඉතුරු කරන පරිස්සම් කරන මිනිස්සු දැක්කට එහෙම ලෝභ මිනිස්සු මං ජීවිතේට දැක්කේ නෑ අම්මේ. ගෙවල් නිකන් පෙරේත ගුහාවල් වගේ පුස් ගන්දස්සාරේ  බෑ. ජනේලයක් දොරක් අරින්නේ නෑ. ඒ ගෙදර නිකන්  මට දැනෙන්නේ අපායක් වගේ. 

“අපේ කෙල්ල අපිට වැඩි නෑ බං. ඔන්න ඔහේ දරුවා හම්බුනාට පස්සේ එයා කැමතිනම් යනවා මිසක්කා බල කරන්න නරකයි. දරුවා මට බලාගන්න පුළුවන් මගේ අතපය තවම හයියයි. පළවෙනි පාර උසස් පෙළත් හොඳට පාස් වෙච්ච එකේ විශ්ව විද්‍යාලෙ නොගියට කෙල්ලට හොඳ රස්සාවක් හොයාගන්න බැරි කමක් නෑ. රමාෂ්  මහත්තයාට කියලා හරි මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි. ඒකි  මේ ගෙදර හැදුන වගේ ඒකිගේ  දරුවත් මේ ගෙදරම උස්මහත් වෙච්චාවේ. දවසක මනුජිත් ඇවිල්ලා එයාගේ කැමැත්තෙන් අම්මවයි දරුවයි එක් කරගෙන යනකල් මෙහේ හිටපු ආවේ.”

“මොන දේටත් වැදගත් වෙන්නේ එයාගේ තීරණ තමයි අම්මේ . අද ඕක කිව්වහමත් එයා කිව්වේ මනුජිත්  නැති අතරේ මම එහෙම යන එක හරිද කියලා. අපිට පුළුවන් හැම දෙයක්ම අපි එදා වගේම දහරා වෙනුවෙන් කරමු. අපේ හිතට සැනසීමක් හරි ඉතුරු වෙයි.”

දිගු සුසුමක් මුදාහළ සාමා නිවස තුළට ඇවිද ගියේ එසේ පවසමින්ය.

( හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here